“මයි බෝයිස් ෆස්ට් බර්ත් ඩේ”
අනුරාධා ෆේස් බුක් දාලා තිබුණ පෝස්ට් එක දිහා බලල හිතන්න දහසක් දේවල් සචිනිට තිබුනා. අනුරාධායි සචිනියි එකම ඉස්කෝලෙ. සචිනි බැඳපු අවුරුද්දෙම තමයි අනුරාධාත් බැන්දෙ. දෙන්නම බැඳල දැන් අවුරුදු දෙකක්. සචිනි තාම පී එච් ඩී එකයි රස්සාවෙ ප්‍රමෝශන් එක්කයි හැප්පි හැප්පි ඉස්සරහට යද්දි අනුරාධාට ලස්සන පුංචි පුතෙක් ඉන්න ලස්සන පවුලක් තියෙනව.
සචිනිට එහෙම අවුලක් නෑ විවාහ ජීවිතේ. ජෙහාන් කියන්නෙ පෙරුම් පුරල ලබන්න ඕන විදියෙ හරිම Supportive හස්බන්ඩ් කෙනෙක්.
“ඔන්න බැඳපු ගමන් බබාලා හදන්න ඕන නෑ, අපි ටිකක් එන්ජෝයි කරමු” කියල වෙඩින් නයිට් එක දවසෙම සචිනි දැම්ම නීතියට සද්ද නැතුව හිනාවෙවී ජෙහාන් එකඟ උනේ සචිනිට ඉතින් ඉගෙනීමයි රස්සාවයි කියන්නෙත් දරුවො වගේ කියල දන්න නිසා.
බැඳලා අවුරුදු දෙකේදි දෙන්න නොගිය තැනක් නෑ. රස්සාවයි ස්ටඩීසුයි බැලන්ස් කරගන්න අතරෙම සචිනි ජෙහාන් ජෝඩුව ට්‍රිප් ගියා. අවුටින්ග්ස් වලට ගියා. ජීවිතේ එයාලගෙ විදියට හොඳටම එන්ජෝයි කරා.
“තාම බබෙක් හදන්නෙ නැද්ද?” කියල අම්මලා, නෑයො උනත් අහද්දි “දැන්ම හදිස්සියක් නෑ අම්මා, අපි තාම ලොකුවටම ස්ටේබල් නෑනෙ” කියල කාගෙන්වත් සචිනිට කතාවක් අහන්න ඉඩ නොදෙන්න තරම් ජෙහානුත් තකට තක.
“මට තාම බබෙක් නෑනෙ. ඒක ප්‍රශ්නයක්ද? මම ෆේල්ද?” කියල සචිනිට හිතෙන්න පටන් ගත්තෙ යාලුවන්ගෙ බබාලගෙ ෆස්ට් ඉයර් බර්ත් ඩේ ෆොටෝස්, දන්න අයගෙ බබාලගෙ ෆොටෝ විතරක් නෙවෙයි එකදිගට තමන්ගෙ වයසෙ ඉන්න ජනප්‍රිය කෙල්ලන්ට දරුවො ලැබෙන්න පටන් ගත්තම එයාලා අප්ලෝඩ් කල පෝස්ට් එහෙම දකිද්දි.
ඊට පස්සෙ සචිනිට පුදුම උවමනාවක් තිබ්බෙ දරුවෙක් හදාගද්දි. මෙච්චර දවස් කර කර උන්නු ෆැමිලි ප්ලෑනිනුත් නතර කරල “අපි ඉක්මනට බබෙක් හදමු, නැත්තම අනිත් අය ලඟ මම ෆේල් වගේ” කියල සචිනි කියද්දි තමයි ජෙහාන්ට කතාවෙ නරක පැත්තක් පේන්න ගත්තෙ.
“අයියෝ බබා එහෙම හිතන්න එපා, එක එක අයගෙ ජීවිතේ දේවල් වෙන්නෙ එයාලට ගැලපෙන විදියටනෙ, පියර් ප්‍රෙශර් එක අරගෙන ඔයා නිකන් ස්ට්‍රෙස් වෙන්න එපා”
“එහෙම පියර් ප්‍රෙශර් එකක් නෙවෙයි ඉතින්. මං කියන කතාව ඇත්තනෙ, මම මේ ස්ටඩීස්, ජොබ් එක ඔලුව තියාගෙන දැන්ම බබෙක් ඕන නෑ කියල කිව්වට මගෙ බයොලිජිකල් ක්ලොක් එක නතර වෙලා තියෙන්නෙ නෑනෙ ජෙහාන්. මම වයසට යනව. වයසට ගිහිල්ල බබෙක් හදන එක රිස්කි”
“තාම අනේ ඔයාට විසි නවයයිනෙ. තව වයස තියෙනව බබා අපිට දරුවෙක් ගැන හිතන්න. ඔයා ඉස්සෙල්ල ස්ටඩීස් හොඳට ඉවර කරගන්නකො. එතකොට ඔයාට ප්‍රෙශර් එකක් නැතුව ෆැමිලි එකයි ජොබ් එකයි ලස්සනට මේන්ටේන් කරගෙන යන්න පුලුවන්”
“බැ බෑ ජෙහාන් තව නම් පරක්කු කරන්න විදියක් නෑ. මම කොච්චර ස්ටඩීස් කරත්, ජොබ් එකේ ප්‍රමෝශන් ගත්තත් මිනිස්සු දකින්නෙ මට තාම බබෙක් නෑ කියල. අනික වයසට ගිහින් ලමේක් හදල අන්තිමේ ඒ ලමය ඉස්කෝලෙ එහෙම යද්දි මම වයසක අම්මා කෙනෙක් වගේ ඉඳිවි. ප්ලීස් ජෙහාන් අපි ෆැමිලි ප්ලෑනින් නවත්තල දැන් බබෙක් ගැන හිතන්න පටන් ගමු” කියල සචිනි කියද්දි ජෙහාන් දැනගෙන උන්නා ඉතින් තව කොච්චර කිව්වත් සචිනි ඉතින් කවදාවත් වෙනස් වෙන්නෙ නෑ කියල.
සචිනි හරි දක්ෂයි. හැබැයි එයාගෙ ඒ දක්ෂකම නිසාම එයාට ඕන හැමදේම ගානට වෙලාවට ඉවර කරගන්න. ඒ නිසා කොච්චර හොඳට වැඩ ටික ඉවර කරත් වැඩ ඉවර වෙනකම්ම සචිනි ඉන්නෙ ස්ට්‍රෙස් එකේ.
දැන් මේකෙනුත් වෙන්නෙ එයා නිකන් බොරුවට එයාව ස්ට්‍රෙස් කරගන්න එක විතරයි.
කොහොමහරි සචිනියි ජෙහානුයි මාස කිහිපයක්ම බබෙක්ව හදන්න හිතාගෙන තමයි කටයුතු කරේ. හැබැයි ඉතින් සචිනි බලාපොරොත්තු වෙච්ච විදියට ඉක්මනට එයා ප්‍රෙග්නන්ට් උනේ නම් නෑ. සචිනි උන්නෙ පුදුමාකාර විදියට ස්ට්‍රෙස් වෙලා.
අන්තිමේ ඒ ස්ට්‍රෙස් එක තව වැඩිවුනේ ඩෙඩ්ලයින් එකකට අසයින්මන්ට් එකක් සබ්මිට් කරගන්න බැරිවෙලා පී එච් ඩී එකේ එක්සෑම් එකක් කල් ගියයින් පස්සෙ.
“බබා මේ අහන්න, ඔයා බොරුවට ස්ට්‍රෙස් වෙන එකෙන් වෙන්නෙ අන්තිමේ ඔයාට කිසිම වැඩක් හරියට කරගන්න බැරි එක සහ ඔයා මෙච්චර දවස් හොඳට කරගෙන ආව වැඩ පවා අවුල් වෙන එක. දැන් බලන්න ඔයා මෙච්චර දවසක් ලස්සනට ස්ටඩීස් ඇන්ඩ් ජොබ් එක බැලන්ස් කරගෙන ආව.යාලුවන්ගෙ බබාලාව දැකල ඔලුව කරච්චල් කරගත්තයින් අන්තිමේ මොකද්ද උනේ මේ මාසෙ ඉවර වෙන්න තිබුන වැඩක් තව මාස දෙකක් තුනකට ඇදුණ එකනෙ.
අපි හැමෝම එකම කාලෙක ඉපදුනාට අපේ ජීවිත වල වැඩත්, අපේ ගෝල්ස් එකම කාලෙක වෙන්න ඕන කියල එකක් නෑ. අපි හැමෝටම තියෙන්නෙ ජීවිත. ඒ ජීවිත වල වැඩ වෙන්නෙ කොහොමද කියල අපි තීරණය කරන්න ඕන අපිට පුලුවන් විදියට මිසක් අනිත් මිනිස්සු කරන පලියට නෙවෙයි. අනික දරුවෙක් කියන්නෙ එහෙම ඩෙඩ්ලයින් දදා ඔෆිස් එකක වැඩ වගේ හදන්න පුලුවන් කෙනෙක් නෙවෙයි බබා.
ඒ නිසා ඉස්සෙල්ලා අපි මේ ස්ටඩීස්වල වැඩ ටික ඉවර කරගමු. පොඩ්ඩක් රිලැක්ස් වෙන්න ට්‍රිප් එකක් යමු. ඒ අතරෙ අපි හිමින් සැරේ ඩොක්ටර් කෙනෙක්ව උනත් හම්බවෙලා බබෙක්ව හදන්න ප්ලෑන් කරමු.
වටේ පිටේ ඉන්න මිනිස්සුන්ගෙ ජීවිත බලල ඔයාගෙ ලයිෆ් එකත් එහෙමම වෙන්න ඕන කියල හිතන්න එපා. ඔයාට ලස්සන, හොඳ ලයිෆ් එකක් තියෙනව. ඔයාම මහන්සි වෙලා ලබාගත්ත ගොඩක් අයට නැති අචීව්මනට්ස් ඔයාට තියෙනව.
ඔයාගේ ජීවිතේ දිනන්න ඕන ඔයාට ඕන වෙලාවට මිසක් ලෝකෙට ඕන වෙලාවට නෙවෙයි.නිකන් බොරුවට ස්ට්‍රෙස් වෙන්න එපා” කියල වෙච්ච දේට අඬ අඬ ඇඳේ හාන්සිවෙලා උන්නු සචිනිව තුරුල් කරගෙන ජෙහාන් කිව්වෙ ඇත්තටම සෑහෙන ආදරේකින්!