පරණ යකඩ හට්ටි මුට්ටි 04

ඔයාට තාම ජීවිතේ එහෙන් පිටින්ම ඉතුරුයි.වෙච්චි දේවල් වෙලා ඉවරයි සදිස..මින් ඉස්සරහට වත් ජීවිතේ වරද්ද ගන්නෙ නැතුව හරි විදිහට අපි කරන්න උත්සාහ කරමු. මම මහප්පට කියලා ඔයාට හොඳ රස්සාවක් හොයලා දෙන්නම්.

මෙලනි එහෙම කියනකොට මට මතකයි මම එදා මෙලනිගේ මුණටම කිව්වා..

මගේ ජීවිතයේ කවදාවත් මට වැරදිලා නෑ.මම අත්දැකීම් එකතු කරගත්ත එකයි වුනේ.ඔයාට ඒවා වැරදීම් හැටියට පේනවා ඇති.මම මිනිස්සු  හොඳට දන්නවා. මම ඒ වැරදි වලට බය මිනිහෙක් නෙමෙයි .. ඔයා වගේ කෙනෙක්  මාව ආස්රේ කරනවා කියන එක මට විශාල නම්බුවක්..හැබැයි මං වගේ කෙනෙක් ඔයා ආශ්‍රය කරනවා කියලා කියන්නේ…
ඒ ගැන ඔයාට දෙපාරක් හිතලා බලන්න සිද්ධ වෙනවා. ඒ හින්දා  ඔයා කැමති  තීරණයක් ගන්න.

එහෙම කිව්වහම මෙලනි පොඩි ළමයෙක් වගේ ලේන්සුවෙන් ඇස් දෙක වහගෙන අඩපු හැටි…

ඒ වෙනකොට මෙලනි සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සංගීත කථිකාචාර්යවරියක් විදිහට වැඩ කළා.කුඩුකාරයෙක් හැටියට චෝදනා ලබලා අවුරුදු තුනක්   හිරේ ගියපු මදාවියෙක් විදිහට මට මෙලනි ලඟින් ඉඳ ගන්න වත් පුලුවන් කමක් තිබුනෙ නෑ.

සඳමාලිගෙන් පස්සේ මගේ හිත පුච්චපු  ලොකු ගැටලූවක් තිබුණා.
අහිංසක මිරාල් අයියට මං හින්දා එයාගෙ බට්ටා රාජසන්තක වෙච්ච හින්දා වැලේ වැල් නැති වුණා. හිරෙන් නිදහස් වෙච්ච ගමන් බුලත් අතයි ලෙමන්පෆ් එකයි  අරගෙන මම ගියේ මිරාල් අයියා  හම්බවෙන්න. මිරාල්  අයියගෙ කකුල් දෙක අල්ලලා දණ ගහලා වඳින කොට  මිරාල් අයියා ඇඩුවා. එතකොට එයා පමුණුවෙන්  රෙදි කෑලි ගෙනල්ලා පාපිසි මහලා කොටුවට අරගෙන ගිහිල්ලා  විකුණන වැඩක් කර කර හිටියේ. මම මිරාල්  අයියගෙ කකුල් දෙක අල්ලලා  කවදහරි මම මිරාල්  අයියාගේ පාඩුව පිය වනවා කියලා කිව්වහම

වැරදි  නොවන්නේ කා අතින්ද මල්ලි.. කියලා කිව්වා .

ආක්ටික් අමීන් අයියාගෙන් පස්සෙ සේදර්  බිස්නස් එක රන් කරගෙන ගියාට උගේ ගෝලයො ගොඩාක් පොලීසියට කොටු වෙන්න ගත්තා.
මම සේදර් හම්බවෙන්න යනකොට ඌ පුදුම උනා.

සදිසෝ.. උබ ශට් ඩවුන් උනාද ඇහුවා.

ඊට පස්සේ සති දෙකක් තුනක් ම සේදර්  තමයි මට කන්න බොන්න දුන්නෙ.  සේදර් ගේ බිස්නස් එකට මාව සම්බන්ධ කර ගන්න සේදර්  එච්චර කැමති උනේ නැහැ.

උඹ එළියට ආපු ගමන් නෙ සදිසො.
උඹලා වගේ එලියට එන එවුන් දිහා පොලිසිය හොඳට ඇහැ ගහගෙන ඉන්නෙ…උඹව මේ වැඩේට සම්බන්ධ කරගන්නවා කියලා කියන්නේ නිකම්ම මාවත් අහු වෙනවා කියන එකයි.ඒ හින්දා ටික දවසක් ශේප් එකේ  ලාපාටින් ඉදහං කිව්වා.

මතක විදිහට ඒ වෙනකොටත් මෙලනි ත් මමත් අතරේ එහෙම ලොකු විශේෂ සම්බන්ධතාවයක් පටන් අරන් තිබුණේ නැහැ.. කැමතියි කියලා තිබුණෙත් නැහැ.මගේ හිතෙත් මෙලනි ගැන එහෙම අදහසක් ඒ වෙනකොට තිබුණෙ නැහැ.ඒ හින්දා මෙලනිට කතා කරන්න ඕනෙයි කියන විශේෂ හැඟීමක් මට ඒ වෙනකොට තිබුණෙ නැහැ.

සේදර් මට කිරිසයුර කිරිපිටි පැට්ටරියෙ කම්කරු වැඩක් අල්ලලා දුන්නා.මාස කිහිපයක් ඒකෙ වැඩ කරන කොට තමයි මට හිතුනෙ සේදර් ගෙ බිස්නස් එක අහු නොවී කරන්න නම්  මේ කිරිපිටි විදියටම පැකට් කරලා මේ ඇසුරුම් වල ම අසුරලා ඇරියා නම් හරි කියලා. කිරි සයුර කිරිපෙට්ටිය ට  හැම අතින්ම සමාන වෙන විදිහට කිරි පෙට්ටි දහයක් මුලින්ම සේදර් ගහගෙන ආවා. සේදර් ගෙ බඩු ඒකෙ අසුරලා බැලුවහම ආයෙ මොන සම්මජ්ජාතියෙ යකෙකුටවත් හොයන්න පුළුවන් විදිහක් තිබුනෙ නෑ.

උඹනං යකෙක් මලේ.. කියලා සේදර් මගේ බඩ ඉම්බා..
කිරි සයුර කිරිපිටි  බෙදාහැරීමේ ඒජන්සි බලපත්‍රයක් සේදර් හොරට හදාගෙන තිබුණා. මං හිතන්නේ මිනිහගේ බඩු තාමත් එහෙ මෙහෙ යන්නෙ ඒ විදියට තමයි.

ආක්ටික් අමීන්  අයිය ගාව වැඩ කරන කාලේ මාත් එක්ක තරහෙන් හිටපු පේදුරු ජුදාස්  එක දවසක් හැන්දෑවක සේදර් ලගේ ගෙදර ආවා.

ආ.. සදිස  තමුසෙ දැන් මෙහෙද කියලා අහලා මගෙ බඩ කොරවෙන්න අතින් පාරක් බඩට ඇන්නා. මම නැවිලා බඩ අල්ලගන්න කොට උන් සේරම හක හක ගාලා හිනා වෙන්න පටන් ගත්තා.

පේදුරු බොස්.. සදිසයා මෙහෙම උන්නට රජ වැඩ්ඩා.. කියලා සේදර් අයියා සේරම ස්ටෝරිය කිව්වා.
කටත් ඇරගෙන විස්තරය අහගෙන හිටපු පේදුරු ජුදාස් අයියා උබ හොඳ දේශපාලනය ට කොල්ලො කිව්වා .

කෝ ඉතිං කිව්වෙ නෑනෙ..මිනිස්ටර් ගෙන් අහල හොඳ චැනල් එකක් අරන් දෙන්න පුලුවන්ද කියලා..

මෙලනි එහෙම අහනකොට මට හිනාත් ගියා. අතීතයෙන් වර්තමානයට එන්නත් වර්තමානයෙන් අතීතයට යන්නත් අපේ හිත්වලට බ්‍රේක් නැති හැටි..

අරන් දෙන්නම්.ඔයා වෙනුවෙන් ඉඩ ඉල්ලන්න බැරි චැනල් මොකටද..

එහෙම කිව්වහම මෙලනිත් හිනා උනා.

දැන් මේ ලබන සතියේ මනමාලියෙක් වෙන්න ඉන්න මනුස්සයා එල්ටීටීඊ ළමා සොල්දාදුවන්ට සින්දු කියන්න චැනල් හොයන එක ද කරන්න ඕනේ..
මම එහෙම ඇහුවේ මෙලනිගේ කනක් බොරුවට මිරිකන ගමන්.

නෑ අනේ වෙඩින් එකේ වැඩ නම් සේරම හරි නේ.දැන් තියෙන්නේ අපි දෙන්නාට පෝරුවට නගින්න විතරයි.ඇත්තටම මට මේ ළමයි ගැන හරි දුකයි.
එහෙම කියලා මෙලනි පරණ පුරුදු අහිංසක හිනාවෙන්ම හිනා උනා.

ඔයා තාමත් එල්ටීටීඊ කාරයින්ට හරි ආදරෙයි නේද.. රගුනාදන් කාරයා ඔයාගේ මුළු ඔළුවේ ම පැල වෙලා ඉන්නේ..
මට පස්සෙ හිතුනා මම ඒ කතාව කිව්වේ නැතිවුණා නම් කොච්චර හොඳයිද කියලා.

කවදාවත් කිසිම දේකට වචනයක්  කිව්වත් රණ්ඩු වෙන්නේ නැති මෙලනි  පුරුදු විදිහට ඇස්වල කඳුළු පුරවගෙන කෑම මේසෙ පුටුවෙන් ඉඳ ගන්නකොට මට මං ගැනම දැනුණේ ලොකු තරහක්.
කොච්චර ලොකු තැනකට ආවත් මගේ මුඩුක්කු කට මුඩුක්කු හිත ඒ විදිහමයි කියලා මට හිතුනා.

නගර සභා ඡන්දයට මං ඉදිරිපත් වෙනකොට දිනයි කියලා මම කීයටවත් හිතුවෙ නෑ.
පේදුරු ජුදාස් අයියගේ තිබිච්ච බලපුළුවන්කාරකම් හින්දාම සල්ලි විසි කරලා බලපුළුවන්කාර  දේශපාලනය නායකයින්ව කොහොම හරි නම්ම ගෙන ඡන්දෙන් දිනවල මාව නගර  සභාවට යැව්වා. ඒ විදියට වියදම් කරල මාව පාර්ලිමේන්තුවට අරින්න උත්සාහ කරන්නේ මට තියෙන ආදරයකට නෙමෙයි කියන එක මම හොඳටම දැනගෙන  හිටියා. ඒත් ඒ වෙනකොට බඹරෙ කැරකෙන වේගය මටවත් නවත්ත ගන්න බැරුවයි තිබුණේ. පාර්ලිමේන්තු ඡන්දය වෙලාවෙදි මට දැනිච්ච ලොකුම අඩුව මට ශක්තියක් වෙන මට නම්බුවක් ගේන ස්ත්‍රී පරාණය ක අඩුවයි. ඒ වෙනකොටත් මාසයකට දෙතුන් පාරක් මෙලනි ව හම්බ වෙලා ගෝල්ඩ් සන් එකේ මුහුදු වෙරළේ හයි කරලා තියෙන ඇඳි පුටු වල වාඩි වෙලා පැයක් දෙකක් කතා කර කර ඉන්න එක පුරුද්දක් වෙලා තිබුණා .

ඒ වගේ මුහුදු වෙරළක තනි වෙලා ඉන්න වෙලාවක  මෙලනි එයාගෙ අතීත කතාව මාත් එක්ක කිව්වා.
තමන්ගේ ජීවිතයේ අතිශය පෞද්ගලික දෙයක් ඒ විදිහට  බය නැතුව මාත් එක්ක කියනකොට මට මෙලනි ගැන පුදුම හිතුනා.

නාදන් රඝුනාදන්… මට ගොඩක් දවස් වලට එයාව මතක් වෙනවා. එතකොට උතුරේ කලබල තදටම ගිය කාලේ . ඉවර වෙන්න ඔන්න මෙන්න යුද්දේ…එයා හිටියෙත් අපේ කැම්පස් එකේමයි .කැම්පස් එකේ හැමදාම හැන්දෑවට ජිම් කැන්ටිම ලග පෙන්නන නාට්‍ය බලන්ඩ අපි දෙන්නා අත් අල්ලගෙන යන්නේ. රඝුනාදන් තමා මුලින්ම මට කියලා දුන්නේ ආදරේට පාටක් නැහැයි කියලා .

