ප්‍රාදේශීය පොලිස් ස්ථානයේ ප්‍රශ්න කිරීමේ කාමරය තිබුණේ අඬ අඳුරක ගිලීය. ටික් ටික් හඬින් කටු එහා මෙහා යන ඔරලෝසුවක නාදය හැර වෙන කිසිම නාදයක් නොඇසෙන තරමටම මේධංග උන්නේ ලොකු කල්පනාවක ගිලීය.
දරුවාට ආදරේ හන්දා තරංගා නැට්ට පස්ස පැත්තේ ගහගත්ත බැල්ලියක වගේ තමන් ලඟට ඒවි යැයි තමන් බලාපොරොත්තු වුණත් අලුතෙන් සොයාගත්ත කුමක් හෝ මහ විසල් බලවේගයක් ඇයව ඒ බයගුලු ස්වභාවයෙන් මුදවා ඇති බව මේධංග තේරුම්ගත්තේ සාගරත්, පොලිස් පරීක්ෂකවරයෙකුත්, නීතිඥවරියත් සමග තමන්ගේ ගෙදර දොර ඉදිරිපිට තරංගා කෝපාන්විත දෑසකින් බලා ඉන්නවා දකිද්දීය. ඒ දෙනෙත් හඬා ඉදිමී රතු වී තිබුනත් ඒ රතු පාට අස්සේ මේධංග දුටුවේ බයක් නොවේ. කෝපයකට එහා ගියා පුදුමාකාර ආත්ම ශක්තියකි.
සාගරගේ කාරයේ නැගී මේධංගගේ ගෙදරට යනතුරුම තරංගා කලේ වාහනේ නතර කල ගමන් බහින්න බලාපොරොත්තුවෙන් දොරේ අගුලට අත තියාගෙන කඳුලු වැස්සක් ඇස් දෙකෙන් වක්කරමිනි. රියදුරු අසුනේ උන් සාගරවත් පිටුපස අසුනේ උන්නු කේතකිවත් ඒකට මුකුත් නොකිව්වේ අම්මා කෙනෙක්ට මේ වගේ වෙලාවක හිත පුරවගෙන දරු සෙනෙහස දෝරෙ ගලන බව දන්න හන්දාය. “අඬන්න එපා, බයවෙන්න එපා” කියා කොච්චර වචන වලින් කියන්න පුලුවන් උනත් දරුවෙක්ගේ ප්‍රශ්නෙකදි අම්මෙක්ගේ හිතේ ඇවිලෙන ගින්න එවන් වචන දහස් ගණනකින් වුව නිවා දමන්නට නොහැකි බව සාගරත් කේතකීත් දෙදෙනාම දැන උන්නු හන්දාය.
සාගරගේ වාහනය මේධංගගේ ගෙදර මිදුලේ නතර කරනවාත් එක්කම වාහනයෙන් එලියට පැන්න තරංගා දුවගෙන දුවගෙන ගියේ එක පිම්මේය. දැන් දැන් සනුකි හඬන හඬක් ඇසෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් උන්නු නමුදු කිසිත් සද්දයක් ගේ ඇතුලෙන් නොඇසෙන වෙලාවේ තරංගා මහ හයියෙන් මේධංගගේ ගෙදර දොරට ගහගෙන ගහගෙන ගියාය. සාගරත්, කේතකීත්, පොලිස් නිළධාරින් කිහිප දෙනාත් එතනට ආවේ ඒ ඇසිල්ලේය.
මේධංග දොර හැරියේ තරංගා පමණක් ඇවිත් හිඳිනු ඇතැයි සිතමිනි. තරංගාව තව තවත් කෝප ගස්වන බලාපොරොත්තුවෙන් කුරිරු සිනාවක් මුව අග ඇඳගෙනය. එහෙත් තරංගා විසින් වේගයෙන් තට්ටු කරනු ලැබූ දොර එහා පැත්තෙ තමන් සිතුවට වඩා වැඩි පිරිසක් දකින්න ලැබිච්ච වෙලාවේ මේධංග ඇත්තටම තිගැස්සුණේය. ඒ බයත්, ඊලඟට මොනවා වේවිද කියන සැකයත් එක්කහු වෙච්ච තිගැස්මකි. තරංගා කිසිම දිනක තමන්ගේ පෞද්ගලික ගැටලුවකට පොලිසිය සහ නීතිය සම්බන්ධ කරගන්න එකක් නැතැයි තමන් සිතූ දෙය වැරදි බව මේධංග තේරුම්ගත්තේ ඒ වෙලාවෙය.
“අයින් වෙනවා මිනිහෝ” කියාගෙන තරංගා මේධංගව පෙරලගෙන ගේ ඇතුලට දුවගෙන යද්දීත් මේධංගට එක මොහොතකටවත් සාගරගේ දෙනෙත් වලින් තමන්ගේ දෙනෙත් මුදවාගන්න හැකියාවක් තිබ්බේ නැත. මේධංගට නොතේරෙන තේජාන්විත, කෝපාන්විත මෙන්ම වඩා බලසම්පන්න බැල්මකින් මේධංග දෙස එක එල්ලේම බලාගෙන උන් සාගරගේ දෙනෙත් අස්සේ ඇඳී තිබුනේ තමන්ට කිසි දිනක සනුකි වෙත හෙලන්න බැරිඋන පීතෘ සෙනෙහසේ රශ්මි දහරාව බව එවෙලේ නොතේරුනත් ඒ වනාහී තමන් කවදාවත් තරංගාටවත් සනුකිටවත් නොදැක්වූ අපිරිමිත සෙනෙහසක සේයාවක් සහ ඔවුන් දෙදෙනාම පරිස්සම් කරන මහා බලවේගයක් බව මේධංග ඒ සියල්ල අස්සේ තේරුණේය.
“අනේ පුතේ, අනෙ මගෙ පුතේ නැගිටින්නකෝ” කියමින් තරංගා කල හඬ ගෑමට මේධංග වෙතින් දෙනෙත් ඉවත් කරගත් සාගර වහා ගේ ඇතුලට පැන්නේය. තරංගා උන්නේ සාලයේ සෙටිය අද්දර වැටී උන් සනුකිව පපුවට තුරුලු කරගෙන මොහොතකටවත් වේලී නොගිය කඳුලු ගංගාව යලි යලිත් අලුත් කරගනිමිනි.
හුස්ම ගන්න අපහසුවක් එක්ක, බිම වැටි කලන්තෙ දා උන් සනුකිට තිබෙන්නෙ පැනික් ඇටෑක් එකක් බව තේරුම්ගන්න වෛද්‍යවරයෙකු වූද මෙවන් සිදුවීම් රැසකට මෙයට පෙර මුහුණ දී තිබූද සාගරට අපහසු වුනේ නැත. මේ වනාහී කලබල වී වැඩ කරන්න ඕනම අවස්තාවක් බව තේරුම්ගත්ත සාගර වහා සනුකිව දෝතට වඩාගෙන කාරය දෙසට දුව යද්දී තරංගාත් ඒ පිටිපස්සේ අඬ අඬම දුව යන්නට වූවාය.
පොලිස් පරීක්ෂකවරුන් ඉදිරියෙ පොලිස් ස්ථානයේ වාඩි වී ඉන්න ගමනුත් මේධංග කල්පනා කලේ ඒ ගැනය. තමන්ට මෙතනට එන්න වූනේ තමන් කල වරදක් බව දන්නවා නමුත් මේධංගට උවමනා වුනේ මේ සියල්ලටම වැරදිකරු වන්නේ තරංගා බවත්, ඇය ලමයාව තමන්ගෙන් ඈත්කර, වෙනත් පිරිමියෙකු සමග සබඳතාවයක් ඇති කරගෙන අනතුරුව ඔහු හා එක්වන්න තමන්ට විරුද්ධව අභූත චෝදනා එක්ක දික්කසාදයක් දැම්ම බව කියන්නය.
තමන් මේ සියල්ලම කලේ තමන් වෙනුවෙන් පමණක් නොව දරුවා වෙනුවෙනුත් බව කියන්නය.
“මිස්ට මේධංග අපි සීසීටිවි එකේ දැක්ක උනේ මොකද්ද කියන එක ඒ නිසා දැන් මෙතන මොක කිව්වත් ඒක ඇත්තක්ද බොරුවක්ද කියන එක අපිට තේරුම්ගන්න බැරිකමක් නෑ. ඒ හන්දා තව ප්‍රශ්න වැඩි කරගන්නවට වඩා අපි කෙලින්ම ඇත්තම කතා කරමු”
වීරසිංහ මහතාගේ හිතවත්කම මත රුවන් වීරවර්ධන විශේෂයෙන්ම මේ කේස් එකට එකතු වී උන්නු හන්දාම මේධංග උන්නේ කර ලඟටම මඩ ගොහොරුවක ගිලිලාය. එහෙත් තවමත් තමන්ට ඒ මඩ වගුරෙන් එලියට එන්න පුලුවන් බව හිතමින් මේධංග උන්නේ දඟලමින් ඇඟ පුරා මඩ ගා ගනිමිනි. මඩ ගොහොරුවකින් එලියට එන්න නම් මඩ ගොඩේ දඟලන එක නොව කරන්න ඕන නිසොල්මන්ව හිඳීම බවවත්, මඩ ගොහොරුවක දඟලන එක තව තවත් මඩේ ගිලෙන්න හේතුවක් බව මේධංග දැනගෙන උන්නේ නැත.
“මිස්ට මේධංග හිතුවෙ මොන්ටිසෝරියට ගිහිල්ලා හැමෝටම හොරෙන් දරුවව කිඩ්නැප් කරගත්තම නෝන අඬාගෙන ඇවිත් ප්‍රශ්නෙ විසඳගනී කියලා මිසක් පොලිසිය සම්බන්ධ කරගන්න එකක් නෑ කියලද?”
“ඒ මගෙත් දරුවා, මට කාගෙන්වත් අවසරයක් ඕන නෑ ඒ දරුවව දකින්න හරි අරගෙන යන්න හරි”
“ඔව් බලන එක ප්‍රශ්නයක් නෑ. හැබැයි මේක දරුවව බලන්න ආව ගමනක් නෙවෙයිනෙ නේද? දරුවව බලෙන් අරගෙන යන්න ආව ගමනක්. ඒ දෙකේ වෙනස ඔබතුමාට හොඳටම තේරෙනවා ඇති කියලා මම හිතනවා”
“මට ඕන උනේ මගෙ දරුවව පරිස්සම් කරගන්න. අර ගෑණිට… තරංගාට තේරෙන්නෙ නෑ ඒකි මේ කරන්නෙ වැරැද්දක් විත්තිය. ගෑණියෙක්ට පුලුවන්ද ඔෆිසර් මේ තනියෙන් ළමේක්ව හදන්න අද වගේ කාලෙක? තරංගාට හරියකට රස්සාවක්වත් නෑ. එහෙම එකේ එහෙම එකේ මගෙ දරුවා කොහොමද ඔහොම කුලී ගෙවල්වල දුක් විඳින්නෙ”
“පරිස්සම් කරන බවක් නම් අපිට පෙනුනෙ නෑ මිස්ටර් දරුවා සාලෙ වැටිලා උන්නු විදිය දැක්කමනම්. ඔබතුමාට හොඳටම විශ්වාසද දරුවව පරිස්සම් කරා කියලා?” කියමින් පොලිස් පරීක්ෂකවරයා කින්ඩියට හිනා වෙද්දී මේධංගට පරීක්ෂකවරයගෙ මුහුණ හරහා අතුල් පහරක් යවන්න හොඳටම උවමනා වුණේය. එහෙත් මේ එවන් දෙයක් කරන්න සුදුසු තැනක් නොවේ. ඒ වනාහී තමන්ව තව තවත් මෙ මඩ ගොහොරුවේ ගිල්වන්න හේතු වෙන්නක් බව තේරුම්ගන්න තරම් මනසක් තමන්ට තිබ්බ එක ගැන මේධංග එවෙලේ සන්තෝස වුනේය.
“හරි, ඒ ළමයා ලෙඩ වුනා තමයි. එයා කොහොමත් ලෙඩ ළමේක්. ඔහොම දේවල් එයාට නෝමල්. ඒක තරංගත් දන්නවා. මට මේ ලෙඩ ළමේක්ව අමාරුවෙ දාන්න උවමනාවක් තිබ්බෙ නෑ. මං මෙහෙම දෙයක් කලේ අපි තවදුරටත් එකට ඉන්න ඕන බව තරංගාට කියන්න විතරයි. මං වතාවක් දෙකක් එයාට හොඳින් කිව්වා. එයා ඒක ඇහුවෙ නෑ. එහෙම ඇහුවනම් එයාට මෙහෙම වෙන්නෙ නෑ. හොඳින් කියන දේ අහන ගෑණියෙක් නෙවෙයි ඔය තරංගා. ඒකිට ඕන උනේ අර හොර දොස්තර එක්ක පූට්ටු වෙන්න මාව උසාවි ගානෙ රස්තියාදු කරවලා ලැජ්ජා කරන්න.
එහෙම වෙලත් මං ගිහින් කතා කරා ආයෙ හැමදෙම අමතක කරලා සෙට්ල් වෙමු කියලා. ඒකිට එතකොට ලොකු උනෙත් මං නෙවෙයි ලමයයි, දොස්තරයි. මං ඔහොම කර එක වැරදියි කියන්නෙ, ඔෆිසර්ගෙ ගෑණි ඔහොම දෙයක් කරා නම් ඔෆිසර් සද්ද නැතුව ඉන්නවද?”
“එක එක අයට පාඩම් උගන්නන්න අපිට හිතිච්ච හිතිච්ච විදියට නීතිය අතට ගන්න බෑ මිස්ට මේධංග. තමන්ගෙ ළමය කියලවත් ඩිවෝස් කේස් එකක් ෆයිල් කරලා තියෙද්දි එහෙම කාටවත් ඇවිල්ලා බලෙන් ළමේක්ව හිතුමනාවෙ අරගෙන යන්න බෑ. අනික ඒ දරුවා ලෙඩ දරුවෙක් කියලා දැනගෙනම ඒ ලමයගෙ තත්ත්වෙ උපරිමේටම යනකම් සද්ද නැතුව බලන් උන්නා කියන්නෙ ඔබතුමා ඇත්තටම ඒ ළමයගෙ තාත්තද කියන එකත් මට සැකයි”