කලු කෙල්ලක්ට ජීවිතේ මේ තරම් අමාරු වෙන්න පුලුවන්ද කියලා සහස්‍රා කල්පනා කලේ ගාලු කොටුවේ ඇවිදින ගමන්. තමන් ගැන සහස්‍රාට දැනෙන්නේ කලකිරීමක්. තරහක්. ඒත් අම්මටයි, අප්පච්චිටයි මේ හිතේ තියෙන දුක කියන්න සහස්‍රාට හිතෙන්නේ නැහැ. ඒකෙන් අම්මලාත් අසීමාන්තිකව හිත් රිදවගන්න බව සහස්‍රා දන්නවා. ඒ හින්දා දුක දරාගන්නම බැරි වුන දවසට සහස්‍රා කරන්නේ ගාලු කොටුව ඇතුලේ පැයක් දෙකක් ඇවිදින එක. මුහුදු හුලඟෙන් පෙනහලු පුරවගන්න එක.
” ඒ අනේ… සහස්‍රාට නම් අප්‍රිකාවේත්ඈතම ගමකින් වගේ තමයි කොල්ලෙක් හොයන්න වෙන්නේ.. කට්ට කලු , හෙන පත සයිස් එකෙක් …”
හවස වැඩ ඉවරවෙලා එනකොට නිම්මි විහිලුවෙන් වගේ කියලා දැම්මේ දවල් කාර්‍යාල ප්‍රගති සමාලෝචන රැස්වීමේදි ඉහලම නිළධාරියෙක්ගෙන් තමන්ට ලැබුණ ප්‍රශංසාව නිසා ඇයට හටගත්ත ඉරිසියාව බව සහස්‍රාට නොතේරුනා නෙවෙයි. ඒත් දිගින් දිගටම නිම්මිලාගේ හිත් රිදවීම් ඉවරයක්ම නැති වෙන එක සහස්‍රාට මානසික වදයක් වෙලා තිබුනේ. ඊලඟ දවසේ සහස්‍රා නිම්මිලට වැඩිය මුහුණ නොදී ඉන්න උත්සාහ කලත් නිම්මි කලේ සහස්‍රා ළඟට ඇවිල්ලා ඇඟිල්ලෙන් ඇහැට ඇනලා යනවා වගේ වැඩ. දිගින් දිගටම ඇගේ හමේ පැහැයට ඇණුම් පද.
එදා සහස්‍රාගේ ඉවසීම ඉක්මවලා ගියා. සහස්‍රා නිම්මිගේ කම්මුලට ගැහුවා. නිම්මි අඬාගෙන ගිහින් ආයතන ප්‍රධානියාට ඒ ගැන පැමිණිලි කලා. නිම්මිට ආයතනයේ මානව සම්පත් කලමණාකරන අංශය පැත්තෙන් කොහොමටත් තිබුණේ කැමැත්තක්. ඒ නිසාම සහස්‍රා වැරදිකාරයා වුනා. සහස්‍රාව රැකියාවෙන් ඉවත් කලේ මාස තුනක පඩි එක්ක. සහස්‍රා කාර්‍යාලයෙන් එලියට ආවේ කිසිම දෙයක් හිතාගන්න බැරුව. සහස්‍රාට හිතවත්ව උන්න කිහිප දෙනා සහස්‍රාව බසයට නංවන්න ආවත්, සහස්‍රා ඔවුන්ව මඟ ඇරියා.
ගාල්ලට එනකල් ආවේ කොහොමද කියලාවත් සහස්‍රාට මතක තිබුනේ නැහැ. ගාලු කොටුව ඇතුලට සහස්‍රා ඇවිදගෙන ගියේ අසිහියෙන්. තම තමන්ගේ රේස් වල ඉතා වේගයෙන් දුවමින් උන්න කිසිම කෙනෙක්ට සහස්‍රාගේ බිඳ වැටීම පෙනුනේ නැහැ. සහස්‍රා ගල් බැම්මක් උඩින් ඉඳගෙන ඇයට ලැබුණ අස්වීම කියෙව්වා.
ඒකේ තිබුණේ ඔබේ අයහපත් හැසිරීම් ආයතනික විනය නීති පටිපාටියට අනුකූල නොවන හෙයින් ඔබව සේවයෙන් පහ කිරීමට තීරණය කරපු බව. පපුව ඇතුලෙන් එන වේදනාව වගේම, ඇස් කෙවෙනි රත් වෙන වේදනාවත් සහස්‍රාට දරාගන්න පහසු වුනේ නැහැ. සහස්‍රා ලියුම ගුලි කරලා බෑගයට ඔබා ගත්තා. ජීව්තේ අන්ධකාරය ඇරුනම සහස්‍රාට කිසිම දෙයක් පෙනුනේ නැහැ. සහස්‍රා ගාලු කොටුවේ මුහුද පැත්තෙන් ඇවිදගෙන ගියා. බැම්ම උඩ ඉඳගෙන පහල බැලුවා. සැනසීම ඇරෙන්න වෙන කිසිම දෙයක් පෙනුනේ නැහැ. සහස්‍රාගේ අතින් අත් බෑගය ගිලිහුණා. ඇය දෑස් පියාගත්තා. අම්මව අප්පච්චීව සිහිවෙනවාත් එක්කම සහස්‍රා සියල්ල අතාරින්න තීරනය කලා. ඒත් සැනින් කෙනෙක් සහස්‍රාව අල්ලගෙන තිබුණා.
චරක ගාලු කොටුවට ආවේ චායාරූප කිහිපයක් අරගෙන ආයෙම කොළඹ යන්න බලාගෙන. පියාගේ ව්‍යාපාර කටයුත්තකට ගාල්ලට ආව නිසාමත්, ගාල්ල කියන්නේ චරකගේ ජීවිතේ අතාරින්න බැරි මතක අවුස්සන නගරයක් නිසාත් ඔහු ගාලු කොටුවට ආවෙ කැමරාවත් එල්ලගෙනමයි. ඒ අතරවාරයේ තමයි චරක සහස්‍රාව දැක්කේ. සහස්‍රා බෑගයෙන් යමක් අරගෙන ඒ දිහා බලාගෙන අඬන විදිහත්, එකපාරටම කලබලයක් එක්ක නැගිටලා ඇවිදගෙන යන විදියත් චරක එක පාරටම අවධාරනය කරගත්තා. චරකත් සහස්‍රා පස්සෙන්ම ඉක්මන් ගමනින් ඇවිදගෙන ගියා.
සහස්‍රා ජීවිතේ අතාරින්න හදපු වෙලාවේ ජීවිතේ අල්ලගත්තේ ඒ චරක. සහස්‍රා පපුවට ගුලි වුනේ ඒ චරකගේ.
ඊට විනාඩි පහලොවකට පස්සේ උණු කෝපි කෝප දෙකක් මේසෙක තිබුණා. ඒ කෝපි කෝප්ප දෙකට අයිතිකාරයෝ දෙන්නෙක් හිටියා. සහස්‍රා කලේ අඬපු එක. චරක ඇයගෙන් කිසිවක් විමසන්නේ නැතුව ඇයට අවශ්‍ය ඉඩ දීලා බලාගෙන හිටියා.
” මම ගාල්ලේමයි … අම්මයි අප්පච්චියි මායි ඉන්නේ … මං ඩිග්‍රී එක කලේ ප්‍රයිවට් .. දැන් ඔඩිට් ෆම් එකක වැඩ.. මට එතන වැඩ වල කිසිම අවුලක් තිබ්බේ නෑ .. ඒත් මාව බොස්ලාගේ ඇප්‍රිසියේශන් එකට ලක් වෙන්න ගත්තා … ඊට පස්සේ තමයි ඔක්කොම ප්‍රශ්න ආවේ.. මට වඩා සීනියර් අය ඒකට ඇරියස් හදාගත්තා..හැම වෙලාවෙම මාව බුලි කරන්න පටන් ගත්තා…”
” බුලි කරන්න ගත්තා ?…”
චරක කතාව මැදට පැන්නා.
” මං කලුයි, අම්මයි තාත්තයි සුදුයි ඒත් මගේ.. ඕක දැනගෙන තමයි ඉස්සෙල්ලම කතන්දර පටන් ගත්තෙ… පස්සේ මට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැති එකටත් .. ඒගොල්ලෝ මගේ පස්සෙන් බොරුවට කොල්ලෝ එන්න වගේ සෙට් කරලාත් මාව නෝන්ඩි කලා එකපාරක් … මට ඉවසලා ඉවසලා බැරිම තැන තමයි මම නිම්මිට ගැහුවේ…”
” නියමයි .. කන පැලෙන්න ගහන්න තිබ්බේ …”
චරක උද්දාමයෙන් එහෙම කියනකොට සහස්‍රා පුදුමෙන් ඒ දිහා බැලුවා.
චරකගේ පියාට අයිති වෙලා තිබුන ව්‍යාපාරයක ගාල්ල ශාඛාවේ චරක සහස්‍රා වෙනුවෙන් රැකියාවක් වෙන් කලා. සහස්‍රා ඉතාම ඉක්මනින් ඒ වැඩ කටයුතු වලට හුරු වුනා. චරකගේ තාත්තාත් සහස්‍රාට ප්‍රශංසා කරන්න පෞද්ගලිකවම ඇයව මුණ ගැහුනා. ඒ පරිසරයේ උන්නේම සහස්‍රාට බාධා නොකරපු අය. සහස්‍රාට වර්ණ භේදය ඉස්සර කරගෙන මානසික වද දුන්න අය නොඋන්නම තරම්.
ඒ තරම් කාලයක් පීඩනයෙන් උන්න සහස්‍රාගේ ජීව්තේට නැවුම් එලි වැටෙන්න ගත්තා. ඇය මිනිස්සු අතර හරි සුව පහසුවෙන් හැසිරුනා. ඒ අතරේ චරක ඇයට මෝස්තර නිර්මානය පිලිබඳව ඩිප්ලෝමා පාඨමාලාවක් ගැන ඔත්තුවක් දුන්නා. එතැනින් සහස්‍රා තමන් විදියට නැගිටින විදිය ගැන පෞද්ගලිකවම ඉගෙනගත්තා. තමන් තමන්ට ආදරේ නොකරන තාක් කල් ජීවිතේ තමන්ට සැනසීමක් නොලැබෙන බව ඉගෙනගත්තා.
” හෙට අපේ අම්මගේ උපන්දිනේ.. මම ඔයාව එක්කගෙන යන්න එනවා කොළඹ.. අම්මලාටත් කියලා කට්ටියම ලෑස්ති වෙලා ඉන්න…”
චරකගෙන් ලැබුණ ඒ කෙටි පණිවිඩය සහස්‍රාට හිතාගන්න බැරි වුනා. කොහොමහරි එදයින් පටන් ගත්ත හිතවත්කම් වලට නේක විධ පාට වැටි වැටි ඉස්සරහට ගියා.
අවුරුද්දක් ගෙවුණා. ඒ වෙනකොට සහස්‍රා තමන්ගේ පෙනුමට ආදරේ කරන ආඩම්බරකාර ගැහැණු ලමයෙක් බවට පරිවර්තනය වෙලා හිටියේ. ඒ වගේම තව වෙනසක් වෙලා තිබුනා.
” මම ඔයාට හරි ආදරෙයි චරක … මං දන්නේ නැහැ ඒක කවදා කොහොම ඇති වුනාද කියලා… ඒත් මං දන්නවා, ඔයා මගේ ජීවිතේට පාර කියන්න ආව තරුවක් බව… ඔයා මට ආදරේ කලත් නැතත් ඔයා මගේ හිත පුරාම අහුකොන් වල ඉඳී…”
ඒ පණීව්ඩය යවලා සහස්‍රා ජංගම දුරකතනය විසන්ධි කලා. සහස්‍රාගෙන් මේ කතාව අහනකල්, තමන්ගේ ආදරේ හංගගෙන ඉවසීමෙන් උන්න චරකගේ මූණ පුරාම හිනා මල් පීදිලා තිබුනා.
” මම හරියටම අවුරුද්දක් බලාගෙන උන්නා ඔයා ඒ බව කියනකල් සහස්‍රා .. ඔයාට ආදරේ කරන්න ගත්තේ ගාලු කොටුවෙන් මුහුදට පනින්න ගිහින් මාව බඳාගෙන ජීවිතේ දෙවෙනියට පටන් ගත්ත මොහොතේ …”
පහුවෙනිදා දවල් වෙලා බයෙන් බයෙන් ජංගම දුරකතනය ක්‍රියාත්මක කරපු සහස්‍රාට එහෙම පණීවිඩයක් ඇවිල්ලා තිබුණා.
අපේක්ෂා ගුණරත්න
ReplyForwardAdd reaction |