Vintage Eyes – 04

උදයෙන් ම ‘විශ් යූ’ අතු ගා පිරිසිඳු කොට, මල් පෝච්චි පිටත තබා අහවර මම ඒ ජපන් ජබර පැළයේ මඩ සේදුවෙමි. එය පැළ වී මලක් නගා ගෙන සිටියේ අපේ පෙත් මග අතර මැද තිබෙනා වෙල් තීරයේ දිය අගලක ය. උදේ එන ගමන් නිකමට වෙල් යාය සිසාරා බලත්දී ලා කොළ පාට පසුබිමේ එක ම එක දම් පාට පැල්ලමක් පමණක් මට ඈතට පෙනිණ. ස්කූටිය පසෙකට කොට නවතා මා නියරකට බැස්සේ ඒ දම් පාට මල අතැර යා නො හැකි බවක් හිතට දැනෙත්දී ය. නියර ලිස්සන සුළු විය. වැස්සක් නො වැස්සත් රාත්‍රියේ වට පිනි බින්දු තව දුරටත් තණ පත් මත රැඳී තිබිණි. මම පරිස්සමෙන් පිය තබා මල පිපී ඇති තැනට ළඟා වීමි. නමුත් ඊට අත පෙවීම පහසු නොවුණේ දිය අගලේ මට ළඟා විය නො හැකි කෙළවරේ එය පිපුණ නිසා ය. අහල පහලක කෝටු කැබැල්ලක් හෝ පෙනෙන්නට වූයේ නැත. කෙසේ හෝ එය අයිති කර ගන්නට වූ ඕනෑකම නිසා ම අවදානම නො තකා අගලට නැඹුරු වී, යන්තම් ඇඟිලි දෙකකින් ජපන් ජබර කොළයක් අල්වා මම එය මා වෙතට ඇද ගතිමි. ඊට පස්සේ ස්කූටරය ඉගිළුණේ ය.

ජපන් ජබර පැළයේ හා මුල් වල වූ මඩ සෝදා මම එය වතුර දැමූ වීදුරු බෝල් එකක තැබුවෙමි. මුල් ටික සුදු පාටින් වතුර යට කිමිදී, වායු ගැටිත්තක් සහිත දීප්තිමත් ජපන් ජබර පැළය වතුරේ පා විය. ඒ තරම් ලස්සන දම් පාට මලක්!

“මිනිස්සු මේස උඩ තියන්න රෝස ඕකීඩ් ලිලීස් හොයද්දි මෙයා ජපන් ජබර ගහක් උගුලං ඇවිත්…පුදුමයි වෙලට පෙරලෙන්නැතුව බේරුණා”

නූරි මට විහිළු කළා ය. නමුත් මට නම් ඒ අහිංසක මල හිතට පුදුම සැනසිල්ලක් ගෙනාවේ ය. ඕනේ කියා හිතෙන දේවල් මග හැර ගෙන බැරි ය.

“මේ තමයි මට ජීවිතේටම හම්බ වුණ පළවෙනි මල”

ඊයේ මා පීස් ලිලී මල් බඳුන ඔහු අතට පත් කරත්දී මා සසලවමින් ලෙමන් සුවඳ කොල්ලා කීවේ ය. සැසලීමක් කීවාට එය වූ කලී විදාරණයකි. භූමි කම්පනයකි. සුනාමියකි. පත්ලක් දැකිය නො හැකි අගාධ බඳු ශෝකී දෑසක් දරා ගත් කොල්ලෙකු සිනහ වෙවී එහෙම කියනකොට එය කෙසේ දැනෙනවාද කියා ඔබට ඒත්තු ගන්වන්නට මම නො දනිමි. සිනහ වෙනු වස් ඇද කරන්නට ගිය මගේ තොල් කොනක් සැලී ගියා පමණකි.

“මේක මට මගෙ බෙඩ් රූම් එකෙන් තියා ගන්න පුළුවන් නේද…”

“ප්..පුළුවං…”

තවමත් ඒ කැළඹීමේ සුන් බුන් මා තුළ කැරකෙයි. බීමත් පිරිමියෙකු ගැන මෙහෙව් සංවේදී බවක් මීට පෙර මා තුළ ඇති වී නැති බව සහතික ය.

“එයා පව්”

මට එහෙම කියැවී තිබිණ. කේක් වල ආදායම් වියදම් තත්වයන් ගැන පොතේ සටහන් තබමින් උන් නූරි වහා නෙතු නගා මදෙස බැලුවා ය.

“කවුද…ලෙමන් අමරසිංහද…”

“එක අතකට අපි දෙන්නට හරි එයා වෙනුවෙන් කේක් කෑල්ලක් කාල එන්නයි තිබුණෙ”

“ශික්ෂා”

නූරි ගේ හඬින් මා ගැස්සුණ තරම ය. ශිකී කියනා කෙටි නමින් කතා කරනවා මිසක ඇය මගේ සම්පූර්ණ නමින්  මා අමතන්නේ ම නැති තරම ය. ඇගේ ඇස් වල මට අවධාරණයක් දකිත හැකි විය.

“ඕකනං දැං ඇති හොඳේ. ඇති කියන්නෙ ඇති ම ඇති. ආයෙ මාත් එක්ක ඔය කොල්ල ගැන කතා කරනව නෙවෙයි. කොල්ලෙක් වෙන්නත් බෑ. කොල්ලෙක් වෙලා ඉන්නැති ඒ කාලෙ. අර ඔයා කියන වින්ටේජ් එකේ”

මම දෙතොල් උල් කොට මූණ බෙරි කර ගතිමි. එවර නූරි මඳ මෘදු හඬකින් මා පිරිමදින්නට උත්සාහ කළා ය.

“ආදරේ කියන්නෙ මොන විදිහෙ පැටලිල්ලක්ද කියල ඔයා නොදන්න එකේ…ඔය නොදන්න විදිහටම ඉන්න.  ආයෙ එක සැරේකටවත් එයා ගැන හිතන්න ඔට්ටු නෑ ඔන්න. ඒක දැනටමත් අවුල් ජාලයක් වගේ. මට බෑ ඔයාට මකුළු දැලක පැටලෙන්න අරින්න. කොහොමත් අපි අපේ කස්ටමර්ස්ලව තියා ගන්න දුරක් තියනවනෙ. අපිට දීපු ඕඩර් එක අපි එයාට ඕන විදිහට සප්ලයි කළා. එච්චරයි..හරිද…”

මට සිනහවක් නගා ගත හැකි වූයේ නැත. ඇයිදෝ මන්දා මගේ හිත බර වී තිබිණ. ආදරය ඉල්ලා ගෙන ආ කිසිදු පිරිමියෙකු වෙනුවෙන් නතර වෙන්නට මට හැකි වූයේ නැත. උවමනා වූයේත් නැත. මා මේ කියන්නට යන්නේ හදවත ඒ ලෙමන් සුවඳ හාදයාට පෙම් කරන්නට පටන් ගෙන ඇති බවක් නොවේ. ඒ වින්ටේජමය ඇස් ඉදිරියේ මා මත් වන බව ඇත්තකි. නමුත් ඔහු මට නොලී කවියක් වාගේ දැනෙන්නට ගෙන තිබේ. අඩක් කියවූ නවකතාවක් වාගේ දැනෙන්නට පටන් ගෙන තිබේ. සංගීතයක් නැති ගීතයක් වාගේ දැනෙමින් තිබේ. එය අසම්පූර්ණත්වය පිළිබඳ හැඟීමකි. අසම්පූර්ණත්වය යනු හැමදාමත් මිනිස් සන්තානයේ කුතුහලය ඇවිලවූ ගිනි සිලයි. ඒ අසම්පූර්ණත්වය සම්පූර්ණ කර ගැනීමට යාම තුළ මිනිසුන් බොහෝ විට නැවත හිස් වන්නට පුළුවන. සම්පූර්ණ වීම තුළ කිසිවක් නැති ව යන නිසා ය. අසම්පූර්ණත්වය බලාපොරොත්තුවක් ව තත්පර ගෙවා දමන නිසා ය.

“ඔයාට දැන් කොල්ලෙක් ඕනෙ කියල මං හැමදාම කිව්වනෙ. හැබැයි ශිකී ඒ ජීවිතේ එක්ක තැන්පත් වෙන්න තැනක්. කොටින්ම දැන් අපි ඉන්නෙ අවුරුදු දාසයේ දහ අටේ කාලෙ නෙවේනෙ. ඒ කාලෙං පටං ගත්තනං කුණාටු කීපෙකට අහු වෙලා ගහං ගිහිං අමාරුවෙන් ගොඩ ඇවිත්…ආදරේ කියන්නෙ කුණාටු මුහුදක් කියල තේරුං අරං හෙමීට ස්ටැබ්ලිශ් වෙන්න කාලෙ මේ. ඒත් දැං මේ වයසෙදි කුණාටු මුහුදකට පනින්න බෑ ශිකී. එහෙම කරන්න හදන්නත් එපා. පීන ගන්න හයියක් නැතුව ගහගෙන ගිහිං විනාස වෙන්න බෑ. තවත් එහෙම හයියක් නෑ කියල දැනෙන කාලයක් එනව. මං කියන්නෙ මට දැං එහෙම දැනෙන නිසා. තේජාන්වම ඕනයි කියල ගෙදරත් එක්ක ෆයිට් කර කර ඉන්න හයියක් නෑ වගේ මටත් දැං. ඒකයි යන අතකට ගහං ගියාවෙ කියල ඔහේ බලං ඉන්න හිතුවෙ. ඔයත් දැං සෙට්ල් වෙන්නයි ඕනෙ. හොඳ කොල්ලෙක්ව බඳින්නයි ඕනෙ”

ජපන් ජබර මල මදෙස බලා ගෙන ම සිටියේ ය. මම ඇයට මඳ සිනහවක් දුන්නෙමි. සැබවින් ඇය ඉතා අවිහිංසක වූවා ය. ආඩම්බර ඕකීඩ් හෝ ප්‍රියංකර රෝස මලක් එක්ක ජපන් ජබර මලක් සසඳන්නට යන එක මෝඩ කමකි.

හදිසි සිතිවිල්ලකට නතුව මම ස්කූටියේ යතුරත් ගෙන නැගිට ගතිමි. කොහෙද යන්නෙ කියා නූරි විමසන්නට පෙර ‘මං ඉක්මන්ට එන්නං හොඳේ’ කියාගෙන මිදුලට බැස්සෙමි. සත්තකින් ම මා එවැනි ගමනක් යනු ඇතැයි මගේ මිතුරිය හීනෙකින්වත් නො හිතන්නට ඇත.

මා ගියේ ඊයේ අප කේක් එක බාර දෙන්නට ගිය වින්ටේජ් ඇස් ඇත්තා ගේ නිවස්නය පිහිටි දෙසට ය. එය මා වුව මගෙන් බලාපොරොත්තු නොවූ හිතුවක්කාර කමකි. නමුත් මට ඒ හිතුවක්කාරකම නො කර සිටිය නො හැකි විය. 

මගේ ඇස් කකියන බවක් මට දැනිණ. මගේ හිත නො සන්සුන් බව මම දැන සිටියෙමි. ආත්මය උදක් ම යමක් බලාපොරොත්තු වෙන බව මට වැටහුණේ ය.

අසම්පූර්ණ ජීවිතයක් ගෙවා මිය යනවාට වඩා එක තත්පරයකට ආත්මය තෘප්ත කොට ගෙන මිය යන එක සැනසීමකි!

ඒ වින්ටේජමය නිවස පිහිටන්නේ බස් පාරට මුහුණ ලා ය. නමුත් බස් පාරට විවර වන පිවිසුම් දොරටුවේ සිට ගෙදරට මීටර ගණනාවක දුරක් තිබේ. ඒ ඈත දර්ශනය දෙස මම ගේට්ටුවෙන් පිටත ස්කූටිය නතර කර ගෙන, දෙපා බිම තබා ගෙන බලා සිටියෙමි. ග්‍රිල් ගේට්ටුව මුළුමනින් දෙපලු වන සේ හැර දමා තිබිණ. නමුත් මිනිස් පුළුටක් හෝ පෙනෙන මානයක වූයේ නැත. ජනේල පියන් එකක් දෙකක් විවර වී තිබුණ ද ප්‍රධාන දෙපියන් දොර වැසී ඇති අයුරු මට මෑත ට දැක ගත හැකි විය. 

මේ වගේ පැරණි දැවැන්ත නිවසක ඔහු තනිව නිවස්නේ යයි සිතිය යුතුද කියා මා දන්නේ නැත. නමුත් ඊයේ අප යන වෙලාවේත් පේන්නට හිටියේ ඔහු විතර ය. දැනුත් මිනිස් රුවක සලකුණක් හෝ පේන්නට නැත. ඔහු ම සිය උපන් දිනය වෙනුවෙන් කේක් එකක් ඇනවුම් කළේ ය. ඔහු වෙනුවෙන් ඔහු ම තිළිණයක් ද තෝරා ගත්තේ ය. ඒ සියල්ල අමුතු ය. ඊයේ මා ඔහු අතට පත් කළ පීස් ලිලී මල් බඳුනට කලින්, කිසිවෙකු ඔහුට මලක් දී නැති බවට කී කතාව මගේ මනසේ නින්නාද වේ. එය මට ලෙහෙසියෙන් අමතක කළ නො හැකි ය. මටත් මේ ජීවිතයේ දී තවම කිසිවෙකුගෙන් මලක් තෑගි ලැබී නැත. එය වෙනම දෙයකි. ඒ වාගේ මිනිස් ආත්ම මිලියන ගණනක්, බිලියන ගණනක් මේ මිනිස් ලෝකයෙහි සිටින්නට පිළිවන. ගැටළුව එය නොවේ. ඒ කිසිවෙකුත්, තමන් හෝ තමන්ට මලක් දී ගන්නට සිතුවායි මම නො සිතමි. මන්ද මට නම් මා ගැන එසේ සිතී නැත.  

ඔහු කවුරුන් ද? ඔහු හරස් පද ප්‍රහේළිකාවක් සේ මට දැනේ. ගැට පද බහුල පුරාණ ග්‍රන්ථයක් සේ මට දැනේ. ඒ ඇස් වල ලියැවුණු කියවා ගත යුතු කතා ගොඩක් ඇතිවා සේ මට දැනේ. ඒ සියල්ලට වඩා ඔහු හදවත මැද්දේ කඳවුරු බැඳගෙන ඇති බවක් මට දැනේ.

තමන් ගේ උපන් දිනය වෙනුවෙන් තමන් ට ම මලක් තිලිණ දී ගන්නට තරම් ඔහු ට දැනුණ ශෝකී හුදෙකලාව මට හොඳට ම දැනේ. එහෙම වේදනා කලාපයන් ඕනෑ තරම් මමත් අත්විඳ ඇත්තෙමි. විශේෂයෙන් ම තාත්තා ගේ ආදරය අහිමි වී යාම කියන සිදුවීමේ දී මම අසීමිත වේදනාවක් තනිව උහුලා ගතිමි. අම්මා ද ඒ වේදනාව එලෙසින් ම උහුලන්නට ඇත. නමුත් මට පේන්නට ඇය සතුටක් ඇඟවූවා ය. ඇය දුක් වේවියි බියෙන් මම ද හැකි තාක් දුකක් නො පෙන්වා සිටීමට තැත් කළෙමි. මා තනිව මා සනසා ගත් දින ඕනෑ තරම් තිබේ. වින්ටේජ් ඇස් ඇත්තා ද මේ ඔහු සනසා ගත් විදිහක් නො විය හැකි ද? එක අතකට වේදනාවෙන් පලා නො ගොස් ඊට මුහුණ දෙමින් එසේ කරන්නට ඔහු ට ආත්ම ශක්තියක් තිබුණේ ය. කවුරුන් ආදරය කරන්නටත් පෙර තමන්ට ආදරය කිරීමේ හැකියාව කෙනෙකුට තිබිය යුතු ය. ඔහු ගේ ශෝකයත් මගේ සන්තාපයත් එකිනෙක හමු වෙන සිතිජ රේඛාවක් මම ඔහු ගේ අගාධ දෑස් පත්ලේ නොදුටුවෙම් ද?

පිටුපසින් කිහිප වරක් හෝන් කරන හඬ ඇසිණ. මා මගේ හුදෙකලා කල්පනා මී විතෙන් මත් වීම පසෙක ලා පිටුපස හැරී බැලුවෙමි. දෙවියනි! මා පිටුපස වූයේ ඒ කොළ පාට ඔස්ටින් රිය ය. කලබල වූ තරමට මට ස්කූටිය පණ ගැන්විය නො හැකි ද වූයේ ය. මම දෙපා බිමට තබා ඇවිදගෙන වාගේ එය තරමක් ඉස්සරහාට කොට ගතිමි. ඒ ඉඩෙන් ඔහු වත්ත ඇතුළට රිය ගෙන යාවියි මා බලාපොරොත්තු වුව ද නො සිතූ ලෙස ඔහු රියෙන් බැස මා වෙතට එමින් සිටියේ ය. දැන් ඉතින් මා කුමක් නම් පවසන්න ද? මා පත් අපහසුතාවය ගැන ඔබට පහදා කියන්නට වුව මම නො දනිමි.

“යස්…”

ඔහු සිය අව් කණ්ණාඩි හිස මුදුනේ රඳවමින් මා විමසුවේ ය. මම මෝඩ සිනහවක් නගා ගතිමි. ඒ අතරේ ම ඔහු ගේ කඩවසම් බව කලින් දින දෙකේදී ට ම වඩා මට පෙනෙමින් තිබිණ.

“අ…නෑ..මේ…මෙතනින් යමින් ගමන් මට මේ ගේ දැක්කහම ටිකක් නතර වුණා. ඇත්තටම…ඊයෙත් මං හරි ආස වුණා මේ ගෙදර තියන වින්ටේජ් පෙනුමට. ඒකයි…ඒකයි ටිකක් නතර වෙලා බැලුවෙ…”

එහෙම කියමින් ම මම ස්කූටිය ස්ටාට් කළෙමි. කලින් වතාවේ දී සේ කරදර නො කොට එය පණ ගැන්වුණේ ය. යළිත් වතාවක් අර මෝඩ සිනහව ම ඔහු ට දෙමින් මම පුළුවන් තරම් වේගයෙන් ස්කූටිය පැද යන්නට පටන් ගතිමි. අත් දෙක පපුවේ බැඳ ගෙන මා යන දෙස බලා ගෙන ම හිඳිනු පැති කණ්ණ්ඩියෙන් දුටු ඔහු, එදා දවසේ දිගට ම මගේ හිතේ නතර වී සිටියේ ය.

ඒ සිද්දිය ගැන වචනයක්වත් නූරි ට නො කියන්නට මම ප්‍රවේසම් වීමි. කීවා කියා ඇති දෙයක් ද නැත. ආයේ අප හමු වන්නට විදිහක් ද නැත. යළිත් ඒ පැත්ත පලාතේ නොයා ඉන්නට මම තදින් ම හිතට අවධාරණය කළෙමි.

දවල් කෑමට ගෙදර යාම සාමාන්‍යයෙන් මගේ සිරිතකි. විශ් යූ වල සිට අපේ ගෙදරට මහ ලොකු දුරක් නැත. ඒ වෙලාවට ගෙදර ගොස් කෑම කා අප දෙදෙනා ම මඳ විවේකයක් ගන්නෙමු. කොහොමටත් අපට වැඩිපුර ඇනවුම් ලැබෙන්නේ අන්තර්ජාලය ඔස්සේ ය. නැත්නම් දුරකතන ඇමතුමක් මගිනි.

එදා මා කෑමට යන විට ගෙතුළින් කතා බහක් ඇහුණේ ය.

“මං එයාවවත් ඔයාගෙන් ඉල්ලුවෙ නැති එකේ…මේ ගෙවල් දොරවල් මොනාද නංගි…මට මේ කිසි දෙයක් ඕන නෑ. ඒත් එයාට අමතක වුණා මෙහෙත් එයාට දරුවෙක් ඉන්නව කියන එක..”

අම්මා හඬ නො බිඳී පවත්වා ගන්නට උත්සාහයක් දැරූ බව මට පිටත දී ම දැනිණ. ඒ කියන්නේ ඇවිත් ඉන්නේ තාත්තා ගේ අනිත් බිරිඳ ය. අම්මා ගේ මුවින් ගිලිහුණු වදන් අනුව ඇය අප වසනා මේ ගෙයත් ඉල්ලා සිටින බවක් ද  සිතා ගත හැකි විය.  මට හැඬුම් එන්නට ආවේ දුකකට ම නොවේ. නමුත් වචනයෙන් පැහැදිලි කළ නො හැකි රිදුමක් පපුව අරක් ගත්තේ ය. 

මා ආලින්දයට පිවිසෙත්දී අල්පෙනෙති තුඩක් බිම වැදුණත් ඇහෙන තරමට එය නිශ්ශබ්ධ විය. එතකොට පපුවේ ඝෝෂාව වැඩි වැඩියෙන් ශබ්ද නගා ඇසෙන්නේ ය. මා තුළින් ම ඇති ව තිබූ ඒ ඝෝෂාවට දෙවියනි මා බිය වූ තරමක්!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles