“අකාලයේ අප අතරින් නික්ම ගිය විද්‍යා පීඨයේ 2015/16 කණ්ඩායමේ ලක්දිනූ විජේරත්න (බන්ටි) සොයුරියට නිවන් සුව”
කැළණිය විශ්ව විද්‍යාලයේ සොයුරු සොයුරියන්
ලක්දිනූ දේදුනු පාලමෙන් එහාට ගිහින් දැන් හත් දවසක්. ලක්දිනූට බඩේ කැන්සර් එකක් කියලා දැනගත්ත දවසෙ ඉඳල මාධව ලක්දිනූට ජීවත්වෙන්න ඉතුරුවෙලා තිබ්බ හැම දවසකම එයාව හිනාවෙන් පුරවල තියන්න තමයි මහන්සි වුණේ. ඒත් ඒ හැම කැපකිරීමක් එක්කම ලක්දිනු කවදහරි යන්නෙ තමන්ගෙ හිනාව තමන්ගෙන් සදහටම ඇත් කරලා තමයි කියාලා මාධව නොදැන උන්නෙ නෑ.
“මං නැති දවසකටත් ඔයා සන්තෝසෙන් ජීවත්වෙන්න ඕන” කියලා ලක්දිනූ තමන්ගෙ ලෙඩේ ගැන දැනගත්ත දවසෙ ඉඳලම මාධවට කිව්වා. මාධවට නම් ඒව ඇහෙද්දිත් ඒ දවස්වල වහ කදුරු වගේ.
“අනේ ඕන නැති දේවල් කියන්න එපා දිනූ, ප්ලීස්”
“ඕන නැති දේවල් නෙවෙයි මාධව. මං ඇත්තටම කිව්වෙ. මං දැන් හිත හදාගෙන ඉන්නෙ තාත්ත ඉන්න අහට යන්න. මට ඒ ගැන දුකක් නෑ. ඇත්තටම අපි හැමෝම ඉපදෙද්දිම දන්නවනෙ අපි මැරෙනව කියල. අපේ මරණ ඉතින් අකල් මරණ කියලවත්, හිතුවෙ නෑ කියලවත් කියන්න බෑ ඒ හන්ද. මං මුලින්ම මේ ගැන දැනගත්තම හිතුව මං කොහොමද ඔයාව දාලා යන්නෙ කියල. ඒක තමයි මගෙ හිතට තියෙන ලොකුම බර. ඔයා මට පොරොන්දුවක් වෙන්න ඕන මම නැති දවසක වුනත් ඔයා හොඳට වෙන කෙනෙක් එක්ක ඉන්නවා කියලා”
“ප්ලීස් දිනූ අපි මේ වගේ දේවල් කතා නොකර ඉමු. මේ වගේ නෙගටිව් දේවල් ඔයාට හිතන එකත් හොඳ නෑ”
“නෑ මාධව මට පොරොන්දු වෙන්න, මට එතකොට හිත හදාගෙන, සැනසීමෙන් එලොවට යන්න” කියල දිනූ පෙරැත්ත කරද්දිම තමයි මාධව “හරි හරි” කියලා කිව්වෙ.
“මං නැති දවසක උනත් ඔයාට ගැලපෙන කෙනා හම්බුවෙච්ච දවසක මං සිග්නල් එකක් දෙන්නම්, එතකොට ඔයාට තේරෙවි ඔයාලා දෙන්නට මගේ ආශිර්වාදෙ ලැබෙනවා කියලා” දිනූ එහෙමත් කිව්වා.
එහෙම කියලා මාසයක් යන්න කලින් දිනූ එයා කිව්ව විදියටම එයාගෙ තාත්තව හොයාගෙන එහා ලෝකෙට ගියා.අඬන්න ඕන තරම් හේතු කාරණා තිබ්බත් තාත්තගෙ මරණෙ තිබ්බ තැනම තමන්ගෙ පොඩි දරුවගෙ මිනියත් තියන්න වෙච්ච දුකට අඬ අඬ උන්නු ලක්දිනූගෙ අම්මව උරහිසට වත්තන් කරගෙන පුතෙක් නැති ගෙදරට පුතෙක් වෙන්න මාධව තීරණය කරලා තිබ්බා.
මරණෙ ගෙදර දාහක් වැඩ අස්සෙ, මිනිස්සුන්ගෙ, කැම්පස් එකේ යාලුවන්ගෙ කතා බස් අස්සෙ තමන්ට මේ වේදනාව අමතක වෙලා යාවි කියලත් හිතුවට ගේ අස්සෙ හැම තැනකම තිබුන, තවමත් උණුහුමට රැඳිලා තිබිච්ච දිනූගෙ සුවඳ නැහැය අස්සෙන් හිත අස්සෙ ගිහින් තැන්පත් වෙද්දි ඒක කරන්න මාධවට පුලුවන් උනේ නෑ.
“උඹ අවුලෙන්ද මචං?” කියලා කට්ටිය ඇහුවම හිනාවෙලා “නෑ” කිව්වට හිතට ඉතින් කොච්චර අවුල්ද කියලා දැනගෙන හිටියෙ මාධව විතරයි. හත් දවසෙ වෙනකම් ලක්දිනූලගෙ ගෙදර උන්නු පිරිස පොඩ්ඩ පොඩ්ඩ අඩු වුනා. තුන් මාසෙ දානෙට එක්කහු වුනා, අවුරුද්දෙ දානෙට එක්කහු වුනා, ඉන්පස්සෙ ආව දාන වලට, මතක වලට එක්කහු වුණේ ගෙදර අය, ලඟම නෑයො එක්ක මාධව විතරයි.
කවුරු වෙනස් වුණත් මාධව වෙනස් වුණේ නෑ.
“හැමදාම දිනූ ගැනම හිත හිත ඉඳලා හරියන්නෙ නෑනෙ” කියලා යාලුවො කිව්වත්,
“පුතා ඔහොම තනියෙම ඉන්න එක මගෙ හිතටත් අමාරුයි. අපෙ දුවත් කොහෙ හරි ඉඳන් බලං කම්පා වෙනවා ඇති තමන් හන්දා පුතා තවම තනිකඩයි කියලා” ලක්දිනූගෙ අම්මා කියද්දිත් පවා මාධව කරේ හිනාවෙච්ච එක.
කවුරු කොහොම මොන දේ කිව්වත් මාධව කවදාවත් ලක්දිනූව අමතක කරලා ඒ ආදරේ වෙන කෙනෙක් ලඟ නතර කරන්න හිතුවෙ නෑ.
“මං නැති දවසක උනත් ඔයාට ගැලපෙන කෙනා හම්බුවෙච්ච දවසක මං සිග්නල් එකක් දෙන්නම්, එතකොට ඔයාට තේරෙවි ඔයාලා දෙන්නට මගේ ආශිර්වාදෙ ලැබෙනවා කියලා” දිනූ කිව්වත් ඒ සිග්නල් එක දකින්නවත් මාධව වෙන ගෑණු ළමේක් දිහා බැලුවෙ නෑ!