IBS කියන රෝගී තත්වය ගැන ඔබ මීට කලින් දැනන් හිටියද?
IBS එහෙමත් නැත්නම්, කුපිත වූ බඩවැල් සින්ඩ්‍රෝමය කියන්නෙ ආමාශය සහ බඩවැල් ආශ්‍රිතව ඇති වෙන්න පුළුවන්, ඉතාම සුලභ සහ එදිනෙදා ජීවිතය සම්පූර්ණයෙන් අඩාල කරල දාන්න පුළුවන් තරමටම වේදනා අපහසුතා ඇති කරන්න පුළුවන් තත්වයක් විදිහට හඳුන්වන්න පුළුවන්.
මේ නිසා කැක්කුම්, උදරයේ වේදනාව, ඉදිමීම, පාචනය, මළබද්ධය සහ උදරයේ වායු පිරීමේ රෝග ලක්ෂණ ඇතිවීම දක්නට ලැබෙනවා.
නමුත්, මේ රෝග තත්වය ඉතාම හොඳින් කළමණාකරණය කරමින් පවත්වාගෙන යන ආහාර රටාවක් මඟින් පාලනය කරගන්න හැකියාවක් තිබීම වාසනාවක් වුනත් අපි නොදැනුවත්වම හෝ අපි ගන්නා වැරදි ආහාර වර්ග නිසා දරාගැනීමට අපහසු වේදනාවක් දක්වා මේ තත්වය වර්ධනය වීමේ අවධානමකුත් තියෙනවා කියල ඔබ මතක තබා ගත යුතුමයි.
අන්න ඒ නිසා, ඔබට IBS තියෙනව නම්, ඔබ ඔබේ ආහාර වේලට වැඩිපුර එකතු කරගන්න ඕන වගේම වැළකී සිටිය යුතු ආහාර මොනවද කියල ඔබත් එක්ක කතා කරන්න අපි අද තීරණය කරා.
සාමාන්‍යයෙන් IBS තත්වයෙන් පෙළෙන රෝගීන් සඳහා ග්ලූටන් අඩු තන්තු වැඩි ආහාර ගන්නා ලෙස පොදුවේ උපදෙස් දුන්නත්, එකිනෙකාගෙන් එකිනෙකාට සමහර ආහාර වර්ග සඳහා ඇතිවෙන ප්‍රතිචාරය වෙනස් වෙන්න පුළුවන් නිසා ඔබේ වෛද්‍යවරයා සමඟ මේ ආහාර වර්ග ගැන සාකච්ඡා කර ලබාගන්න අදහසුත් අතිශය වැදගත් බව අපි සඳහන් කළ යුතුමයි.
ඒ කොහොම වුනත් පොදුවේ ඔබ වළකින්න ඕන සහ වැඩිපුර ආහාර ගන්න හොඳ ආහාර වර්ග මොනවද කියල අපි මේ ලිපියෙන් බලමු.
මුලින්ම, ඔබේ ආහාර වේලෙන් ඈත්කර තැබිය යුතු ආහාර වර්ග මොනවද බලමු.
කිරි ආශ්රිත ආහාර නිෂ්පාදන
ක්‍රීම්, චීස්, කිරි, බටර් වගේ එළකිරි වලින් නිෂ්පාදනය කරන ආහාර වර්ග වල සීනි වර්ගයක් විදිහට හඳුන්වන ලැක්ටෝස් අඩංගු වෙනවා.
අතිරික්තව තිබෙන ලැක්ටෝස් IBS ඇති අයට දිරවීමේ අපහසුතා ඇති කරන අතර පාචනය, ඉදිමීම සහ බඩ පිපුම වගේ තත්වයන් ඇතිවීමේ ඉඩකඩ තියෙනවා.
ඒ නිසා, බටර් වෙනුවට ඔලිව් තෙල්, කිරි වෙනුවට ඕට්ස් හෝ ආමන්ඩ් කිරි වගේ ආදේශක වලට යොමුවෙන්න ඔබට පුළුවන්. කොහොමවුනත්, එළකිරි වලින් නිෂ්පාදනය කර ආහාර වර්ග වලින් වැළකීමට ඔබ කල්පනාකාරී වෙන්නම ඕන.
ගැඹුරු තෙලේ බඳින ලද ආහාර
IBS තත්වය ඇති පුද්ගලයන්ගෙ විතරක් නෙමෙයි, ගැඹුරු තෙලේ බඳින ලද ආහාර සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකින් හැකිතරම් ඈත් කරල තියන්න ඕන කියන කාරණාව අපි කවුරුත් දන්නවනේ.
අධික මේදය සහ සීනි අඩංගු මේ ආහාර වර්ග දිරවීම අපහසු නිසා ජීර්ණයකින් තොරවම ආහාර මාර්ගයෙන් ඉවත්වීමේ ඉඩකඩක් තියෙනවා.
කැෆේන්
කෝපි, ශක්තිජනක පානයන් සහ සෝඩා වැනි කැෆේන් අඩංගු පාන වර්ග පාචනය සහ අනෙකුත් IBS රෝග ලක්ෂණ ඇති කිරීමේ වැඩි ඉඩකඩක් පවතිනවා වගේම බඩවැල් හැකිලීමේ වාර ගණන උත්තේජනය කිරීමත් සිදුකරනවා.
කැෆේන් අඩංගු පාන වර්ග වලින් වැළකීම වගේම කැෆේන් වලින් ඔබ බලාපොරොත්තු වෙන ප්‍රබෝධමත් බව ලබාගැනීම සඳහා රාත්‍රියේ වේලාසන නින්දට ගොස් නිසි පරිදි ප්‍රමාණවත් සහ සුවපහසු නින්දක් ලැබීම, සමබර පෝෂ්‍යදායී ආහාර වේලකින් දවස ආරම්භ කිරීම වගේ පියවර අනුගමනය කරන්නත් ඔබට පුළුවන්.
මත්ද්‍රව්‍ය
මත්පැන් එහෙමත් නැත්නම් ඇල්කොහොල් අපේ ආහාර ජීර්ණ පද්ධතියට හානිකරයි කියන කතාව අපි කවුරුත් දන්නවනේ.
ඊට අමතරව, මත්පැන් වල අඩංගු අධික සීනි සහ ග්ලූටන් විජලනය සහ මළබද්ධය වගේ රෝග ලක්ෂණ ඇති කරන්නත් හේතුවෙනවා.
ඒ නිසා හැකිතරම් මත්ද්‍රව්‍ය පානයෙන් වැළකී සිටීමත්, මත්ද්‍රව්‍ය ගැනීමට අවශ්‍යම නම්, ග්ලූටන් සහ සීනි රහිත විකල්ප වලට යාමටත් ඔබ සැළකිලිමත් වීම වඩා යහපත්.
හොඳයි. ඒ අපි කතා කරේ IBS තත්වය උග්‍ර කරවන අවධානම තියෙන ආහාර වර්ග ගැනනේ.
මේ ආහාර වර්ග වලින් හැකිතරම් ඈත්වීමත්,
ප්‍රෝබයෝටික් අඩංගු ආහාර වර්ග,
පාන් සහ පිටි ආශ්රිත නිෂ්පාදන වලින් වැලකී සම්පූර්ණ ධාන්‍ය රතු සහල්, කුරක්කන්, ඕට්ස් වැනි ධාන්‍ය වර්ග,
Omega 3 අඩංගු ටූනා, සැමන්, මැකරල් වැනි මාළු වර්ග,
සොසේජස්, බේකන් වැනි මස් වර්ග වලින් වැළකී කුකුළු මස්, කළුකුම් මස්, තාරා මස් වැනි මස් වර්ග සහ අලිගැටපේර, දොඩම්, ටෝෆු සහ බතල වැනි ෆයිබර් වැඩිපුර අඩංගු ආහාර වර්ග ඔබේ කෑම පිඟානට එකතු කර ගැනීමත් IBS වලින් ඔබට වන අපහසුතා මඟහරවා ගන්න ඔබට උදව් වේවි.
එහෙනම්, මේ වගේම වැදගත් ලිපියකින් නැවත ඔබව හමුවෙන බලාපොරොත්තුවෙන් අපි අදට ඔබෙන් සමුගන්නවා.
සටහන – දුලානි නවෝද්‍යා