තිස් තුන් වැනි නෙත් සැරිය
චත්‍ර නිවෙස තුළට ඇතුලු වූයේ සැලෙන හදිනි. අවිශ්ක කිසිත් නොපවසා නිවෙසට එන්නට සන් කලා පමණක් නිසා චත්‍රට නොසන්සුන්කම උපරිමයෙන් දැනෙමින් තිබුණි. අයත්මා උන්නේ සිදුවන්නේ කුමක්දැයි සිතාගන්නට නොහැකිවය. මේ අල්ලපනල්ලේ චත්‍රගේ මේ මතුවීම අරුමයකි. අයියා ඔහු කැඳවා ගත්තාද, එලෙසත් නැති නම් චත්රම හිතුවක්කාර ලෙසින් මෙහි පැමිණියාද කියා අයත්මාට සිතා ගන්නට පහසු වූයේ නැත. ඒ කුමක් සිදු වුවත්, ඉදිරි විනාඩිවලට මුහුණ දීම පහසු නැත.
” වාඩිවෙයං… වාඩිවෙයං … මෙයා මේ පැයක වෙලේ ඉඳන් මොකක් හරි කියන්න කෙකර ගානවා.. මට නිකමට හිතුනා උඹත් මෙතන හිටියොත් ඒක කියාගන්න ලේසි වේවි කියලා….”
චත්‍ර පොළවට හිනැහුනේය. එසේනම් ඇය තීරණය කර ඇත. ඔහු ඉන් පසුව යන්තමින් හිස හරවා අයත්මා දෙස බැලුවේය. ඕ උන්නේ දෑස් විසල් කරගෙනය.
අයියා පැවසූවක් විශ්වාස කිරීමටවත් අපහසු බවක් අඟවමින් ය. එහෙත් චත්‍රගේ බැල්මට ඇය ඍජු බැල්මක්ම පෑවාය. කුමක් කරන්නට යන්නේදැයි දෑසින් විමසා උන්නේය.පසුව චත්‍ර කලබල නොවන ලෙසට ඇයට ඉඟි කලේය.
” මං අයත්මාව බඳින්න ඕනි බං …. එයා ලෑස්ති ඕනෑම වෙලාවක මට එයාව බඳින්න ඕනි ….”
චත්‍ර ඍජුවම අවිශ්ක දෙස බලා කීවේය. අවිශ්ක උන්නේ චත්‍ර එලෙස විමසනතුරු බලා උන් බලාපොරොත්තුව පෙන්වන ගමන් ය. බලාපොරොත්තුවෙන් උන් යමක් නොසිතූ වෙලාවක ලැබුණ පසු දැණෙන ප්‍රීතිය විඳින ගමන් ය. මම ආදරෙයි කියනවාට වඩා මට අයත්මාව බඳින්න ඕනෑ යැයි කීමේ වගකීම් සහගත බව අවිශ්ක ගේ අයියා කමට සැහැල්ලුවෙන් දැනුනේය.
චත්‍ර යළි අයත්මා දෙසද බැලුවේය.
” ඔයා අයියා එක්ක කතා කරගන්න .. මං ගිහින් එන්නම් …”
චත්‍ර නැගිට්ටේය. අවිශ්ක ඉක්මවන වේගයකින් ඉදිරියට ආ අයත්මා ඔහුගේ අතේ එල්ලුණාය. ඉන් පසුව බිත්තියේ වූ ඔරලෝසුව පෙන්වූවාය. වෙලාව රාත්‍රී දහයට පමන තිබුණි.
” රෑ වෙලා …”
ඕ අවිශ්කට නෑසෙන්නට කීවේය. එහෙත් අවිශ්කට එය ඇසුණි.
” රෑ වෙලා ගමන් නුහුරු එකෙක් නෙවෙයිනේ .. ඌ කියන්න ආව එක කිව්වා. දැන් යන්න දෙන්න. ඉතුරු ටික අග්ගිස්සන්න එක්කෙනෙක් ඉන්නවනේ…… එක්කෝ ආයේ අග්ගිස්සන්න දේකුත් නෑ … කතාවම පැහැදිලියි ..”
අවිශ්ක ඌන පූරණද තිව්වේය. චත්‍ර අවිශ්කට සමුදුන්නේය. අයත්මා කැබ් රිය අසලටම ඇවිද ගියාය.
” ෆෝන් එක ඔන් කරගන්න…”
ඕ හිස සැලුවාය. චත්‍ර නිවෙසට ගොස් කෙලින්ම කාමරය තුළට වැදුනේය. අයියා එනතුරු අවදියෙන් උන් සිහිනිට ඉඩක් දෙන්නට චත්‍ර අවැසි වූයේ නැත. ඕ සූදානම් වන්නේ මේ ප්‍රීතිය කුඩුපට්ටම් කරන කතා කීමටය. අයත්මා පිලිබඳව සිහිනිට පැහැදිලි කිරීම තවත් පසුව කරන්නටචත්ර කල්පනා කලේය. සිහිනි දැන් ඉන්නේ කපිලගේ අත්දැකීම් සහ හිතලු කතන්දර වලින් මොලය කුරුවල් කරගෙනය. එනිසාැයට යමක් පැහැදිලි කරන්නට උත්සාහ කිරීමම පලක් නැති බව චත්‍ර සිතුවේය.
චත්‍ර උන්නේ පාවෙමිනි. දැන් ඇය තමාගේය යන හැඟීමක් කොහෙදෝ සිට විත් පැලපදියම් වී තිබුණි. අවිශ්ක මෙතරම් පහසුවෙන් තමා පිළිගනීවියැයි චත්‍ර සිතා තිබුනේ නැත. ඇතැම්විට ඔහු තමා සහ අයත්මා පිළිබඳව අවධානයෙන් ඉන්නට ඇතැයි චත්‍ර සිතුවේය.
දැන් අයත්මාගේ පැත්තෙන් විරෝධතා අවමය. තමාගේ පැත්තෙන් වූ ලොකුම විරෝධය අම්මාය. දැන් ඇය අයත්මාට ආදරේ කරන්නීය. අප්පච්චී නම් කොහොමටත් පෞද්ගලික තීරණ ඉක්මවා යන්නට උත්සාහ නොකරන බව චත්‍ර දක්නී. එහෙත් සිහිනි සහ කපිලගේ වෛරස් දෙක අම්මා සහ අප්පච්චීට කොහොම කෙලෙසින් බලපාවිදැයි චත්‍රට ගැටලුවක් තිබුණි.
සිහිනි කොහොමටත් කාරණා මවා සිතන්නට සේම කියන්නටත් දක්ශය. කපිලට ගැහැණූන් දෙදෙනෙකු විසින් වංචා සිදු කරන ලද අතීත අත්දැකිම් ඇත. ඒවා සමඟින් ගැටීමට අයත්මාගේ සහ තමාගේ ප්‍රේමය බලවත් වේදැයි චත්‍ර සිතුවේය. චත්‍ර කලකට පසු නින්දට වැටුනේ ජීවිතය පිළිබඳව දරා ගන්නට නොහැකි තරමේ වන බලාපොරොත්තු සමඟිනි.
දින දෙකක් සාමකාමීව ගෙවුණි. චත්‍ර සහ අයත්මා උන්නේ ලෝකයම හිමිවූ තරමේ ප්‍රීතියක් දරාගෙනය. එකිනෙකා වෙනුවෙන් නැඟෙන තත්පරයකට අඩු කාලයක් අයිති කරගන්නා සිතුවිල්ලකින් පවා ඔවුහු ඇවිලෙමින් නිවෙමින් උන්හ.
සිහිනි උන්නේ අයියාගේ සතුටෙන් මහා විපතක් දකිමිනි. අයත්මා පාසැලේදී දුටු හැම වතාවේම ඕ අයත්මාට රැවුවාය. කිසිඳු හිතවත් සිනහවක් නොදීම මඟ හැරියාය. අයත්මා ඒ ගැන චත්‍රට නඩු කීම පසුවට කල් දමන්නට තීරණය කලේ මෙවෙකෙහි චත්රටද ඒ වෙනුවෙන් කල හැකි යමක් නැති වග දැන උන් නිසාය.
බදාදා උදෑසන චත්‍ර ඇහැරුනේ එක දිගට ජංගම දුරකතනය නාද වෙන්නට ගත් නිසාය. එවිට උදෑසන හයටවත් වී තිබුණේ නැත. පාන්දර තමා ඇහැරවන පාප මිත්‍රයන්ට සුද්ද සිංහලෙන් ඇමතීම හැර අනෙකක් චත්‍රට සිහි වූයේ නැත.
” මචං … අපි උඹලෑ ගේට්ටුව ළඟ.. වරෙන්කෝ…”
චත්‍රට පෙර මිතුරෙකු ඉස්සර විය. චත්‍රට ඒ කලබලය වටහා ගන්නට නොහැකි වුවත් ඔහු වහා කාමරයෙන් පිට වූයේය. එවිට කපිල ගේට්ටුව විවෘත කර තිබූ අතර මිතුරන් මිදුලට පැමිණ උන්හ. චත්‍ර ඔවුන් දෙස නොපහන් බැල්මක් හෙලන අතරේ ඔවුන්ගේ කලබලයට හේතුවද සොයා ගන්නට අවැසිය යන ආකාරයේ බැල්මක් හෙලුවේය.
“යමංකෝ ….”
චත්‍ර ඉස්සර කරගෙන මිතුරන් ඔහුගේ කාමරය තුලටම ආහ. ලේසියකට උදේ පාන්දර ඇහැරෙන්නේ නැති මිතුරන් දෙදෙනෙකුද එතැන සිටීම චත්‍රට වටහා ගන්නට හැකි වූයේ නැත.
” මොකෝ බං ?….”
” මේක අහපං චත්රයා… මේ වෙලාවේ අපි සිහි කල්පනාවෙන් වැඩ කරන්න ඕනි .. මොකද අපිත් කෑ ගහලා උඩ පනින්න ගියොත් හත් පොළේ ගෑවෙනවා මේක …”
” වෙලා තියෙන්නේ මොකද්ද කියහංකෝ .?…”
” අර අයත්මා එක්ක උඹේ මොකක් හරි සිද්දියක් වුනාද?… උඹ ඒ සිද්දියෙන් පස්සේද අපිට කිව්වේ ඒකි ගැන තවත් හිතන්නේ නෑ කියලා….”
එක් මිතුරෙකු ජනේලයෙන් ඉවත බලාගෙන විමසූවේය. චත්‍ර අඩියට දෙකට ඔහු වෙත ඇවිද ගියේය. වහා ඔහු තමා වෙත හරවා ගත්තේය. චත්‍රගේ දෑස් ගිණි ගනිමින් තිබුණි.
” මොකද්ද යකෝ උඹ අහන්නේ?…”
ඒ ගිණි අස්සේම චත්‍ර කෑ ගැසුවේය. අඟුලු ලා නොතිබූ දොරෙන් සිහිනිද ඇතුලට ආවේ කපිලගෙන් ලැබුණ පණිවිඩය සමඟය. කපිලද උන්නේ පඩිපෙල අසලට වීගෙනය.
” උඹ මූට කෑ ගහන එක නෙවෙයි චත්‍ර කරන්න ඕනි …… උඹ අපිට හංගපු කතාව අපි ඇරෙන්න ඔක්කොම දන්න එක උඹ පිළිගන්න එකයි ඕනි දැන්… ඒ වෙච්ච දේ අපිට කියලා, මේ සිද්දිය කොහොම හරි විසඳගන්න විදියක් බලන්නයි ඔනි …”
” මොකද්ද හු ත් තෝ වෙලා තියෙන්නේ?…?”
” මේක බලපං ….”
අයෙකු චත්‍රට ඔහුගේ ජංගම දුරකතනය පෑවේය. චත්‍ර ඔහුගේ අතින් ජංගම දුරකතනය උදුරා ගත්තේය. එහි වූ ඡායාරූප කිහිපයක් දෙස උමතුවෙන් මෙන් බැලුවේය. ඒ අතර වූ ස්ක්‍රීන් ශොට් කිහිපයක්ද බැලුවේය. ආපස්සට යළි එම ඡායාරූප දෙස බැලුවේය. මිතුරන් දෙස බැලුවේය. සිහිනි දෙසද බැලුවේය. යළි එම ඡායාරූප දෙස බැලුවේය. චත්‍ර ට තමාගේ අභ්‍යන්තරය දැවෙන බව දැනුණි. මහා ගින්නක් තමා වටා ඇවිලෙන බව දැනුණි. එක්වරම මහා ආගාධයක් තුළට ඇදී ගොස් වැටුණ බව දැනුණි.
” පාසැල් ගුරුවරියට වින කෙරූ සල්ලාල මන්ත්‍රී කවුද?..”
” කෝරලයා හොර ගෙඩියා .. එලවාපිය ඒ මිනිහා …”
ලෙසින් වන පෝස්ටර් අලවා තිබූ සේයාරු දෙක දෙස චත්‍ර යළි බැළුවේය.
” තිස්සමහාරාමය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු එම ප්‍රදේශයේ පාසැලක ගුරුවරියකට ලිංගික අඩත්තේට්ටම් කර ප්‍රදේශයෙන් පලා ගොස් සිට ඇත. යළි එම ප්‍රදේශයට පැමිණ සිටින අදාල මන්ත්‍රීවරයා යලිත් එම ගුරුවරියට බලපෑම් කරන්නට පටන් ගෙන ඇති බවත්වාර්තා වේ. ..”
වට්සැප් සමූහයක නිර්නාමික ලියැවිල්ලක් ලෙසින් චත්‍රගේ සහ අයත්මාගේ වෙන් වෙන් ඇස් බොඳ කෙරූ චායාරූප දෙකක් සමඟ එලෙස සංසරනය වූ සටහනක ස්ක්‍රීන් ශොට් එක දෙස ද චත්‍ර යළි බැලුවේය.
” මොකද්ද රුක්ශාන් අයියේ වෙලා තියෙන්නේ?..”
චත්‍රගේ විරූපීව ගිය මුහූන දෙස නිසොල්මනේ බලා සිටිය නොහැකි වූ සිහිනි චත්‍රගේ මිතුරෙකු වෙත ලංව ඇසුවාය.
| අපේක්ෂා ගුණරත්න |