සතපහක් වියදම් නොකර මසුරුකමෙන් ජීවත් වෙච්ච හෙටී ග්‍රීන් ගැන අහල තියෙනවද?

මසුරුකම කියන්නෙ ඉතින් එච්චර හොඳ දෙයක් නෙවෙයිනෙ. ඕනවට වඩා වියහියදම් කරන එක වගේම මසුරුකම කියන්නෙත් අපි අපේ ජීවිතවලින් ඈත් කරගන්න ඕන නරක ගති ලක්ෂණ කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑ. ඉතින් මසුරුකමෙන් මුලු ජීවිත කාලෙම ගෙව්ව, ඇමරිකාවෙ ස්වර්ණමය යුගයෙ ඉඳපු ධනවත්ම කාන්තාව ගැන අද ඔයාලා එක්ක විස්තර බෙදාගන්න අපි හිතුවා.

ඉතින් මේ මසුරු කාන්තාවගෙ නම හෙටී ග්‍රීන්.

මෙයා ජීවත්වුණේ ඇමරිකාවෙ නිව් යෝක් නගරයේ. ඒ වගේම මෙයා සේවය කලේ Wall Street එකේ. මේ හෙටී ග්‍රීන් කියන්නෙ නිකන්ම නිකන් කාන්තාවක් නෙවෙයි Multi Millionaire කෙනෙක්.

ඇමරිකාවෙ ස්වර්ණමය යුගයේ ජීවත්වෙච්ච ධනවත්ම කාන්තාව වෙලා තියෙන්නෙත් මේ හෙටී ග්‍රීන්. හැබැයි ඉතින් කොච්චර සල්ලි තිබ්බත් පුදුම ලෝබයෙක් විදියට තමා මෙයා ජීවත්වෙලා තියෙන්නෙ.

ඉතින් කොච්චර මසුරුකමෙන් ජීවත්වුණාද කියන්නෙ මේ හෙටී ග්‍රීන් ගිනස් පොතටත් ගිහින් තියෙනවලු “Greatest Miser” කියලා.

වෝල් වීදියේ මායාකාරිය

මේ හෙටී ග්‍රීන්  1834 දී  මැසචුසෙට්ස් හි නිව් බෙඩ්ෆෝර්ඩ් හි උපත ලැබුවේ නැව් ව්‍යාපාරයෙන් මිලියන ගණනක් ඉපැයූ ධනවත් පවුලක දුවෙක් විදියට.

1834 නොවැම්බර් 21 වන දින මැසචුසෙට්ස් හි නිව් බෙඩ්ෆෝර්ඩ් හිදී Henrietta Howland Robinson ලෙස උපත ලැබූ මේ හෙටී සාර්ථක තල්මසුන් දඩයම් කිරීමේ නියෝජිතයෙකු සහ තෙල් නිෂ්පාදකයෙකු වන Edward Mott Robinson සහ තවත් සාර්ථක තල්මසුන් දඩයම් නියෝජිතයෙකු වන Isaac Howland ගේ මිනිබිරිය වන Abby Howland ගේ දියණිය.

මේ කාන්තාව 20 ගණන්වල මුල් භාගයේදී නිව් යෝර්ක් වෙත ගොස් වෝල් වීදියේ වැඩ කිරීමට පටන් ගත්ත එකත් ලොකුවට කතා බහට ලක්වෙලා තියෙනවා. මොකද ඒ දවස්වල දැන් කාලෙ වගේ කාන්තාවො රැකියා කරන්නෙ නැති හන්දා, පිරිමි බහුතරයක් වැඩ කරපු තැනකට බය නැතුව ගිය කාන්තාවන්ගෙ කෙනෙක් වුන මේ හෙටීව “වෝල් වීදියේ මායාකාරිය” කියලත් හඳුන්වනවා.

වයස අවුරුදු 6 දී, ඇයට පුවත්පත් මුල්‍ය පිටු ඇගේ පියාට සහ සීයාට කියවීමට වෙලා තියෙනව. ඔවුන් දෙදෙනාම ඇස් පෙනීම දුර්වල අය. වයස අවුරුදු 8 දී ඇය ඇගේ දීමනාවෙන් ඉතිරි කරගත් මුදලින් ඇගේ පළමු බැංකු ගිණුම විවෘත කරලත් තියෙනවා.

ඇය අවුරුදු15 දි ෆ්‍රෙන්ඩ්ස් ඇකඩමියේ ගිම්හාන සැසියකට ගොස් බොස්ටන්හි වසර තුනක පාසල් කාලයක් අවසන් කරල තියෙනවා. ඇය ඇගේ පියාගේ පොත් තබන්නිය ලෙස සේවය කරලත් තියෙනවා. ඒ වගේම වැඩිහිටි වියේදී ඇය දක්ෂ ඇමරිකානු මාධ්‍යවේදියෙකු වන ඩොරති ඩික්ස්ට“මට ව්‍යාපාර ගැන ඉගෙන ගන්න කියල පොඩි කාලෙ ඉඳලම කියපු දෙයක්. අවුරුදු 6දි තමයි මට කිව්වෙ කවදහරි මටම තමයි මගේ ව්‍යාපාර බලාගන්න වෙන්නෙ කියල” ඇගේ වැඩිහිටියන් පැවසූ බව කිව්වාලු.

මෙයා කොච්චර ලෝභද කිව්වොත් එයා කොච්චර සීතල දවසක වුණත් උණු වතුර භාවිතා නොකළ අතර මිල අධික ඇඳුම් මිලදී ගැනීම ප්‍රතික්ෂේප කළ කෙනෙක්ලු. මෙයා නිතරම ඇන්ද කලු පාට ඇඳුමක් තිබුනලු. ඒ ඇඳුම ගෙවෙනකම්ම මෙයා ඒ ඇඳුම වෙනස් කරල වෙන ඇඳුමක් ගන්නත් ප්‍රතික්ශේප කරාලු.

ඒ විතරක් නෙවෙයි මෙයා කිසිම වෙලාවක වෛද්‍ය ප්‍රතිකාර ගන්නවත් සල්ලි වියදම් නොකරපු කාන්තාවක් කියල තමයි ඉතිහාසයේ මෙයා ගැන ලියවිල තියෙන්නෙ. වතාවක් මෙයාගෙ පුතාගෙ කකුල තුවාල වෙලා ඒ කකුලට බෙහෙත් දානව වෙනුවට කකුල කපන්න බැරිද කියලත් මෙයා ඇහුව කියල අන්තර්ජාලයේ සඳහන් වෙනවා. (ඇත්තද බොරුද නම් දන්නෙ නෑ හැබැයි)

හැබැයි සැලකිය යුතු සාක්ශි තියෙනවලු මේ හෙටී ග්‍රීන් විශේෂඥ වෛද්‍යවරු ගෙන්වල තමන්ගෙ පුතාගෙ පාදයේ ආබාධයට බෙහෙත් කරා කියලත්.

රහස් දානපතියා

පුදුම ලෝභ කාන්තාවක් කියල කොච්චර කටකතා පැතිරිල තිබුණත් හෙටී ග්‍රීන් කියන්නෙ රහසින් දානපතිකම් කරන්න කැමැත්තෙන් ඉඳපු කෙනෙක්ලු.

ඉතින් 1916 අවුරුද්දෙදි මේ හෙටී ග්‍රීන් වයස අවුරුදු 81 දී නිව් යෝර්ක් නගරයෙදි මිය ගිහින් තියෙනව. ඒ තමන්ගෙ පුතාගෙ ගෙදරදි. එහෙම මිය යද්දි මේ හෙටී ග්‍රීන් තමන් ජීවිත කාලයක් පුරා මසුරුකමෙන් හම්බ කරපු බිලියන 5ක් වටින ධනය තමන්ගෙ දරුවන්ට භාර දීල තමයි මිය ගිහින් තියෙන්නෙ.

ඒ ධනය ලබාගත්ත ගමන් මේ දරුවන් විද්‍යාල, පල්ලි, රෝහල් සහ වෙනත් පුණ්‍යායතන 64ක් වගේ ප්‍රමාණෙකට තමන්ගෙ අම්මාගෙන් උරුම වුන මේ ධනයෙන් ඩොලර් මිලියන 200කට ආසන්න ප්‍රමාණයක් ලබා දීල තියෙනවා.

දක්ෂ කාන්තාවක්

ඉතින් කොච්චර මසුරුකමෙන් ජීවත් වුණත්, මිනිස්සු කොච්චර කතා කිව්වත් පුරුෂ පාර්ශ්වය රජකම් කල වෝල් විදියේ Trade කරල බිලියන 100කට ආසන්න ධනයක් උපයාගන්න ලැබුණා කියන්නෙ හෙටී ග්‍රීන් කාන්තාවක් විදියට අසමසම බව කියන්නම ඕන.

වෝල් වීදියේ මායාකාරිය කියල අන්වර්ත නාමයකින් හඳුන්වන මේ හෙටීගෙ අන්වර්ථ නාමයේ මූලාරම්භය තවමත් විවාදයට ලක්වෙලා තියෙනවා. එය ඇයගේ මූල්‍ය පරිචයන් වල ප්‍රතිඵලයක්ද නැතහොත් ඇය ප්‍රධාන වශයෙන් පුරුෂ ආධිපත්‍යය සහිත ක්ෂේත්‍රයක ඉතා සාර්ථක කාන්තාවක් වූ නිසාද කියන එකත් තාම කවුරුවත් හරියට Identify කරල නැහැ කියල තමයි අන්තර්ජාලයේ සඳහන් වෙන්නෙ.

කැපී පෙනෙන ජයග්‍රහණ

හෙටී ග්‍රීන් උපයාගත් ධනය හැරුණු විට, ග්‍රීන්ගේ වඩාත්ම කැපී පෙනෙන ජයග්‍රහණය නම්, නීතියෙන් ස්ත්‍රියකගේ දේපළ ඇගේ ස්වාමිපුරුෂයා විසින් පාලනය කරන ලද කාලයක පුරුෂ මූලික සමාජයක සහ කර්මාන්තයක ඇය කැමති ආකාරයටම ජීවිතය ගත කරන්න කටයුතු කරපු එක.

විවාහ දේපල පිළිබඳ නීතිය මග හැරීම සඳහා පූර්ව ගිවිසුමක මුල් උදාහරණයක් ද ඇය නිර්මාණය කළ බව අන්තර්ජාලයේ සඳහන් වෙනවා. ඇය 1867 දී ධනවත් වර්මොන්ට් ව්‍යාපාරිකයෙකු වූ එඩ්වඩ් එච් ග්‍රීන් සමඟ විවාහ වූ විට, ඔවුන්ගේ මූල්‍ය ජීවිතය සම්පූර්ණයෙන්ම වෙන් වෙන්ව පවතිනු ඇති බවට නීත්‍යානුකූලව වග බලා ගත්තලු. ඒකට හේතුව වෙලා තියෙන්නෙ එයාගෙ ස්වාමිපුරුශයා එයා වගේ සකසුරුවමෙන් ජීවත් වෙන කෙනෙක් නොවුන එක වගේම ඉතා නොසැලකිලිමත් ආයෝජකයෙකු වීම බවත් කියවෙනවා.

අපරාධ

හෙටී කිසිවිටකත් කිසිදු වරදක් සම්බන්ධයෙන් නීත්‍යානුකූලව වරදකරු වෙලා නැතත්, ඇය මහජනතාවගෙන් කතා අහගත්ත, මහජන විවේචනයට බඳුන් වෙච්ච කෙනෙක් බව තමයි කියවෙන්නෙ.

මොකද එයාගෙ සමහර හැසිරීම් සහ ක්‍රියාවන් කොච්චර සදාචාරාත්මක ද කියන ප්‍රශ්නය මිනිස්සු මතු කළ අවස්ථා බොහොමයක් තියෙනවා.

උදාහරණයක් විදියට, එයාගෙ පියාගේ ඇවෑමෙන් ටික කලකට පසු සිදු වූ 1865 දී ඇගේ නැන්දා සිල්වියාගේ මරණයෙන් පසුව, ග්‍රීන් එයාගෙ නැන්දාගේ ඩොලර් මිලියන 2 ක වතුයාය උරුම කර ගැනීමට අපේක්ෂා කරල තියෙනවා. එයාගේ අපේක්ෂාවන්ට පටහැනිව, කැමැත්තෙන් විවිධ පුණ්‍යායතන සඳහා ඩොලර් මිලියනයක් වෙන් කරලත් තියෙනව සහ ඉතිරිය ග්‍රීන්ගේ ප්‍රයෝජනය සඳහා ඇගේ නැන්දාගේ වෛද්‍යවරයාගේ පරිපාලනය යටතේ භාරයක් තබලා තියෙනවා. මෙම විධිවිධානය අභියෝගයට ලක් කරමින්, ග්‍රීන් ඉදිරිපත් කළේ විකල්ප කැමැත්තක් ලෙස ඇය ප්‍රකාශ කළ විදියට සම්පූර්ණ වතුයායම ඇයට කෙලින්ම භාර දුන් බවලු.

 කෙසේ වෙතත්, මෙම ලේඛනය ව්‍යාජ ලෙස සකස් කර ඇති බවට අධිකරණය සැක කළ අතර ඇයගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කලා වගේම හෙටී ඒ නඩුව පැරදිලත් තියෙනවා.

ඉතින් ඔය විදියට ලෝබකම් කල හෙටී අන්තිමේ ගිනස් පොතට ගියා විතරක් නෙවෙයි, අපේ Smart Lady වෙබ් පිටුවෙත් එයා වෙනුවෙන් ඉඩක් වෙන් කරන්න මේ ලෝබකමම එයාට හේතුවක් වෙලා තියෙනවා.

ඉතින් ඔයාලා මොකද හිතන්නෙ මේ විදියට මසුරුකම් කරපු හෙටී ග්‍රීන් ගැන?

ඔයාලට බිලියන 100ක ධනයක් තිබුණානම් ඔයාලත් හෙටී වගේම මසුරුකමෙන්ද ජීවත් වෙන්නෙ?

Comment කරගෙන යමුකො බලන්න!

Related Articles

Don't Miss


Latest Articles