කේන්දරේ..

හේමා ලොකු කලබලයකින් වගේ ගේට්ටුව ඇරගෙන ලේන්සුවෙන් මුහුණ පිහිදන ගමන් ගෙදරට දුවගෙන එන හැටි පියල් ඉස්තෝප්පුවේ ඉඳන් බලාගෙනයි හිටියේ.

” අනේ අපි ඉවරයි පියල් ” 

හේමා පුටුවෙන් වාඩිවෙලා හති ඇරියා

” ඇයි මොකද වෙලා තියෙන්නේ ? “

” මං අපේ කෙල්ලගේ කේන්දරේ දීලා ආවනෙ බලන්න කියලා. මං අද ගියේ විස්තර දැනගන්න  ” 

පියල්ට ඒක අමුතු ආරංචියක් වුණේ නැහැ. කවුරු හරි හේමාට කේන්දර බලන තැනක් ගැන කිව්වොත් හේමා අනිවාර්යෙන්ම ගිහින් යශෝදාගේ කේන්දරේ බලවන එක පුරුද්දකට ගිහින් තිබුණා. ඊට පස්සේ මාසයක් දෙකක් යනකම් බෝධි පූජා වල, දාන මානවල ඉවරයක් තිබුණෙ නෑ. ඒ නිසා පියල් මුකුත් අහන්න යන්නේ නැතුව හේමා කතා කරනකන් බලාගෙන හිටියා.

” යශෝදා ඔය යාළු වෙලා ඉන්න කොල්ලව බැන්දොත් ජීවිතෙත් එක්ක අනතුරේ කියලා ඒ මනුස්සයා කිව්වා. අනික කෙල්ලට හොඳටම අපල තියෙනවලු.ඒවා වැඩි වෙනවලු බැන්දට පස්සේ ” 

හේමා කිව්වේ මහා ලොකු දෙයක් සිද්ධ වෙලා තියෙන ගානට.

” ඔය කේන්දරවල කියන දේවල් සීයට සීයක්ම ඇත්ත වෙන්නේ නෑ කියලා මම ඔයාට ඉහේ කෙස් ගාණටම කියලා ඇති හේමා  ” 

පියල් එහෙම කිව්වත් හේමා ඒක පිළිගන්න සූදානම් වුණේ නැහැ 

” මේ මනුස්සයා හැමදේම හරියටම කියනවලු. එතනට ගිය කීප දෙනෙක්ම මට කිව්වා. ” 

” ඔයා ඉතින් කේන්දරයක් බලවන හැම පාරම ඇවිල්ල කියන්නේ ඕකනේ. අර එකපාරක් කිව්වනේ මාස තුනක් ඇතුළත මාරක අනතුරක් මට වෙනවාය කියලා. කෝ මේ මම තාම හොඳට ඉන්නේ ” 

පියල් කිව්වේ කට කොනකට හිනාවක් නගා ගෙන. ඒ දවස්වල හේමා තමන්ට ගෙදරින් එළියටවත් බහින්න නොදී , කඩේටවත් යන්න නොදී ගෙදරම තියාගත්ත හැටි පියල්ට මතක් වුණා. 

” වෙලාවට මම රිටයර් වෙලා හිටියේ . නැත්තං ඒ කේන්දරේ බලපු මනුස්සයා කියපුවා අහල ඔයා මට රස්සාවටවත් යන්න දෙන එකක් නෑ ” 

” අනේ විහිළු නෙමෙයි පියල්. අපි කොහොම හරි මේ කෙල්ලව බේරගන්න බලන්න ඕනේ. අපි දෙන්නටම ඉන්නෙ ඔච්චරයි නේ ” 

හේමා ඉන්නේ කම්මුලට අතකුත් තියාගෙන.

” යශෝදාගේ ඔය සම්බන්ධයට දැන් අවුරුදු හතරක්ද කොහෙද.ඔයා හිතනවද ඔය කේන්දර කාරයෙක් කියපු දෙයක් නිසා ඒ ළමයා ඔය සම්බන්ධේ නවත්තයි කියලා ? අනික චාමික කියන්නේ අපි නොදන්න ළමයෙක් නෙමෙයිනේ. කොච්චර හොඳ ගතිගුණ තියෙන ළමයෙක්ද ? ” 

පියල් කිව්වෙ බොහොම බැරෑරුම් ස්වරූපයකින්.

” කොච්චර ගතිගුණ හොඳ උනත් වැඩක් තියෙනවද කසාද බැන්දට පස්සේ අපේ ළමයගෙ ජීවිතේ අනතුරේ නම් ? ” 

පියල් කියන දේ තේරුම් ගන්න හේමා සූදානම් වුනේම නැහැ. කේන්දර බලන හැම වතාවෙම මේ වගේ කතා බහක් සිද්ධ වෙන නිසා පියල් හිටියේ මේ තත්ත්වය හේමාට තේරුම් කරන්නේ කොහොමද කියලා හිත හිත.

” ඇත්තටම කවදද ඔයාගේ ඔය කේන්දර බැලිල්ල නතර වෙන්නේ ? ඔය කේන්දරේක කිව්වොත් හෙට මේ ගේ කඩාගෙන වැටෙනවා කියලා ඔයා මොකද කරන්නේ ? ” 

” ඔයාට අපේ ළමයා ගැන ගානක් නැද්ද පියල් ? ” 

හේමා අහන්නේ තවත් කතාවක්

” ළමයාගේ ජීවිතයට අනතුරක් වෙන්නේ කසාද බැන්දොත් නෙමෙයි හේමා  කසාදේ නතර වුනොත් තමයි. යශෝදා මහන්සි වෙලා රස්සාව කරලා සල්ලි ඉතුරු කරගෙන ලස්සන වෙඩින් එකක් ගන්න කොච්චර බලාපොරොත්තු තියාගෙන ඉන්නවද ? අනිත් එක ඔහොම කාරණාවක් ගැන මීට කලින් කවුරුත් කේන්දරේ බලලා කියලා නෑනේ ? ” 

” ඒ උනාට මේ පාර කිව්වනේ. මේ සම්බන්ධේ තවදුරටත් කෙරෙන්න දෙන්න බැහැ. මම දුවට කතා කරන්නම්කෝ හවසට වැඩ ඇරිලා ආවම ” 

එහෙම කියපු හේමා ගේ ඇතුලට ගියා. හවස් වරුවේ මොනවයෙන් මොනවා සිද්ද වෙයිද කියල හිතාගන්න බැරුවයි පියල් හිටියේ. හොඳට ඉගෙන ගෙන රටේ පිළිගත්තු රස්සාවක් කරන යශෝදා මේ වගේ දෙයක් කොහොමටවත් විශ්වාස කරන්නේ නෑ කියලා පියල් හොඳටම දන්නවා. 

” ඔය කියන තරම්ම මට අපල නං මේ අවුරුදු ගානටම ඔය එක අපලයක්වත් පළ දුන්නේ නැත්තේ ඇයි අම්මේ ? අම්මා හැමදාම කොහේ හරි කේන්දරකාරයෙක් පස්සේ ගිහිල්ලා ගෙදර ඇවිල්ල යකා නටනවා. මේක ඉවරයක් වෙන්නේ කවද්ද ? ” 

හවස යශෝදා වැඩ ඇරිලා ගෙදර ආව ගමන්ම හේමා සුපුරුදු කේන්දර කතාව පටන් ගත්තම යශෝදා දුන්නේ ඒ වගේ උත්තරයක්. 

” යශෝධා මේ, එකට එක කියන්න ලෑස්ති වෙන්න එපා. ඔයා චාමිකට කියන්න අපි මේ කටයුත්තට කැමති නෑ කියලා . වහාම ඕක නතර කරලා දාන්න ” 

හේමා කියන්නේ ස්ථිර හඬින්. 

” චාමිකගේ අම්මලා රට ඉඳන් ආව ගමන්ම මෙහේ එන්න හිතාගෙන ඉන්නේ. එතකොට අපි දෙන්නගෙම කේන්දර ආපහු බලවන්න පුළුවන්නේ අම්මේ ” 

” එච්චර දුරදිග යන්න ඕනේ නැහැ. මේක මෙතනින් නතර කරලා දාන්න. ඔයා කියන්න ඔයාට ලොකු අපලයක් තියෙන නිසා මේ කටයුත්ත කරන්න බෑ කියලා ” 

හේමා එහෙම කියනකොට යශෝදා පියල්ගේ මූණ දිහා බැලුවා 

” ඔයා මොනවද හේමා මේ ළමයට කියන්නේ ? එහෙම ගහෙන් ගෙඩි එන්න වගේ සම්බන්ධයක් නතර කරලා දාන්න පුළුවන්ද ? ඒ ළමයත් ගෙවල්වලට කියලා ඉවරයි. ඒ මිනිස්සු මෙහෙ එන්නත් තීරණය කරලා ඉවරයි. අපිට පුළුවන්නෙ ඒ ආවහම මේවා කතාබහ කරල පිළිවෙලක් කරගන්න. මේ දෙන්නගෙම කේන්දර එකපාර බලවලා කරන්න පුළුවන් දෙයක් කරමු. ඔයා මෙතන බොරුවට කලබල වෙලා වැඩක් නෑනෙ “

” අනේ මේ පියල්, ඔයාට අපේ ළමයා ගැන ගානක් නැති උනාට මට ගාණක් තියෙනවා ” 

” මේ ළමයා ගැන ගානක් තියෙන නිසා තමයි මම මෙච්චර කියන්නේ.අනිත් එක මේ රටේ ඉන්න එකම කේන්දරකාරයා ඔය මනුස්සයා නෙමෙයිනේ. ඔයාට ඕනෙම නම් අපි මේ ළමයි දෙන්නගෙම කේන්දර දෙක තව තැනකට දීල බලවමු ” 

පියල් කිව්වේ කල්පනාකාරීව. කරුණු කාරණා පහදලා දෙන්න කොච්චර උත්සාහ කරත් හේමා ඒවා තේරුම් ගන්න පාටක් නම් තිබුණේ නැහැ. 

” කොහොමත් කසාදයක් කෙරෙන කොට කේන්දර බලනවනේ. ඒ මිනිස්සු මේ කටයුත්ත ගැන කතා කරන්න එන්න ලෑස්ති වෙලා ඉන්න එකේ අපිට බැරියෑ ඕවා පිළිවෙලක් කර ගන්න.ඒ නිසා නිකන් බොරුවට කලබල වෙලා දඟලන්නේ නැතුව ඉන්න හේමා ” 

” ඔක්කොටම කලින් යශෝදාට බෝධි පූජාවක් තියන්න ඕනේ. මම කේන්දරේ බලපු මනුස්සයගේ ටෙලිෆෝන් නම්බර් එක ඉල්ලගෙන අපේ නම්බර් එකත් ඒ මනුස්සයට දීලයි ආවේ. කරන්න ඕන දේවල් එයා කියන්නං කියලා කිව්වා. කොහොම උනත් මේ කටයුත්ත නම් කෙරෙන්නෙ දෙන්න බෑ පියල් ” 

හේමා එහෙම කියද්දි යශෝදා අඬාගෙන කාමරයට දිව්වා. පියල් හේමාට රවන ගමන් යශෝධාගේ පස්සෙන් කාමරයට ගියා.

” ඔයා ඕවා ගණන් ගන්න එපා පුතේ. අපි බලමුකෝ මොකක්ද කරන්න පුළුවන් කියලා.ඔයා චාමික පුතාට මොකුත් කියන්න යන්න එපා. අම්මට කොහොමත් ඕව ටික දවසකින් අමතක වෙනවනේ. “

පියල් යශෝදාගේ හිස අත ගෑවත් යශෝදාගේ ඇඬුම නතර වෙන්න තවත් ටික වෙලාවක් ගියා.

රෑ කෑම වෙලාවෙදි වත් යශෝදා වචනයක්වත් කතා කළේ නෑ. අම්මාගේ අමුතු විශ්වාසයන් ගැන යශෝධා හිටිය කලකිරීමෙන්. කෑම කන අතරේ ගෙදර දුරකථනය නාද වෙනකොට පියල් කාටත් කලින් ගිහින් ඇමතුමට පිළිතුරු දුන්නා.

” හෙලෝ.. ඔව් ඉන්නවා. මොකක්ද කාරණාව ? ” 

පියල් ආපු දේට එහා පසින් උත්තර දෙනකොට පියල්ගේ කට කොණට හිනාවක් නැඟුනා. ඒ හිනාවෙන්ම රිසිවරය තියපු පියල් ආපහු ඇවිත් කෑම මේසෙන් වාඩි උනා.

” කවුද පියල් කතා කරේ ? ” 

හේමා කුතුහලයෙන් වගේ ඇහුවා

” ඔයාගේ අර කේන්දර බලන මනුස්සයා. ඒ මනුස්සයා යශෝදාගේ කේන්දරේ විස්තර කියලා ඔයාට කියලා තියෙන්නේ එතනට ආපු වෙන ගෑණු ළමයෙක් බලල තියන්න කියල තියලා ගියපු කේන්දරේක විස්තර. ඔයා අරගෙන ඇවිල්ල තියෙන්නෙත් ඒ ගෑණු ළමයාගේ කේන්දරේලු. අන්න ඒක හෙට උදේට ගෙනල්ලා දෙන්න කිව්වා ” 

පියල් සමච්චලයට වගේ හිනාවෙනකොට හේමා කෑම පිඟානත් අරගෙන නැගිටලා හෙමින් සීරුවේ කුස්සියට ගියා. 

More Stories

Don't Miss


Latest Articles