මිනිස්සු ජීවත් වෙද්දි බොරු කියනවනෙ. අපි හරි කැමතියි බොරුවක් කීම නිසා කෙනෙක් අපේ නොහොඳ නොදැක හොඳක් දකිනවනම්.
බොරු කියන්නෙ නැති, එහෙම නැත්තම් කවදාවත්ම බොරුවක් කියපු නැති කෙනෙක් අපි අතරෙ ඉන්න පුලුවන් කියන එක විශ්වාස කරන්න අමාරු දෙයක් උනත් එහෙම කෙනෙක් ඉන්නවනම් මම එයාට මගේ උපහාරය පුදකරනවා!
මේ බොරු අපිට එක එක විදියට කොටස් කරන්න පුලුවන් නෙ. අපි තව කෙනෙක්ව රිදවන්න කියන බොරු, අපි අපේ වාසියට කියන බොරු, තව කෙනෙක්ට හොඳක් කරන්න කියන බොරු වගේ ගොඩක් ඒව.
සමහරු කියනව තව කෙනෙක්ට හොඳක් කරන බලාපොරොත්තුවෙන් කියන බොරු නිසා පව් පිරෙන්නෙ නෑ කියල. ඒ උනාට ඉතින් බුද්ධාගමේ නම් මුසාවාදය කියන්නෙම පවක් කියල තියෙන හන්ද අපිට එහෙම හිතන්න බෑ.
බොරු කියන එක වරදක්, පාපකර්මයක්.
ඒත් ඔය හැම බොරුවටම කලින් අපි කරන වැඩිපුරම නරක බොරුව මොකද්ද දන්නවද? ඒ අපි අපිටම කරගන්න බොරුව.
ඔව් ඒක තමයි නරකම.
සමහර වෙලාවට අපි එක එක මිනිස්සු ඉස්සරහදි එක එක චරිත රඟපානවනෙ. ජීවිතේ කියන්නෙ රඟමඩලක්. මේ රඟමඩලෙදි අපි එක එක චරිත රඟපානවා. ඔය අතරෙ සමහරු ඉන්නව තමන්ගෙ නැති හොඳ මවාගෙන, තමන් මාර හොඳ, අවංක, පිලිවෙල, නිහතමානී, දේශාභිමානී මෙකී නොකී හොඳම හොඳ උපහැරණ වලින් තමන්ව ලෝකය ඉස්සරහ “චරිතයක්” කරන්න මහන්සිවෙන.
අනිත් අය මේ බොරුකාරයන්ව දකින්නෙ “මාරම Perfect මිනිස්සු” එහෙම නැත්තම් “ලෝකෙ පිනට පහල වෙච්ච මිනිස්සු” වගේනෙ.
දීර්ඝකාලීනව මෙන්න මේ Perfect කියන චරිතෙ ඇතුලෙ රඟපාන්න යන එකෙන් වෙන්නෙ අපිට අමතක වෙනව ඇත්ත මොකද්ද බොරුව මොකද්ද කියන එක. මොකද අපි සම්පූර්ණ අවධානය දීල තියෙන්නෙ අපේ හරි මවාගත්ත චරිතයට, අපි සම්පූර්ණ රැකවරණය දීල තියෙන්නෙ මවාගත්ත චරිතයට.
දන්නෙම නැතුව ඔයාගෙ ඇත්ත ජීවිතේ පිරිහිලා. විනාශවෙලා.
ඉතින් හොඳ මනුස්සයෙක් වෙන්න ඕන නම් හොඳ මනුස්සයෙක් වෙන්න. හැබැයි කාටවත් පෙන්න, කාගෙවත් අවධානය දිනාගන්න හිතාගෙන හොඳ මනුස්සයෙක්ගෙ චරිතෙ රඟපාන්න එපා.
මොකද දන්නෙම නැතුව ඔයා, ඔයා විසින්ම හදාගත්ත බොරුවක් ඇතුලෙ ජීවත්වෙනව. ඔයාගෙ බොරුවලට ඔයාම රැවටෙනව. අන්තිමේ ඔයාම හදාගත්ත බොරුවක් ඇතුලෙ ඔයා තනිවෙනව.
ඉතින් ඇත්තට මූණ දෙන්න.
ඇත්ත ලෝකෙ ජීවත්වෙන්න.
එහෙම මනුස්සයෙක් “හොඳ බොරුකාරයෙකුට” වඩා ඇත්තටම සෑහෙන වටිනවා!