අසෙනි වර්ෂා – 01

සියල්ලන්ම නික්මී ගිය පසු මෙතරමට පාළු නිහඬතාවයක් වේයැයි අසෙනි කිසි දිනක සිතා තිබුණේ නැත.පාළුව මෙ තරමට හිත සීතල කරන හැඟීමක බව ඇයට වැටහෙන්නට ගන්නේ කම්මුල් පුරා ගලා යන කඳුළු වැල් අලුත් කරමිනි.

“දැන් ඇති නංගි ඔය!”

භාග්‍යා අක්කා,ඇගේ එකම නෑනන්ඩිය අසෙනි තම තුරුලට ගත්තා ය.එකම නෑනන්ඩිය භාග්‍යා අක්කා පමණක් නොවන වග අසෙනිට සිහියට නැගුණේ ඈ දෙස බලා හිඳින දෑස හන්දා ය.තාරුකීගේ දෑස් මත ඇත්තේ වියරු කෝපයකි.ඒ කෝපය දින හතරක් පහක් තිස්සෙම දරා ගන්නට වූ බව අසෙනි දන්නී ය.ඉදිරිය කෙසේ වේ දැයි ඇයට පැහැදිලි නොවේ.

“ඔයා දැම්ම මෙහෙන් යනවද?”

තාරුකී එපමණකට මුරණ්ඩු විය යුතු නැති බව සිතුණේ භාග්‍යාට ය.ඇය උදව් ගන්නා දෑසකින් ඇගේ සැමියා හර්ෂ දෙස බැලුවා ය. කලබල කරනවානම් කලබල කරන්නට උවමනා යන්තම් උසස් පෙළ විභාගයට මුහුණ දී ගත් තාරුකී නොවේ.හර්ෂ ය.ඔහු මේ දරා සිටින්නේ ස්වල්ප වේදනාවක් නොවන වග භාග්‍යා තරම් දන්නා කෙනෙකු ද නොවේ.

“එහෙම මිනිස්සුන්ට එළියට බහින්න පුලුවන්ද?”

හර්ෂ උපරිම සන්සුන් ස්වරයකින් යුවතියගෙන් ඇසුවේ ය.තාරුකී පුටුවෙන් නැගිට ගත්තේ පුදුමාකාර ආවේගයකින් ය.ඇය බඩු භාණ්ඩ කිසිත් නොවූ සාලයේ ඒ මේ අත සක්මන් කරන්නේ වියරුවෙන් බව භාග්‍යාට සිතේ.ඒ වියරුව තමන්ගේ නැගණිය දැවී යා යුතු නැති බව භාග්‍යා සිතුවේ අසෙනි තවත් තදින් තුරුලු කර ගන්න අතර ය.ඇයට හර්ෂ මුණ ගැසී දස වසරකටත් අධික කාලයක් ගෙවී තිබේ.එදවස ඇයට හමු වූ දහසය හැවිරිදි කෙල්ල දැන් විසිහය හැවිරිදි තරුණියක වූවාට භාග්‍යාට අසෙනි තවමත් පොඩි කෙල්ලකි.ඇගේ හිත රිදවන ඕනෑම තැනක සටන් කරන්නට භාග්‍යා දෙවතාවක් නොසිතන්නී ය.

“අයිය නෑ.එයා මැරුණා.ඉතිං ඔයාට තවත් මෙතන කරන්න දෙයක් නෑනේ.”

තාරුකී එවර කෙලින්ම අසෙනිට කඩා පැන්නා ය.දින කිහිපයක් තිස්සේ වතුර උගුරකින් මෙපිට දෙයක් කුසට නොවැටුණු අසෙනිට කතා කරන්නට පණක් නොවේ.අනෙක් අතට ඇයට කතා කරන්නට කිසිවක් ද නොවේ.

“තමන් ආදරේ කරපු මනුස්සයාගේ මතකයක් දාලා ගෑනියෙකුට එහෙම ලේසියෙන් පාරට බහින්න පුළුවන් වෙන්නේ නෑ නංගි.”

භාග්‍යා වහා කතා කරන්නට සිතුවා ය.තම ළය මත හිස තබා සිටින අසෙනිට අඬන්නට පණක් ඇත්තේ නැත.ඇයට කතා කරන්නට කෙසේවත් ශක්තියක් නැති බව භාග්‍යා හොඳින් දනී.නමුත් තාරුකී බලා හිඳින්නේ වියරුවෙනි.

“ඔයාලගේ අලුත් කාලේ කතා දැන් දිනුවද? දිනුවද?”

දෑත් ඉඟට ගසාගත් යුවතිය දිස්වන්නේ මහ අම්මන්ඩියක ලෙස ය.මේ මොහොතේ ඇය සිටින්නේ ද වේදනාවෙන් බව අමතක කළ භාග්‍යාට ඇයට හොඳ පාරක් දෙන්නට උවමනා විය.අසෙනි සිටින තැන සිටින්නේ තමන් වී තාරුකී ඉන්නා තැන අසෙනි වීනම් අසෙනි මෙසේ නොහැසිරෙන බව භාග්‍යා සක්සුදක් සේ දන්නී ය.

“චූටි,මොකක්ද ඔය හැසිරෙන විදිය?”

ගැඹුරු හඬකින් පරාක්‍රම ජයවර්ධනගේ හඬ නැඟී ආවේ ය.දැන් තාරුකී සන්සුන් වන බව සිහියත් අසිහියත් අතර සිටින අසෙනිට වැටහේ.මේ ප්‍රතාපවත් මිනිසාගේ ගැඹුරු හඬ තාරුකී සන්සුන් නො කරන්නේ නැත.

“මෙයා තමයි අයියව මරා ගත්තෙ”

තාරුකී ගේ ඉකිබිඳුම අසෙනිගේ කඳුළු වැල් අලුත් කළේ ය.මේ කඳුලට සීමා නොවේ.දෙනෙත් ජයවර්ධන නම් කඩවසම් තරුණ මිනිසා මේ වන විට හිඳින්නේ සීතල පස් ගොඩක් යට බව ඇදහීම ඇයට මේ මොහොතේ කරන්නට අසීරුම කාර්යය වේ.ඔහු තව මොහොතකින් “අසී,කෝපි එකක්” යැයි ඉල්ලමින් උඩු මහලේ සදැල්ලෙන් එබෙන තුරු බලා හිඳින්නට ඇයට උවමනා ය.දින තුනක් තිස්සේ මේ සාලයේ නිසලව වැතිරී සිටියේ ඔහු නොවේ.එය දෘෂ්ඨි මායාවකි.මේ දකින දරුණු බිහිසුණු සිහිනයෙන් අවදි වන්නට අසෙනිට උවමනා ය.

“අසෙනි කොහෙ යන්නද? ඒ ළමයට ලැබෙන්න ඉන්නෙ මේ ගෙදර මුණුබුරා.ඉපදෙන පුංචි එකා හැදෙන්න ඕනේ මේ ගෙදර.අසෙනි බලා ගන්න මටයි අම්මටයි පුලුවන්.”

ඒ අණ කිරීම තාරුකීට පමණක් නොවන බවත් තමන්ටත් හර්ෂටත් ඒ කතාව කියන්නට ජයවර්ධන මහතාට අවශ්‍ය වන්නට ඇති බවත් භාග්‍යා සිතුවා ය.අසෙනිගේ අම්මා හෝ තාත්තා මෙතැන හිටියානම් තීරණ ගැනීම පහසු වන්නට තිබිණි.ඔවුන් ජයවර්ධන මහත්මිය සමග වන්නට ඇතැයි භාග්‍යාට සිතේ.ඇයට තම නැදිමයිලන් සොයා යන්නට සිත් විය.

“මෙයාලගේ කේන්දර වල හොඳටම තිබ්බ අප්පච්චි.මේ කසාදෙ සිද්ද වුණොත් අයියගේ ජීවිතයට අනතුරක් වෙනවා කියලා හොඳටම තිබ්බා.තරු වලට පුලුවන් ද ජීවිත වෙනස් කරන්න කියලා මෙයාලා ලොකු කතා කිව්වා මතකද?”

අසෙනි ඒ වචන ඔහේ අසා හුන්නා ය.තාරුකී තවදුරටත් කතා කරන තුරුම අසා හුන්නා ය.

“මෙයා තව හත් අට මාසයක් යනකොට වෙන මනුස්සයෙක් හොයා ගනියි.ඒත් මට අයියා කෙනෙක් ලැබෙනවද අප්පච්චි.මං තනි වුණා සදහටම තනි වුණා.”

අසෙනි නැගී සිටියේ ආවේගයෙන් ය.දින කිහිපයක් හඬා වැටෙමින් ගෙවා දැමූ ඇයට මේ ශක්තිය කොහෙන් ආවාදැයි සොයා ගන්නට අසීරු වූ භාග්‍යා වහා ඇය වාරු කර ගත්තා ය.ඉකිලමින් තැන තැන වැටී සිටි අසෙනි නිවස දෙදරා යන තරම් ආවේගයකින් හඬන්නට වූයේ මේ මොහොතේ ය.ඇය බලාගත් අත බලා සිටීම ද සුදු හඬක් නොනගාම දෑසින් කඳුළු ගලා යන්නට ඉඩ හැරීම ද ඇගේ මානසික සෞඛ්‍යයට දැඩි හානියක් එල්ල කරන්නට ඉඩ ඇති බව මිතුරු වෛද්‍යවරියක පැවසූ අන්දම භාග්‍යා අමතක කර තිබුණේ නැත.දෙනෙත් ගේ දේහය නිවසින් පිටතට රැගෙන යන අවස්ථාවේ පවා ඇය අඩ සිහියෙන් ඔහේ බලා සිටියා පමණි.නමුත් ආවේගය පිටතට පැමිණෙමින් තිබේ.අසෙනිගේ හැඬුම නිවස දෙදරවන තරමේ එකක් බව භාග්‍යාට සිතුණේ ජයවර්ධන මහත්මිය ද අසෙනිගේ අම්මා සහ තාත්තා ද සාලයට දිව ආ පසු ය.

“අනේ ඇයි රත්තරං මේ?”

ජයවර්ධන මහත්මිය වහා අසෙනි වැළඳ ගත්තා ය.ඇගේ දරුවා අහිමි වී අවසන් ය.නමුත් මෙලොවට එන්නට මාස දෙක තුනක් ඉතිරිවී ඇති නූපන් කලලය අහිමි කරගන්නට ඇයට උවමනා වූයේ නැත.තම කුළුඳුල් දරුවා නොදැකම පුතු නික්ම ගොස් තිබේ.එහෙත් ඔහු වෙනුවෙන් වෙන්නට සිටින පිරිමි දරුවා රැක ගත යුතු බව ජයවර්ධන මහත්මිය සිතාගත්තේ දෙනෙත්ගේ සීතල වී ගිය සිරුර දකින්නට සිත එකඟ කර ගත් මොහොතේ පටන් ය.

“මං එයාට කිව්වා අම්මේ බඳින්න බෑ කියලා.මම කිව්වා මම නොකියා හිටියේ නෑ.ඒත් අම්ම හොඳාකාරවම දන්නවා මගේ ඒ කතාව අහන්න දෙනෙත්ට බැරි උනා කියලා.මම නෙවෙයි අම්මෙ මරාගත්තේ.මම නෙවෙයි.තමන්ට පාරේ යන්න සිහියක් කල්පනාවක් නැති වෙන තරමට බීගත්ත මිනිහෙක්.මං ඔයාගේ පුතා මරා ගත්තා කියලා අම්මට හිතෙනවද?”

අසෙනි අසන්නේ හැඬුමකින් නොවේ.විලාපයකිනි.ඇගේ හිස මත මේ අකුණු පුපුරවන්නට ඇත්තේ කවුරුන්දැයි ජයවර්ධන මහත්මිය දන්නී ය.දෙනෙත්ගේ අනතුර ආරංචි වූ මොහොතේ පටන්ම මේ සිදු වූයේ දෙවසරකට ඉහතදී දෛවඥයා පැවසු අනාවැකිය බව කියමින් තාරුකී පරසක්වල ගැසූ අන්දම ජයවර්ධන මහත්මිය හොඳින් දනියි.පුතු අහිමිව ගොස් අවසන් ය.දියණිය සහෝදර වියෝවෙන් වියරු වැටී හිඳින්නී ය.එහෙත් දරා ගත යුත්තේ අසෙනි මිස අන් කිසිවෙකු නොවන වග ජයවර්ධන මහත්මිය තදබල ලෙස තීරණය කළා ය.

ඇය දියණිය ඇමතුවේ ආවේගයෙනි.

More Stories

Don't Miss


Latest Articles