සාගර තරංගා – 11

0
6793

“දැකල පුරුදු මූණක් කියල කල්පනා කරද්දි තමා මට මතක් වුණේ” කියමින් වෛද්‍ය වීරබාහු මද සිනාවක් පාද්දී තරංගා ඒ සිනාවටම එක්වුණාය. 

එදා වන් ගෝල් ෆේස් මෝල් එකේදි සනුකි මහ හඬින් හඬද්දී, තමන්ට ඇයව නලවගන්නට බැරුව ඉද්දී, වට පිටේ මිනිසුන් බල බල යද්දී, මේධංග තමන්වත් සනුකිවත් අමතක කර දමා තනිවම ගෙදර ගොස් තිබියදී, සනුකි නලවගන්නට උදව් කල නම නොදත් ඒ මිනිසාම සනුකිගේ වෛද්‍යවරයා වී හමුවෙතැයි තරංගා කවදාවත් සිතා තිබුණේ නැත.එහෙත් ජීවිතයේ වෙන්නේම දෛවෝපගත දේවල් බව තරංගා නොදැන උන්නේ නැත.

“එදා කල උදව්වට තැන්ක්‍යු ඩොක්ටර්”

“අයියෝ ඕක මොකද්ද? මං නෙවෙයි ඉතින් එතන වෙන කෙනෙක් හිටියා උනත් ඕකමනෙ කරන්නෙ. මට ශ්‍යාමනී ඔයා ගැනයි බබා ගැනයි කියල තිබුණා. ශ්‍යාමනී මට ඔක්කොම විස්තර කියල තිබුණට මං කැමතියි ඔයාට පුලුවන් නම් මට ආයෙම හැමදේම ගැන කියන්න, ප්‍රෙග්නන්සි එකේ ඉඳලම. මට ආයෙම ඩීප් අන්ඩර්ස්ටෑන්ඩින් එකක් ගන්න සිටුවේශන් එක ගැන” 

“ශුවර් ඩොක්ටර්, මම ප්‍රෙග්න…”

“ඉස්සෙල්ල මට ඔයාගෙ නම කියන්නකො” කියා සාගර ආයෙම වරක් තමන්ගේ සුපුරුදු සිනහවම පෑවේය. 

තරංගා එදා වෛද්‍ය හමුවෙන් නික්ම ගියේ වෙනදාට මේ වගේ හමුවීම් වලින් පස්සේ තමන්ගේ දරුවා රෝගී දරුවෙක් වීම ගැන හිතේ තියන දුක් අස්සේ කුමක් හෝ නොපැහැදිලි සතුටක, බලාපොරොත්තුවක අංකුරයක් පැල කරගනිමිනි. 

Developmental and  Behavioral Pediatrics ගැන දන්න, Pediatric Neurosurgeon කෙනෙක් වූ සාගරට තරංගාගේ පුංචි කෙල්ල සනුකිගේ රෝගය ගැන අමුතුවෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය වූයේ නැතත් තමන් හැමදාමත් රෝගියෙකුට ප්‍රතිකාර කරන්නට පෙර ඒ රෝගියාගේ විස්තර අසන්නට කටයුතු කල නිසාම තරංගා හා සනුකි විෂයෙහිත් එයම කරන්න දෙවරක් සිතුවේ නැත.

වෛද්‍යවරයෙකු ලෙස එංගලන්තයේ රෝහල්වල සේවය කල කාලය තුර සාගරට හමු වූ ඕටිසම්, ඒඩීඑච්ඩී වගේම එයටත් එහා ගිය දරුණු රෝගවලින් පීඩා විඳිමින් උන් දරුවන් රැසකි. එංගලන්තය කොපමණ වෛද්‍ය පහසුකම් දියුණු රටක් වුණත් ඒ රටවල්වලත් මෙවන් රෝග තියෙන දරුවන්ගේ අම්මලා තරංගා මෙන්ම ජීවිතය ගෙවන්නේ තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන වදවෙමිනි. තමන් නැති දවසක දරුවන්ට කුමක් වේද යන බියෙන් පෙළෙමිනි.

ඕටිසම් ස්ප්‍රෙක්ට්‍රම් ඩිසෝඩර් ලෙසින්ද හැඳින්වෙන මේ රෝගී තත්ත්වය මොළයේ වර්ධනයේ සිදුවන වෙනස්කම් හේතුවෙන් ඇති වන තත්ත්වයකි.ඕටිසම් වල ලක්ෂණ මුල් ළමා වියේදීම නැතිනම් ළදරු අවධියේදී ම පෙන්නුම් කරන්න පුළුවන් වුනත්  බොහෝ අවස්ථාවල නොදැනුවත්කම හෝ නොසැලකිල්ල නිසා ඕටිසම් තත්ත්වය ඇති දරුවකු බොහෝ කල්ගතවන තුරුත් හඳුනා ගැනීමට නොහැකි වන අවස්තාත් නැතුවම නොවෙයි. වාර්තාවලට අනුව සෑම දරුවන් සිය දෙනෙකුගෙන් ම එක් අයෙක් ඕටිසම් සහිත අයෙක් බව හඳුනගෙනත් තියෙනවා.

නිසියාකාරව ප්‍රතිකාර නොකිරීම මේ රෝගී තත්ත්වය වඩා නරක අතට හැරෙන්නට ඇති ඉඩකඩ ඉතාම ඉහල නිසා වෛද්‍යවරයෙක් වශයෙන් තමාටද මෙහිදී ඉතාම ලොකු යුතුකමක් ඇති බව සාගර දනී. ඒ හැරෙන්නට තරංගා ගැන ශ්‍යාමනී කියූ දේවල් අමතක කරන්න සාගරට පුලුවන්කමක් නැත.

“මම තරංගට ඩොක්ටර් සාගරවම රෙකමන්ඩ් කරේ තව හේතුවක් ඇතුව. තරංගා සනුකිව බලාගන්නෙ තනියම. එයාගෙ හස්බන්ඩ් සනුකි අසනීප බබෙක් කියල දැනගත්ත ගමන් දෙන්නා අතර සෑහෙන ප්‍රශ්න උනා. තරංගාට සෑහෙන කරදර වලට ෆේස් කරන්න උනා බබා එක්ක ඔය නිසා. හස්බන්ඩ් ඩිවෝස් එක ඕන කිව්වට පස්සෙ, ඩිවෝස් එක ලැබෙනකම් ඉන්න තැනක් හොයාගන්නයි, ජොබ් එකක් හොයාගන්නයි ඒ ගර්ල් හරියට මහන්සි වුණා. බබා නිසා තරංගා ජොබ් එකෙනුත් අයින් වෙලා හිටියෙ ඒ වෙද්දි. මම ඩොක්ටර්වම දැම්මෙ අපේ ෆීල්ඩ් එකේ හැමෝම වගේ දන්නවනෙ මේ වගේ ප්‍රශ්නවලදි ඩොක්‍ටර් ට්‍රීට් කරන්නෙ බබාට විතරක් නෙවෙයි ඩොක්ටර් සෑහෙන පේරන්ට්ස්ලගෙ මයින්ඩ් එක හදන්නත් උදව් වෙනවා කියලා. ඒකමයි

අනික ඉතින් අපි කොච්චර පේරන්ට්ස්ලට කිව්වත් ඕටිසම් කියන්නෙ ලෝකෙ ගොඩක් දරුවන්ට තියෙන එකක් වගේම, සම්පූර්ණයෙන්ම රිකවර් කරන්න බැරි උනත් ට්‍රේනින්, එඩියුකේශන් වලින් ඒ වගේ දරුවන්ව ඉස්සරහට යවන්න අපිට උදව් කරන්න පුලුවන් කියලා ඔහොම දෙයක් දැනගත්ත ගමන් අම්මලා තාත්තල මෙන්ටලි වැටෙන එක සාධාරණයි”

සාගර තරංගා ගැන දැනගත්තේ එහෙමය. දරුවෙක් කියන්නේ අම්මාගේත් තාත්තාගෙත් දෙන්නගෙම එකතුවක් නම් අසනීප දරුවෙකු අම්මා කෙනෙකුගේ පමණක් රෙස්පොන්සිබිලිටි එකක් වන්නේ කොහොමද කියන ප්‍රශ්න හිතට ආවත් සාගර ඒක ඇහුවේ නැත. උත්තර නැති ප්‍රශ්න අසා වැඩක් නැති බව හොඳටම දන්න නිසාය.

“එක පැත්තකින් අපිට ඒ මිනිස්සුන්ට දොස් කියලාබෑ සාගර. කවුද කැමති අසනීප දරුවෙක් එක්ක ජීවිත කාලෙම ගෙවන්න. අපි කොච්චර ඒව යුතුකම්, වගකීම්, මනුස්සකම් කියල කිව්වට ඔය හැම වචනයක්ම යටයි ආත්මාර්ථකාමී කම කියන එකට. මිනිස්සු හැමෝම ඉස්සෙල්ලම හිතන්නෙ තමන් ගැන. අපේ රටවල ඉතින් ගොඩක් වෙලාවට ඔය වගේ දේවල් වලදි තාත්තල කර ඇරලා යනවා ඇති. ඒකනෙ තවමත් අපේ රටවල අම්මලා විතරක් බුදු වෙන්න ඕන කියන්නෙ.

ඒ උනාට සාගරට ඕන තරම් තමන්ගෙ වර්ක් ලයිෆ් එක ඇතුලෙ ඉස්සරහට හම්බවෙයි අම්මල තාත්තල දෙන්නම නැතුව ඔය වගේ අසනීප එක්ක තනිවෙච්ච දරුවො. එහෙම බලද්දි එහෙම දරුවෙක්ට හැදෙන්න වෑඩෙන්න ඕන අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ගෙ හව්හරණයක්ම නෙවෙයි. මනුස්සකම තියෙන මනුස්සයෙක්ගෙ හව්හරණයක්” කියා මෙයට වසර ගණනාවකට කලියෙන් තමන්ගේ ගුරුවරයා වූ ප්‍රොෆෙසර් කැන්දගොඩ කිව්ව හැටි සාගරට මතකය. ඒ මේ වගේම අසනීප වෙච්ච දරුවෙක්ව රෝහලක දමා ගිය කතාවක් ආරංචි වෙච්ච වෙලාවක තරුණයෙකු විදියට තරහා ගොසිනුත් වේදනාවෙනුත් ප්‍රොෆෙසර් කැන්දගොඩ එක්ක ඔය ගැන කතාකල මොහොතකය.

ඒ තරුණකමද, තරුණ කමට උරුමය වහා කිපෙන සුලු බවද අතහැර බොහෝ දුර ආ වියපත් මිනිසෙකු ලෙඩ තරංගාගේත් සනුකිගේත් ප්‍රශ්නය දිහා සාගර බැලුවේ එදා ප්‍රොෆෙසර් කැන්දගොඩ බලපු විදියටමය.

“මිනිස්සු එහෙමයි ශ්‍යාමනී. හැම මනුස්සයම ඉස්සෙල්ලා හිතන්නෙ තමන් ගැන. දරුවෙක්ගෙ ප්‍රශ්නෙකදි උනත් ඉස්සෙල්ලා තමන් ගැන හිතන මිනිස්සු තාම ඉන්නව ඉතින්” කියා සාගර ශ්‍යාමනීට උත්තර දුන්නේ ඒකය.

තරංගා උන්නේ සනුකිට නිදියන්නට කලින් කාල්මින්,වෝර්ම් බාත් එකක් දෙමිනි. ඒ වගේ බාත් එකකින් අනතුරුව නැලවිලි ගීයක් කියද්දී සනුකි හීන් සැරේ සැහැල්ලුවෙන් නින්දට වැටේ. ඒ විදියට නිදි කරවන එක සනුකිට වගේ අසනීප තියෙන දරුවන්ට වඩා හොඳ බව තරංගා ඉගෙන ගත්තේත් වෛද්‍යවරුන් කී දේවල් මෙන්ම තමන්ම තනියෙම රිසර්ච් කර හොයාගත්ත දේවල් ඔස්සේය.

කාම් මියුසික් ප්ලේ කරන එක, වෝර්ම් බාත් එකක් දෙන එක, නින්ද යනතුරු කතාවක් කියන එක වගේ දේවල් සනුකිගේ නින්ද වඩා සුවබර කරන බව තරංගා මේ ගෙවුණු කාලය පුරාවට අත්දැකීමෙන් ඉගෙන ගත්තාය.

තරංගා ඇඟ සේදීමෙන් පසු සනුකිගේ ඇඟ හොඳින් සනීප තුවායකින් පිස දැම්මාය. අනතුරුව ඒ තුවායේම සනුකිව දවටගෙන තුරුලු කරගෙන කාමරයට එන අතරතුරු සනුකිට ඇසෙන්න පුංචි පුංචි කවි සින්දු කිව්වාය.

“ඔන්න අම්මි යන්නෙ සුදු පුතාව දොයි කරවන්න” කියමින් පුංචි කම්මුල් ඉඹිද්දී සනුකි හීන් හඬින් සිනාසෙයි. මේ දරුවා ඕටිසම් සහිත දරුවෙක් බව තරංගාට ඒ මොහොතේ මතක නැත. මතක තිබ්බත් මේ තමන්ගේ දරුවාය. මොන විදියට ඉපදුණත් අම්මෙක්ට දරුවා දරුවාමය. තරංගා ඇස් දෙකට පිරෙන්න එන කඳුලු ආයාසයෙන් නවත්තාගෙන සනුකිගේ රෝස කම්මුල් සිපගන්නේ ආදරයෙනි.

සනුකිව හොඳින් තෙතමාත්තු කරයින් පස්සේ තරංගා සනුකිට රෑට අන්දන සනීප රෑ ඇඳුම ළඟට ගත්තාය. ඒ ඇඳුම අන්දන්න කලියෙන් තරංගා හැමදාම සනුකිව හිමින් සැරේ මසාජ් කරන්නේ ඇයට වඩා පහසුවෙන් නින්දට වැටෙන්නටය.

සනුකිව සුවබරව නිදියන එක තරංගාට රාත්‍රියේ පැය දෙක තුනක් ඇහැරගෙන හිඳ තමන්ගේ ෆ්‍රීලාන්ස් වැඩවලට සම්බන්ද ලිවීමේ කටයුතු කරගන්නට උදව්වකි. 

සනුකිට නිදියන්නට පහසු ලෙස කාමරයේ ලයිට්ස් ඩිම්

කල තරංගා ලැප්ටොප් එක ඔන් කරගත්තේ අනිද්දාට ඩෙඩ්ලයින් තියෙන ෆ්‍රීලාන්ස් වැඩක අවසාන අදියර ඉවරකරන්නටය. උදේ අටේ සිට හවස පහ දක්වා කරන පූර්වකාලීන රැකියාවෙන් ලැබෙන පඩිය ඇත්තටම හොඳ එකක් උනත් තරංගා මෙහෙම රෑ තිස්සේ ඇහැරීගෙන කරන්නට ෆ්‍රීලාන්ස් වැඩ කිහිපයක්ම අරගෙන තියෙන්නේ ජීවිතේ හැමදේම අනියත බව දැන් අත්දැකීමෙන් දන්න හන්දාය.

“ලෙඩ ළමේක් මට එපා” කියා මේධංගට දරුවා අතාරින්න පුලුවන්කම තිබ්බ එකේ රස්සාවල් ගැන කවර කතා ද කියා නොහිත ඉන්න හැටියක් තරංගාට නැත.

තරංගා රෑ අට හමාර විතර වෙනකම්ම එකදිගට ලැප්ටොප් එක දිග ඇරගෙන ලිව්වාය. 

මහන්සිය යන්න එක්ක තේකක් බොන්න තිබ්බානම් හොඳ බව හිතා පුටුවෙන් නැගිට්ට තරංගා ගැස්සුණේ එකපාර මහ හඬින් නැගිච්ච ස්පීකර් එකකින් නැගී ආ සංගීත රාවයකටය. කුමක් හෝ හින්දි චිත්‍රපටයක එන අයිටම් සෝන්ග් එකක් පලාතම දෙවනත් කරමින් නැගී එද්දී තරංගා ගැස්සුනේ සනුකි නිදන කාමරයෙන් ඇදී ආ සනුකිගේ ඇඬිල්ලටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here