එයා මැරිලා හුඟක් කල් 5

පහුවෙනිදා ඉඳලා මම මගේ වැඩ කටයුතු කරන්න පටන් ගත්තා.අනික් ලෙඩ්ඩුන්ගේ වැඩකටයුතු ඉවර වුණාට පස්සේ  වාට්ටුව භාරව ඉන්න අනික් දොස්තරට වැඩ ටික බාර දීලා සම්පූර්ණ දවසම වෙන් කරන්න තීරණය කළේ ප්‍රහාන් වෙනුවෙන් .
කිසිම කෙනෙකුගේ මූණක් බලලා වචනයක් කතා කරන්නේ නැතුව හිටපු ප්‍රහන්ව මම මගේ වාහනේ දාගෙන වාද්දුව හරියේ තියෙන බොහොම නිස්කලංක මුහුදු වෙරළකට අරගෙන ගියා. පළවෙනි දවස දෙක වචනයක්වත් කතා කරන්නේ නැතුව ඔහේ මුහුද දිහා බලාගෙන හිටපු ප්‍රහාන් හතරවෙනි දවසෙදි සරුංගලයක් අරගෙන දුවගෙන යන පොඩි එකෙක් දිහා තමන්ගේ ඇස් බෝල යවන බව මම දැක්කා.මේ අතර වාරයේදී මම ප්‍රහාන් එක්ක හුඟක් දේවල් කතා කළා.කාලගුණය ගැන දේශපාලනය ගැන සිනමාව ගැන සින්දු ගැන පරිසරය ගැන සත්තු ගැන මේ වගේ ගොඩක් මාතෘකා ගැන මම ඔහේ කතා කළා. ඒක හරි ලේසි දෙයක් හැටියට එළියෙන් බලාගෙන ඉන්න අයට හිතුනට ඇත්තටම  ඒක හරි අමාරුයි.තමං කියන දේවල් වලට කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැති කෙනෙකුට  තමන්ගේ කටහඬේ තියෙන ප්‍රාණවත්කම බිඳ ගන්නේ නැතුව එක දිගටම කතා කරන්න සිද්ධ  වීම  ඇත්තටම හරි අමාරු දෙයක්.විශේෂයෙන්ම මානසික වෛද්‍යවරයෙක් ලග පුදුමාකාර ඉවසීමේ ගුණයක් තියෙන්න ඕනෙයි කියල පොත්පත්වල ලියවිලා තියෙන්නෙත් ඒ හින්දා වෙන්න ඇති. ඊළඟ දවසේ මම වැල්ලේ හිටපු ළමයි දෙතුන් දෙනෙකුට සරුංගල් අරන් දීලා ප්‍රහාන් ට පේන්න අරින්න කියලා කිව්වා.සතියකට විතර පස්සේ බොහොම වෙනස් ඇස් දෙකකින් ඒ දිහා ප්‍රහන් ඒ දිහා බලන් ඉන්නවා කියන එක නම් මට තේරුණා.
මම ප්‍රහාන් එක්ක කතා කර කර වැල්ල දිගට ඇවිදගෙන ගියා.

ලිප්ස් බාර් එකෙන් සොෆ්ට් බියර් කෑන් දෙකකුත් බිබී කිලෝමීටර් දෙක තුනක් ඔහේ වැල්ල දිගේ ඇවිදගෙන ගියා. මම තරම්ම වේගයෙන් නැති උනත් ප්‍රහාන් බොහොම හෙමින් බියර් එක තොල ගාන බව මම හොඳින් බලාගෙන හිටියා.මුලින් මුලින් බොහොම පොඩ්ඩක් තොල ගාපු බියර් එක පැය බාගෙකට විතර පස්සේ සාමාන්‍ය උගුරු වලට පරිවර්තනය වෙන බව මම හොඳින් දැක්කා.  ඇත්තටම ඒකත් හොඳ පරිවර්තනයක් බව මට තේරුනා. සෑහෙන කාලයකට පස්සේ ප්‍රහාන් ගේ මූනේ වෙනසක් මම දැක්කා. ඒ අයිනේ තිබිච්ච ගලක් උඩ අපි දෙන්නා ඉඳගත්තා.
මම කියන දේවල් ප්‍රහන්ට ඇහෙනවද නැද්ද කියන එක මට හිතාගන්න බැරුව ගියා.

“ප්‍රහාන් .. මට තේරෙනවා ඔයාගේ ප්‍රශ්නය…ඔයාගේ හිතේ දුක හිර කරගෙන ඉන්න එපා.මම විතරයි මෙතන ඉන්නේ.මෙච්චර දවසක් ඔයා මගේ ළඟින්ම හිටියා.ඔයාට දැනෙන්න ඕනේ මම ඔයාගේ හොඳම යාලුවෙක් කියලා…ප්‍රහාන් ..අඬන්න..බය නැතුව අඬන්න..කෑ ගහලා අඬන්න..හිතේ දුක ඉවර වෙනකන් ඉකි ගහලා අඬන්න..”

මං කිව්වා ..

ප්‍රහන් ගල් පිළිමයක් වගේ මුහුද දිහා බලාගෙන හිටියා. එදා දවසෙදිත් මට ඊට වඩා දෙයක්  ප්‍රහන්ගෙන් එලියට ගන්න බැරුව ගියා.

ඊට පස්සේ hospital එකේ වැඩ වලින් පස්සේ හුඟක් දවස් වලට මම ප්‍රහාන් එක්ක එළිය ඇවිදින්න ගියා.වේදිකා නාට්‍ය චිත්‍රපටි බලන්න ගියා.මහ රෑ පාළු පාරවල් දිගේ බියර්ටින් දෙකකුත් බිබී ඔහේ කතා කර කර ඇවිද ඇවිද ගියා. එදා එහෙම ගියපු දවසක ප්‍රහානගේ පළවෙනි බියර්ටින් එක ඉවර වුණාට පස්සේ මාස ගානකට පස්සේ එයා එක ඇඟිල්ලක් උස්සලා තව ටින් එකක් ඕනේ බව මට කිව්වා.එදා  තරම් මට දැනුණු සතුටක්.. මම එයාට තව ටින් එකක් අරන් දුන්නා . ඇල්කොහොල් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මනුෂ්‍ය ශරීරයට හොඳ නැහැයි කියන මතයක තිබුණත්..ඇත්තටම මනස ඒකාකාරී නැති කෙනෙකුගේ එහෙමත් නැත්නම් මනස කලබල වෙලා තියෙන කෙනෙකුගේ යම්කිසි තත්ත්වයකට මනස පාලනය කරන්න ඇල්කොහොල් අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපේ මිනිස්සු හැමදාමත් පිටපොට පටලවගන්න නිසා ඇල්කොහොල් අධිමාත්‍රාවෙන් ගන්න නිසා මුළු ලෝකයම කණපිට හරවා ගන්නවා.ප්‍රහාන්ගේ මොලේ රසායනික ද්‍රව්‍ය වෙනස් වෙලා තිබුණේ බොහොම පොඩි අංශු ප්‍රමාණයකින්..ඇත්තටම ඒ වෙලාවේ ප්‍රහන්ට ලොකුවට බෙහෙත් දෙනවට වඩා අවශ්‍ය වෙලා තිබුණේ වටපිටාව හරහා ලබාදෙන මානසික සුවය.ශ්‍රී ලංකාව වගේ දුප්පත් රටක එක ලෙඩෙක් වෙනුවෙන් එච්චර කාලයක් කැප කරන්න බැරිකම ඇත්තටම ලොකු කනගාටුවක්.නමුත් ප්‍රහාන්ගේ ප්‍රශ්නයේදී යම්කිසි අභිරහසක් විසඳ ගන්න තියෙන එකම මාර්ගය මේ කතා නොකරන මනුස්සයාව කතා කරවීම නිසා මගේ කාලය කොච්චර නාස්ති වුනත් මට ප්‍රහන් වෙනුවෙන් ලොකු කාලයක් වැය කරන්න සිද්ධ වුණා.
දෙවෙනි ටින් එකෙන් භාගයක් බීපු ප්‍රහාන් අරලිය ගස්වලින් හෙවන වෙච්ච මීටර් 100ක් විතර ඈතින් තිබිච්ච පනිදිවිල කෝවිලේ පත්තු කරපු සුවඳ දුම් සුවඳ කූරු සුවඳින් පරිසරය සුවඳවත් වෙච්ච  අල්පේච්ඡ ස්වභාදහමේදී තමන්ගේ දුක හිතේ විශ්වාසයක් ඇති කරන තිබුණු මාත් එක්ක දිග ඇරියා..

ඒ හරියටම පැයකට කිට්ටු කාලයක් මීහරකෙක් වගේ ඉකි ගගහ අඩද්දියි…

ඇති තරමක් තමන්ගේ හිතේ හිර කරගෙන තිබුණු වේදනාව දුක එළියට යනකම් අඬන්න මම ප්‍රහාන් ට ඉඩ දුන්නා. අන්තිමේදී ප්‍රහන් පරඩැලක් වගේ වුණා. මට හිතුණා ඒ අඬලා අඬලා හෙම්බත්වෙලා කියලා.

“ප්‍රහාන් .. මම ඔයාගේ හොඳම යාළුවා..මට පුළුවන් ඔයාගේ ප්‍රශ්නෙට විසඳුම හොයලා දෙන්න.මේ ලෝකේ බැහැයි කියල දෙයක් නැහැ ප්‍රහාන් . බැහැ කියන වචනයත් ලෝකයට ඇවිල්ලා තියෙන්නේ  පුළුවන් කියන වචනයට විරුද්ධ වෙන්න විතරයි…ඔයාගේ වටේ ගොඩක් අය ඉන්නවා.ඔයා කතා නොකරන තාක් මේ ගොඩ ගැහිල තියෙන ප්‍රශ්න මොකක්වත් අපිට විසඳගන්න බැරුව යනවා..”

“ඩොක්ටර් … ම.. ම.. ම.”

ගොත ගගහා තමන්ගේ දිව හසුරවගන්න උත්සාහ කරන හැටි මම බලාගෙන හිටියා.ඇත්තටම මේක මාස ගානකට පස්සේ මම ලබපු විශාල ජයග්‍රහණයක්.මගේ ඇස් දෙකේ කඳුළු තිබුණේ මේ අහිංසක  කොල්ලාව අපරාධකාරයෙක් වෙන එක නවත්තගන්න ටිකක් හරි මම උදව්වක් කලානම් කියන සතුට නිසයි. ඉක්මනින් ම රාජරත්නම් ට කතා කරන්න උවමනාව තිබුණත් රාජරත්නම් ගෙ දුරකථන අංකය කොයිවෙලාවකවත් වැඩ කළේ නැහැ.
මාළිගාවත්ත පොලිසියට කතා කරපු හැම වෙලාවකම කිව්වේ එයාලගෙ ප්‍රධානියා දින නියමයක් නැතුව නිවාඩු අරගෙන කියන එක විතරයි. කොහේ ගිහින්ද මොනා කරනවද කියන එක කවුරුවත් දැනගෙන හිටියේ නෑ..සමහර වෙලාවට මට බය හිතුණා. මොකක් හරි අකරතැබ්බයක් වෙලා රාජරත්නම්ගේ ජීවිතයට කරදරයක් වෙලා නම් මේ සේරම ගැටලුව ලිහන එකේ වගකීම මට භාර වෙනවද කියන එක..

තවත් දවස් කීපයකට පස්සේ ප්‍රහාන් ටිකෙන් ටික යථා තත්ත්වයට පත්වෙන හැටි මම බලාගෙන හිටියා.. ප්‍රහාන් හරි ආසයි පරිගණකය අතපත ගාන්න.කොහොමත් software engineer කෙනෙක් නිසා ඒකෙ ආසාව නිතැතින්ම ඔලුව ඇතුලේ ඇති කියලා මට හිතුනා.ඒ හින්දා ප්‍රහන්ගේ ගෙදර තිබුණු පරිගණකය එයාගේ අම්ම ලව්වා  නවාතැන් අරගෙන හිටපු නවාතැන් පලට ගෙන්වා ගත්තා.

ඒක දැකපු ප්‍රහාන් හරිම සන්තෝස වුණා.එයාට ඒකෙ මුරපදය මතක තිබුණා.ඒක ඇත්තටම හොඳ ලක්ෂණයක්. ඒ කියන්නේ ප්‍රහානගේ මතකය ටිකෙන් ටික ආපහු එළියට එන බව කියලා මට හිතුනා. මේ කාලය වෙනකොට එයාගේ අම්මත් දවල් වරුවට සෑහෙන වෙලාවක් ඇවිල්ලා ප්‍රහාන්  එක්ක කතා කරලා කාලය ගත කලා. හැබැයි පහුගිය වේදනාකාරී සිදුවීම් එකක්වත් එයත් එක්ක කතා කරන්න එපා කියලා මම කලින්ම අම්මව දැනුවත් කළා. බැරි වෙලාවත් ප්‍රහාන් එයාගේ අතීතය ගැන අම්මා එක්ක කතා කරන්න හැදුවොත් ඒක නවත්තන්න එපා කියන එකත් මම කිව්වා.
හැම  තිස්සේම අම්මා එක්ක අපේ නවාතැන් පොලේ ගත කරන හැම වෙලාවකම recorder එකක් සක්‍රිය ව තියන්න මම කල්පනාකාරී වුණා. මට ඒ දේවල් අහන්න වෙලාවක් නැති වුණත්  කවද හරි දවසක රාජරත්නම් හම්බුනහම ඒ පීස් ටික බාර දෙන්න ඕන කියලා මම හිතුවා.සමහරවිට ඒ දෙබස්වල එයාට අවශ්‍ය කරන දේවල් තියෙන්න පුළුවන්.

මගෙත් එක්ක එකම නවාතැන්පලේ නවාතැන් ගන්න ප්‍රහන් ඇවිල්ලා එතකොට මාස කීපයක්  විතර ගත වෙලා තිබුණා. ඒ කාලය ඇතුළතදී ප්‍රහානගේ ලොකු වෙනසක් හදාගන්න මට පුළුවන් වුණා. මේ ගැන මං හොස්පිට්ල් එකේ ඩිරෙක්ටර් මැඩම් වත් සැරින් සැරේට දැනුවත් කළා.

ප්‍රහන් එයාගේ කොම්පියුටර් එක හරි ආසාවෙන් පරිහරණය කරන්න පටන් ගත්තා.හැබැයි ඒක පටන් ගන්නකොට  ඉස්සරහ තිරයට දාලා තිබුණේ ආශිකා ගේ ලස්සන ෆොටෝ එකක් . ප්‍රහාන්  ඒක දිහා සෑහෙන වෙලාවක් බලාගෙන හිටියා. කෑ ගහලා ඇඬුවේ නැති උනාට ප්‍රහානගේ ඇස් වල කඳුළු පිරිලා තියෙනවා මම දැක්කා.ප්‍රහන්ගේ හිතට කතා කරන්න පුළුවන් හොඳම වෙලාව මේක තමයි කියලා මට හිතුනා.

ගල් පිළිමයක් වගේ ප්‍රහාන් ආශිකාගේ ෆොටෝ එක දිහා බලාගෙන ඉන්නකොට මම එයාගේ හිතට ඇහෙන්න කතා කළා.එයාට මතක හැම දෙයක්ම කිව්වහම මේ  ප්‍රශ්නය අපිට විසඳගන්න පුළුවන් බව මම එයාට තේරුම් කරලා දුන්නා.අපි ආදරේ කරන මිනිස්සු අපිට නැති උනාම ජීවිතේම කණපිට හැරෙනවා වුණත්  අපි ආදරය කරන මිනිසුන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන්නම් ඒක  තමයි මේ ලෝකෙ තියෙන වැදගත්ම දේ කියන එක මම ප්‍රහාන් ට තේරුම් කරලා දුන්නා.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles