දෙහිතක කතාවක් 14

“අක්කා ආපහු යන්නෙ කවද්ද?”

සඳරු එසේ ඇසුවේ නිකමටය. එහෙත් හිත රිදුණේ හේතුවක් ඇතුවය. සඳරුට පිළිතුරක් දියයුතු බව දන්නවා උනත් මේ කිසිවක් සඳරු සමග බෙදාගන්නට නොහැකි බව කැළුමිණී නොදන්නවා නොවේ.

“ටික දවසක් ඉන්න කියල හිතන් මල්ලි ආවේ” කියා පැවසුවද ඒ වදන් පවසන වාරයක් පාසා සිත මොනතරම් වාරයක් බිඳුණාද කියා කැළුමිණීට ගණන් කරගන්නට බැරි උනි. ගමන නවතා ආපසු නිවසට ගොසින් කොට්ටය බදාගෙන හඬාවැටෙන්නට තිබුනානම් අපූරුය.

එහෙත් ඒ බවක් පවසා ආපසු යන්නට බැරි නිසාවෙන් කැළුමිණී ඉදිරියට ඇදුනේ දෙපසින් පෙනෙන කොල පැහැ කඳු වලල්ල මත නෙත් අලවා ගෙනය. ඒ හැඟීම් නෙතට රසඳුනක් වුවද සිත තිබුනේ වේදනාවක කීරි ගැසීමෙන් නොසංසුන්වය. 

“අක්ක එතකොට රස්සාවට යන්නේ කොහොමද?”

ඒ නොසංසුන් බවත් මෙතෙක් වේලා එකිනෙකා අතර වූ නිහැඬියාවත් බිඳිමින් සඳරු ඒ ප්‍රශ්නය ඇසීම ගැන කැළුමිණී සිත ඇතුලතින් සඳරුට ස්තුතිවන්ත වූවාය. මක්නිසාදයත් නොඑසේනම් තමා දිගින් දිගටම මුහුන දීමට සිදු වූ අභාග්‍ය සම්පන්න සිදුවීම් ගැන සිතමින්ම තැවෙන්නට උන් නිසාවෙනි.

“මම ගෙදර ඉඳගෙනනෙ වැඩ කරන්නේ. ඒ නිසා ඉතින් ඔෆිස් එකක් කියල යන්න නෑ”

“ගෙදර ඉඳල එහෙම හොඳට හම්බ කරන්න පුලුවන්ද අක්කේ?”

“අපෝ ඔව් මොකද බැරි, මම දැන් පිටරට කම්පනි එකක් එක්කත් වැඩ කරනව. වෙලාවල් වල වෙනස් කම් නම් තියෙනව. ඒ උනාට ඉතින් ඔෆිස් එහෙම යන්න කියල දෙයක් නැති නිසා මට නම් ඇත්තටම ලේසියි. අනික ඉතින් ඩොලර්ස් වලින් නෙ මල්ලි ගෙවන්නෙත්. ඒකත් හොඳයි ඉතින්”

“ඒක තමයි නේද? ඒ උනාට මං නම් ආස කොළඹ ගිහින් රස්සාවක් කරන්න අක්කේ. කඳු අස්සෙම ඉඳල මට නම් එපාවෙලා” සඳරු කියන්නේ හිනාවෙමිනි. කැළුමිණීද මෙතෙක් වේලා සිත අස්සේ හිර වී තිබුණු වේදනා වලාකුලු මදකට පසෙකට කරමින් මනහර සිනහවකින් මුව සරසාගත්තී සඳරුට පිළිතුරු දෙන්නට විය.

