ජැපනීස් ඔමු රයිස් හදමු

ඔබත් නිතරම යූ ටියුබ් වගේ සමාජ මාධ්‍ය පාවිච්චි කරන කෙනෙක් නම්, ජැපනීස් ඔමු රයිස් කියන්නෙ ඔබට නුහුරු නුපුරුදු කෑමක් වෙන්න විදිහක් නෑ. 

ජපානයේ ඉතාම සාමාන්‍ය පවුල් වල පවා පිළියෙල කරන කුඩා දරුවන් අතරේ වගේම වැඩිහිටියන් අතරෙත් ඉතා ප්‍රසිද්ධ සෝස් වලින් සැරසූ බිත්තර ඔම්ලට් එකක් මැදිකරගත්ත ජපන් ක්‍රමයට පිළියෙල කරගත් බත් හෝ එළවළු බත් ඔමු රයිස් විදිහට පිළිගැන්වීම කරනවා. 

සාමාන්‍යයෙන් ජැපනීස් ඔමු රයිස් වල විශේෂත්වය විදිහට මේ බිත්තර ඔම්ලට් එකට ටිකක් විශේෂිත හා ඊටම ආවේණික හැඩයක් ලබාදීම හඳුන්වන්න පුළුවන්.

මේ විදිහට බිත්තර ඔම්ලට් එක පිළියෙල කරගන්න සාමාන්‍යයෙන් ටිකක් පළපුරුද්දක් අවශ්‍ය වුනත්, කීපවතාවක් උත්සහ කරල බැලුවොත් එය දැඩි අසීරු කාර්‍යයක් නොවන බවත් ඔබට තේරුම් ගන්න පුළුවන්.  

සාම්ප්‍රදායික ක්‍රමයම නොවෙන ටිකක් පහසු ක්‍රමයකුත් අද මේ ලිපිය හරහා ඔබත් එක්ක බෙදාගන්න අපි සූදානම්. 

ඒ වගේම මේ සඳහා හැන්ඳකට වඩා චොප්ස්ටික් දෙකක් උපකාරී කරගැනීමත් සාර්ථකයි කියල සඳහන් වෙනවා. 

එහෙනම් වැඩි කතාබහක් නැතුව මේ සඳහා අපිට අවශ්‍ය ද්‍රව්‍ය මුලින්ම සූදානම් කරගමු. 

අවශ්‍ය ද්‍රව්‍ය

(දෙදෙනෙක් සඳහා) 

චිකන් රයිස් සඳහා – 

ලොකු ළූණු ගෙඩියකින් ¼ ක් 

කටු ඉවත් කරගත් කුකුළු මස් කැබලි කීපයක් 

බටර් මේස හැඳි 01 ක් 

තම්බාගත් ග්‍රීන් පීස් මේස හැඳි 01 ක් 

ලුණු කුඩු තේ හැඳි ½ ක් 

ගම්මිරිස් කැබලි 

පිසින ලද Japanese short grain rice කෝප්ප 01 ¾ ක් (සාමාන්‍ය බත් මඳක් බෙරි වෙන සේ පිසගෙන වුනත් යොදාගන්න පුළුවන්) 

කෙට්චප් මේස හැඳි 05 ක් (ketchup) 

සෝයා සෝස් තේ හැඳි 01 ක් 

බිත්තර ඔම්ලට් සඳහා – 

බිත්තර 04 ක් 

ලුණු කුඩු තේ හැඳි ¼ ක් 

බටර් මේස හැඳි 02 ක් 

සාදාගන්නා ආකාරය

මුලින්ම ලොකු ළූණු කුඩා කොටු හැඩයට කපාගන්න.

ඊළඟට, කටු ඉවත් කරගෙන පිරිසිදු කරගත් කුකුළු මස් ද අඟල් භාගයක් පමණ ඝනකම ඇති කොටු හැඩයට කපාගෙන සූදානම් කරගන්න.

ඊළඟට, භාජනයක් ලිප තබා එයට බත් සඳහා සූදානම් කරගත් බටර් සහ කපාගත් ලූණු ටික දමා කලවම් කරගෙන මද වේලාවක් තබාගන්න.

ලූනු මඳක් මැලවී ගෙන එන විට එයටම කපාගත් කුකුළු මස්, ලුණු කුඩු සහ අවශ්‍ය ප්‍රමාණයට ගම්මිරිස් කැබලි ද එකතු කරගන්න. 

මස් වල රෝස පැහැය ඉවත් වී සුදු පැහැයට හැරෙන තෙ හොඳින් පිසගන්න. 

ඊළඟට. ලිපේ ගින්දර අඩුකර කෙට්චප් සහ සෝයා සෝස් එකතු කරගෙන නැවත හොඳින් කලවම් කරගන්න. 

දැන් එයටම බත් එකතු කර නැවත හොඳින් කලවම් කරගන්න. 

මේ වෙලාවේදීම ලුණු රස බලා අවශ්‍ය නම් නැවත ඔබේ රස අනුව ලුණු ගම්මිරිස් ප්‍රමාණය අඩු වැඩි කරගන්න ඔබට පුළුවන්. 

ඊළඟට එයටම සූදානම් කරගත් ග්‍රීන් පීස් ටික දමා මඳ වේලාවක් පිසගෙන ලිප නිවාගන්න. 

බත් උණුසුම්ව තිබියදීම බත් ටික කොටස් දෙකකට බෙදා එයින් එක් කොටසක් කුඩා වීදුරු භාජනයකට දමා එහි පැත්තකින් අඩක් වෙන සේ හැඩයට සකසා ගන්න. 

බත් ප්‍රමාණය වැඩි යැයි ඔබට සිතෙනවා නම් බත් ටික කොටස් තුනකට වෙන් කර එක් කොටසක් පසුව ආහාරයට ගැනීමට ශීතකරණයේ තබාගන්නත් පුළුවන්. 

දැන් අපි බිත්තර ඔම්ලට් පිළියෙල කරගමු.

ඒ සඳහා මුලින්ම බිත්තර දෙකක් භාජනයකට දමා එය හොඳින් කලවම් කරගත යුතුයි.

එයට ලුණු කුඩු දමා කලවම් කර බිත්තර කැටි නොසිටින සේ පෙරණයකින් පෙරා ගන්න පුළුවන් නම් තවත් හොඳයි. 

දැන්, භාජනයකට බටර් දමා බටර් ටික දියවීමට මඳ වේලාවක් තබාගෙන භාජනයට පෙරාගත් බිත්තර මිශ්‍රණය දමාගන්න. 

ඉක්මණින්ම, භාජනය සොලවන අතරතුරම භාජනයට දමාගත් බිත්තර මිශ්‍රණය චොප්ස්ටික් ආධාරයෙන් රවුමට කලවම් කරගන්න. 

බිත්තර භාගෙට පිසුණු පසු කලවම් කිරීම නැවැත්විය යුතුයි.

ඊළඟට හැඩයකට සකසා ගත් එළවළු බත් වල එක් කොටසක් ඔම්ලට් එක මත එක් පැත්තකට ආසන්නව තබා බිත්තරයේ නොකැඩෙන සේ ප්‍රවේශමෙන් සකසා ගන්න.

දැන් බිත්තරය සම්පූර්ණයෙන් කහ පැහැවන තෙ සිට සෙමින් දෙපැත්තෙක් නවා සකසා ගන්න. 

කඩදාසි පිඟානක් ගෙන සකසා ගත් ඔමු රයිස් එක මත පිඟානෙ උඩ පැත්ත තබා තැටිය ප්‍රවේශමෙන් සහ සෙමින් අනික් පැත්ත හරවා ගෙන භාජනයෙන් ඉවත් කරගන්න. 

ඊළඟට ඔම්ලට් එක මතට පේපර් සර්වියට් එකක් දමා ප්‍රවේශමෙන් හැඩයට සකස් කරගෙන උඩින් සෝස් ටිකක් දමා පිළිඟන්වන්න ඔබට පුළුවන්. 

ඔන්න අපි ජැපනීස් ඔමු රයිස් සාදාගෙන අවසන්.

මේ බත් වර්ගය පිළියෙල කරන ක්‍රම බොහොමයක් තිබුනත් ඔබට පහසු ක්‍රමයක් අරගෙනයි අපි අද ආවෙ. 

ඒ වගේම මේ සඳහා කලින් දවසේ උයල ශීතකරණයේ තියපු බත් ගන්න පුළුවන් නම් තවත් හොඳයි කියලත් අපි ඔබට මතක් කරන්න කැමතියි. 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles