මා හද තුළ ඔබ 48

පොලිස් දෙපාර්තමේන්තුවට එය සුවිශේෂ සිදුවීමක් විය. ඔවුහු වහ වහා සමනල් වෙතින් කට උත්තරයක් ලබාගෙන පැමිණිලි පොතේ පැමිණිල්ලක් සටහන් කරගත් අතර වහා ක්‍රියාත්මක වී උදාරි ව රෝහල්ගත කළහ. ඒ සමග ම ගයාත්‍රි ව අත්අඩංගුවට ගැනීම සඳහා ද ඒ රහස් කුටිය නිරීක්ෂණය කිරීම පිණිස ද පොලිස් කණ්ඩායම් යොමු කරවන ලදී. නමුත් ඒ වෙත්දීත් ගයාත්‍රි ගෙදරින් පිටත් වී සිටියා ය. සිදුවෙන්නට නියමිත දෙය ගැන දිවැසින් වාගේ දැනගෙන හැකි ඉක්මනින් රටින් පිටත් වී යාම සඳහා ඇය කටයුතු සූදානම් කරමින් ද සිටියා ය.

ඒ සිය මව් බව තහවුරු වීම සමනල් ට නිම් හිම් නොවන සතුටක් වූයේ ය. මේ සිදු වූ හා සිදු වෙමින් පවත්නා දේවල් ඇදහිය නො හැකි තරම ය. නමුත් මොනවා කෙසේ සිදු වී හෝ දැන් අම්මා ඔහු ගේ අත් දෙකට මැදි වී ගෙන හිඳී. උදාරි ව රෝහල් ගත කළ වෙලාවේ සමනල් ඈ වැළඳගෙන ඉකිබිඳ හැඬුවේ ය. සැබවින් ඒ වෙලාවේ ඔහු ට හඬන්නට ඕන වී තිබුණා නොවේ. ඒ දිය වී ගියේ කල්ප කාලයක් ඇස් වල හිර කරගෙන උන් කඳුළු ය. හදවතේ තද කරගෙන සිටියා වූ දුක ය. ඒ දර්ශනය දෙස බලා උන් තඹරු ට ඊටත් වඩා දුක සිතිණ. එය හිත හිරිවට්ටන්නා වූ දසුනකි. පිරිමින් කඳුළු නො හෙළා සිටිනා තරමට හොඳ ය. සිය දෑස් සාගරය සේ හැඬුවත්, ආදරය කරනා පිරිමි ඇස් වල කඳුළක් දකින්නට තරම් හයියක් ගැහැනුන්ට නැත.

“මේ හැම දේම ලේසි නෑ කියල මං දන්නව සමනල්. ඒත් හිත හයිය කරගන්න. අපි මේකට මූණ දෙමු”

සසල ව ගොස් සිටිය ද තඹරු ද මේ විදිහට රහස් හෙළිදරව් වී ගැටළු විසඳෙන එකට කැමති වූවා ය. අම්මා ව රෝහලට භාර දී ඔහු පිටත්ව ආවේ හිතකින් නොවේ. නමුත් ඇය වෙනුවෙන් පොලිස් ආරක්ෂාව යෙදවිණ. ඒ නිසා බිය වෙන්නට හෝ සැක කරන්නට හේතුවක් වූයේ නැත.

එක පිට එක මේ තරම් දරා ගත නො හැකි සිදුවීම් පෙළකට මූණ දෙන්නට වීම පිරිමියෙකුට වුව පහසු නැත. සමනල් සිටියේ ද එකී පීඩනය තුළ ය. ඊළඟට කුමක් සිදු වන්නට නියමිත ද කියා සිතීම ම ඔහු ගේ පීඩනය දැඩි කරවී ය. අනිත් අතට එය වෙහෙසකර දවසක් වූයේ ය. ගයාත්‍රි ගෙදරින් නික්ම ගොස් ඇති බව පොලීසිය විසින් ඔහු ට දැනුම් දෙන ලදී. දැන් ඒ ගෙදර සාමාජිකයන් අතරින් නිවැරදි සිහි කල්පනාවෙන් සිටිනා එක ම පුද්ගලයා සමනල් ය. සියල්ලන් ගැන වගකීම් දැරිය යුතු වන්නේත් සියල්ලෙහි වගකීම් දැරිය යුතු වන්නේත් ඔහු ය. කෙසේ වෙතත් ඒ වෙහෙසකර දවස පුරා තඹරු ඔහු ළඟින් රැඳී සිටීම සමනල් ගේ හිත පිරිමදිනා සුවයක් දැනවූ ලොකු ම හේතුවයි.

“වොශ් එකක් දාගෙන පුතා අද මෙහෙ ඉන්න. ගෙදර යන්නවත් තනියම ඇනෙක්ස් එකේ ඉන්නවත් ඕන නෑ”

හැන්දෑවේ තඹරු ව ගෙදර බස්වා යන්නට පැමිණි විට රන්මුතු කීවා ය. ඇය ඒ තීන්දුව දුන්නේ ඊට පෙර දිවාකර සමගින් කතිකා කර ගෙන තිබූ පරිදි, සමනල් ගේ මානසිකත්වය ද ආරක්ෂාව ද ගැන සිතා ය.

“කමක් නෑ ආන්ටි. මට ඇනෙක්ස් එකේ ඉන්න පුළුවන්”

සමනල් තරමක් අදිමදි කළේ ය.

“මොන පිස්සුද…මේ දවස් දෙක තුනේ තනියම ඉන්න ඕන නෑ පුතා. සඳැස් එක්ක රූම් එක ශෙයා කරගන්න පුළුවන්නෙ”

දිවාකර අවසන් තීන්දුව දුන්නේ ය. සමනල් ඊට එරෙහි වන්නට ගියේ නැත. තනි වෙන්නට බැරි ඇතැම් දවස් ජීවිත වෙත උදා වේ. හිත කීරි ගැසෙනා අවිනිශ්චිත බවක් සහිත එවන් දින වල වැටෙන්නට නොදී හිතින් අල්වා ගෙන හිඳිත හැකි ආදරණීය මිනිසුන් කිහිප දෙනෙකු හෝ ජීවිතයක සිටිත යුතු ය. විශේෂයෙන් ම පවුලක් කියන්නේ එහෙම අවස්ථාවක යෝධ හයියකි. නමුත් සමනල් ට පවුලක් ඉතිරි වී නැති තරමි. තාත්තා රිය අනතුරක් වී රෝහලේ ය. හැන්දෑවේ ඔහු වෙත දැඩි සත්කාර ඒකකය තුළට යන්නට අමුත්තන්ට ඉඩ නො ලැබිණ. ඩිලන් ගේ තත්වය තරමක් බරපතල අතට හැරී ඇති බව රෝහල් බලධාරීන්ගෙන් දැනගන්නට ලැබිණ. අම්මා – උදාරි වෙනුවෙන් ද වහ වහා වෛද්‍ය ප්‍රතිකර්ම ආරම්භ කොට තිබිණ. ඇගේ ශරීර සෞඛ්‍යය ගැන සම්පූර්ණ නිගමනයකට පැමිණීම සඳහා වෛද්‍ය පරීක්ෂණ ගණනාවක් සිදු කරන්නට නියමිත වූයේ ය. ඉතින් මේ වෙලාවේ පවුලක් කියා කියන්නට සමනල් ට සිටිනුයේ දිවාකර පවුල ය. දිවාකරලාට බලවත් ම අකටයුතුකම් සිදු වී ඇත්තේ ඩිලන් රණසිංහ ගෙනි. ඇතැම් ඒවා සමනල් දන්නා අතර නොදන්නා තව බොහෝ දේ පැවතිය හැක. සිය ව්‍යාපාරය බංකොලොත් කොට දමන්නට හේතු වූ උපාය ද ඩිලන් ගේ බව දිවාකර හෝ රන්මුතු තවම දන්නේ නැත. තඹරු ඒ ගැන මේ වන තුරුත් ඔවුන්ට කියා තිබුණේ නැත. ඒ බව දැනගත්තත් දිවාකරලා ඔහු ට පිටුපාන්නට තරම් කුරිරු මිනිසුන් නොවන බව දැන් සමනල් ඉඳුරා දනී. ඔවුන්ට තිබෙනුයේ මිනිස්කම් අතින් පොහොසත් හදවත් ය. මේ වෙලාවේ ඔවුන් ඔහු  අත් නො හැර සිටීම ම සමනල් ට හිත සවි ගන්වා ගෙන සිටීමට හේතුවකි.

දිය නා සඳැස් ගේ ඇඳුමක් මාරු කොට ගෙන රාත්‍රිය සඳහා ඔහු හිත ලිහිල් කර ගත්තේ ය. දවල් දවසේ ම අහරක් නොගෙන සිටි සමනල් වෙනුවෙන් රන්මුතු විශේෂයෙන් රෑ කෑම පිසුවා ය. නමුත් කුස පිරෙන්නට කන්නට තරම් හිතක් ඔහු ට වූයේ නැත.

“ඔයාගෙ අම්මටයි තාත්තටයි කියමු දිවාකර පබ්ලිශර්ස් වට්ටන්න අපේ තාත්ත කරල තියන දේ. මේ වෙලාවෙ ඒක දැනගෙන නොකියා ඉන්නකොට මට දැනෙන්නෙ නිකං මාත් තාත්තට හවුල් වෙච්ච හොරෙක් වගේ”

රෑ කෑමෙන් පසු සමනල් කැෆේ එකේ මිදුලෙහි වන කුඩා මේසයක අසුන් ගෙන සිටියදී එතැනට පැමිණි තඹරු ට කීවේ ය. ඔහු ගේ ඇස් වල වූයේ වැරදිකාර බැල්මකි. ඇය ඉතා මුදු මොළොක් බැල්මකින් ඔහු ගේ ඇස් වලට එබුණා ය.

“අපි කියමු. ඒත් ඔයා වැරදිකාරයෙක් කියල මොහොතකටවත් හිතන්නෙපා”

“ඔයාගෙ අම්මටයි තාත්තටයි මාවත් එපාවෙයිද…”

“ඒ කොහොම වුණත් මට එපා වෙන්නෑ. ඔයාට ඒ ඇතිනං…එච්චරයි”

සමනල් සුසුමක් බැහැර කළේ ය. සීතල වායු ගෝලයෙහි පුංචි එළියක් අරගෙන කණාමැදිරියෙකු ගමනක් යමින් හිටියේ ය.

“අම්මට මොනා වෙයිද කියල මට හිතාගන්න බෑ”

“මෙඩිකල් ට්‍රීට්මන්ට්ස් කරන්න වෙයි ටික දවසක්. මෙන්ටල් ට්‍රීට්මන්ට්ස් වලටත් දායි මට හිතෙන හැටියට”

“තමන්ගෙ අම්ම පිස්සෙක් වෙලා ඉන්නව දකිද්දි…එයාගෙ එකම පුතාට දැනෙන හැඟීම කොහොමද කියල ඔයාට හිතාගන්න පුළුවන්ද තඹරු…”

“අපි අම්මව සනීප කරගමු. ඔය තත්වෙන් හරි එයාව හම්බවුණානෙ. එයාගෙ ඉතුරු ජීවිත කාලෙම ආදරෙන් බලාගන්න ඔයා ඉන්නවනෙ”

“මට මෙලෝ සිහියක් නෑ වගේ තඹරු”

“ඔයාට සිහියක් නැති වුණත් මං ඉන්නව. ඒත් ඔයා සිහියෙන් ඉන්න. ලීගලි දේවල් සිද්ද වෙද්දි අපිට දුර්වල වෙලා ඒවට මූණදෙන්න බෑ”

“මේ ඔක්කෝටම කලින් ඉරණම මට ඔයාව මුණගස්සන්න ඇත්තෙ…නැත්තං මං තනිවෙන නිසා වෙන්නැති”

සමනල් ගේ ඇස් වල තෙත පාටින් කඳුළු පටලයක් බැඳිණි. තඹරු ට වැඩි වැඩියෙන් ඔහු ගැන ආදරේ සිතිණ. යන්තම් හෝ ඒ අතැඟිලි තුඩගින් අල්වාගන්නට ඇයට නො සිතුණා නොවේ. නමුත් සමහර වෙලාවට හිතට හිතෙනා සිතිවිලි වලට ඉඩ දෙන්නට පුළුවන් වෙන්නේ නැත.

වෙහෙසක් මිස නිදිමතක් ඔවුන් කිසිවෙකුට දැනුණා නොවේ. දිවාකර ගේ තත්වය බරපතල අතට හැරීම ද ගයාත්‍රි ආ ගිය අතක් නැති වීම ද මාතෘකාව වී තිබිණ. ඔවුන් හිටියේ මතු මහලේ කුඩා ආලින්දයෙහි සෝෆා කට්ටලයේ අසුන්ගෙන ය.

“අපේ තාත්ත තමයි අංකල්ගෙ බිස්නස් එක බංකොලොත් කරල තියෙන්නෙත්”

සමනල් විසින් ඒ බෝම්බය අත්හැරියේ තවත් දරා සිටිය නො හැකි තැන ය. සැබවින් එය නො කියා ම  සිටියා නම් හොඳ යයි තඹරු ට සිතිණ. ඒ දිවාකර ගේ, රන්මුතු ගේ සේ ම සඳැස් ගේ ද මුහුණු වල වූ විශ්මිත බරතල පෙනුම උහුලා ගත නො හැකි තරම් වූ නිසා ය.

“ළඟදි දවසක තඹරු ම තමයි සර්කියුලේශන් මැනේජර්ගෙන් ඔය කතාව දැනගෙන තියෙන්නෙ. ඇත්තටම තඹරු පහුගිය ටිකේ අසනීප වෙන්නත් හේතුව ඕක ආන්ටි. අපි ඒක කොහොම අංකල්ට කියන්නද කියල හිතාගන්න බැරුවයි පහුගිය දවස් ටික ගතකළේ. ඒ එක්කම අම්ම අපිව දාල ගිහිං නෑ කියල හිතන්න දේවල් අංකල්ගෙන් දැනගත්ත නිසා තමයි මං ගෙදර අත්ඇරල ගියෙත්. අපි මේක කොහොම හරියට පොටක් පාදගන්නද කියල හිතාගන්න බැරුව හිටිය දෙයක් අංකල්…”

“මට තේරෙනව”

දිවාකර අසීරුවෙන් උගුර පාදා ගත්තේ ය. රන්මුතු, ඔහු ගෙන් කුමක් කියවෙන්නට නියමිත ද කියා සිතා ගත නො හැකි ව මුව අයා බලා සිටින්නට වූවා ය. තඹරු ගේත් සමනල් ගේත් සියුමැලි හිත්, වියපත් මිනිසුන් ගේ නපුරුකම් වල විෂ දළින් නො පෑරිය යුතු වග පමණක් ඇය දැන සිටියා ය.

“පුතා ඒ කිසි දේකට චූදිතයෙක් නෙවෙයි කියන එකත් මං දන්නව. ඒකනිසා ඒ දේවල් ගැන පුතා ගිල්ටි ෆීලින් එකක් තියාගන්න එපා. අපි ඉස්සෙල්ලම දැන් බරපතල ප්‍රශ්නෙ විසඳගෙන ඉමු”

තාත්තා ව බදා වැළඳගන්නට තරම් ආදරයකින් තඹරු ගේ ගෑනු හිත පිරී ගියේ ය. මේ වෙලාවේ තාත්තා ඒ තරම් වටහා ගැනීමකින් යුතුව හැසිරේවියි ඇය බලාපොරොත්තු වූයේ ම නැත.

“අනේ ඔව් පුතා. ඔයා කොහොම ළමයෙක්ද කියල මේ ටික දවසෙදි අපි හොඳට තේරුං අරං තියෙන්නෙ. දෙමව්පියන්ගෙ වැරදි වලට දරුවො පලිත් නෑ. අපි එච්චර නැරෝ මයින්ඩඩ් මිනිස්සු නෙවෙයි. ඕව නිසා පුතා හිත රිදෝගන්න එපා”

“අංකල්ට සාධාරණය ඉෂ්ට වෙන්න ඕන කියල මං තඹරුට කියල තියෙන්නෙ”

සමනල් ගේ දුරකතනය හැඬවෙන්නට ගති. ඒ ඇමතුම පොලිස් දෙපාර්තමේන්තුවෙනි. විදේශ ගතවීම සඳහා ගුවන් තොටුපොළ පර්යන්තය වෙත පැමිණ සිටියදී ගයාත්‍රී පෙලිස් අත්අඩංගුවට ගත් බවක් එයින් දැනුම් දිනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles