අද අපි ඔයාලට අරගෙන එන්නෙ සාමාන්‍යයෙන් අපි ඔයාලට අරගෙන එනවා ජාතියේ කතාවක් නෙවෙයි. වෙනස් විදියෙ හොල්මන් කතාවක්. ඉතින් ඔන්න ඔයාලා නම් සමහරවිට කියන්න පුළුවන් “අපෝ හොල්මන් කියල ජාතියක් නෑනෙ” කියලා. හැබැයි ඔන්න මේක නම් ඇත්තටම හොල්මන් කතාවක්.
අපේ මේ කතාවෙ කතා නායිකාවගෙ නම ජාන්වි. ජාන්වි කියන්නෙ ගුරුවරියක් වෙන්න ඉගෙන ගන්න ගෑනු ළමයෙක්. කොහොමහරි ජාන්වි දැන් ඉන්නෙ එයාගෙ ඉගෙනීමේ කටයුතු ඔක්කොම ඉවර කරලා සීමාවාසික පුහුණුවීමකට යන්න බලාගෙන. ඉතින් එයාට ඒකට හම්බෙන ඉස්කෝලෙ තියෙන්නෙ එයාගෙ ගෙදරින් ඈත ඉන්දියාවෙ හර්‍යානා කියන පැත්තෙ.
කොහොමහරි ගුරුවරියක් වෙන්න ලොකු බලාපොරොත්තුවක් තියෙන හන්දම ජාන්වී මේ පත්වීම භාරගන්න හර්‍යානා වල තියෙන ඉස්කෝලේට යනවා.
මුලින් එහෙම කිසි දෙයක් වෙන්නෙ නෑ. එයා ගිහින් විදුහල්පතිතුමාව හම්බෙලා ඩොකියුමන්ට්වල ඔක්කොම වැඩ ඉවර කරගත්තම විදුහල්පතිතුමා ජාන්විගෙන් අහනවා “ජාන්වි දැන් කොහෙද නතරවෙන්නෙ ඔයාට ගෙදර ඉඳන් එන්න දුරයිනෙ” කියලා. මේ වෙද්දි ජාන්වි දන්නවා තමන්ට හම්බෙන පඩියෙන් බෝඩිමක නතර වෙන ලොකු පාඩුවක් කියන එක වගේම මේ ඉස්කෝලේ හිස් ක්වාටස් එකක් තියෙනවය කියන එක.
“මෙහෙ ඉස්කෝලේ ක්වාටස් එක්ක හිස් තියෙනවා නේද සර්? මට ඒකෙ නතර වෙන්න පුළුවන් වෙයිද?” කියලා ජාන්වි විදුහල්පතිතුමාගෙන් අහන්නෙ ඒ හන්දා.
“මං නම් හිතන්නෙ නැ ජාන්වි ඒක හොඳ අදහසක් කියලා. ඒක සෑහෙන කාලයක් තිස්සෙ පාවිච්චි කරපු නැති ක්වාටස් එකක්. ඔයාට සෑහෙන අස් කරගන්න කරදර වෙන්න වෙයී. ඊට වඩා හොඳයි මෙහෙ වෙන ගේක බෝඩිමක නතර වුණා නම්” කියලා.
ඒ වුණාට ජාන්වි ඒකට කැමතිම නෑ. එයා කියන්නෙම “නෑ සර් මම ක්වාටස් එක අස් කරගෙන ඉන්නම්” කියලා. විදුහල්පතිතුමා ඒකට කැමති නෑ කියන එක කොච්චර එයාගෙ මූණෙන් දකින්න ලැබුණත් ජාන්විට හිතාගන්න බැරි වෙනවා ඒ ඇයි කියලා. කොහොමහරි ජාන්වි විදුහල්පතිතුමාගෙන් යතුරු එහෙම ඉල්ලගෙන ක්වාටස් එක දිහාවට යනවා.
හැබැයි ගියාට පස්සෙ තමයි ජාන්විට තේරෙන්නෙ විදුහල්පතිතුමා කිව්ව කතාව ඇත්ත බවත් ක්වාටස් එක ඇත්තටම හොඳටම ජරාවාස වෙලා බවත්. ඒ වුණාට ඉන්න වෙන තැනක් හොයාගන්නවට වඩා මෙතන ඉන්න එක තමන්ට වාසියි කියලා තේරෙන හන්දම ජාන්වි මහන්සිවෙලා ක්වාටස් එක අස් කරගන්නවා. මෙහෙම අස් කරද්දි ජාන්විට හම්බෙනවා බිම වැටිලා තියෙන ටයි එකක්. මුලින් ඒක මේ ඉස්කෝලෙ ළමයි දාන විදියෙ ටයි එකක් කියලා හිතුනට මොකෝ ටිකක් බලද්දි තමයි ජාන්විට තේරෙන්නෙ මේ ටයි එකේ පාට දැන් තියෙන ටයි එකේ පාටට වඩා පොඩ්ඩක් වෙනස් බව. “සමහරවිට පරණ ටයි එකක් වෙන්නැති. මේ ක්වාටස් එකේ කලින් ඉන්න ඇත්තෙ මේ ඉස්කෝලෙට ගියපු දරුවෙක් උන්න ගුරුවරියක් වෙන්නැති” කියලා.
කොහොමහරි පැය ගානක් අරගෙන මුළු ක්වාටස් එකම අස් කරගන්න ජාන්වි අර ටයි එකත් එක්කම එක්කහු වෙච්ච කුණු ගොඩ එලියට අරගෙන ගිහින් පුච්චලා දානවා.මේ ක්වාටස් එකේ කෑම උයන කොටසක් තිබ්බට උයන්න බඩු ගෙනාවෙ නැති හන්දා ජාන්වි එදා රෑට කන්න ලඟ කඩේකින් කෑම එකක් අරගෙන ඇවිත් වොශ් දාගෙන එන්න යනවා.
අන්න එතනදි තමයි ඔක්කොම පටන් ගන්නෙ. ඇඟ හෝදගෙන එන ජාන්වි කෑම එක කන්න හිතාගෙන කෑම එක ගත්තට මොකෝ මේ චුට්ටකට කලින් ගෙනාව කෑම එක හොඳටම පිළුණු වෙලා කියලා.
“ගේනකොටත් උණුවට තිබ්බ කෑම එකක් මෙච්චර ඉක්මනට පිළුණු වෙන්නෙ කොහොමද?” කියන ප්‍රශ්නෙ හිතට ආවට ඒක එහෙම වෙන්න පුළුවන් එකම විදිය “එයාලා පරණ කෑම රත් කරලා දෙනවද කොහෙද?” කියලා හිතපු ජාන්වි බිස්කට් කාලා කෝපි එකක් බීලා නිදාගන්නවා.
පස්සෙන්දා උදේ ජාන්විට ඉස්කෝලෙ යන්න තියෙනවා. එයා ලෑස්තිවෙලා ඉස්කෝලෙට ගිහින් උගන්නන වැඩ ඉවර කරලා ෆ්‍රී පීරියඩ් එකකදි ස්ටාෆ් රූම් එකට යන්න හදනවා. මේ ඉස්කෝලේ ස්ටාෆ් රූම් එකට යන්න කලින් පාස් වෙන එක ලොකු පංති කාමරයක් තියෙනවා වහලා දාපු. ජාන්වි ඔතනින් යද්දි එකපාර මහ අමුතු හුලං පාරක් ඇවිත් එයාගෙ ඇඟේ වදිනවා. ඒ වගේම ජාන්විට ලොකු ප්‍රශ්නයක් එනවා “වහලා දාමු පංති කාමරේකින් එහෙම හුලඟක් එන්නෙ කොහොමද?” කියලා. ඒ නිසාම පොඩ්ඩක් එතන නතරවෙලා බලන ජාන්වි දකිනවා වහලා අගුලු දාපු දොර එහා පැත්තෙ කවුරුහරි ඇවිදිනවා කියලා. කොහොමහරි ජාන්වි ස්ටාෆ් රූම් එකට ඇවිත් මෙතන ඉන්න අනිත් ගුරුවරු එක්ක කතා කරනවා. එතනදි තමන් නතර වෙලා ඉන්නෙ ක්වාටස් එකේ කිව්වම අනිත් ගුරුවරුන්ගෙ මූණවල් අමුතු වෙනවා කියලා තේරුණාට මොකෝ ජාන්වි ඒක ගැන වැඩිය හිතන්න යන්නෙ නෑ. මෙතනදි හැබැයි එක ගුරුවරියක් ඇවිල්ලා ජාන්වි එක්ක කතා කරනවා. මෙන්න මෙතනදි ජාන්වි ඒ ගුරුවරියගෙන් අහනවා “මම අර වහලා දාපු පංති කාමරය ළඟින් එද්දි ඒක ඇතුලෙ කවුරුහරි ඉන්නවා දැක්කා” කියලා. මේක කිව්ව ගමන් ඒ ගුරුවරියගෙත් මූණ අමුතු වුණා කියලා තේරුණාට ජාන්විට ඒකට උත්තරේ විදියට හම්බෙන්නෙ “කවුරුහරි ඒ කාමරේ අස් කරන්න යන්න ඇති” කියලා නිසා එයා එතනින් පස්සෙ කිසිම ප්‍රශ්නයක් අහන්නෙ නෑ.
කොහොමහරි මේ විදියට ටික දවසක් ගතවෙද්දි ජාන්විට හැබැයි තේරෙනවා මේ ක්වාටස් එකේ මොකක් හරි අමුත්තක් තියෙන විත්තිය. ඒ කිව්වෙ තමන් ඇරෙන්න මේ ක්වාටස් එකේ තව කවුරුහරි ජීවත්වෙන විත්තිය.
ඒකට හේතුවෙන්නෙ මෙන්න මේ දේවල්. ජාන්වි ඉස්කෝලෙ වැඩ ඉවර කරලා එන නිවාඩු දවසක මේ නගරෙ තියෙන මාකට් එකට යනවා එයාට ඕන කරන බඩු ටිකක් ගන්න. එතනදි එයා එලෝලු පලතුරු වගේම, රෑට තනිකම මකාගන්න අහන්න රේඩියෝ එකක් වගේම ක්වාටස් එකේ තියන්න පොඩි මාලු ටැංකියකුත් ගන්නවා. මේ ටික අරගෙන ගෙදෙට්ට එන ජාන්වි එදා රෑට කෑම එහෙම කාලා නිදාගන්න කලින් රේඩියෝ එක අහනවා. ටික වෙලාවක් යද්දි රේඩියෝ එකෙන් අමුතු සද්දයක් එන්න පටන් ගන්නවා. ජාන්වි මුලින් හිතනවා “මොකක් හරි දෝශයක් වෙන්නැති” කියලා. ඒ උනාට ටික වෙලාවක් යද්දි මේ සද්දෙ එන්න එන්න වැඩිවෙද්දි ජාන්විට දැනෙනවා ඒ ඇහෙන්නෙ වෙන සද්දයක් නෙවෙයි කවුරුහරි හයියෙන් හයියෙන් හුස්ම ගන්න සද්දයක් කියලා. මේක තේරුං ගත්ත ගමන් බය වෙන ජාන්වි ටක් ගාලා රේඩියෝ එක වහලා දාලා නිදාගන්නවා. හැබැයි මේ වෙන අමුතු දේවල් නම් වෙන එක නතර වෙලා නෑ කියල ජාන්විට තේරෙන්නෙ පස්සෙන්දා උදේ නැගිට්ටම.
මොකෝ එයා කලින් දවසෙ ගත්ත මාලු ටැංකිය උන්න ඔක්කොම මාලු මැරිලා වතුරෙ පාවෙවී ඉන්න විත්තිය. මේක දැක්ක ගමන් ජාන්විට තේරෙනවා මේ ක්වාටස් එකේ මොකක් හරි බය හිතෙන දෙයක් වෙනවාමයි කියලා.
හැබැයි මේ සිදුවීම් මෙතනින් නතර වෙන්නෙ නෑ.
දවසක් මේ වගේම රෑක ජාන්වි ඇඟ හෝදගෙන එන්න යනවා. එයාගෙ වොශ් රූම් එක තියෙන්නෙ එළියෙ. ඉතින් ජාන්වි වොශ් දාගෙන ආපහු ගෙදෙට්ට එන ගමන් නිකමට හැරිලා බලද්දි එයා දකිනවා තමන් වොශ් දාලා ඉවර වෙලා හෝදලා, පිරිසිදු කරලා වහලා දාලා ආව වොශ් රූම් එක ආපහු ඇරලා වගේම මඩ පාරවල් තියෙන සපත්තු දාගෙන කවුරුහරි වොශ් රූම් එක ඇතුලට ගිහින් කියලා. “මගෙ වොශ් රූම් එකට කවුද යන්නෙ?” කියලා හිතන ජාන්වි හිතන්නෙ සපත්තු අඩි පාරක් හන්දා අනිවාර්‍යෙන් මේක ඉස්කෝලෙ ළමේක්ගෙ වැඩක් වෙන්නැති කියලා එයා වොශ් රූම් එක ඇතුලට යනවා.
එහෙම ගියාම තමයි ජාන්වි අමුතුම දෙයක් දකින්නෙ.
වොශ් රූම් එක ඇතුලෙ ඉන්නෙ තමන් විතරයි කියන එක වගේම හැබැයි වොශ් රූම් එක ඇතුලෙ තියෙන්නෙ ඇතුලට ආව අඩිපාරවල් මිසක් එළියට ගිය පාරවල් නෙවෙයි කියන එක. අන්න එතනදි තමයි ජාන්වි හොඳටම බයවෙන්නෙ.
හැබැයි ඊට පස්සෙ වෙනදේ ජාන්විව තව බය කරනවා. එයා දකිනවා වොශ් රූම් එකේ කණ්ණාඩියෙන් තමන්ගෙ පිටිපස්සෙ හිටගෙන ඉන්න ගෑනු ළමයෙක්ගෙ රූපයක්. හොඳටම බය වෙන ජාන්වි දුවගෙන ක්වාටස් එකට එනවා.
හොඳම වැඩේ වෙන්නෙ ඊටපස්සෙ.
ජාන්වි පස්සෙන්දා ඉස්කෝලෙට යන්නෙ මේ වෙන දේවල් වල තේරුම මොකද්ද කියලා හිතන ගමන්. එයාට ඕන වෙනවා කාගෙන්හරි මේ ගැන අහන්න ඒත් කාගෙන්ද අහන්නෙ කියන ප්‍රශ්නෙ ජාන්විට තියනවා. කොහොමහරි මේවා කල්පනා කර කර ස්ටාෆ් රූම් එක පැත්තට යන ජාන්විට පුදුම වැඩක් එනවා. අර කලින් වතාවෙ වගේම ස්ටාෆ් රූම් එක ළඟ තියෙන පංති කාමරේ දොර මෙදා පාර ඇරලා තියෙනවා වගේම එකපාර එන අමුතු හුළඟක් ජාන්විගෙ අතේ තිබුන එයාට ඉතාම වැදගත් කොලයක් ඒ හුලඟ අරගෙන යනවා පංති කාමරේ ඇතුලට. ජාන්විගෙ හිතට පොඩ්ඩක් බයක් එනවා. ඒත් මේ කොළේ තමන්ට ඉතාම වැදගත් හන්දම ජාන්විට කරන්න දෙයක් නැති හන්දා එයා දොර ඇරගෙන පංති කාමරේ ඇතුලට යනවා.
එහෙම ගියාම තමයි ජාන්වි දකින්නෙ මේ කලෙකට කලින් අත ඇරලා දැම්ම ලැබ් එකක් විත්තිය. බිම පරීක්ෂන නල එහෙම වැටිලා තියෙනව. ඒ වගේම එදා අර ගුරුවරියක් කිව්වනෙ “කවුරුහරි අස් කරන්න යන්න ඇති” කියලා අන්න ඒකත් හද්ද බොරුවක් විත්තිය ජාන්විට තේරෙන්නෙ හත් අවුරුද්දකින් මේක අස් කරලා නැති විත්තිය තේරුණාම.
කොහොමහරි ජාන්වි තමන්ගෙ කොලේ අරගෙන ආපහු එන්න දොර පැත්තට යන්න හදද්දිම දොර එකපාරටම වැහෙනවා හරියට කවුරුහරි වැහුවා වගේ. ඒ වගේම මේ කාමරෙට වෙන දොරකුත් නෑ. දොරට තට්ටු කර කර එළියට යන්න හදන ජාන්විට ඊටපස්සෙ ඇහෙනවා තමන්ගෙ පිටිපස්සෙන් කවුරුහරි තමන් දිහාවට ඇවිදගෙන එනවා කියලා. බයෙන් වගේ හැරිලා බලන ජාන්වි දකිනවා දූවිලි ගොඩේ සපත්තු අඩි සටහන් වගයක් ඇදෙනවා කියන එක වගේම තමන් දිහාවට ඒ අඩිපාරවල් ඇවිදගෙන එනවා කියලා. පරාණ බයෙන් ඉද්දි උනත් ජාන්විට මෙවෙලෙ දෙයක් මතක් වෙනවා. ඒ තමයි එදා වොශ් රූම් එක ඇතුලෙ ඇඳුනෙත් මේ වගේම සපත්තු අඩි පාරක් නේද කියන එක සහ ඒවා ඉස්කෝලේ ළමේක්ගෙ සපත්තු අඩි පාරක් විත්තිය. මර බයේ දිගටම දොරට තට්ටු කරන ජාන්විට දෙයියො උදව් වුනා වගේ එතනින් ගියපු පාසලේ සිස්ටර් කෙනෙක් දොර ඇරලා ජාන්විව එළියට ගන්නෙ.
අන්න ඒ සිස්ටර් තමයි මේ ජාන්විට වෙන දේවල් පැහැදිලි කරන්නෙ.
“ඔයා උන්න ක්වාටස් එකේ මුලින්ම නතර වෙලා උන්නෙ මම. ඒ මීට අවුරුදු ගානකට කලින්. මේ ඉස්කෝලේ දරාගන්න අමාරු සිද්දියක් වුනා. ඒ සිද්දියෙදි ගෑනු ලමේක්ට කරදරයක් වුණා. ඒ ගෑනු ලමයගෙ නම අධ්‍යා. අධ්‍යා මේ ඉස්කෝලෙම ඉගෙන ගත්ත ළමයෙක්. මේ දැන් අත ඇරලා දාලා තියෙන ක්ලාස් රූම් එක ඒ කාලෙ පාවිච්චි කරේ ලැබ් එකක් විදියට.
දවසක් අධ්‍යාගෙ ක්ලාස් එකේ ළමයි මේ ලැබ් එකට වෙලා පරීක්ෂණ වගයක් කර කර ඉද්දි එකපාර හදිසි ගින්නක් හටගත්තා. ඒකෙන් අධ්‍යාව හොඳටම පිච්චුණා. අපි ඇම්බියුලන්ස් එකට කෝල් කරාට එයාල එන්න පරක්කු වෙච්ච නිසා අපි අධ්‍යාව මගේ ක්වාටස් එකට එක්කරගෙන ගිහින් එයාගෙ සපත්තු සහ ටයි එක ගලවලා එයාට හුස්ම ගන්න ඉඩ හැදුවා. එයා උන්නෙ හයියෙන් හුස්ම ගන්න ගමන්.
අන්තිමේ වේදනාවෙන් කැගහ ගහ උන්න අධ්‍යා වේදනාව දරාගන්න බැරුව මැරුණා. ඇම්බියුලන්ස් එක එන්නත් හොඳටම පරක්කු වුණා.
මේ සිදුවීමෙන් පස්සෙ මට ඕන වුණේ අධ්‍යාට සාධාරණයක් කරන්න. මොකද ඒ ළමයට මේ කරදරේ උනේ අපේ වරදින්. පරිපාලනේ වරදින් ලැබ් එකේ කල් තිබ්බ රසායනික ද්‍රව්‍ය එකට මික්ස් වෙලා තිබුණ නිසා.
ඒ වුනාට ප්‍රින්සිපල් කැමති වුණේ නෑ ඒකෙන් ඉස්කෝලෙට ප්‍රශ්නයක් වෙලා ඉස්කෝලේ වහලා දාවි කියලා හිතලා. අපි කීප දෙනෙක් අධ්‍යාගෙ පැත්ත අරගෙන කතා කරාට ගොඩක් ගුරුවරු ගත්තෙ විදුහල්පතිගෙ පැත්තෙ. ඒ නිසා අපිටත් සිද්ද වුනා සද්ද නැතුව ඉන්න.
සමහරවිට අධ්‍යා තාම අපිව, මේ ඉස්කෝලේ දාලා ගිහින් නැත්තෙ එයාට වෙච්ච අසාධාරණේට අපෙන් සාධාරණයක් උනේ නැති හන්දා වෙන්නැති. ඔය ක්වාටස් එකේ අධ්‍යා හොල්මන් කරනවා කියලා දැනගත්තයින් පස්සෙ තමයි ක්වාටස් එක වහලා දැම්මෙ”
සිස්ටර් කියපු ඒ කතාව අහගෙන ඉද්දී ජාන්විගේ ඇඟ විතරක් නෙවෙයි, මුළු හදවතම සීතල වෙලා ගියා.
එතකොට එදා ක්වාටස් එක අස් කරද්දී හම්බුණු, පාට මාරු වෙච්ච පරණ ටයි එක, ගෙනාපු ගමන්ම කෑම එක පිළුණු වෙලා ගියපු එක, රේඩියෝ එකෙන් ඇහුණු ඒ බය හිතෙන, මරණාසන්න මනුස්සයෙක්ගේ හති දාන සද්දෙ,මාලු ටැංකියේ මාලු ඔක්කොම එකපාර මැරිලා පාවුණු එක, වොශ් රූම් එකේ කණ්ණාඩියෙන් දැකපු ඒ රූපය, මේ හැමදේකම තේරුම ජාන්විට එකපාරටම තේරෙන්න ගත්තා.
එදා ඒ ලැබ් එක ඇතුළේ පිච්චිලා, වේදනාවෙන් කෑගගහ හති දාපු අධ්‍යා කියන ඒ අහිංසක කෙල්ලගේ අන්තිම හුස්ම පොද මේ පරිසරය ඇතුළේ අදටත් හිරවෙලා තියෙනවා කියන එක ජාන්විට තේරුණා.
ඉස්කෝලේ නම කැතවෙයි කියලා, තමන්ගේ වැරදි වහගන්න විදුහල්පති ඇතුළු පාලනාධිකාරිය එදා ඒ අහිංසක කෙල්ලගේ මරණය සාමාන්‍ය අනතුරක් කියලා යට ගැහුවා. හැබැයි, තමන්ට සිද්ධ වෙච්ච ඒ මහා අසාධාරණය වෙනුවෙන් සාධාරණයක් ඉල්ලලා, අධ්‍යාගේ ආත්මය අදටත් ඒ බිත්ති හතර ඇතුළේ හිරවෙලා සැරිසරනවා.
නීතියට සහ මිනිස්සුන්ට පුළුවන් වෙයි සල්ලි බලයට, නිලතලවලට යට වෙලා සත්‍යය පොළොව යට වළලලා දාන්න.
හැබැයි වරදක් නොකර, අනුන්ගේ නොසලකා හැරීම් නිසා අකාලයේ තමන්ගේ ජීවිතය පූජා කරන්න වුණු ඒ අහිංසක ආත්මයන්, තමන්ට සාධාරණයක් ඉටුවෙනකම් මේ පොළොවෙන් කවදාවත් සමුගෙන යන්නේ නැහැ කියන එකට හර්යානාවල තියෙන ඒ පාළු ක්වාටස් එක අදටත් සාක්ෂි දරනවා!










