වියදම අඩු කරගෙන ලස්සන වැඩියෙන් පේන්න වතුර බෝතල් තුළ පැළ වවමු

වර්තමානයේ බොහෝ නිවෙස් වල පැල වගා කිරීම සිදුවන්නේ ඉතාම අඩුවෙන්. එයට හේතුව වන්නේ නිවෙස් වල පැළ වැවීම සඳහා ඉඩ පහසුකම් නැතිවීම සහ ඉතා සීමිත ඉඩක් පැවතීමයි. වතුර බෝතල් වල පැළ වැවීමේ සංකල්පය බොහෝ දෙනා අතර ජනප්‍රිය වන්නේ මේ හේතුව නිසායි. අද අපි ඔබට කියන්නේ වතුර බෝතල් වල පැල වවන  ආකාරය පිළිබඳවයි.

මුලින්ම බෝතලයක් තෝරා ගන්න 

මේ සඳහා ඔබ කැමති ආකාරයක බෝතලයක් තෝරා ගන්න. එය විශාල , මධ්‍යස්ථ ප්‍රමාණයේ හෝ කුඩා එකක් වූවාට ගැටලුවක් නැති අතර එය පිරිසිදු සහ වියළි එකක් වීමට විශේෂයෙන්ම වග බලා ගන්න.

ඔබට අවශ්‍ය පැළ වර්ගය හෝ ඇට වර්ගය තෝරා ගන්න

බෝතලය තුළ ඔබ වගා කිරීමට බලාපොරොත්තු වෙන ඇට වර්ගය හෝ පැල වර්ගය තෝරා ගැනීම අතිශයින්ම වැදගත්. ඉතා විශාල ලෙස වැවෙන , වැවීම සඳහා ඉතා විශාල ඉඩ පරාසයක් වුවමනා වන පැළ වර්ගයක් නම් බෝතලයක් තුළ වගා කිරීම ඵලදායි වන්නේ නැහැ. බොහෝ විට බෝතලයක් තුළ පැළ කිරීම සඳහා සුදුසු වන්නේ ඇට වර්ගයක් හෝ කුඩා ප්‍රමාණයේ භෝග පමණයි.ඒ වගේම ඔබ පසුකාලීනව එම පැල පාත්තියක් තුළ වගා කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා නම් යම් කාල සීමාවක් තුල පමණක් ඇට වර්ගයක් හෝ පැල වර්ගයක් බෝතලයක් තුළ වගා කිරීමට පුළුවන් .

බෝතලය සකස් කරගන්න

බෝතලයේ මූඩිය ඉතා හොඳින් වසන්න. ඊළඟට බෝතලයේ බඳ කොටස ,මූඩිය අසල සිට අඩිය දක්වා කොටු හැඩයට තරමක තීරුවක් කපා ගන්න. බෝතලයේ ඉතා කුඩා සිදුරු කිහිපයක් සකස් කරන්න. ඉන් පසුව එම සිදුරු තරමක් ආවරණය වන සේ අඟුරු හෝ බොරලු තට්ටුවක් අතුරා ගන්න . 

පොහොර යෙදීම

මේ සඳහා ඔබට කොම්පෝස්ට් පොහොර, කොහුබත් හෝ වෙනත් ඕනෑම වර්ගයක සරු පොහොර වර්ගයක් යොදා ගත හැකියි. සකස් කර ගත් පොහොර මිශ්‍රණය ඒකාකාරී ලෙස බෝතලයට පුරවා ගන්න. මෙහිදී පැළ හෝ බීජ ඇතිරීම සඳහා යම් ඉඩ ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමටත් වග බලා ගන්න.

පැල කිරීම

ඔබ බෝතලය තුළ බීජ වගා කරනවා නම් ප්‍රමාණවත් ඉඩ සහිතව බීජ අතුරා ඒ මතින් තවත් පොහොර තට්ටුවක් අතුරා ගන්න.

ඔබ බෝතලය තුළ පැල වගා කරනවා නම් සෙන්ටිමීටර දෙකක හෝ තුනක ඉඩ ප්‍රමාණයක් සහිතව පැළ සිටුවා ගන්න  

අවසන් කිරීම 

බෝතල් තුළ පැළ වගා කිරීමේ දී එයට වතුර යෙදීම ඉතා ප්‍රවේසමෙන් කළ යුතුයි. අප වතුර යොදන ආකාරය අනුව පැල වලට හෝ බීජ වලට හානි පැමිණීම සිදුවිය හැකි නිසා වඩාත් ඵලදායී සහ ආරක්ෂිතම ක්‍රමය වන්නේ වතුර ස්ප්‍රේ කිරීමයි.

ඉතා අඩු ඉඩක් සහිත ගෙවත්තක් ඇති ඔබට මේ ආකාරයට වතුර බෝතල් තුළ පැළ වගා කිරීම සිදු කරන්නට පුළුවන්. මේ ආකාරයට මල් පැල , වෙනත් බෝග වර්ග හෝ විසිතුරු පැල වවාගන්නට හැකි අතර ඒවා නිවස තුල හෝ නිවසින් පිටත එල්ලා තැබීම මගින් ඔබේ නිවසට වැඩි අලංකාරයක් එකතු කර ගැනීමේ හැකියාවත් ඔබට තිබෙනවා.

Related Articles

Don't Miss


Latest Articles