මැෂින් නැතුව ගෙදරදීම ඉක්මණින් පාස්තා හදමු 

පාස්තා කියන්නේ වයස් භේදයක් නැතුව අපි කොයි කවුරුත් ආස කරන කෑමක්නෙ. 

Smart lady අපිත් විවිධ ක්‍රම වලට විවිධ රසවලින් පාස්තා පිසගන්න ආකාරය ගැන ලිපි කීපයක්ම ඔබත් එක්ක බෙදාගෙන තියෙනව. 

හැබැයි ඔන්න අපි අද මේ කියල දෙන්න සූදානම් වෙන්නෙ පාස්තා හදන ඒ වගේ ක්‍රමයක් නම් නෙමෙයි.

ගෙදර පාස්තා ඉවර නම් පාස්තා කන්නම හිතෙනව නම් ඉක්මනින් වගේම බොහොම පහසුවෙන් ගෙදර නිතරම හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය කීපයක් භාවිතා කරල පාස්තා හදාගන්න පුළුවන් විදිහ ඔනට කියල දෙන්න අපි සූදානම්. 

එහෙනම්, මුලින්ම අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියල බලමු. 

අවශ්‍ය ද්‍රව්‍ය 

පිටි කෝප්ප 02 ක් 

බිත්තර 03 ක් 

ඔලිව් තෙල් මේස හැඳි 01 ක් 

ලුණු කුඩු තේ හැඳි 01 ක් 

වතුර 

සාදාගන්නා ආකාරය 

මුලින්ම තුනී මතුපිටක් මතට පිටි ටික දමා මැදින් වලක් ආකාරයට සකසා ගන්න. 

වලට ඔලිව් තෙල් සහ බිත්තර තුන කඩා දමා ගෙන ගෑරුප්පුවකින් සෙමින් බිත්තර වල සුදු මදය සහ කහ මදය කලවම් කරගන්න.

ඊළඟට, ගෑරුප්පුවෙන් සෙමින් පිටි ටිකෙන් ටික බිත්තර සමඟ කලවම් කරගන්න. 

බිත්තර සහ පිටි සම්පූර්ණ කලවම් වූ පසු පිරිසිදු කරගත් දෑතේ අල්ලෙන් තද කරමින් පිටි ටික අත් ගසා හොඳින් කලවම් කරගන්න.

මිශ්‍රණය වියළි ස්වභාවයක් ගන්නේ නම් අතින් වතුර ස්වල්පයක් එකතු කරගන්න පුළුවන්. 

විනාඩි 10 ක් පමණ මෙසේ අත් ගසමින් අතේ නොඇලෙන මෘදු පිටි බෝලයක් සාදාගන්න.

ඇඟිල්ලෙන් තද කරගත් පසු නැවත ඒ ස්ථානය තිබූ ස්වරූපයටම පත්විය යුතුයි.

දැන්, මේ සාදාගත් පිටි බෝලය පොලිතීන් ආවරණයකින් හොඳින් වසා විනාඩි 30 ක් පමණ කාමර උෂ්ණත්වයේ තබා ගත යුතුයි. 

විනාඩි 30 කට පසු පිටි බෝලය දෙකට හෝ හතරට කපා වෙන් කර ගැනීමෙන් ඔබට ඉදිරි පියවර අනුගමනය කිරීම පහසු වේ.

දැන් එක් පිටි කොටසක් පිටි ඉසගත් මතුපිටක තබා ඍජුකෝණාස්‍රාකාර හැඩයට රෝලින් පින් එකක් හෝ රවුම් බෝතලයක් ආධාරයෙන් මඳක් තුනී කරගත යුතුයි. 

ඉන්පසු පළල පැත්තක් මැදට නමා අනෙක් පැත්ත ඊට උඩින් නමා ගත් පැත්ත මත සිටින සේ නමා ගත යුතුයි. 

නැවත මඳක් තුනී කරගෙන එලෙසම නමා ගත යුතුයි.

මේ ලෙස වාර තුනක් නමා ගත් පසු පිටි මිශ්‍රණය හොඳින් තුනී කරගත යුතුයි. 

තුනී කරගත් පිටි මිශ්‍රණයේ යටින් අත තැබූ විට ඇඟිලි වල පාට පිටි මිශ්‍රණයේ උඩට පෙනිය යුතුයි.

දැන් මේ විශාල තුනී කරගත් පිටි මිශ්‍රණය කලින් ආකාරයට එක මත එක සිටින සේ තුනට නමා පිහියකින් ඔබ කැමති පළලක් තිබෙන තීරු වලට කපා ගන්න පුළුවන්.

ඔන්න අපි දැන් පාස්තා හදාගෙන ඉවරයි.

සාදාගත් පාස්තා මතට පිටි ස්වල්පයක් ඉසගෙන ඒවා එකිනෙක ඇලීම වළක්වා ගන්න පුළුවන්.

අලුත් පාස්තා වඩා ඉක්මණින් ඒ කියන්නෙ නටන ජලයට දමා විනාඩි 3 ක් 4 ක් වගේ කාලෙකින් තැම්බෙන නිසා පාස්තා ටික බෙරි නොකර ගෙන ඉන්න ඔබ ප්‍රවේශම් සහගත වෙන්න ඕන. 

එහෙනම්, මේ විදිහට පාස්තා හදල බලමු නේද?

මේ වගේම රසවත් ලිපියකින් අපි නැවත හමුවෙමු. 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles