සචින්ගේ උණ තත්ත්වය අඩුවක් වී තිබුණේ නැත.වෛද්‍යවරයා පැවසූයේ එය වෛරස් උණ රෝගයක් විය හැකි බවයි.උත්සවයට ඇඳීම සඳහා දිනරා තෝරා ගෙන තිබුණේ ක්‍රීම් පැහැ පසුබිමක රන් පැහැ බෝඩරයක් වූ සාරියකි. ඊට ගැලපෙන රන් පැහැ සාරි හැට්ටය මසාගෙන පැමිණියේ පෙරදා සැන්දෑවේය.ඉන්දියානු විලාසිතාවට අනුව සාරිය ඇඳ පිච්ච මලින් කොණ්ඩය සකසන්නට ඈ තීරණය කළේ රූපලාවන්‍ය ශිල්පිනිය හා කතා කලාට පසුවය.
කිහිප වතාවක්ම යළි යළිත් දිනාරා සමග අකලංක ගැන යමක් කතා කරන්නට උත්සාහ කළත් ඇය ගෙන ආ තර්ක ප්‍රියංකාගේ හේතු බිඳීමට තරම් ප්‍රබල විය.
“ වලව්වේ ලොකු ලොකු ප්‍රශ්න සුදු මැණිකේ.මේ මිනිස්සු අර කොල්ලට කාර් සේල් එකක් දාගන්න කියලා ලොකු මුදලක් දීලා.ඒ විතරක් නෙමෙයි නැන්දා එයාගේ නමට ලියලාදීපු තේ අක්කර විස්ස උකස් කරලා ඒ සල්ලිත් දීලා.නැන්දගේ නමට ලියපු වලව්ව පල්ලෙහා විලා එකත් උන්ටම ලියලා දීලා.මේ හැම දෙයක්ම එළිවුණේ ඊයේ රෑ.දැන් උන් උන්ට කරගත්ත දේවල් ගැන කිය කියා රණ්ඩු වෙනවා. ඒ මිනිහා කලින් කසාද බැඳපු මිනිහෙක්ලු.ඒ කසාදෙත් ළමයි දෙන්නෙක් ඉන්නවලු.මං කිව්වා කවුරු කවුරුත් ඔය කරපු දේවල් තමයි කර තියාගෙන යන්න ලෑස්ති වෙන්නේ කියලා..හැමදේම නැති වෙන්න වැඩි කාලයක් යන්නෙ නෑ සුදු මැණිකේ.”
අත්තම්මා පැවසූයේ උත්සවයට පෙරදා රාත්‍රියේය.ඒ කතා අසා දුක් වෙනු විනා දිනාරාට කළ හැක්කක් වූයේ නැත.නැන්දා යළිත් වරක් නඩු දමනවායැයි තර්ජනය කළත් ඕ ඒ බව අත්තම්මා හා නොකීව්වාය.
වලව්ව තුල ඒ දින හතර පහට සිදුවී තිබුණේ වසර හතරක පහක තරම් ඒවාය.
“ ඔය එකක්වත් ලියානා නොදැන ඉඳලා නෑ.දෙන්නත් එක්ක එකතු වෙලා තමයි හැම කට්ට කෛරාටික වැඩක්ම කරලා තියෙන්නේ.දැන් හෙමිඡ්ජි වගේ ඉන්නවා.තාත්තා, අම්ම විතරක් නෙමෙයි කිසි කෙනෙකුට මාව රවට්ටන්න බෑ කියන උද්දච්ච අම්මණ්ඩිත් රවට්ට ගතපු එකනේ ප්‍රශ්නේ.”
ඕ ඒ කෝපයෙන් පවසන්නේ නැන්දා ගැනය.
“ ඉතිං අත්තම්මේ ඒවා පියවගන්න බැරි තරම් ලොකු පාඩුද.”
“ කෝටි ගානක්…පිටරටින් වාහන ගෙන්වන බිස්නස් එකක් කරන්න පටන් ගන්නවා කියලා තමයි බාප්පට කියලා තියෙන්නේ ඒකේ හවුල්කාරයෙක් වෙන්න කියලා. මේ මිනිස්සුන්ට සල්ලි වලට තියෙන තණ්හාවට ඒ ගැන ආයි දෙපාරක් තුන්පාරක් හිතලා බලලා නෑ. දවස් තුන හතරක් ඇතුළත ඔක්කොම කරලා සල්ලිත් අරන් දීලා.තේ පැක්ටරිය පවා උකස් කරලා.”
“ අනේ දෙයියනේ….”
“ මං දන්නෙ නෑ සුදු මැණිකේ.දැන් මට සැනසීමකට ඉතුරු වෙලා ඉන්නේ උඹ විතරයි.උඹ පරිස්සමට ජීවත් වුණොත් මට ඒ ඇති.මං මේ දේවල් මෙහෙම වෙන්න කලින් මුන්ට අනතුරු ඇඟෙව්වා.එක්කෙනෙක්වත් මං කියන දේවල් ඇහුවේ නෑ..”
“ අත්තම්මා එහෙම හිතන්න එපා. දැන් ඒ හැමෝම වැටිච්ච වෙලාවනේ.කරන්න පුළුවන් දෙයක් කරන්න අත්තම්මේ.කේන්ති ගන්න එපා..”
“ මං තණ්හාවෙන් දෙයක් රැක්කනම් ඒ උඹලා හැමෝම වෙනුවෙන්.ඒ දේවල් කාටවත් අසාධාරණයක් නොවෙන්න බෙදලා දුන්න මිසක්කා මං මට කියලා කිසි දෙයක් ඉතුරු කර ගත්තේ නෑ සුදු මැණිකේ..ඔයාගෙත් විවාහ කටයුතු සිද්ධ වුණාට පස්සේ මම පේරාදෙණියේ වැඩිහිටි නිවාසෙට යන්නයි අදහස් කරගෙන හිටියේ.”
“ අනේ ආත්තම්මේ මොනවද මේ කියන්නේ.අත්තම්මා මට වැඩි නෑ කවදාවත්.මං කිව්වනේ මං අත්තම්මමයි මල්ලිවයි දෙන්නම මගේ ඇස් දෙක වගේ බලා ගන්නවා කියලා.”
“ එහෙම කරලා සුදු මැණිකෙගේ ජීවිතේට බරක් වෙන්න ඕන නෑ.මං කාටවත් බරක් වෙලා ජීවත් වෙන්න කැමති කෙනෙක් නෙමෙයි.ලොකු කාලයක් අපේ ජීවිත වලින් තව ඉතුරු වෙලා නැතුව ඇති.මේ රැස් කරගන්න කිසි දෙයක් අපි යනකොට ගෙනියන දේවල් නෙමෙයි සුදු මැණිකේ.ඒ ධර්මය හොඳට අවබෝධ කරගෙන තමයි මං ජීවත් වුණේ.සුදු මැණිකෙගේ ජීවිතය පිළිවෙලක් උනාට පස්සේ මට සැනසීමේ ඇස් දෙක පියා ගන්න පුළුවන්.”
දිනාරා ඇගේ සිත රිදෙන්නට කිසිවක් නොකීවාය.කුමන හේතුවකටවත් මිලීනා ජයසුන්දර මේ සා අසරණ වියයුතු අයෙකු නොවන බව විශ්වාසය.
“ඒවා අපි පස්සේ කතා කරමු.සුදු මැණිකට පුලුවන්නම් නිවාඩු ලැබිච්ච වෙලාවක නුවර ඇවිත් යන්න එන්න.මේ ගෙදර ප්‍රශ්න දැන් මට විසඳන්න බෑ.මිනියක් මැරිලා නතර නොවුනොත් ඒ ඇති.”
අත්තම්මා දුරකථනය විසන්ධි කලේ මහා කලකිරීමකින් යැයි දිනාරාට සිතිණි. හෙට අනිද්දාම නුවර ගොස් ආ යුතු යැයි ඈ සිතුවේ එනිසාය.අත්තම්මා වැඩිහිටි නිවාසයකට යනවායැයි කියූ කතාව නිසා දිනාරා උන්නේ මහත් වූ වේදනාවකින්ය.ඇය පැවසූයේ දිනපතාම වලව්ව තුළ රණ්ඩු සරුවල් වන බවය.දිනාරාට දුකකට වූයේ අත්තම්මාය.”
පසු දින දිනාරාට ඇන්ඳවීම සඳහා රූපලාවන්‍ය ශිල්පිණිය පැමිණියේ නිවසටමය.දිනාරාව හැඩ හැඩගන්නට ඇයට බොහෝ වේලා ගත වූයේ නැත.ඇය නික්ම ගිය පසු යුවතිය පිටුපසින් පැමිණි ප්‍රියංගිකා කණ්ණාඩියෙන් පෙනෙන ඒ රූපය දෙස බලා සිටියේ මහත් වූ ලෝබකමකින්ය.ප්‍රියංකාට දිගු සුසුමක හෙළුනේ අකලංක සිහිවය.මේ වැඩකටයුතු ඉවර වූ පසුව ඔහුට කතාකල යුතුය.
“ මගේ ඇස්වහ කට වහ වදීද මන්දා පුතේ.ඒ තරමට ඔයා ලස්සනයි.”
ඇය එසේ පැවසුවා පමණක් නොව දයාබරව යුවතියගේ හිස සිප ගත්තාය.
“ මේ වෙලාවේ මල්ලිවයි ආන්ටිවයි දාල යන එකට සොරි..යන්නම ඕනෑ ගමනක් නිසයි යන්නේ.”
“ ඒ ගැන ඔයා හිත කලබල කරගන්න එපා පුතේ. වෛරස් උණ දවස් කිහිපයක් තියෙනවා.ඊයෙට වඩා අද චුට්ටක් අඩුයි වගේනේ..”
“ මොනවා හරි උවමනාවක් උනොත් කෝල් එකක් දෙන්න ආන්ටි.කුමාරි අක්කත් ඉන්නවනේ..”
“ පුතේ ඔයා ඒ ගැන හිතන්න එපා කියලා මං කිව්වනේ.මේ ඔයාගෙයි අකලංක පුතාගෙයි මාස ගානක මහන්සිය.ඒ ලස්සන දවසේ සතුට ඔයාලා හදවතින්ම විඳින්න..මං මල්ලිව බලා ගන්නම් පුතේ.”
දිනාරාට උත්සව ශාලාව වෙත යාමට වාහනයක් එවා තිබුණේ කාර්යාලයෙන්මය. දහසක් වැඩ රාජකාරි අතර මැද වුවත් අකලංක ඇගේ සුව පහසුව ගැන සිතනවායැයි ප්‍රියංකාට සිතුණේ එවේලෙහිය.
හෙට අනිද්දාම තේජා යළිත් කතා කර දිනාරාගේ අදහස් විමසනු නොඅනුමානය.එදිනටත් ප්‍රියංකාට පවසන්නට ඉතිරිවී තිබුණේ සැවොම දන්නා ඒ කතාවමය.තේජා හා සචින් ගැන කතා කරන්නට ප්‍රියංකා සිතුවේ එනිසාය.
ඇය පින් මදව උපන් යුවතියකයැයි ප්‍රියංකාට පවා සිතුනේ මේ අහිමිවීම ඇගේ ජීවිතයට වන නරකම අහිමිවීම බව විශ්වාසයෙන්ම දැන උන් නිසාය.
දිනාරාටත් වඩා ප්‍රියංකා දුක් ගත්තේ එනිසාය.
දිනාරා උත්සවය පැවැත්වෙන බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව වෙත යද්දී අකලංකත් , හේෂානුත් , සජනත් සිටියේ ශාලාවට ඇතුළුවන දොරටුව අසලය.යුවතියව දුටු ඔහු ඈ දෙස බලා සිටියේ දෑස් විසල් කරගෙනය.මේ ඈ සාරියකින් සැරසී සිටිනු ඔහ දුටු ප්‍රථම වතාවය.
“ යකෝ ඇස් දෙකෙන් බලහං කන් දෙකනුයි කටෙනුයි තුන හතරෙන්ම බලන්නේ නැතුව “
හේෂාන් එසේ පවසනතුරුත් අකලංක උන්නේ යුවතිය දෙස එක එල්ලේ බලාගෙනය.මඳක් එහාට වන්නට උන් හිමාෂාත් ඇයත් උස් හඬින් කුමකට හෝ සිනහසෙමින් ඉදිරියට ආවත් දෙදෙනාම අකලංකව හෝ මිතුරන්ව දුටුවේ නැත.
අකලංක විශ්ව හා තාත්තා සමග එක්ව දිනාරා වෙනුවෙන් විශේෂ ත්‍යාගයක් සූදානම් කළේ ඇය මෙම කාර්ය සාර්ථක කර ගැනීම සඳහා කළ කැපවීම සියැසින්ම දුටු නිසාය.අන් කවරදාටත් වඩා සාර්ථක වූ උත්සවයට ලංකාවේ මාධ්‍යවේදීන් පමණක් නොව පිටරට මාධ්‍යවේදීන් පවා පැමිණ සිටියහ.මහින්දටත් විශ්වටත් වඩා අකලංක දක්ෂයකුයැයි ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සැවොම පවසන්නට වූයේ මේසා විසල් මාධ්‍ය ආවරණයක් සමග උත්සවය සූදානම් කොට තිබූ නිසාය.සැබැවින්ම තමා විසල් රුකක් සේ මේ ක්ෂේත්‍රය තුළ නැගී සිටියේ දිනාරාගේ සවි ශක්තිය නිසා බැව් දැන උන්නේ අකලංක පමණි.
“ දෙන්න කතා වෙලාද ඇදගෙන ආවේ..”
හිමාෂා එසේ ඇසුවේ අකලංකව දුටු මොහොතේමය.දිනාරා හිස ඔසවා ඉදිරිය බැලුවේත් එවේලෙහිය.ඔහු ඇඳ උන්නේත් ක්‍රීම් පැහැ කමිසයකි.එයට පැලඳ සිටියේ රන් පැහැ ටයිපටියකි.කළු පැහැ යුරෝපීය ඇඳුම තරුණයාට ගෙනවිත් තිබුණේ පුදුමාකාර කඩවසම් බවකි.
“ ඇත්ත කියන්න දෙන්න කතාවෙලාද මේ..”
“ අනේ නෑ සත්තයි..මටත් පුදුම හිතුණා”
“ ඔයාලා ගැලපෙනවා කියන්න තව සාක්ෂි හොයනවද දිනාරා..”
“ අනේ මං හොයන්නේ සාක්ෂි නෙමෙයි..මට බෑ තවත් කෙනෙක්ගෙ ජීවිතයකට ඇතුල් වෙලා එතන අවුල් ජාලාවක් මවන්න.”
“ එහෙම කොහොමද අනේ වෙන්නේ..”
“ එහෙම වෙන්න පුළුවන්..ඔයා දන්නවද දැන් වලව්ව ඇතුලෙත් ගොඩක් ප්‍රශ්නය.මං කිව්වේ ඔයාට බාප්පාගේ දුව මැරිකළා කියලා.ඒ මනුස්සයා කලින් මැරි කරපු මනුස්සයෙක්ලු.ළමයි දෙන්නෙකුත් ඉන්නවලු .ඒ මදිවට හැම තැනම එෆෙයාර්ස්ලු..ඒ ඔක්කෝටම වඩා බාපපා පැක්ටරි එක උකස් කරලා කෝටි ගානක් ඒ මනුස්සයට දීල වාහන ගෙන්නන්න කියලා.නැන්දා එයාගේ හැම දේපලක්ම නංගිගේ නමට ලියලා.ඒ මනුස්සයා ඒවා විකුණලා..”
“ ඒවා ඒ මිනිස්සු විහින් ඇති කරගන්න ප්‍රශ්න දිනාරා.ඔයා මොනවටද ඒ ප්‍රශ්න ගැන හිතන්නේ.බලන්නකෝ අර කොල්ල හිනා වෙවී ඉන්න ලස්සන.ලෝබකමක් හිතෙන්නෙම නැද්ද”
“ ලෝබයි….ඒ නිසයි මං එයා සතුටින් ඉන්නවට කැමතියි.”
“ ඔයාට නං කියලා වැඩක් නෑ..”
අකලංක යුවතිය ඉදිරියට පැමිණියේ එවේලෙහිය.ඔහු ඇයව පිළිගත්තේ තම දකුණත ඈ වෙත දිගු කරමින්ය.
“ හැම කෙනෙක්ම ඉවෙන්ට් එක ගැන කතා වෙනවා.මං දන්නෑ මං ඔයාට කොහොම තෑන්ක්ස් කරන්නද කියලා..”
“ අනේ මං විශේෂ දෙයක් කලේ නෑ සර්.මේ හැමදේම සර්ගේ මහන්සියේ ප්‍රතිඵල.”
“ අපි දෙන්නගෙම මහන්සියේ ප්‍රතිඵල..”
“ යන්න ඇතුලට ගිහිල්ලා ඉඳගන්න අම්මයි අක්කයිත් ඇවිල්ලා ඉන්නවා..අද එහෙ මෙහෙ දුව දුව ඉන්න එපා. ඒවට කට්ටිය ඉන්නවනේ..”
මහින්ද ගලප්පත්ති ඔවුනට හමු වූයේ ඇතුළු වන දොරටුව අසලදීය.
“අද මට මගේ ගෝලයෝ අඳුරන්නත් බැහැ.ඇතුලට යන්න දිනාරා , හිමාෂා ගිහිල්ල ඉඳගන්න..”
ඔහු පැවසූයේත් සිනහමුසුවය.තේජා සේම නර්මදා යුවතියන් දෙදෙනාව පිළිගත්තේ සිප වැළඳ ගෙනය.
( හෙටත් හමුවෙමු දයාබරව )