ලොකු පොඩි හැමෝටම ගැළපෙන cinnamon french toast හදමුද?

වෙනසකටත් එක්ක වෙනස්ම කෑමක් රසවිඳින්න ආස කරන ලොකු පොඩි හැමෝටම ගැළපෙන රසම රස කෑමක් හදාගන්න විදිහ කියල දෙන්නයි ඔන්න smart lady අපි අදත් සූදානම් වෙන්නෙ.

මේ දවස්වල වැස්සනේ නේද? වැස්ස වෙලාවට ගෙදර හැමෝම එක්ක cafe එකකට ගියා වගේ හැඟීමක් දැනෙන්න හදාගන්න පුළුවන් උණුම උණු තේ, කිරි, කිරි තේ හෝ කිරි කෝපි එක්ක රස බලන්න පුළුවන් cinnamon french toast (සිනමන් ෆ්‍රෙන්ච් ටෝස්ට්) හදාගන්න විදිහ තමයි අද අපි මේ අරන් එන්නෙ.

එහෙනම්, පුරුදු විදිහටම අවශ්‍ය ද්‍රව්‍ය සූදානම් කරගමු.

අවශ්‍ය ද්‍රව්‍ය 

බිත්තර 03 ක්

කිරි කෝප්ප ½ ක් 

සීනි තේ හැඳි 03 ක් 

වැනිලා තේ හැඳි ½ ක් 

ලුණු කුඩු ස්වල්පයක් 

කුරුඳු කුඩු තේ හැඳි ½ ක් 

බටර් හෝ මාගරින් 

පාන් පෙති 04 ක් 05 ක් 

සාදාගන්නා ආකාරය

මුලින්ම, තරමක් ගැඹුරු පැතලි භාජනයක් ගෙන එයට බිත්තර ගෙඩි තුන කඩා දමා සුදු මදය සහ කහ මදය හොඳින් කලවම් කරගන්න.

ඊළඟට, එයට කිරි, සීනි, වැනිලා සහ ලුණු කුඩු ස්වල්පයක් එකතු කර කලවම් කර කුරුඳු කුඩුත් එකතු කර නැවත හොඳින් කලවම් කරගන්න.

දැන් පැතලි බඳුනක් / නන්ස්ටික් තැටියක් ලිප තබා එයට බටර් ස්වල්පයක් එකතු කර බටර් දියවෙන්නට තබන්න.

පාන් පෙත්තක් ගෙන එය සාදාගත් බිත්තර මිශ්‍රණයට දමා දෙපැත්ත හරවමින් හොඳින් පොඟවා ගන්න.

පොඟවා ගත් පාන් පෙත්ත දියවූ බටර් මතට දමා ප්‍රවේශමෙන් දෙපැත්ත හරවමින් දෙපැත්තම රන්වන් පාට වනතුරු කරකර ගන්න.

මේ විදිහටම ඉතිරි පාන් පෙතිත් සාදාගන්න ඔබට පුළුවන්.

ඔන්න අපි cinnamon french toast හදාගෙන ඉවරයි.

පැණි, චොකලට් සිරප්, ස්ට්‍රෝබෙරි සිරප්, ඉදුණු කෙසෙල් ගෙඩි, ස්ට්‍රෝබෙරි වගේ ඔබ කැමති ඕනෑම දෙයක් සමඟ රසවිඳින්න ඔබට පුළුවන්.

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles