“අපිත් එක්ක ගෙදර ඉන්නකොට මීක් නැති ළමයා බලන්න එපැයි එළියෙදි, මං පංතිය ළගට ගියාම දැක්කේ පුදුම දැඟලිල්ලක්නේ තිබ්බේ…”
මේදි ගේ තාත්තා ගෙට ගොඩ උනේම අම්මාට එහෙම කියාගෙනමයි. මේදි කියන්නේ තමන්ටම කියලා අක්කලා, අයියලා නැති පවුලේ තනියම හැදුණ ළමයෙක්. පාසලේ හා පවුලේ අනෙක් සඟයන්ට සෙල්ලම් කරන්නට ඔවුන්ගේම කියලා සහෝදරියක් හෝ සහෝදරයෙක් සිටීම සමහර අවස්ථාවලදී මේදිගේ හිත ඊර්ෂ්යාවෙන් පිරෙව්වා. ගෙදරට කවුරුන් හෝ පැමිණි වේලාවක හෝ යහළුවන් සමඟ ගතකරන කාලය තුල ඉතා කටකාර දඟ කෙල්ලක් වන්නට ඇත්තේ ද ඒ නිසා බව මේදිගේ අම්මා නිතර පැවසුවා.
” අන්න අදත් අර ගෙදර කට්ටිය අදත් මරාගන්නවා.”
“අද නම් අම්මේ විහංසි ඔය බණින්නේ ලොකු නංගිට. එයා විහංසිගේ ඇඳුමක් ඇඳන් ගිහින් කියලා පංතියේ ඉදන්ම මාත් එක්ක කිය කිය බැන්නා..” මේදි අම්මා එක්ක එහෙම කියලා හිනා උණා.
“පේනවා නේද එකම අම්මගෙ ළමයි වෙලත් එයාලා පුංචි දෙයක්වත් බෙදාගන්න බැරුව රණ්ඩුවෙන හැටි.” කියලා අම්මා කියද්දී මේදිට හිතුනේ තමන් පවුලේ එකම ළමයා වීම සැපතක් බවයි.
පාසලේ දී විෂය බාහිර කටයුතු සියල්ලටම වගේ සහභාගී වුණ මේදි දැඩි ලෙස නර්තනය විෂයට ආසා කිරීම තාත්තාගේ හිතට නම් ගෙනාවේ කණගාටුවක්.
“මම නම් පොඩ්ඩක්වත් කැමති නෑ කුමාරි මේ ළමයා නැටුම් කරනවට. ඕව කරල රස්සා තියනවායැ.. ඒලෙවල් වලට කොමස් කරවන්න ඕන.” කියලා මේදිගේ තාත්තා කිව්වත් ආසාවෙන් නර්තනය ඉගෙනගත් මේදි සරසවියේ විශේෂවේදී උපාධියට තෝරාගත්තේද නර්තනය විෂයයි.
“කොරෝනා නම් ඉක්මණින් ඉවර වෙන පාටක් නෑ කවී අක්කේ ගෙදර ඉන්න මාර කම්මැලී” දිනක් කවීෂා සමඟින් කල දුරකථන සංවාදයේ දී මේදි එහෙම කිව්වා..
“නංගි, අපි කට්ටියක් එකතු කරන් Dance Cover එකක් කරමුද? ඔයාට එඩිට් කරන්නත් පුළුවන් නේ..” කවීෂා කියපු ගමන්ම එක පයින් මේදි එයට එකඟ වුණා. මේදි තම යෙහෙලියක වූ කවීෂා පැවසූ දිනයේ ගමේ ප්රජා ශාලාවට ගියේ කවුරුන් එතැන ඉදී ද කියලා හිතේ දෙගිඩියාවෙන්.
මේදිලෑ ගමේ හා ඒ අවට ඇය යම් තරමින් දන්නා කිහිප දෙනෙක් එහි සිටි අතර ටික වෙලාවකින් ඔවුන් හා මේදි මිතුරන් වුණා. පළවෙනි Dance Cover එක රූගත කිරීමට ඔවුන් තෝරාගත්තේ ගල් තලාවක්. සවස් වරුවක එහි ගිය යහලුවන් කිහිප දෙනා ඉතා සතුටින් හා විනෝදයෙන් එම රූගතකිරීම් සිදු කලා.
අපේ වචන වලින් කියනවානම් “එකම වලේ උන්” නිසා එයාලා හරි ඉක්මනින්ම ශක්තිමත් මිතුරු බැඳීමක් ගොඩනඟා ගත්තා. ඔවුන් පැවැත්වූ විවිධ නර්තන නිර්මාණ කටයුතු හා ගමේ දරුවන්ට පැවැත්වූ සම්මන්ත්රණ, ප්රසංග ආදියෙන් ඒ මිතුරු බැඳීම තව තවත් ශක්තිමත් උණා. හැම දෙනාම දුක, සතුට, ජීවිතය බෙදා ගනිමින් එක පවුලක් විදියට වැඩ කලා.
“හලෝ, ඔන්න කට්ටියම අහගන්න අපේ ලොකු අක්කා බදින්නයි යන්නේ” මේදි තම අනෙක් සඟයන්ට දිනක් ඇමතුමක් ගෙන පැවසුවා.
“සා මරුනේ, එහෙනම් කට්ටිය බැහැලම වැඩේ ලස්සනට කරමු ඈ..” ෂාන් පැවසුවේ ලොකු උනන්දුවකින්..
විවාහ උත්සවයේ විවිධ කටයුතු මේදි ඇතුළු මිතුරු පවුලේ සාමාජිකයන් විසින් ඉටු කලේ තමන්ගේ කෙනෙක් යන හැඟීමෙන් බව එහි වූ නෑදෑ පිරිසට හොදින් තේරුණා..
“කවීෂා ට නම් ඉන්නේ පුදුම යාලුවෝ ටිකක් නේ.. එයාල හරි ලස්සනට මේ වැඩ ටික කරලා.. අද කාලේ එක පවුලෙ ළමයිනුත් නෑ මෙහෙම..”
දැන් මේදි හා මිතුරන් සිටින්නේ එක අම්මගෙ බඩවැල කඩාගෙන නාවත් එකම පවුලක ලොකු අයියලා, පොඩි මල්ලිලා, ලොකු අක්කලා සහ නංගිලා වගේ. මේවගේ එක එක වැඩ කටයුතු නිසා මේදිටත් තම සඟයන් තමන්ගේම අය වගේ දැනුණා..
දැන් මේදි ඇගේම කියලා සහෝදර සහෝදරියන් නැතිවීම ගැන කණගාටුවෙන්නේ නෑ. දැන් එකට බද්ධ වූ සහෝදර පවුලක්ම ඉන්න එක ගැන මේදිට තියෙන්නේ ආඩම්බරකාර හැඟීමක්.
………………………………………………………
කෙනෙක්ගේ ජීවිතයක් හොඳ වගේම නරක පැත්තට ගෙනියන්න යාලුවෙක්ට පුළුවන්.
ඔයාටත් ඉන්නවද මේ වගේ යාළුවන්? එහෙම කෙනෙක් නැතත් ඔයාට පුළුවන් ඔයාට ලංවෙන යාලුවෙක්ට හොද සහෝදරයෙක්, සහෝදරියක් වෙන්න. ජීවිතේ කාටවත් කියාගන්න බැරි ප්රශ්න එනකොට, දරාගන්න බැරි අමාරු කාල වලදි වගේම පිස්සු නටල විනෝද වෙන්න පුළුවන් හොඳ යාලුවෙක් වෙන්න ඔයාටත් පුළුවන්. ඔයා එහෙම කෙනෙක් උනොත් ඔයාටත් පවුලේ කෙනෙක් වගේම යාලුවෙක් මුණගැහේවි. මොකද, තමන්ගෙම සහෝදර බැඳීමක හෝ පෙම්වතුන් අතර ඇති බැඳීමක වුණත් අපිට දේවල් බෙදාගන්න පුළුවන් සීමාවක් තියනවා. නමුත් කළණ මිතුදමක් ඇතුලේ කියන්න බැරි දේවල් නෑ. යහලුවන් කිසිම විනිශ්චයකින් තොරවම අපිට සවන් දීල අපේ ප්රශ්න විසඳගන්න උදව් වෙනවා. නිතර දෙවේලේ හමුවෙලා ඉස්සර වගේ හැමදේම බෙදා නොගත්තත් හොඳ යාලුවෙක් ජීවිතකාලෙම සැපට නැතත් දුකට අපේ ළඟ අනිවාර්යයෙන්ම ඉන්නවා.. ඔයාටත් එහෙම යාලුවන් ඉන්නවානම් මොනම හේතුවකටවත් ඔවුන්ව අත් හැරගන්න එපා..
ඔයත් කාටම හරි හොඳ යාලුවෙක් වෙන්න…තාම එහෙම යාලුවෙක් නැත්තම් තෝරගත්ත යාලුවෙක් දිහාවට පුංචි අඩියක් ඉස්සරහට තියන්න. ඔයාටත් ඒක ආපිට ලැබෙනවා අනිවාර්යයෙන්ම.
ඉතින්, ඔයාගෙ පවුලේ ඔයාවිතරමයි ඉන්නෙ කියලා තාමත් හිතනවානම් මේ කතාව කියවලා ඒක වෙනස් කරගන්න උත්සාහ කරන්න.
ඔබට සුබ දවසක්…
-වීණා-