රන් මල් දම් – 1

0
4595

පලමු මල් දම

නිම්නාවී කාමරය තුලට දිව යද්දී දිලුම්ද ඇය පසුපසම ඉක්මන් ගමනින් ඇවිද ගියේය. අක්කා මෝටර් රිය මිදුලේ නැවැත්වූ වේගයත්, කාමරය තුලට දිව ගිය වේගයත් අනුව යම් අසාමාන්‍ය දෙයක් සිදුවී ඇති බව දිලුම් ඉවෙන් මෙන් වටහා ගත්තේය. කාමරයේ දොර වූයේ සම්පූර්ණයෙන්ම විවෘ තවය . නිම්නාවී කාමරය තුළ උන්නේ නැත. දිලුම් කලබලයෙන් කාමරය සිසාරා දෑස් යැව්වේය.

” අක්කේ …”

ඔහු එලෙස හඬගාමින්ම නාන කාමරය දෙසට ඇවිද ගියේය. එහි දොර අඟුලු ලා තිබුණි. දිලුම් දෙවතාවක් දොරට තට්ටු කරමින් එය විවෘත කරගන්නට උත්සාහ කලේය. එහෙත් ප්‍රතිචාරයක් වූයේ නැත. දිලුම් අක්කාට හඬ ගාන අතරේම පසෙකට වන සේ හැරී දොර කැඩී යන සේ දොරට පහර දුන්නේය.  දෙවතාවකදී දොර ගැලවී ඇතුලටම වැදුණේය. නිම්නාවී උන්නේ නාන කාමරයේ කොනෙක වූ බාත් ටබ් එක තුලය. එය තුළට ජලය වෑස්සෙමින් තිබූ බව දිලුම් දුටුවේ සමීපයට ආ පසුවය.

කිසිත් නොවිමසූ දිලුම් වහා නිම්නාවීව ඔසවා ගත්තේය. නිම්නාවි දිලුම්ට ගුලි වූයේ ඉතා අසරණව සිටි මොහොතක මහා හවුහරනක් ලැබුණු සෙයිනි. දිලුම් වහා නිම්නාවීව යහන මත තැබුවේය. කාමරයේ දොර වසා දමා අල්මාරියෙන් විශාල තුවායක් ගෙන නිම්නාවි වෙත පෑවේය. එහෙත් නිම්නාවී කිසිත් කලේ නැත. ඕ උන්නේ වෙවුලමිනි. දිලුම් ඕ හැඳ උන් ගවුම ගලවා දමා දුවාය ඇය වටා දැවටුවේය. ඒ කිසිඳු විටෙක නිම්නාවීඉ සහයෝගයක් දුන්නේ නැත.  ඕ ගත අප්‍රාණික කර දමා ඔහේ උන්නා පමණි.  දිලුම් ඕඇඳ වියලට වන සේ හිඳුවා ඇය අසලින්ම හිඳගත්තේය.

” අක්කේ ….”

ඔහුගේ මදක් උස් වූ හඬ හමුවේ නිම්නාවී තිගැස්සුණාය. ඕ හඬන්නට පටන් ගත්තාය. එතෙක් වේලා සිර කරගෙන උන් කඳුළු වාන් දමන්නට වූයේ දිලුම්වද අසරණ කරමිනි.

” මොකක්ද වුනේ අක්කේ?….”

 දිලුම් තම සොයුරියගේ උවන දෑතින්ම දරාගෙන ඇසුවේය. නිම්නාවී යමක් පවසන්නට උත්සාහ කලා වුවද ඉකි ගැසීම හැරෙන්නට කිසිවක් ගලපා ගන්නට ඇයට හැකි වූයේ නැත. දිලුම් ආපසු හැරී කාමරයේ වූ කුඩා ශීතකරනයෙන් වතුර බෝතලයක් ගත්තේය. එය නිම්නාවී අසලට ගෙන එන්නට ඉඩ ලබුනා පමණි. නිම්නාවී එය උදුරාගෙන එක හුස්මේ බී අවසන් කලාය.

” මල්ලී … මල්ලී .. අනේ ඒ ආන්ටි මැරුණද දන්නේ නෑ ….”

තමා දෙස දෑස් අයාගෙන බලා සිටින සොයුරා මතට නිම්නාවී සියලු බර අතර දැමුවේය.  දිලුම් කිසිවක් නොවැටහී නිම්නාවී දෙසම බලා උන්නේය.

” අතන … ..අර … පාර්ක් එකට හැරෙන්න තියෙන පාර ළඟදී .. අර ජිනාලාගේ  ගෙවල් ලඟ …. එතැනදී … . ආන්ටි කෙනෙක් හැප්පුනා මල්ලි .. කාර් එකේ.. මම එහෙමම ආවා රිවර්ස් එකේ… ඒ හරියේ කවුරුත් හිටියේත් නෑ …. මැරුණාද දන්නේ නෑ මල්ලී …”

දිලුම් වහා නැගිට්ටේය. අක්කා කලබල වී කර ඇත්තේ මහා අනුවණ කමක් බව දිලුම්ට ක්ෂණිකව වැටහුනේය.එය නිවැරදි කිරීමට නම් තත්පරයක්වත් පමා නොවිය යුතුය. දිලුම් වහා යතුරු පැදියේ නැගී නිවෙසින් පිටත් වූයේය.  නිම්නාදී පැවසූ ස්තානය ඔහුට නුහුරු නොවේ. එ නිසා ගත වූයේ විනාඩි දහයකටත් අඩු කාලයකි. දිලුම් එතැනට යන විට එහි වූයේ සාමකාමී බවකි. එහෙත් පුද්ගලයන් කිහිප දෙනෙකු කතා බහ කරමින් උන්නෝය. අසල විසිවී ගිය සකස් කරන ලද විවිධ ආහාර සහිත මල්ලක්  විය. දිලුම් යතුරු පැදිය මදක් වේගය බාල කරමින් නැවතුනේය.

” මොකද්ද අයියේ සීන් එක ?….”

ඔහු විමසිලිමත් බවක් මවාගත්තේය. කිසිවක් නොද්න්නා සේ හැසිරුනේය.

”  හප්පලා දාලා ගිහින් බං… අවුරුදු පනහක හැටක විතර ලේඩි කෙනෙක් … හොස්පිටල් යැව්වා.. මෙතන මේ ගෙදර සීසීටීවී තියෙනවා .. දැනට ගෙදර කවුරුත් නෑ වගේ.. අපි මේ පොඩ්ඩක් බැලුවේ කවුරුත් එනකල්…”

” මුංගේ තියෙන දහදුරා කම කියන්නේ බං…, හැප්පුනා.. ඒක වුනා .. ඒක ඕකේ.. අඩුම තරමේ වුනේ මොකද්ද කියලා බලලා යන්න බැරිකමක් නෑනේ බං … බලපං ලේ ගිහින් තිබ්බේ නහුතෙට.. වයසත් එක්ක අල්ලන් ඉන්න පුලුවන් වේද මන්දා…”

දිලුම් නොසන්සුන්කම සඟවා ගන්නට අප්‍රමාන වෙහෙසක් ගත්තේය.  පිරිසේ කතාබහ අතරේ ඔහු ජිනේන්ද්‍ර ට කෙටි පණිවිඩයක් යොමු කලේය.

” මොකා ඉල්ලුවත් අද දවසේ සීසීටීවී ෆුටේජ් එලියට දෙන්නෙපා ජිනා … උඹ ඉන්නේ ගෙදර නෙවෙයි නම්, දැන්ම ගෙදර නෑවිත් ඉඳහං… ආන්ටි කොහොමටත් නෑනේ.. අංකල් නිදි ඇති මගේ හිතේ .. පුලුවන් නම් උබ අංකල්‍ට කියහං, කවුරු ආවත් මුකුත් කරන්න කියන්න එපා කියලා …”

සැනින් දිලුම්ගේ ජංගම දුරකතනය නාද වූයේය. ජිනේන්ද්‍ර, ඔහු අමතමින් උන්නේය. දිලුම් මොහොතකට පිරිසෙන් මිදී පසෙකට වෙමින් ඇමතුමට පිළිතුරු දුන්නේය. සිදුව ඇත්තේ කුමක්දැයි ඉතා කෙටියෙන් කීවේය.

” උඹලෑ අක්කගෙත් තියෙන්නේ කුමාරිහාමි ලයින් නේ .. ඔච්චරට බබෙක්ද යකෝ .. හැප්පුන එක තනියෙන් බලන්න බැරි නම් එතැන ඉඳන් කාට හරි කෝල් එකක් ගන්න එපැයි … හිතපං..ෆුල් ස්පීඩ් දාලා ආවත් කාර් එකේ ඔතැන ඉඳන් උඹලෑ ගෙදරට විනාඩි පහලොවක් නේ…. ඒ කාලේ ඇතිනේ හු&* අර ගෑණි සෙත්ත පෝච්චි වෙන්නම ..”

” උඹ කියපු එක කරපංකෝ ජිනා….  දැන් වෙච්ච දේ වෙලානේ .. මෙවෙලේ අක්කව තනියෙන් අතාරින්න බෑනේ බං …”

” මට ඔය නල්ලමලේ කුමාරිහාමි නම් අදාලම නෑ.. ඕකි තමයි අපේ අම්මට කේලම් කියලා මාව කෑවේ ….  ඒත් උබ මගේ එකා දිලා … උඹ හින්දා ඔය කිව්ව පිළිවෙලට දේවල් කරන්නම් …”

” හරි හරි බං… “

” සීසීටීවී ෆුටේජ් මාස තුනේම ඩිලීට් කරලා හාර්ඩ් එක රීප්ලේස් කරමු .. ඒම නැත්නම් ඕක සැක හිතෙනවා…”

” උඹ බලලා කරහංකෝ … හරිනේ ?…”

ජිනේන්ද්‍ර  දිලුම්ට කලබල නොවී සිටින ලෙසත් තමා සියල්ල ගලපා ගන්නා බවත් කියා ඇමතුම විසන්ධි කලේය. දිලු එහි පිරිසට කෙටි සමුදීමක් කර රෝහල වෙතට යන්නට පිටත් වූයේය. දිලුම්ගේ හිටහ්ද වූයේ කලබලයකය. සීමාවාසික වෛද්‍යවරයෙකු ලෙසින් මරණය අතිශය ස්වභාවික සහ මුහුණ දීමට සිදුවන සංසිද්ධියක් ලෙසින් හඳුනාගෙන සිටියා වුවද, නිම්නාවී අතින් සිදුවූ අනතුරෙහි අවසාන ප්‍රතිපලය ලෙස මරණයක් දකින්නට දිලුම්ගේ සිතෙහි හයියක් වූයේ නැත. ඔහු රෝහල් පරිශ්‍රයට ඇතුලු වී හදිසි අනතුරු අංශයේ රෝගීන්ගේ විස්තර සොයා බැලුවේය.

විනාඩි විසි පහකට පෙර ඇය රෝහල් ගත කර තිබුණි.

” ස්වර්ණා මායාදුන්නේ …”

දිලුම් නම කියවා ගත්තේය. එසේනම් අය සුවෙන් සිටින්නට ඇතැයි ය යන සැනසීම  ක්ශණිකවම සිතෙහි ඇති කර ගත්තේය. එහෙත් මේ ස්වර්ණාත් අක්කා අතින් අනතුරට පත්වූ කාන්තාවත් යන දෙදෙනාම එක් අයෙකුදැයි යන සැකය ඒ සැනසීම ක්ශණිකවම ක්ෂය කර දැම්මේය.

” එයාගේ දකුණු කකුල දණහිසට පහලින් තුනකට කැඩිලා .. දණහිසත් ටිකක් ඩැමේජ් …  දකුණු අතේ මැණික් කටුව ළඟත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා.. .. හෙවි බ්ලීඩින් නිසා පල්ස් රේට් එකේ අවුලක් තිබුනා… ඒක නෝර්මල් වීගෙන යන්නේ.. දැන් අවුට් ඔෆ් ඩේන්ජර්…. … අනෙක් ඩැමේජ් ඉතින් වයසත් එක්ක හෙමි හෙමින් රිකවර් වේවි…”

දිලුම් හිතවත්ම හෙදිය වෙත එබී තොරතුරු විමසා ගත්තේය.  දිලුම්ගේ කලබල ඇස් ඇගෙන් සඟවාගන්නට හැකි වූයේ නැත.

” මොකුත් ප්‍රශ්නයක්ද ?..”

ඇය වහා දිලුම්ට කෙටි පණිවිඩයක් යැව්වාය. දිලුම් ඒ පණිවිඩය කියවන අයුරුත්, එයට පිළිතුරු නොඑවාම යළි ජංගම දුරකතනය සාක්කුවේ රුවාගෙන වාට්ටුවෙන් පිටතට යන අයුරුත් ඇය ඉවසීමෙන් බලා උන්නාය. අනතුරුව අඩියට දෙකට ඔහු පසුපස ගියේ හිතවත් හෙදියකට විනාඩි කිහිපයක් සඳහා එලියට යන බවද පවසමින්මය. දිලුම් යතුරු පැදියේ නැඟ හෙල්මටය හිසෙහි දමා ගන්නවාත් සමඟම ඇය ඔහු අසල උන්නාය.

” රන්දූ ..මොකද මේ …”

යතුරු පැදිය අසල සිටගෙන සිටින හෙදියට දිලුම්  දැඩි හඬක් පා කලේය. ඇය පෙරලා ඔහුට දැඩි බැල්මක් එව්වාය. ඔහු ඇයට පසෙකට වන සේ පවසා හෙල්මටය හිසේ රුවා ගත්තේය.

” මොකද වුනේ?…”

” ගිහින් වැඩ කරන්න … මම ලෙශර්ලි කෝල් කරන්නම් …”

” ප්‍රශ්නේ කියලා යන්න ඹැරිද ?…”

” පස්සේ කියන්නම් කිව්වම ඔලුව කන්නෙපා ඕයි … ගිහින් වැඩක් කරගන්නවකෝ ..මළ කරුමයක් නේ …. කියනන් ඕනි නම් කියනවනේ මම … කියන්න ඕනිකමක් ණැති හින්දා තමයි මම මුකුත් නොකියා යන්නේ …”

දිලුම් දත් මිටි කමින් ඇයට බැණ වැදුනේය. රන්දුලා එය වටහා ගත්තාක් මෙන් හිස සලා පසෙකට වූවාය. ඇගේ සුදු පැහැ නිළ ඇඳුමට එක් කඳුළු බිඳුවක් වැටෙන්නට නොදී ඕ කඳුළු නවතා ගත්තාය. දිලුම් පියවි සිහියට එලැඹෙන විට රන්දුලා ඔහුට නොපෙනෙන්නට ගොස් හමාරය.

” කරුමයක් නම් ඈත් වෙලා ඉන්නම්..සොරි ….”

දිලුම් නිවෙසට ඇතුලු වනවාත් සමඟම කෙටි පණිවිඩයක් දුරකතන තිරය මත වැටී තිබුනේය.  දිලුම්ට ඒ වෙනුවෙන් වැය කරන්නට වේලාවක් නොදීම, නිම්නාවී කාමරයේ සිට දිව ආවාය. ඕ කෙටි කලිසමක් සහ ස්කිනරයක් හැඳ උන්නාය.

” අවුලක් නෑ .. ඉන්ජර්ඩ් විතරයි .. හොස්පිටලයිස් කරලා….”

දිලුම් එලෙස පවසා අසුනකට වැටුනේය, නිම්නාවී ඔහු අසලින් හිඳගෙන ඔහු තවත් යමක් පවස්නා තුරු බලා උන්නාය.

” බය වෙන්න දෙයක් නෑ අක්කා..අ වුට් ඔෆ් ඩේන්ජර් කීවා දැන් … කකුල කැඩිලා.. කාලෙත් එක්ක ඒක සනීප වේවි … මම විස්තර හොයලා බලන්නම්.. අපි පුලුවන් දෙයක් කරමු ….”

නිම්නාවී හිස සැලුවාය. මතක ඇති කාලයේ අක්කා මෙහෙම උන් බවක් දිලුම්ට මතක නැත. ඔහුඇගේ හිස පිරිමැද්දේය. නිම්නාවී තමාට ලෝකයේ සිටින එකම සවිය ලෙසින් පවතින දිලුම්ගේ පපුවට තුරුළු වූවාය.

” මට බයයි මල්ලී…”

” පිස්ස්වක් ඇතෑ ..මුකුත් නෑ දැන් …”

දිලුම්ගේ හිත තුල කරදර , කලබල රැසක් ඔද්දල් වෙමින් තිබූ නිසාම වචනයෙන් නිම්නාවීව අස්වසන්නට ඔහුට වැඩි ඉඩක් ලැබුනේ නැත. ඒ වෙනුවට ඔහු නිහඬවම ඇය අසල හිඳගෙන සිටීම කලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here