එන්න එන්නම අපේ ජීවිත තරගකාරීයි. අධිවේගී ජීවිත ගතකරන අපට ආතතිය දැනෙන එක වළක්වන්න බැහැ. ජීවිතයේ නිසල, සංසුන් විවේකීබවක් අත්වඳින්නට ලැබෙන්නේ බොහොම කලාතුරකිනුයි. ජපන් ජාතිකයන් කියන්නේ බොහොම වෙහෙස මහන්සි වී වැඩ කරන බව අපි හැමෝම දන්න කරුණක් නේ. ඔවුන් තමන්ගේ මානසික අතතියෙන් මිදීමට විවිධ ක්‍රම අනුගමනය කරනවා. ඉන් එක් ක්‍රමයක් තමයි මේ සෙන් උද්‍යාන. අපි අද මේ ලිපියෙන් කතා කරන්න යන්නේ ඒ ගැනයි.
මානසික ආතතිය නැති කර මනස සන්සුන් කරගැනීමට ජපානයේ මේ සඳහා අලංකාර භාවනා කලහැකි සෙන් උද්‍යාන පනවා තිබෙනවා. සෙන් උද්‍යාන කියන්නේ සෙන් බුදු දහම හා සබැඳුණු විශේෂ සංකල්පයක්. සෙන් උද්‍යාන මඟින් විවේකය, භාවනාව සහ මෙනෙහි කිරීම වගේ දේවල් අදහස් කෙරෙනවා. මේ සෙන් උද්‍යානයක් දෙස බලා හිදීම ඇත්තටම මනස සන්සුන් කරන භාවනාවක්. ජපන් බසින් මෙය කරසන්සුයි කලාව ලෙසත් හදුන්වනවා. සෙන් උද්‍යාන වල විශේෂත්වය වන්නේ සරල බවයි. ඒවායේ වැඩි වශයෙන් ඇත්තේ පර්වත කොටස් සහ විවිධ පාට වැලි වේ. ශාක ඇත්තේ අඩු ප්‍රමාණයක්. කාර්යබහුල ජීවිත ගෙවන අපට පුළුවන් අපේ නිවසේ ඇතුලත හෝ පිටත මිදුලේ එහෙමත් නැතිනම් මේසයක් මත තැබිය හැකි බඳුනක කුඩා සෙන් උද්‍යානයක් නිර්මාණය කරගන්න. එය ස්වභාවධර්මය අවම දෘෂ්ටි කෝණයකින් නිරූපණය කෙරෙන ලෙස සැකසිය හැකි නිසා එය දැනීමෙනුත් මනසට ගෙන සෙන්නේ සන්සුන් බවක්. කුඩා බදුනක සකසන සෙන් උද්‍යාන වියළි උද්‍යාන නිසා නිතර නිතර ජලය එකතු කිරීම අවශ්‍යවන්නේ නෑ. ඒ නිසා මෙම උද්‍යාන නඩත්තුවට පහසුයි. වර්තමානය වන විට මේසය මත තැබිය හැකි සෙන් උයන් දැන් ඉතාමත් ජනප්‍රියයි ඒ නිසා කුඩා පරිමාණයේ ව්‍යාපාරයක් කරන්නට උත්සාහ දරන කාන්තාවකට උනත් මේ පුංචි උද්‍යානය හොද අදහසක් වෙයි කියලා අපි හිතනවා.
සෙන් උද්‍යානයක් සෑදීමේදී වඩාත්ම වැදගත් වන්නේ එයට බාවිතා කරන ස්වාභාවික ද්‍රව්‍යවල කිසිදු වෙනසක් නොකර ඒවායේ ස්වාභාවික ගුණාංගවලින් ප්‍රයෝජන ගැනීමයි. පහතින් දැක්වෙන්නේ සරළව අපිට හදාගන්න පුළුවන් සෙන් උයන් දෙකක්.
Succulent සෙන් උයන්
Succulent කියන්නේ විසතුරු මාංසල පැළයක්. අපි පසුගිය සතියක ලිපියකින් ඔබට අරගෙන ආවා මේ පැළ වර්ග සහ ඒවා නඩත්තු කිරීම ගැන විස්තර. මේ ලින්ක් එක හරහා ගිහින් ඒ දැන ගන්නත් පුළුවන්. https://smartlady.lk/article/38176/gardening/ මේ පැළ වලට වතුර අවශ්‍යවන්නේ අවම ප්‍රමාණයක් නිසා කල්පවත්වා ගැනීම ඉතාමත්ම පහසුයි. අලංකාර කොළ පැහැය ඇසට සුවබර දසුනක් ගෙන එනවා. Dwell Beautiful තේමාව යටතේ නිර්මාණය වී ඇති මෙය සුදු සහ කොළ සුසංයෝගය තුළින් minimalistic උයනක සිරිය ගේනවා.
ශෛලමය සෙන් උයන්
Crystals සහ ගල් එකතු කර සකසාගන්නා මෙම වර්ගයේ උද්‍යානයක් ඔයාගේ පරිකල්පනය අනුව පහසුවෙන්ම නිර්මාණය කරගන්න පුළුවන්. විශේෂයෙන්ම විවිධ වර්ණවල ගල් වර්ග සහ වැලි යොදාගෙන මේ කුඩා උද්‍යානය හදාගත හැකියි. මෙහි විශේෂත්වයක් වෙන්නේ වැලි මත අදින අලංකාර රටාවන්. ඒවා ඇදීම වගේම දැකීමත් මනස නිදහස් කරනවා.
මාළු ටැංකියකට වඩා පහසුවෙන් කුඩා සෙන් උද්‍යාන නඩත්තු කළහැකි නිසා හිතවතෙකුට තිළිණකළ හැකි හෘදයාංගම ත්‍යාගයක්ද වනවා. කලබලකාරී දිවියෙන් සුළු වේලාවකට හෝ මිදී ජීවිතයේ සාමකාමී රිද්මය හා මොහොතකට එක්වන්නට සෙන් උයනක් ඔබත් හදලාම බලන්න.
-වීණා-