එකම එක හාදුවක් – 4

0
4857

ලක්ස් ඉවෙන්ට් එක වෙන්නේ තමන් හිතුව අන්දමට වඩා සෑහෙන්න වෙනස් අන්දමින් බව ශාර්වරීට හොඳටම තේරුණේ ඇඳ පැළඳගෙන ඔෆිස් එකට ගොස් එතනින් සියල්ලන්ම එක්ව වාහනයක නැගී නෙලුම් පොකුණ රඟහල වෙත යන අතරවාරයෙදිය.

කෝම කෝමින් හරි තිබ්බ ඇඳුම් කැඩුම් අස්සෙන් නංගි සතුව තිබිච්ච, ඇය ගිය අවුරුද්දෙ පාසලේ ගෙට් ටුගෙදර් එකකට ඇන්ද කලු පාට පොඩ්ඩක් විතර ඇඟට හිර කොට ගවුමත් ඇඳගෙන යද්දී “ඒ ඇඳුම ඇන්දම අක්ක නිකන් ඔෆිස් එකක වැඩට යන ගර්ල් කෙනෙක් වගේ” කියලා නංගි  කිව්වට තමන් ඇඳන් ආපු එක තීකාලා ඇඳන් ආපු ඒවා ලඟඳි හැරෙන්න තියා සිග්නල් දාන්නවත් බැරි එකක් බව ශාර්වරීට තේරුණේ උත්සවේට යන අයව ඔෆිස් එකේදි දැක්කමය. කොල්ලො ටිකනම් උන්නේ කිව්ව විදියට කලු ට්‍රව්සර් එකට කලු ශර්ට් යට කර ඇඳලාය. තීකා ඇඳගෙන උන්නු කලු පාට කොට ගවුම ඇත්තටම එතන උන් අනික් හැම කෙල්ලටම වඩා තීකාව හොඳට කැපී පේන්න හේතුවෙච්ච එකකි.

තමන් ලස්සන බව දන්න හන්දාමද කොහෙද තීකා ශාර්වරීගේ ඔලුවේ හිඳන් කකුල් දෙක වෙනකම් එකපාරකුත් කකුල් දෙකේ ඉඳන් ඔලුව වෙනකම් එකපාරකුත් බලද්දී “මොකද බලන්නෙ?” කියා අහන්න හිතුනත් මේක ඉතින් සද්දෙ දාන්න පුලුවන් තැනක් නොවෙන හන්දා  ශාර්වරී හරිම අමාරුවෙන් කට වහගෙන උන්නාය. 

ලක්ස් ඉවෙන්ට් එක වෙන්නෙ අද වුණාට ඕක පෙන්නන්නෙ පස්සෙ බව ශාර්වරීට කිව්වේ වාහනයේ නැගි යන ගමන් මධුරංගය. “අපේ නංගිත් ඒත් මගෙන් ඇහුව ඕක අදම ටීවි එකේ පෙන්නනවද කියලා, එයාගෙ හිතේ අපිවත් පෙන්නනව කියලා” කියා ශාර්වරී යාන්තම් සිනාසෙමින් මධුරංගට කිව්වද ඒක ඇහිච්ච තීක්ෂණා මහ අමුතුම විදියෙ නෝන්ඩි හිනාවක් දාන ගමන් තමන්ට එහා පැත්තෙ වාඩි වෙලා උන්නු යාලුවා දිහා බලන එක ශාර්වරී නොදැක්කා නොවේ.

ඉවෙන්ට් එක වෙනුවෙන් ආ සියලුම නලු නිලියන්ද, ප්‍රසිද්ධ මිනිස්සුන්ද ඉස්සරහට වෙලා ෆොටෝ එහෙම අරගන්න අතරවාරයේ ශාර්වරී ඇතුලු පිරිස කොක්ටේල් පාටි එක තිබෙන ඒරියා එකේ අඩුපාඩු බලමින් තමන් විසින් කලයුතු රාජකාරියට උපරිම ෆෝකස් එක දී උන්නහ. 

ආලියා සමග කතාව අවසන් කල නෙවින් වාහන පාක් එකේ සිට හොටෙල් එකේ ලොබි එක වෙත ආවේත් පොඩ්ඩක් විතර හිත කෝපයෙන් පිරී තියෙද්දිය. එහෙත් කැමරා අටවාගෙන හෝටල් ලොබියේ බලා උන්නු පිරිස දකිද්දී ඒ සියලු කෝපාන්විත හැඟීම් හිත අස්සටම කර සුන්දර කඩවසම් හිනාවකින් මුව සරසාගෙනය.

ලොබියේ ඉස්සරහම ඉඩ වෙන් කර තිබුනේ නිලියන්ට, නලුවන්ට පින්තූර ගන්න පහසු ලෙස ලස්සන බැක් ඩ්‍රොප් එකක් සකසාය. විවිධ ඒජන්සිද, පත්තර, මීඩියා ස්ටේශන්වලින් ද පින්තූර ගත්තයින් පස්සේ ඉවෙන්ට් එක පටන් ගන්නට පලමුවෙන් කොක්ටේල් එකක් දෙන ඒරියා එකට යන්නට නෙවින්ට කතාකරේ නෙවිනුත් හොඳින් දන්න නලුවෙක් වුණ භාරතය. භාරත එක්කම කොක්ටේල් ඉවෙන්ට් එක පැවැත්වෙන පැත්තට යන්න අඩිය ඉස්සුව නෙවින්ගේ ගමන නැවැතුනේ හෙණහුරෙක් කඩාගෙන පාත්වෙච්ච එකෙන් ය.

“හායි නෙවී ඩාලින්, මං ඒත් බැලුවා ඔයා ඇයි ලේට් කියලා. ලෙට්ස් ගෝ ඇන්ඩ් ටේක් සම් පික්චර්ස්” කියලා රෙශාන් එහෙම නැත්තම් ඉන්ඩස්ට්‍රි එකේ හැම නලුවෙක් නිලියෙක්, මොඩ්ල් කෙනෙක්ම අඳුරන ප්‍රසිද්ධ ඇඳුම් නිර්මාණ ශිල්පියෙක් වන “රේ” තමන්ගෙ අතින් ඇදගෙන අර ලොබියෙ පැත්තක තිබුණ 360 කැමරා එක දිහාවට යද්දි නෙවින් උන්නේ එක්තරා විදියක අපහසුතාවයකිනි. මේ මිනිස්සුන්ව අමනාප කරගන්න එක මේ ෆීල්ඩ් එකේ තමන්ගේ පැවැත්මට බාධාවක් බව දන්න හන්දා සද්ද නැතුව උන්නට හීන් සැරේ මේ යකාට නොපෙනෙන පැත්තකට පැන ගන්න පුලුවන්කම තිබ්බනම් කොච්චර හොඳද කියා නෙවින් නොසිතුවා නොවේ.

360 කැමරා එක මැද සිටුවා තිබෙන ස්ටේජ් එකට නැග්ග නෙවින්ගේ කරේ එල්ලුණු රේ කැමරාව කැරකෙන වාරයක් පාසා ඒකට පෝස් කරද්දී නෙවින් උන්නේ කරගන්න දෙයක් නැතුවය. කැමරාව කැරකෙද්දි ඔලුව කැරකෙනවා සේ දැනෙන්නට එයත් හේතුවක් විය හැකි බව සිතුණද නෙවින් බොරු හිනාවකින් මූණ සරසාගෙන ඒ ඔක්කොම විගඩම් ඉවස ගෙන උන්නෙ තමන් දිහාවට දාහක් කැමරා ෆෝකස් වී තිබෙන වෙලාවක හිතේ තියෙන තරහ පිටකරන්න බැරි හන්දාය. 

හැබැයි මේ ඔක්කොම විගඩම් කවුරු හෝ කාගෙ හෝ කැමරාවක් ඔස්සේ හෙට දවසේ සමාජ මාඪ්ඃය වෙබ් අඩවිවල “කඩවසම් නිරූපණ ශිල්පි නෙවින් සේනාරත්නගේ අලුත්ම කැච් එක” වගේ කැප්ශන් එකක් යටතේ අප්ලෝඩ් වෙන්න බැරි බවත් නෙවින් නොදන්නවා නොවේ.

“යන් නෙවින් ලෙට්ස් හෑව් අ ඩ්‍රින්ක් කියමින්” නෙවින්ගේ පස්සටත් තට්ටුවක් දාගෙනම රේ කොක්ටේල් ඉවෙන්ට් එක තියෙන ශාලාව වෙත යද්දි නෙවින් හීන් සැරේ රේව මගාරින්න ගත්තේ“ අඩි පහක්වත් උස නැති බෙට්ටා උනාට මොකෝ මූට පිරිමියෙක්ට තට්ටුවක් දාන්න ඕන වුණාම නම්…” කියා හිතෙන් හිතමිනි.

විවිධාකාරයේ ෆින්ගර් ෆුඩ්ස් පිරුණ, ඉවරවෙන ඉවරවෙන අන්දමට පිඟන් පිරවෙන ඒ කොක්ටේල් පාටි එක වෙලාවේ නෙවින් තමන්ගේ හිත මිතුරන් සමග කතා කර කර උන්නේ ඉන්ඩස්ට්‍රි එකේ මේ දවස්වල ට්‍රෙන්ඩින් වෙන දේවල් ගැනය.  

කොක්ටේල් පාටි එකෙන් පස්සේ අවෝඩ් සෙරමනි එක පැවැත්වෙන බවත් අනතුරුව ඩිනර් එකත් අද ඇරේන්ජ් කර තිබෙන බවත් දන්න හන්දා නෙවින් එහෙමකට කියා ෆින්ගර් ෆුඩ්ස් වලින් බඩ පුරවගන්න හිතුවේ නැත. චීස් දමා සකසා තිබුන ෆින්ගර් ෆුඩ් එකක් කන්න ගත්ත නෙවින් තමන්ගේ හිස් වූ මත්පැන් වීදුරුව පිරවෙන තුරු බලාගෙන උන්නාය.

ශාර්වරී උන්නේ මැශිමක් වගේ බන්දේසිවල තබාගත් ෆින්ගර් ෆුඩ්ස් කොක්ටේල් ටේබල් එකෙන් ටේබල් එකට අරගෙන යන අතරවාරයේය. තිබිච්ච කලබලයන් හන්දාම ඇවිත් ඉන්නෙ කවුද, කින්ද මන්ද කියා හොයන්නවත් හැටියක් ශාර්වරීට තිබ්බේ නැත. කොක්ටේල් ටේබල්ස් උඩ තබා තිබුණ හිස් වූ මත්පැන් වීදුරු පුරවගෙන යන ගමන් උන් මධුරංග ඉවර වුණු බෝතලය අරගෙන හැරුණේත්, කලබලයෙන් ෆින්ගර් ෆුඩ් ප්ලැටර් එකක් අරගෙන ආ ශාර්වරී මධුරංගගේ ඇඟේ හැපුණේත් එකවරය.

තමන්ට වඩා උස මධුරංගගෙ පපුවෙ හැප්පිච්ච ශාර්වරී වැටෙන්න යද්දී කවුරුන් හෝ තමන්ගේ ඉණ වටේ අත දා අල්ල ගත්ත බව ශාර්වරීට දැනුණාය. එහෙත් ඊට වඩා හිත කැළඹුණේ උඩින් විසි වී ගිය ෆින්ගර් ෆුඩ්ස් එකක් දෙකක් එතන පිටිපස්ස හැරී හිටගෙන උන් කවුරුහරි උස පිරිමි කෙනෙකුගේ කලු පාට යාන්තම් ශයින් එකක් තිබිච්ච කමිසෙක වැදිච්ච බව දැක්කමය. තමන් මේ කලේ තමන්ගේ වගේම චෙෆ් වීරරත්නගේත් සායම යන වැඩක් විත්තිය ශාර්වරීට තේරුනේ මධුරංගගේත් පිහිටෙන් කොන්ද කෙලින් කරගත්තට පස්සෙ එහා මේසයක් අසල හිටගෙන වයින් බෝතලයක් අතේ තබාගෙන තමන් දිහා සමච්චලයත්, කෝපයත් රැඳිච්ච දෑසින් බලාගෙන ඉන්න තීක්ෂණාව දැක්කමය. තීක්ෂණා මේක ඊලඟට ලෙක්චර්ස් තියෙන දවසේ මුලු එච් එන් ඩී එක පුරාම පතුරුවන බව ඒ බැල්ම ඔස්සේ තේරුම්ගන්න බැරිකමක් ශාර්වරීට තිබ්බේ නැත.

“ඇයැම් එක්ස්ට්‍රීම්ලි සොරි” කියා එතන උන් හැමෝම දෙස සමාව රැඳුණ බැල්මකින් බැලුව ශාර්වරීට ඕන උනේ ඒ සියලු දෙනෙත් මගහැර එතනින් නික්ම යන්න වුනත් තමන්ගේ වටිනා ඇඟලුමේ කෑම වල තිබුන සෝස් පාරවල් වැදිච්ච නෙවින් නම් උන්නේ එහෙම ලේසියෙන් මේ කෙල්ලට යන්න දෙන අදහසකින් නොවේ.

“මේ වගේ තැන්වල වැඩට එන මේ වගේ කෙල්ලො දන්නවද මේ ඇඳුම්වල තියෙන වටිනකම” කියා අහන්නට හොඳටම උවමනාව තිබුනත් නෙවින් ඒ හැඟීම වචන කලේ නැත. ඒ වෙනුවට මෙහෙම දෙයක් උනේ කොහොමද කියා බලන්න වඩා හොඳින් ඒ කෙල්ල දිහා බැලුව නෙවින්ගේ ඇස් ගැස්සුණේත් ශාර්වරීගේ දෙනෙත් සසැලුනේත් එකම විලසිනි.

“ඔයා” කියා ශාර්වරීගෙත් නෙවින්ගෙත් මුවෙන් නික්මුණේ එකම වරටය. මේ එදා කාල්ටන් රෙස්ටුරන්ට් එකේදි තමන් සහ ආලියා කිස් කරන එක දිහා ඇස් ගෙඩි දෙක ලොකු කරගෙන උන්නු කෙල්ල බව නෙවින් හඳුනාගන්නා අතරවාරයේ ශාර්වරීට ඕන උනේ වෙච්ච දේට සොරි කියන්නය.

“අයෑම් සොරි අංකල්” කියා තමන් එවෙලෙ කිව්වේ මොන පිස්සුවක් ඔලුවට වැදිච්ච නිසාද කියා ශාර්වරීට ඇත්තටම හිතාගන්න පුලුවන් වුණේ නැත.

එහෙත් ඒ ආමන්ත්‍රණය වනාහී නිදාගන්න උන් සිංහයෙක්ව නැගිට්ටව ගත්ත එකක් බව ශාර්වරීට තේරුණේ ඔහුගේ ඇස් වල පිරිච්ච කෝපය දැක්ක නිසාවෙනි.

ඒ ඇස්වල තිබුණේ අමතක කරන්න බැරි අන්දමේ හිස් හැඟීමකි.

එහෙත් ගැහැණු හිතක් හොල්ලන, සසල කරවන, එමෙන්ම වශී කරගන්නට සමත් පිරිමිකමකින් පිරිච්ච හිස් කමකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here