සදී.. දන්නවාද…එච්චර දවසක් මං හිතාගෙන හිටියේ අපේ ආදරේ සිංහල පාටයි ..රඝුනාදන් ලගේ ආදරේ දෙමළ පාටයි කියලා..
ඒ උනාට පුංචි පුංචි හිනාවන්, පුංචි පුංචි කතා වල් ,පුංචි පුංචි ඇහි පිල්ලම්, පුංචි පුංචි බැල්මවල්, අවසානයේ මට තේරුම් කෙරෙව්වා රඝුනාදන් කිව්වේ ඇත්ත කියල.
පුස්තකාලයේ දී රඝුනාදන් හම්බවෙනකම් මං මග බලාගෙන හිටියා . හොඳට ඉංග්‍රීසි පුළුවන් රගුනාදන්ට .සාමාන්‍ය ඉංග්‍රීසි වලට වඩා සාහිත්‍යය ඉන්ග්‍රීසි බොහොම  ලස්සන ට පුලුවන් . මං ගොඩක් දේවල් අහගත්තේ එයාගෙන්.ගුරු ගීතයේ අල්තිනායි වගේ අන්තිමට සිද්ධ වුණේ මං එයාට ආදරෙන් පිස්සු වැටිච්ච එක. රඝුනාදන් ගේ ගම යාපනය. ගිහිල්ලා එනකොට හැමදාම කොට්ටකිලංගු,  තල් හකුරු ,මෝරු මිරිස් ගේනවා.ඒවා කන්න අපේ යාලුවෝ  බලාගෙන ඉන්නවා.

එයා කළුයි කෙට්ටුයි . හරියට ඔයා වගේමයි සදී… පළවෙනියෙන්ම ඔයාව එදා මහරදි දැක්ක දවසේ මාව හීතල වෙලා ගියා..මට හිතුනෙම ඒ රඝුනාදන් කියලා…
එයා කතා කරනවා ලස්සනට සිංහල. කොහොම හරි අපේ ගෙවල් වලින් මේ සම්බන්ධෙ දැන ගත්තට පස්සෙ ගොඩක් කරදර පටංගත්තා.තාත්තා කිව්වා රගුනාදන්  ගෙදෙට්ට ගෙනාවොත් එයා එල්ලිලා මැරෙනව කියල. අම්මා කිව්වා තාත්තගේ වලටම එයත් පැනලා මැරෙනවා කියලා.
මහප්පලා කොච්චර දේශපාලන වේදිකාවල ජාතිවාදී සමගිය ගැන කතා කලත් රඝුනාදන්ගෙයි  මගෙයි  සම්බන්ධය දැනගත්තට පස්සේ  යකා නැටුවා..
ඒ හින්ද මට අමාරුවෙන් හරි රගුනාදන්ට මේ ඇත්ත විස්තර කියන්න සිද්ධ වුණා. එදා  හැන්දෑවෙ  ජිම් කැන්ටිම ගාව පෙන්නුවෙ   සරත්චන්ද්‍ර මහත්තයාගේ මනමේ නාට්‍යය. ඒක බලලා ඉවර වෙලා අපි උඩට එන්න හදනකොට මුළු කැම්පස් එකේම ලයිට් ගියා මතකයි . ඊට පස්සේ හඳ පායලා තිබුනා. එදා රෑ හරිම ලස්සනට පේන්න පටං ගත්තා. කලින්දා වැහැපු මහ වැස්සට කණාමැදිරියෝ රොතු  හැමතැනම පියාම්බ පියාම්බ  තිබුනත් මට මතකයි .නාදන් මට කිව්වා මේ කලාමැදිරි එකතු කරල බෝතලේකට දාල  ඉස්සර එයාලගේ  ගේ ඇතුලෙ තියෙනවාලු. එයාලා හැමදාම ජීවත් වෙලා තියෙන්නේ කුප්පි ලාම්පුවේ එලියෙන්.
එයාලගේ හරි ප්‍රධාන කෑමක් තමයි වම්බටු වෑංජනේයි මිරිස් බැදලා යි බතුයි.   මං නං කිව්වේ  මටනම් යාපනේ ආවහම ඕව කන්න බැහැයි කියලයි. එතකොට එයා හිනා උනා. හිනාවෙලා මගේ ඔළුව අතගෑවා .මට හොඳට මතකයි සදී  … එදා හැන්දෑවේ හරියට රොබරෝසියා මල් වැටිල තිබුණා. ඒවා රෝස පාටයි. එයින් එකක් අහුලලා මගෙ කණ පිටිපස්සේ ගැහුවා මට අද වගේ මතකයි.
තාමත් සමහර දවස් වල හැන්දෑවට මට කණ පිටිපස්සේ රොබරෝසියා  සුවදක් දැනෙනවා . අසේකානං හිනාවෙනවා එහෙම වෙන්නේ මානසික රෝගයක් තියෙන මිනිස්සුන්ට කියලා .

වෙන්න ඇති … මගේ හිතේ මහා ප්‍රමාණයක් රගුනාදන්ට වෙන්වෙලා තිබුණා. ඒ අතීත සිද්දි  හැම දෙයක්ම  ඔයාට කියන්න ඕනේ කියලා මට හිතුනේ ඇයි දන්නෙ නැහැ සදී..
නාදන් හැමතිස්සෙම කතා කළේ දෙමළ බෙදුම්වාදයන් සාධාරණයි කියලා. එයා ඉදිරිපත් කරපු පළවෙනි තර්කය තමයි  ඔයාගෙ ගෙදරින් ඇයි මාව පිළිගන්න සූදානම් නැත්තෙ කියන එක .මටත් දෙන්න උත්තරයක් තිබුන් නෑ එහෙම අහන වෙලාවට .මොකද එයාලගෙ ගෙදරින්  ලොකු ප්‍රශ්නයක් තිබුණේ නැහැ.

මම විශ්වාස කරන ගණ දෙවියන්ට ඔයාට අත් දෙක අල්ලලා වඳින්න පුළුවන් නම් ඔයා විශ්වාස කරන බුදුහාමුදුරුවන්ට  මට අත් දෙක අල්ලලා වඳින්න පුළුවන් නම් තවත් මොනවද කියලයි රඝුනාදන් හැමතිස්සෙම ඇහුවේ.
දවසක්  රඝුනාදන් පුරුදු විදිහටම මගේ ඔළුව අතගාලා යාපනය යන්න බස් එකට නැග්ගා .ඉක්මනට ලියුමක් එවන්නං කියලා ගියාට ගියා ගියාමයි නාදන්ට  වෙච්චි දෙයක් නැතිවුණා.මං පිස්සියක් වගේ නොකා නොබී අඩනකොට තාත්තිම  තමයි එයාගේ වාහනයේ මාව දාගෙන යාපනයේ රඝුනාදන් ලග ගෙදර යන්න පිටත් වුනේ . 
මම සැක කරපු විදියටම රගුනාදන්  මාව අමතක කරලා දෙමළ විමුක්ති සංවිධානයට බැඳිලා තිබුණා .රඝුනාදන් ගේ තාත්තා හරි අහිංසකයි. හරියට මගේ අත්දෙක අල්ලාගෙන ඇඬුවා ළමයව වෙනස් කළේ දෙමළ සංවිධානය මිනිස්සුයි කියලා .
ඊට අවුරුදු දෙකකට පස්සෙ  මම ඉන්දියාවේ ගියා කර්ණාටක සංගීතය ඉගෙන ගන්න..සිංහල ගෑනියෙකුට පලු පැලෙන්න ආදරෙයි කිය කියා සිංහල මිනිස්සුන්ව මරන්න පුළුවන් සංවිධානයකට රඝුනාදන් බැඳුනේ මොන හිතකින්ද කියලා මම තාමත් හිතනවා .
දැන් ඒ සිද්ධි වෙලා අවුරුදු ගානක්.. රගුනාදන්ට මොනව වුණාද කියන්න මම දන්නෑ. 
මට එකම එක පාරක් , එකම එක පාරක්, එකම එක පාරක් අහන්න ඕන රඝුනාදන්ගෙන්
ඇයි ..මට ..
මෙහෙම …
කලේ …..කියලා.

මෙලනි ගේ ඇස් වල කදුලු දැක්කහම මට මහා වේදනාවක් දැනුනා …

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles