එදා රෑ නින්ද අහිමිවුනේ ශාර්වරීට විතරක් නොවේ. වීදුරුවට හලාගත්ත වොඩ්කා, ස්ප්‍රයිට් එක්ක තනුක කර බොන ගමන් නින්ද අහිමි කරගත්ත නෙවින් කරෙත් අපාට්මන්ට් එකේ බැල්කනියට පිවිසෙන්නට තියෙන වීදුරුව හැර එතන ලී පුටුවේ වාඩි වී අන්ධකාර අහසත්, විදුලි එළියෙන් දිදුලන කොළඹ නගරයත් දිහා බලාගෙන කල්පනා කරමින් උන්නු එකය.
ඒ කල්පනා මාලාවන් එල්ල වුනේ කොහෙටද කියා හරි අදහසක් නැති උනත් ඒ කල්පනාවන්වල කොහේ හෝ තැනක අර බිම්මල් කෙල්ල පිපී උන්නු විත්තිය පිළිගන්න නෙවින් අකමැති වුණත් හිත පිළිගත්තේය.
තමන්ගේ හිතේ ඇය ගැන මුලින් තිබ්බේ එක්තරා විදියක තරහක් බව අමතක කර දමන්න නෙවින්ට බැරිය. ඇය තමන්ට අංකල් කිව්ව දවසේ ඇය එක්ක හොඳටම කෝප ගන්න හේතු දාහක් තිබ්බත්, ඊට කලින් දවසක ආලියාව සිපගනිමින් කාල්ටන් එකේ පල්ලෙහා රෙස්ටුරන්ට් එකේ රැඳී උන් මොහොතේ, ඇයගේත් තමන්ගේ නෙත් පැටලිච්ච මොහොතේ පැටලිච්ච හිත් වලින් කිව්ව මොකක් හෝ කතාවක් ඒ සියලු සිතුවිලි අභිබවා ඉදිරියට ඇවිත් තිබෙන බව පිළිගන්නට නෙවින් සූදානම් නැතත්, හිත සූදානම් ය.
“මං ඒ කෙල්ලගේ නමවත් දන්නෙ නෑනෙ. ඊලඟ දවසෙ රෙස්ටුරන්ට් එකට ගිහිල්ලා බැලුවොත් මොනව හරි හිතාවිද දන්නෙ නෑ” කියා නොසිත ඉන්න කොච්චර වුණත් නෙවින්ට පුලුවන්කමක් තිබ්බේ නැත.
ඊටපස්සේ ආ දවස් දෙකේම නෙවින් රෙස්ටුරන්ට් එක වෙතට ගියේය. හැන්දෑවේ මොඩ්ලින් වැඩ අවසන් කර බීම එකක් බොන අයුරින් රෙස්ටුරන්ට් එකට ගියද ශාර්වරීව දකින්න ඉඩක් ලැබුණේ නැත. ඇය කවුද, නම කුමක්ද, අද නැත්තෙ ඇයි කියා අහන්න කොච්චර උවමනාවක් තිබ්බද එහෙම ඇසීම තමන්ව මෙන්ම ඇයවත් ප්‍රශ්නයකට ඇද දැමීමක් වෙන්නට හැකියාව තිබෙන හන්දා ඒ සිතුවිලි හිත අස්සේම හිරකරගත් නෙවින් උන්නේ එළියට නොපෙන්වා උනත් මේ මෙය යැයි කියා තේරුම් කරන්නට නොහැකි කැළඹීමක පැටලීය.
“දෙතොල නොකී දේ දෙනෙතේ කියැවෙනවා
වසන් කරන සිත මුහුණේ ලියැවෙනවා
අක්කගෙ පාමුල ඉරහඳ තියලා
ආදර හිත ළඟ කවුරුද මුවා වුණේ..
හැඩරුව බලලා කැඩපත වෙහෙසන්නේ..
පුංචි හිතේ පොඩි මධු මල් පිපිලාදෝ”
උදේ පාන්දර නාගෙන ඇවිත් කණ්ණාඩිය ඉස්සරහට වී කොණ්ඩෙ පීරන අතරවාරයේ තවමත් ඇඳට වී බාගෙට නිදිමතේ ඉන්න අයෙශ්වරී ඔය සිංදු කෑලි කියන්නෙ තමන් එදා රෑ අරහෙම කතාවක් කිව්ව නිසා බව ශාර්වරී නොදන්නවා නොවේ.
“මට නින්ද යන්නෙ නෑ නංගි”
“ඇයි අක්කේ?”
“දන්නෙ නෑ නංගි, මට තේරෙන්නෙ නෑ. නිකන් හිතේ මොකක් හරි ලොකු බරක් තියෙනව වගේ. ඒත් ඒ මොකද්ද කියලා කියන්න මට තේරෙන්නෙ නෑ”
“හිත බරයි කියලා දැනෙන්නෙ අද රෙස්ටුරන්ට් එකේදි නෙවින් මොනව හරි කිව්ව දෙයක් හන්දද?” කියා නංගී හීන් හඬකින් අහද්දි ඇස් දෙකෙන් කඳුලු වැක්කුරුණේ ඇයි කියා ශාර්වරීට තවමත් හිතා ගන්න නොහැකිය.
ඒ කඳුලු අස්සේ හැංගී තිබුනේ නෙවින් සේනාරත්න වනාහී දකින දකින ගෑණි එක්ක නිදාගන්නා ජාතියේ සෙල්ලක්කාරයෙකු වීමද කියන කතාව අමතක කර දමන්න ශාර්වරීට නොහැක.
“නෑ එහෙම දෙයක් නෙවෙයි” කියා එදා නංගී කිව්ව දේට උත්තර නොදි උන්නත් ඇත්තටම හිත අස්සේ වද දෙමින් තිබුනේ ඒ කතාව නොවේද කියන එක ශාර්වරී හිතෙන් ඇසුවාය. උත්තර ලැබුණත් නිහඬම උන්නාය.
“අක්කගෙ මූණෙ ද නංගිගෙ මූණෙ කියලද ඔය සිංදුවෙ තියෙන්නෙ?” කියා ශාර්වරී ඇසුවේ නංගී එන්න හදන පොට මොකද්ද කියා නොදන්න හින්දාම නොවේ.
“සිංදුවෙන් නම් තියෙන්නෙ නංගිගෙ කියලා තමයි. ඒ උනාට ඉතින් මේ රියල් සිටුවේශන් එකේ නම් තියෙන ඒව ඔක්කොම තියෙන්නෙ අක්කගෙ මූණෙ හින්ද මම පොඩි එඩිට් එකක් කරපු සිංදු කෑල්ලක් තමයි මේ කිව්වේ”
“අනේ මගෙ මූණෙ නම් මුකුත් නෑ. ඔයා මේ ඔයාගෙ හිත අස්සෙන් එක එක විකාර හිතාගෙන හිටියට මං නම් ඉතාම හොඳින් තමයි ඉන්නෙ”
“ශුවර් ද?” කියා අයේශ්වරී අහන්නේ ඇඳේ පැත්තකට ඇලවී උදේ තියෙන සීතලට බෙල්ලෙ ඉඳන් කකුල් දෙක වෙනකම්ම රෙද්දක් පොරවගෙනය. එදා රෙස්ටුරන්ට් එකට යන අතරවාරයෙත් ශාර්වරී ඇත්තටම කල්පනා කලේ තමන් මෙච්චරටම නෙවින් ගැන හිතන්න තරම් හේතුවෙච්ච කාරණාව මොකද්ද කියන එක ගැනය. එදා නදී උදේ වරුවේ එච් එන් ඩී එකට ගොස් ලෙක්චර්ස් ඉවර කර හවස රෙස්ටුරන්ට් එකේ වැඩට එන්නට කලියෙන් වෙනදා වගේ නැතුව වොශ් රූම් එකට ගිහින් සින්ක් එකෙන් මූණත් චුට්ටක් විතර හෝදගත්තාය. යාලුවෙක්ගෙන් ඉල්ල ගත්ත ලිප් බාම් එකකින් හීනි දෙතොල උඩ ලිප්ස්ටික් ටිකකුත් උලා ගත්තාය. හැමදාම වගේ රෙස්ටුරන්ට් එකේ යුනිෆෝම් එක දමාගෙන වෙනදාට වඩා ටිකක් එහෙට මෙහෙට කැරකි කැරකි ඇඳුමේ අඩුපාඩු හෙව්වාය.
බස් එකෙන් බැස කාල්ටන් අපාට්මන්ට්ස් වලට ඇවිදගෙන එන අතරවාරයේ කවදාවත් ගැහුනේ නැති විදියට තමන්ගේ හිත ගැහෙන බව ශාර්වරීට තේරේ. එන අතරවාරයේත් ඔලුව උස්සා කාල්ටන් අපාට්මන්ට්ස් වල නෙවින් සේනාරත්නගේ අපාට්මන්ට් එක තිබෙන තට්ටුව දෙසත්, අපාට්මන්ට්ස් වලට යන්නට ඇති එන්ට්‍රන්ස් එක දිහාත් ඔලුව උස්සා බැලුවට ඒ කිසිම තැනක නෙවින්ගේ ජායාවක් දකින්න හැකිවුනේ නැත. ඒක එක්තරා විදිය හිත රිද්දන හැඟිමක් උනත් එක පැත්තකින් හිතට සහනයකි. ඔහුගේ ජායාවක් හෝ දකින්න ලැබුණානම් තමන් කලබල වෙන බව දන්න හන්දාම “දකින්න නැති එක හොඳයි” කියා ශාර්වරී නිකමට මෙන් හිතුවාය.
සතියේ දිනක් වූ නිසාවෙන්ද එදා එහෙමකට කියා වැඩක් ශාර්වරීටවත් මධුරටවත් තිබ්බේ නැත. ඉඳහිටක ආ ෆුඩ් ඕඩර් එකක් අපාට්මන්ට් එකකට යවන්න තිබුණා හැරෙන්න වෙන කරන්න දෙයක් නැති තැන තේකක් හදාගත්ත ශාර්වරිත් මධුරත් රෙස්ටුරන්ට් එකේ පැත්තක වාඩි වී කතා කර කර උන්නේ එදිනෙදා දේවල් ගැන ය.
අපාට්මන්ට් වල සිට රෙස්ටුරන්ට් එකට එන්නට තිබෙන විදුලි සෝපානයේ දොර හැරෙද්දී රාත්‍රී හත හමාරට පමණ ඇත.
එතැන ඒ මොහොතේ එයාකාරයෙන් ඒ මනෝරම්‍ය, මනස්කාන්ත ඇස් දකින්නට වේවි කියා කිසිත් බලාපොරොත්තුක් නොතිබිච්ච තැන ශාර්වරී මදක් ගැස්සුණාය. ඒ ගැස්සීම අස්සේ නෙවින් සේනාරත්න දුටුවේ කවදාවත් කිසිම ගැහැණියකගෙන් දුටුවේ නැති අන්දමේ අපූර්ව ගැහැණුකමකි. තමන් ළඟ සරාගී විදියට දෙනත නලවන, දෙතොලින් බොහෝ දේ කියූ ගැහැණුන් සියයක් අබියස නොදැක්ක ගැහැණුකමක්, කිසිවක් දෙතොලින් නොකියා, දෙනෙත් අස්සෙන් බොහෝ දේ හුවමාරු කරගත්ත ඇය තමන්ව දකින හැම මොහොතක පාහේ දෙනෙත් බිමට හරවාගනිද්දී නෙවින් දුටුවේය.
“ගුඩ් ඊව්නින් සර්” කියා මධුර මෙතෙක් වේලා වාඩි වී උන් බාර් ස්ටූල් එකෙන් බිමට බහින අතරවාරයේ කියද්දි ශාර්වරී උන්නේ බාර් ස්ටූල් එකෙන් බිමට බැහැගන්න බැරුවය. අඩි පහකටත් නොඅඩු උස හන්දා මේ වගේ උස පුටුවල වාඩි වෙද්දී වගේම බහිද්දී ශාර්වරී මධුරගේ උදව්ව ඉල්ලගනී.
“මට මල්ලි ෆ්‍රයිඩ් රයිස් එකක් ඕන. ඊට කලින් ලාගර් ලර්ජ් එකක් අරගෙන එන්න” කියා නෙවින් කිව්වේ තමන්ගේ දෙනෙත් මධුරගේ දෙනෙතට වඩා බිමට හැරවිච්ච ශාර්වරීගේ සුන්දර මුහුණ මත රඳවගෙනය.
“සී ෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එකක් දාන්නද සර්?”
“ඔව්” කියා මධුරට මුලුතැන්ගෙය දිහාවට යන්න හැර නෙවින් කලේ ශාර්වරී දිහා බලාගෙන උන්නු එකය. හරිනම් තමා දැන් කල යුත්තේ මෙතනින් බැස ගොස් නෙවින් ඉල්ලුව බියර් එක දෙන එක වුනත් ශාර්වරී උන්නේ උසම උස බාර් ස්ටූල් එකෙන් බැසගන්න බැරුවය. මධුර දැන් දැන් එලියට ඒවි කියා සිතුවත් මධුර උන්නේ රෙස්ටුරන්ට් කිචන් එක ඇතුලේ චෙෆ් එක්ක මොනවා හෝ ඕඩර් එකක් සම්බන්ධ දෙයක් ගැන කතාකරන බව ඒ පැත්තෙන් ඇහෙන කටහඬෙන් ශාර්වරී තේරුම් ගත්තාය.
තමන්ට මදක් එහයින් හිටගෙන ඉන්න නෙවින් සේනාරත්නගේ දෙනෙත තමන්ගෙන් මිදී අතේ තිබුන දුරකතනය වෙත යොමු වී තිබ්බ මොහොතක ශාර්වරී හීන් සැරේ පුටුවෙන් බහින්න හැදුවාය.
බහිනවා කිව්වා වෙනුවට හරිම වචනේ පුටුවෙන් පැන්නා කියන එක. ඒ පැන්න ගැස්සීමට පුටුව ඇලවී ශාර්වරී එක්කම පෙරලෙන්න යද්දී වැටෙන්න ගිය ශාර්වරීගේ ඉණ වටා අත දමා අල්ල ගත්ත නෙවින් අනෙක් අතින් වැටෙන්න ගිය ස්ටූල් එක අල්ලා ගත්තේය.
දෙදෙනා අතර තවත් ලංවෙන්න ඉඩක් තිබුණේ හිතෙන් පමණකි.
“ඔයා ළඟ හරිම සුවඳයි” කියා නෙවින් කිව්වේ ඇයි කියා අහන්න බැරි තරම් ශාර්වරී උන්නේ තිගැස්සීය.
“කවුරුවත් මීට කලින් එහෙම කියලා නැද්ද ම්ම්ම්” කියා නෙවින් ආයෙම අහද්දී “නෑ” කියා කියන්න උත්සහ කලත් දෙතොල් සෙලවුනා පමණකි. හඬ පිටවුණේ නැත.
“එහෙනම් ආයෙම කාටවත් එහෙම කියන්න ඉඩ දෙන්න එපා. මං කැමති නෑ කවුරුවත් ඔයාට මෙච්චර ලං වෙනවට”