ගඟුල් සිටියේ මින් පෙර කවදාවත් නොවූ විරූ ප්‍රීතිමත් බවකිනි. උද්යෝගයකිනි. මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් කාර්ය බහුල වූයේ ද අවංක චේතනාවෙනි. බලයට පත් නොවී ඔහු ගේ ඉලක්ක වලට යා නො හැකි බව ද සිහින සැබෑ කරගත නො හැකි බව ද හේ දැන සිටියේ ය. පාරුල් දෙව්රූ ඇල්ලගේ ඔහු ට ඉලක්ක කරා යාම සඳහා දෛනික උත්තේජනයක් සපයයි. ඔහු ගේ පිරිමි ආත්මය ඉදිරියේ ප්රභාශ්වරයක් ව බැබළෙයි. ඔහු ට අභියෝග කරයි. සරදම් කරයි. සමච්චල් කරයි. ගඟුල් ඒ සියල්ල භාර ගත්තේ සමාන වූ හැඟීමකිනි. ඈ සිනහ වූවත් දොස් කීවත් අභියෝග කළත් ඒ ඔහු ගේ මාවත ආලෝකවත් කරනා පහන් ටැඹක් සේ ඔහු පිළිගෙන සිටියේ ය. එසේ ම ඇය ගැන ඔහු තුළ වන සුවිශේෂ හැඟීම ඉදිරිපත් කරන්නට සුදුසුකම් සපුරාලූ මිනිසෙකු වී සිටිත යුතු බව විශ්වාස කළේ ය. ගඟුල් ගේ හැම වෙහෙස පොදක ම, හැම දහදිය බිඳක ම වූයේ ඒ අරමුණයි. ඇය කැමති දේශපාලකයෙකු නොව ඇය කැමති පිරිමියෙකු වීමේ අධිෂ්ඨානයයි. නමුත් ඊට පෙර ඔහු ඇය ප්‍රාර්ථනා කරන විදිහේ බලාපොරොත්තුවේ දේශයක යහපත් දේශපාලකන පෙර ගමන්කරුවෙකු විය යුතුව තිබුණේ ය.
ප්‍රකට ව්‍යාපාරිකයෙකු සමග දුරකතන සංවාදයක් නිමා වන විට ම ගඟුල් ට පාරුල් ගෙන් ඇමතුමක් ආවේ ය. එය හදිසි ගැස්මකි. සාමාන්‍යයෙන් ඇය ඔහු ට ඇමතුම් ගන්නේ නැත. ගන්නේ ම ඔහු ය. නමුත් ඈ ඔහු එක්ක කතා කරන්නට අකමැත්තක් නැති බව ඕනෑ තරම් ගඟුල් ට දැනී තිබේ. ඉතින් මේ අනපේක්ෂිත ඇමතුම ඔහු ගේ මුවට නො ඉඳුල් මඳහසක් ගෙන ආවේ ය.
“පාරුල්…”
“පාරුල් තමයි. දැං අපිව මතක් වෙන්නෙත් නෑ නේ…”
“ඇයි අනේ මං ඊයෙත් කතා කළා නේද…”
පැකිළීමෙන් වාගේ ඔහු එසේ විචාලේ ඇයට කතා කරන්නට ඊයේ අමතක වූවාවත් ද යන සැකයෙනි.
“ඒ ඉතිං ඊයෙනෙ. අද නෙවේනෙ. දැං කීයද වෙලාව… මෙච්චර රෑ වුණා කියන්නෙ ඉතිං කතා කරන්න අමතක වුණා කියන එකනෙ”
ඒ බොරු නෝක්කාඩුවකි. නමුත් ඒ නෝක්කාඩු වීම තුළ ද පාරුල් ට මානසික සුවයක් නො දැනුණා නොවේ.
“ගන්න අනේ හිටියෙ. ඒත් මේ බිස්නස්මන් කෙනෙක් එක්ක කන්වසේශන් එකක් හිතපු නැති විදිහට දිග්ගැස්සුණා”
“කිව්වෙනං කොහොමද… මගෙ හොඳම යාළුවෙක් වෙනව කියල”
සතුට වැඩි කමටද මන්දා ගඟුල් ගේ ඇස් වලට තෙතමනයක් කාන්දු වූයේ ය. ඉනික්බිති ඔහු කතා කළේ උගුර යටින් වාගේ ය.
“ඒක එහෙම තමයි… හැමදාටම… ඒක වෙනස් වෙන්නෑ… කවදාවත්…”
“ඉතිං…”
පාරුල් කතාව අලුතෙන් පටන් ගන්නට අලුත් පියවරක් තැබුවා ය.
“දැං ටයර්ඩ්ද… මං කතා කරපු එකත් වදයක්ද…”
“මොනා කියනවද මන්දා”
“එහෙනං ඔයා වෙන කල්පනාවක ඉන්නෙ”
“ඔයා කතා කළේ ඇයි කියලයි කල්පනාකළේ”
හදවතක් මත්තෙහි උල්කාපාත වරුසාවක් කඩාගෙන වැටුණා මෙනි. මොහොතකට පාරුල් ගොළු වූවා ය. උගුරත් පපුවත් අතරේ අතක් තබාගෙන ඇය හිතාමතා හුස්මක් ගත්තා ය.
“දෙයක් කියන්න තියනව”
ඊළඟ නිමේශයේ ඕ යළිදු වෙස් මාරු කළා ය. හිතේ බර වෙනුවට සැහැල්ලු හුරතලය තෝරා ගත්තා ය. කොහොමටත් ගඟුල් අස ඇයට වඩාත් පහසු එහෙම ය. පසන් අසලදී අපහසුත් එය ම ය.
“කියන්න පාරුල්… මොකද්ද වෙන්න ඕනෙ…”
“මුකුත් වෙන්නෝනෝන් නෑ ඉතිං… අහං ඉන්නයි ඕනෙ”
“හරි මං අහං ඉන්නව. ඉතිං කියන්න”
“මෙහෙම නෙවේ”
“එහෙනං….”
“හම්බ වෙලා”
ගඟුල් විජයවීර ක්ෂණික මල් වෙඩි සන්දර්ශනයකට මැදි වූවා මෙනි. මොහොතක් නතර වී ඔහු එහි චමත්කාරය විඳිමින් සිටියේ ය.
“මං එන්නං”
“දැං…එප්…පා…දැං මේ රෑ නෙවෙයි. මං කියන්නද…හෙට එනවද ෆැකල්ටි එක ළඟට…තුනට…”
තුන වෙන්නට තව කොයි තරම් හෝරා ගණනක් වන්නේ ද? ගඟුල් ට නින්ද ගියේ ම නැත..හෙට වැඩ බොහොමයක් ඇති දවසකි. දේශපාලන නායකයන් හමු වීමක් ද පොකට් මීටින් කිහිපයක් ද හැන්දෑවේ ලොකු මැතිවරණ ප්රචාරක රැස්වීමක් ද වේ. ඉතින් කෙටි නින්දක් හෝ ලැබිය යුතු ම ය. නමුත් කෙතරම් උත්සාහ කළ ද නින්දක් අතපොවන මානයක වූයේ නැත. එනමුත් ඔහු පුදුම ජවයකින් උදයෙන් ම වැඩ ආරම්භ කළේ ය. හවස දෙක වන තුරු වෙලාව බැලූ වාර ගණන ගණන් කළානම් එය වාර්තාගත අගයක් වනු ඇත.
පෙර දා පටන් විවේකයක් නො ලබා එක දිගට වැඩ කොට ද නිදි වරා ද සිටි ඔහු හරියට ම දෙකට නාන කාමරයට වැදී දිය නෑවේ ය. ප්‍රබෝධවත් ව අලුත් ඇඳුම් කට්ටලයක් හැඳ සුවඳවත්ව වෛද්‍ය පීඨය ඉදිරියේ සිටියේ ය. පාරුල් පැමිණියේ සතුටෙනි. සතුට වැඩිකමට ඇගේ බෑග් එකේ එල්ලී සිටි විනී ද පූ හයියෙන් ම ඔංචිලි පැද්දේ ය. ආරාධනා හෝ ඇවිටිලි කිරීම් ද ප්‍රශ්න කිරීම් ද වලින් තොරව ඇය විත් රියෙහි ඉදිරි අසුනට ගොඩ වූවා ය. ගඟුල් හුස්ම ගත්තේත් අසීරුවෙනි. සිදු වෙන්නට යන දෙයක් ගැන ඔහු ට අඩමානයටවත් සිතා ගත හැකි නොවිණ.
“එදා තේ බීපු තැනිං තේ බොමුද… හැබැයි අද මගෙ ගානෙ හොඳේ”
මේ කෙල්ලට කවරක් සිදු වී ද යන දෙගිඩියාවෙනි ගඟුල් රිය පණ ගැන්වූයේ. ඇය සන්සුන් සතුටක් විදහා ලමින් සිටියා ය. හරියට පිපුණු ගමන් මලක් මෙනි. ඉපදුණු අලුත බිළිඳෙකු මෙනි. ගඟුල් ඇයි කියාවත් විමසුවේ නැත. සියල්ල ඇයට ඕනෑ හැටියට වෙන්නට හැර ඔහේ බලා සිටියේ ය. සතුටත් බයත් යන දෙක එකට මුහු වූ විට දැනෙනා තිගැස්මෙන් ඔහු ගේ පිරිමි පපුව පිරී පැවතිණ.
“ඉතින් ඔයා අහන්නැද්ද මට මොනාද කියන්න තියෙන්නෙ කියල…”
තේ උගුරක් බොන ගමන් ඇය තේ කෝප්පයට මත්තෙන් ඇස් විදා ඔහු දෙස බලා විමසුවා ය. නමුත් ගඟුල් ට කිසිත් කියා ගත හැකි වූයේ නැත. ඔහු ට සිදු වී ඇත්තේ කුමක් ද ඇය අභියස ඔහු ට මේ සා හුස්ම හිරවීමක් දැනෙනුයේ ඇයි ද කියාවත් ඔහු නො සිතා සිටියේ ය. කොටින් ම ඇය කියන්නට යන දේ අසන්නට තරම් සූදානමක් තමන් තුළ පවතින්නේ ද කියාවත් ඔහු නො දැන සිටියේ ය.
“මං මේක ඔයාට කියන්නෙ අපි හොඳම යාළුවො වෙනව කියල එකඟතාවයට ආපු නිසා..ඇත්තට ම අපි යාළුවොනං… මගෙ ගෙදර අයටයි උමාටයි එක්කම මං ඔයාටත් මේක කියන්න ඕනෙ”
එහෙම කියත්දී එතෙක් ඇය මවාගෙන උන් සියල්ල, ඒ සැහැල්ලුව – ඒ සතුට තුනී වී ගිහින් එතැනට වෙනස් ම තත්වයක් ආදේශ වූයේ ය. ඒ වෙනස් තත්වය කුමක් දැයි ගඟුල් ට කිසි සේත් විශ්ලේෂණය කර ගත හැකි නො විණි. පාරුල් සිනහවක් – ඉතා සියුම් සිනහවක් මුහුණේ තියාගත්තා ය. නමුත් එය ව්‍යාජ සිනහවක් බව ඇසිල්ලකින් ඇයට දැනෙන්නට ගති. බොරුවට සිනහ වෙනකොට කම්මුල් රිදේ!
“හොස්පිට්ල් එකේ වැඩ කරන අයිය කෙනෙක් මාව මැරි කරන්න කැමතියි කිව්ව. එයා…ඩොක්ට කෙනෙක්”
“පසන්”
ගඟුල් ට ඒ නම කියවුණේ හිතා මතා නොවේ. නමුත් දුරකතන ඇමතුමක් දුන් වෙලාවක පාරුල්ගෙන් ඒ නම කියැවී තිබිණ.
“ඔව්”
හුළං පුම්බා තිබූ සෙල්ලම් බෝනික්කෙකු ගේ හුළං රැඳවූ වැස්ම ගැලවී එය හිස් වන්නට පටන් ගත්තා බඳු හිස් ව යාමක් ගඟුල් ට දැනිණ. කට්ට කළුවර කළු කුහරයක අගාධ අඳුරේ ගිලී යන්නා වන් ගිලා බැසීමක් ඔහු ට දැනිණ. මුළු සිරුර ම උණ ගැනෙන්නට එන කලෙක සේ සීතල වූයේ ය. ගැහුණේ ය.
“ගොඩක් කෙල්ලන්ට වගේ මට එහෙම මැරීගෙන ලව් කරන ෆීලින් එකක්නං නෑ. කවදහරි මැරි කරන්න ඕනනෙ ඉතිං. මාත් ඔන්න ඔහෙ පාඩුවෙ ඉන්නව ඕන දෙයක් වෙච්චාවෙ කියල. එයා නරක කෙනෙක්නං නෙවෙයි ඉතිං. අපේ ගෙදරිනුත් අවුලක් නෑ. එයත් ගෙදරට කිව්වයි කිව්ව. ඉතිං ඔච්චරයි. මං දවසක එයාව ඔයාට ඉන්ට්‍රඩියුස් කරන්නං”
ගඟුල් ට හා කියන්නට තබා හිස සොලවා ගැනුමටවත් හැකි වූවා නොවේ. ඒ කොහොම තත්වයක් ද? ඔහු ඇයට සුබ පැතුවේ ය. පෙම්වතියක වූවත් සමාජ සේවිකාවක සේ සිය වගකීම් ඉටු කරන්නට අමතක නො කරන ලෙස ඉල්ලා සිටියේ ය. හඬන්නට බැරි කමට බොරුවට සිනහ වී සිටියේ ය. හැන්දෑවේ මැතිවරණ ප්‍රචාරණ රැස්වීමට ද හිත තද කරගෙන සහභාගී වූයේ ය. අතරමකින් දැව් ඉතින් නතර වෙන්නේ කොහොමද? මුළු රටක් ඔහු දෙස බලා හිඳී. මේ ටික දවසට ඔහු දුක් විඳින මිනිසුන් ගේ බලාපොරොත්තුවේ සහන් එළිය බවට පත් වී තිබේ. ගෑනු ළමයෙකු නිසා හිත බිඳවා ගත් පමණින්, ඒ මිනිසුන්ට දුන් පොරොන්දු ඉල්ලා අස් කරගත හැකි ද?
පීඩනය ඉවුරු බිඳගෙන පිටමං වූයේ රාත්‍රියේ ඔහු ගෙදර පැමිණි ඉක්බිතියි. ගඟුල් දොර වසාගෙන ඇඳට වැටුණේ ය. මුළු ශරීරය ම කළඹාගෙන පැමිණි ඉකියක් ඔහු ගේ මුවින් පිට විය. ඒ අපහසුව දරාගන්නට බැරිව හෙතෙම යහනෙහි හිඳගත්තේ ය. ගඟුල් ට ඉකිගැසී හැඬිණි. ඔහු දණහිසෙහි හිස ගසාගෙන හැඬුවේ ය. හිස කේ ඇද ගනිමින් හැඬුවේ ය. යහනට වී එක ඉරියව්වක ඉන්නට බැරි තැන ඉන් බැස කාමරයෙහි සක්මන් කළේ ය. ඒ අතරේ හිස අත් බැඳගෙන ඉකිළුවේ ය. අන්තිමට යහනට හේත්තු වී බිම හිඳ ගත්තේ ය. මේ කොහොම දැවුමක් ද?
ඔහු ඇය වෙනුවෙන් ප්‍රාර්ථනා කන්දක් ඉදි කොටගෙන ඒ කන්ද තරණය කරන්නට ගත්තා පමණකි. ඇය වෙත ළඟා වී ප්‍රේමාරාධනා කරන්නට පෙර තමන් ඊට සුදුසුකම් සපුරාගෙන සිටිත යුතු යයි සිතුවේ ය. නො එසේව ඇගෙන් ප්‍රතික්ෂේප වන්නට බිය වූයේ ය. ඒ විදිහට ඈ අහිමි කර ගන්නවා වෙනුවට මිතුරියක ලෙස හෝ තව ටික කලක් ඇය සිය ඇසුරේ රඳවා ගන්නට සිතුවේ ය. දැන් ඉතින් ඒ සැලසුම් සියල්ල කුඩු පට්ටම් වී ගිහින් තිබේ.
පසු දා උදයේ නිවැරදි සිහියට එළඹී අවදි වන තුරුත් ගඟුල් විජයවීර එතැන බිම වැටී ඇඳට හිස හේත්තු කරගෙන සිටියේ ය. ඇස් විවර වන විටත් සිරුර පුරා කැපූ කෙටූ ගැඹුරු තුවාල ඇති මිනිසෙකු සේ ඔහු වේදනා විඳිමින් සිටියේ ය.