“එහෙම තමයි මල්ලි. අපිට ළඟ තියෙන ඒවට වඩා කොහොමත් දුර තියන ඒවනෙ හොඳයි අගෙයි කියල හිතෙන්නේ”

ඒ වදන් සඳරුට මෙන්ම ප්‍රභාත්ටද වලංගු වනවානම් මොනතරම් අපූරුදැයි නොසිතුනා නොවේ. “මාව ඩිවෝස් කරන්න ඕන කිව්ව එක ගැන ප්‍රභාත් දැන් දුක්වෙනවා ඇති ද?” කියන සිතුවිල්ලක් සීතල සුලඟක් මෙන් හදවත පුරා ඉහිරී ගියද ඇමතුමක්වත් කෙටි පණිවිඩයක්වත් නොමැතිව ගෙවුණ දවස් කිහිපයක්ම කියන්නේ වෙනත් කතාවක් බව කැළුමිණී නොදැන උන්නා නොවේ. තමාව මග හැරෙනවානම් ප්‍රභාත්ට තමා අමතන්නට හොඳාකාරවම අවස්තාවන් රැසක් තිබූ බව දන්නා නමුත් ඔහු විසින් එසේ නොකලේ තමාව සදහටම හිතෙන් ඉවත් කර තිබෙන නිසා බව සිතාගන්නට අපහසුවක් නැත. අනෙක් අතට මේ වනවිට ඔහුගේ මුලු ලෝකයම වී හිඳින්නේ අමීශා බවත් කැළුමිණීට රහසක් නොවේ.

පාර දීගේ ඇවිද ගිය සඳරු හැරුනේ දිය අගලක් තිබූ තැනකිනි. ඒ දිය අගල නිසාවෙන්දෝ අවට පරිසරය තිබුනේ පුදුමාකාර සිහිලසකින් පෙඟීය. තෙත තණ කොල බිස්ස මත අඩි තියා, මැට්ටෙන් සකසා තිබු පඩි බැස කැළුමිණී සඳරු පස්සෙන් ඔහුගේ නිවසට ගියාය.

ඒ පහන් පැලක් බඳු නිස්කලංක තැනකි. නිවසේ එක් පසෙක වූ විශාල ගසක එල්ලා තිබූ ඔංචිල්ලාවත්, මුලු මිදුලම වසා ගෙන තිබූ උඳුපියලිය මිශ්‍ර තණකොල ගොන්නත්, ඒ එපිටින සුදු උණු පිරියම් කර තිබූ නිවසේත් තිබුණේ පුදුමතරම් සිරියාවකි. අවට වූ නිහැඬියාව බිඳ වැටුනේ දිය අගලෙන් ගලන දිය රැල්ලේ හඬත් නිවස ඇතුලතින් ඇහෙන මහන මැශිමකි හඬකිනි. 

“ඒ මහන්නෙ අපෙ අක්කා. අක්කා එන්න වාඩිවෙන්න. මං එන්න කියන්නම් අක්කටයි අම්මටයි: කියා සඳරු කුරුල්ලෙකු මෙන් ඇදී ගියද කැළුමිණී උන්නේ වාඩිවෙන්නට උවමනාවක නොවේ. මේ තණකොල බිස්ස උඩ සැතපී, කොල පැහැ තුරුපත් වියන යට නිස්කාංසුවේ සැතපෙන්නට තිබුනා නම් මොනතරම් අපූරුද කියා සිතමිනි.

සෙරෙප්පු ගලවා ඒ තණකොල බිස්ස මත මද දුරක් ඇවිද ගිය කැළුමිණී නැවතුනේ දිය අගල අසලදීය. ඒ අවට වටපිටාවේ වූ සිසිල හිතට සැනසුමක් ගෙන එන්නක් බව හැඟේ.

“ඇයි මේ එලියට වෙලා?” මද සිනාවක් සමග ඇදී ආ කිංකිණි හඬේ හිමිකාරිය සිනහවෙමින් මිදුලට බසිමින් කැළුමිණී වෙත ඇවිද එන්නට විය.

“සඳරුගෙ අක්කද?”

“ඔව්, මල්ලි ඒත් මට කිව්ව පබෝධා නැන්දලයි අහට ගෑණු ළමේක් ඇවිත් කියල. අදනෙ ඉතින් අක්කව දැක්කේ. යන් ගෙට”

ගම්වල මිනිස්සුන්ගේ පමණක් දකින්නට ලැබෙන වසත් සිරියාවක්ද, මනුසත් කමක්ද විදහා පාමින් ඇය දකුණත දිගුකරේ ඒ අතේ එල්ලී නිවසට ගොඩ වෙන්න යැයි කියන්නට මෙනි.

ගෙතුල සිට ඇවිද ආ අම්මා පසුපස උන්නේ සඳරුය. ඉතින් ඇරඹුනේ හිතවත් කමේ කතාබස් ය. සඳමිණී නිවසට වී ඇඳුම් මහන බවත්, විවාහ වන්නට නියමිත බවත් දැනගන්නට ලැබුනේ නිවසේදීම සකසන ලද උණු උණු හැලප රසවිඳිමින් තේ කහට බොද්දීය.

සඳරු නම් උන්නේ වත්තෙ මහත්තයට කෑම දෙන්නට නික්මීය. කෙල්ලන් දෙදෙනාට කතා බස් කරනට ඉඩ දී අම්මා උන්නේද කුස්සියට වී උයමන් වල යෙදෙමින් බව කුස්සිය දෙසින් ඇඩී එන මිහිරි සුවඳින්ද, සද්ද බද්ද වලින්ද කැළුමිණීට තේරුම් ගන්නට හැකියාව තිබිණි.

හැලප පිඟානක්ම කා අහවර කල, කැළුමිණී නික්මුණේ සැඳෑ අන්දකාරය දෙණියායට සම්ප්‍රාප්ත වෙද්දීය. ඒ හිත සතුටෙන්ද කුස රසයෙන්ද පුරවාගෙනය. මෙතෙක් දිනක් සිත ගිනිබත් කල හැඟුම් දහරාව හිත පත්ලේම කොහෙදෝ කෙලවරකට තල්ලු කර දමන්නට ඒ ගෙවුණු හෝරාවක පමණ කාලය උදව්වක් වූ බව කැළුමිණීට සිතේ.

ඉරේ බැසගෙන ගිය රන් පැහැ සේලය උඩින් සඳවතිය පායා එමින් තිබුනි. කොළඹදී සැඳෑවට තිබෙනා සිහිලට වැඩියෙන් මෙහිදී ගත් සිසිල්වී තිබීමම සිතට සැනසුමක් ගෙන දෙන බවකි කැළුමිණීට හැඟුණේ.

සඳරුගේ නිවසේ සීට නැන්දාගේ නිවසට ඇඉද යද්දී ප්‍රභාත්ව මතක් නොවුණ යැයි කියන්නට හැකියාවක් නැත. එහෙත් වෙනදාකට වැඩියෙන් ඒ සිතුවිලි වල බර කැළුමිණීට දැනුනේ අඩුවෙනි. 

නැන්දාගේ නිවසට යෑමට ඇති කුඩා කඳුගැටය නගිනු පිණිස කැළුමිණී පාර පැන්නෙත්, බරාස් හඬින් අන්දකාරය මැද්දෙන් ආ රියක් නතර වූයේත් එකම මොහොතේය. සිත තිබුනේ කලබල වීය. තමා ආවේ වෙනත් කල්පනාවක බව විශ්වාසය. ඒ මොහොතේ සිත තුලට පිලිපන් බිය නිසාවෙන් දෝ පය පැකිලී කැළුමිණී ඇද වැටුණේත්, මෝටර් බයිසිකලයේ එංජිම නැවතුනේත් මෙතෙක් වේලා කහ පැහැති විසල් නෙත් දෙකක් මෙන් දැල්වෙමින් තිබූ රිය පහන් නිවුණේත් එකවරමය.

ඒ මෝටර් බයිසිකලයක් පමණක් නොව. මොටර් බයිසිකලයට ඈඳා වාඩි වී යා හැකි ලෙස සකසා තිබුණු සයිඩ් කාරයක් සහිත රියකි. මෙතෙක් වේලා විදිලි පහන් එලියෙන් නිලංකාර වෙමින් තිබුන දෑස අන්දකාරය මැද්දෙන් තමන් වෙත ඇවිද එන රිය හිමිකර්‍ය්ගේ මුහුණ බලන්නට කටයුතු කරමින් උන්නාය.

“මොන සිහියෙන්ද ඕයි පාරේ යන්නේ? මිනිස්සු අමාරුවෙ දාන්නද හදන්නේ? මොනවහරි උනානම් බලනවකො”

ඒ අඩි හයක් පමණ උසැති, මිනිසා උන්නේ කෝපයෙන් මුහුණ රුදෲ කරගනිමිනි. තම මුලු ගතම නොදන්නා වෙව්ලුමකින් වෙව්ලුම් කනු කැළුමිණීට දැනුනි. වැටීම නිසා සිරුරට දැනෙන වේදනාව හැරෙන්නට වෙන කිසිත් තුවාලයක් හෝ හානියක් නොමැති බව ස්තිර කරගත් පසු කැළුමිණී උත්සහ කලේ උන් තැනින් නැගිටින්නටය. එතැන හිටගෙන උන් මිනිසාගේ අත දිගු කරා නම් පහසුවෙන් නැගිටින්නට හැකියාව තිබෙන බව දැන උන්නද ඔහු උන්නේ කෝපගත් බැල්මකින් තමා දෙසම බලාගෙනය.

“සොරි සර්. මගෙවැරැද්ද. මං වෙන කල්පනාවක ආවේ”

කැළුමිණී සමාව ඉල්ලුවේ සැබෑවටම බිය නිසාවෙනි. එතරම්ම නපුරු පාටක් මුහුණෙන් පෙන්නුවද සැඳෑ එලියෙන් පෙනුන ඔහුගේ තුරුණූ සොඳුරු මුහුණ මතත් දෑස් මතත් රැඳී තිබුනේ කෝපයක සෙවනැලි නොවේ. මෙයැයි කියා කියන්නට අපහසු හුරුපුරුදු බැල්මකි.

“වෙන කල්පනාවක? ලැජ්ජ නැතුව තව කියවන හැටි. දැන් තමුන් මේකෙ හැප්පිල මලා නම් මට පොලිසි ගාණෙ යන්න වෙනවා නේද?”

එහෙත් ඔහු උන්නේ ඒ සියලු සීතල බැල්මවල් ඉක්මවා යමින් ඔහුට අවේණික නොවන කෝපයක් ආදේශ කරගන්නට කටයුතු කරමිනි. ඒ බැල්ම මතම තම දෙනෙත් ඇලවී තිබුනේත්, දෙනෙත් ඇල්මෙන් ගැලවෙන්නට තමනට නොහැකි වුයෙත් ඇයිද කියා සිතමින් ඉද්දී දෙසවන මත රැඳුනේ සුපුරුදු හඬකිනි. 

“අනෙ පුතේ මං මේ බලන්න ආවේ ඇයි පරක්කු කියල” කියමින් මාතෘත්වයත් ඒ හා සමගාමීව හද පත්ලෙන් නැගී ආ රැකවරණය ගැන බැල්මකුත් ගෙන එමින් උන් නැන්දාය.

“ආන්ටි මෙයාව දන්නවද?” නාදුනන මෝටර් සයිකල් කරු අසන්නේ නැන්දාගෙනි. එහෙත් ඔහුගේ දෙනෙත් තිබුනේ තමා වෙතම ඇලවී බව කැළුමිණීට මතකය.

“අනේ ඔව් මිස්ට සූරියබණ්ඩාර. මගේ අක්කගෙ දුව. මේ දවස් ටිකේ අපෙ ගෙදර ඉන්නේ”

මිස්ට සූරියබණ්ඩාර

එසේනම් මේ හේ වතු හිමිකරුය. තමා පොල් මැල්ලුම් හැදුවේ මොහු වෙනුවෙනි. මෙවන් නපුරෙකු වෙනුවෙනි.

නැන්දාගේ අතේ එල්ලී නිවස බලා යද්දීත් “අපරාදෙ පොල් මැල්ලුමක් හැදුවෙ මේ වගේ මිනිහෙක් වෙනුවෙන්” කියල හිතුනද හිස හැරවී පහත බැලුනේ නිරායාසයෙනි.

සයිඩ් කාරය සහිත මෝටර් බයිසිකලය අඩ අඳුරේ නවතාගෙන ඔහු ඒ නපුරු බැල්මෙන්ම තමාත් නැන්දාත් යන මග දෙසම බලා ඉඳින බව කැළුමිණි දුටුවාය.

නොඑසේනම් ඒ දසුන හිත මත මැකිය නොහැකි සිතුවමක් මෙන් ඇඳුණාය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles