සැරිසරන්නී – 28

දිලුම් ව දුටු මගේ අත වහා රවීන් ගේ අත අත් හැරියේ ය. නමුත් ඒ වෙත්දී දැකිය යුතු දේ දැක සිතිය යුතු දේ සිතා ගන්නට ඔහු ට ඕනෑ තරම් හැකියාව වූ බව නො තේරෙන්නට තරම් මා බබෙකු නොවේ. දැන් ඉතින් ඒ දේ සිදු වී හමාර ය. ඉදිරියේ දී වෙන්නට නියමිත දෙයක් ද මෙලෙස ම සිදු වනු ඇත. වෙන දෙයක් වුණාවේ යි හිත හයිය කර ගෙන මම හිස කෙළින් කොට දිලුම් දෙස බැලුවෙමි.

“ඕහෝ…මේකයි එහෙනං හැංගි හැංගි බඳින වෙස් මූණ නේ…”

මම තොල් කොනක් සපා ගතිමි. හදවතේ මහත් බරක් දැනුණේ ය. නමුත් මේ වගේ වෙලාවක දුර්වල ව දියව යන්නට නම් පෙම් කළ යුතු නැත. ප්‍රේමය ගැන ඉතිහාසයේ ලියැවී ඇති කතා බොහොමයක වන්නේ ඒ ශක්තියයි. ඇදහීමයි. මිනිසුන් ප්‍රේමය වෙනුවෙන් ජීවිත පූජා කරන්නේ ද ඇදහීමේ වන භක්තිය මත ය. ප්‍රේමය වෙනුවෙන් සටන් කරන්නේත් ඇදහීමේ බලවත් කම නිසා ය. ප්‍රේමය හැම විට ම අපට ඉහළින් වන නිසා අප ඊට පැදකුණු කරන්නටත් වන්දනා කරන්නටත් නො පැකිළෙමු.

“හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නෙ එළියෙ කියල දැනගෙන හිටිය දිලුම් අයියෙ”

මම හිස කෙළින් තියා ගෙන ද හිත හයිය කර ගෙන ද මඳහසක් දෙතොල් මත ගවසා ගෙන ද කීවෙමි.

“පිස්සුද හලෝ තමුසෙට…අද එනවකො ගෙදර”

කියා ගෙන ඔහු සාප්පුව ඇතුළට ගියේ ය. රවීන් හැරී සාප්පුව දෙස බැලුවේ දිලුම් ට කතා කිරීමේ අදහසකින් දැයි ක්ෂණික ව සිතුණෙන් මම ඔහු ගේ අතකින් අල්ලා සාප්පුවෙන් පිටතට කැටුව ගියෙමි. දිලුම් ඉදිරියේ රවීන් පිණ්සෙණ්ඩු වෙනු දකින්නට මට ඕනෑ වූයේ නැත.

ඉනික්බිති ගැස්මක් හැම මොහොතක ම ළයෙහි විය. එය පිච්චීමක් වාගේ දෙයකි. නරක යමක් කොයි මොහොතක හෝ සිදු වෙතැයි නො සන්සුන් බලාපොරොත්තුවක් පපුව හිර කරමින් තිබිණ. අම්මා ගේ මූණ බලන්න ට මම බිය වීමි. තාත්තා ගෙදර එන්නට පෙර නිදා ගන්නවා යි මම සිතා සිටියෙමි. නමුත් ඒ සියල්ල තාවකාලික විසඳුම් මිස ස්ථිර ඒවා නො වන බව ද මම දැන සිටියෙමි.

බරැති හදවත දරා ගෙන, රාත්‍රියේ ගෙදර කොංක්‍රීට් තලාව මත්තට වී ගිනිගත් සුසුමින් හිත නිවමින් සිටියදී පිටුපසින් ආ දෑතකින් මගේ දෑස් වැසී ගියේ ය. හිතේ වූ පීඩනය නිසා ම මම තරමක් නො සන්සුන් වීමි.

“අතාරින්න අනේ. මොන විකාරයක්ද..”

මා අනුමාන කළේ ඒ දිලුම් විය යුතුයි කියා ය.

“කවුරු වුණත් කමක් නෑ අත්අරින්න හොඳේ”

කියමින් මම ඒ දෑත තදින් ඇද දැමුවෙමි. මගේ අනුමානය නිවැරදි කරමින් එතැන වූයේ දිලුම් ය.

“අපේ තමයි අත තල්ලු කරල දාන්නෙ. බලන්න එපැයි අර ඩිවෝස් වෙලා ඉන්න එකාගෙ අතේ එල්ලිල හිටිය හැටි”

ඔහු මගේ කම්මුල හරහා අතුල් පහරක් එල්ල කළා සේ ය මට දැනුණේ. අරතුළත වූ කැළඹිලි සහගත බව නිසා ම මට එකවර පිළිතුරක් ගලපා ගත හැකි වූයේ නැත.

“සනූ මේ. ඕකනං හරියන සෙල්ලමක් නෙවෙයි හරිද..”

“සෙල්ලමක්…”

හඩ වඩාත් බාල වූවාට මගේ ඒ තනි වචනයේ වූයේ අභියෝගයකි.

“මං සෙල්ලමක් කරන්නෙ නෑ දිලුම් අයියෙ”

“නැත්තං කසාද බැඳපු මිනිහෙක් එක්ක වෙන බම්බුවක්ද ඕයි කරන්නෙ”

“මනුස්සයො දෙන්නෙක් අතරෙ ඇති වෙන්න පුළුවන් සම්බන්ධයක් දිහා ඔච්චර කැත විදිහට බලන්න එපා”

මගේ ඇහි බැම හැකිළී තිබිණි. සැබවින් මට ඔහු ගැන දැනුණේ අප්‍රසන්න හැඟීමකි. නමුත් ලෝකයෙන් ඊට නොවෙනස් ප්‍රතිචාරයක් බලාපොරොත්තු විය නො හැකි බව මම දැන සිටියෙමි.

දිලුම් සමච්චල් සහගත ලෙස තරමක් හඬ නගා සිනහ වූයේ ය.

“අනේ මේ. කොල්ලො ගැන අපි දන්නැද්ද නංගී…අපිත් ඉතිං කොල්ලොනෙ”

“හැම කොල්ලෙක්මත් එක වගේ නෑ”

“ආ ඒ කියන්නෙ මේ ඌ හරී හොඳ එකෙක්.මේ අපි හරී නරකයි. අනේ යනව හලෝ යන්න. එච්චර හොඳයිනං මොකද දන්නෑ උගෙ ගෑනි දාල ගියේ”

මම මඳක් මුව අයා හුස්මක් ගතිමි. මේ විදිහට හිතනා මිනිසුන් සමග මොනවා කතා කළත් පලක් නොවන බව  මා නො දැන සිටියා නොවේ.

“දිලුම් අයියෙ කෑ ගහන්න එපා. පහළටත් ඇහෙයි”

එවර ඔහු නැවත ද සමච්චල් සිනහවක් පෑවේ ය.

“රහස් රකින්න ඕනනං අපිටත් සලකන්න වෙයි හරිද..”

කිසිත් නො කියා සිටියා ට ඒ කතාවට මා තුළ ඇති වූයේ කේන්තියකි. නමුත් දැන් ඉතින් කේන්ති ගෙන දිලුම් තරහා කර ගෙන බැරි බව ද මම දනිමි. ළිඳට වැටුණ මිනිහා ළිං කටින් ම ගොඩ ආ යුතු ය.

“ප්ලීස් අයියෙ. දැන්ම මේ ගැන ගෙදරට දැන ගන්න තියන්න එපා”

“හරි හරි ඉතිං”

ඔහු මගේ ගෙල වටා අතක් දමා මාව සිය සිරුර ට ලං කර ගැනීමේ උත්සාහයක් ගත්තේ ය. මම අපුලකින් යුතු ව හැකි තාක් ඔහු ගේ සිරුරෙන් ඈත් ව සිටියෙමි.

“මං පහලට යනව”

කියා ඔහු ගෙන් නො මිදෙන්නට දිලුම් කෙසේ හැසිරෙනු ඇත්දැයි සිතා ගත නො හැකි ය.

“මං ඒත් බැලුව උඩට ගිය මිනිහ කෝ කියල”

අප පහළ ට එත්දී අම්මා දිලුම් දෙස බලා එසේ කීවේ, ඔහු ගැන පවුලේ අය තුළ වන ප්‍රතිරූපය ඒ තරම් හොඳ පැති නිසා බව මම දනිමි.

“ඇයි සුදු නැන්දා හිතුවද මං ඔයාගෙ දුව අරං පැනල ගියා කියල”

එසේ අසමින් දිලුම් හඬ නගා හිනැහුණේ වැඩිහිටි කාන්තාවක් හා කතා කිරීමේ දී තරුණයෙකු තුළ තිබිය යුතු ගෞරවය ගැන අදහසක් හෝ නොමැතිව ය.

“ඔය ගිහිං හිටිය ඒරොප්පෙ රටවල් වගේ නෙවෙයි ළමය. මේ ලංකාව”

ආච්චා එසේ කීවේ දිලුම් ගැන මොන සිතිවිල්ලක පිහිටා ද කියා මා දන්නේ නැත. කොහොමත් ඔහු ගැන මුල සිට ම ආච්චා සේ ම අම්මා ද පැහැදීමකින් සිටියේ නැත. ඉස්සර අප සෙල්ලම් කරත්දී,

“දිලුම් අයිය එක්ක ඕනවට වඩා දඟලන්න යන්නැතුව ඉන්න”

කියා අම්මා මට හා නංගී ට අවවාද කළා ය. ඔහු ඇගේ සහෝදරයෙකු ගේ පුතෙකු වී ද, ඔහු ට දොසක් නො කියා සිය දූවරු රැක ගත යුතු යයි එකල ද අම්මා සිතන්නට ඇත. මා සේ ම නංගී ද ළමා වියේ සිට ම දිලුම් ව ප්‍රිය නො කළා ය. විශේෂයෙන් ම තාත්තා ඔහු ප්‍රිය නො කළ කෙනෙක් විය.

“ඉතිං…ලංකාවයි කියල මොකද්ද ආච්චා වෙනස…”

“ලංකාවෙ මිනිස්සු ඒ රට වලට වඩා ටිකක් සංවරයිනෙ”

එවර දිලුම් කොක් හඬ ලා සිනාසෙන්නට වූයේ ය. මගේ බඩ පපුව රත් වෙනවා සේ මට දැනිණ.

“ආච්චා දන්න තරම තමයි. නැද්ද සනූ…”

ඔහු මේ විදිහට අමු අමුවේ මා පුච්චා මරන්නට ඒ සිදුවීම හේතුවක් කර ගනීවියි මා සිතුවේ නැත. උගුර වියළී ගොස් ඇති බවක් මට දැනිණ. අම්මා මදෙස වපරැසින් බලනවා වාගේ මට දැනුණේ ය.

“ජරා මිනිහෙක්. දැන් ඒ මිනිහ හදන්නෙ ඒක තුරුම්පුවට තියා ගෙන මාව නටවන්න”

මම නංගී එක්ක කියා බැන්නෙමි. හිතේ තිබුණේ දිලුම් ගේ කන පුරා පහර දෙන්නට තරම් ආවේගයකි.

“තුරුම්පුව කොහොම වුණත් දැන් ඉතින් ඕක වැඩි දවසක් රහසක් විදිහට තියෙන්නෙ නෑ කියල මං කියන්නං හූනා කිව්ව වගේ”

නංගී ස්ථිර හඬකින් කීවා ය.

“ඔයා මාව තවත් බය කරනව”

“බය කරනව….අනේ මේ බබෙක් වෙන්න හදන්න එපා අක්කෙ..රවීන් අයිය වගේ කෙනෙක් එක්ක යාළු වුණානං ඊට පස්සෙ එන්න පුළුවන් ඕන ප්‍රශ්නෙකට මූණ දෙන්නත් ඔයාට හයියක් තියෙන්න ඕන”

“මූණ දෙන්න මං ලෑස්තියි නංගි. තාත්ත ඒ සම්බන්දෙ නතර කරන්න කිව්වොත් මොනාද මං කරන්නෙ කියලයි හිතා ගන්න බැරි”

“ඒකට තමයි මූණ දෙනව කියන්නෙ. තාත්ත හරි රවීන් හරි දෙන්නගෙන් එක්කෙනෙක් විතරක් තෝරගන්න වුණොත්…තෝරගන්නෙ කාවද කියල දැන්ම තියා ම ඔයා තීරණේ කරල තියෙන්න ඕනෙ”

එහෙම තීරණයක් ගන්නවාට වඩා දිවි තොර කර ගන්නා එක පහසු බව මම දැන සිටියෙමි. නමුත් මේ ටෙලි නාටකයක් නොවේ. හැබෑ ජීවිතයයි. හැබෑ ජීවිතය තුල දී හැබෑ තීන්දු තීරණ ගන්නට සිදු වන්නේ ය.

දිලුම් මා හිතුවාටත් වඩා අමානුෂිකයි කියා සිතෙන්නේ, මේ විදිහට හැසිරෙනු වෙනුවට තාත්තා ට කෙලින් ම මගේ සබඳකම ගැන කීවා නම් හොඳයි කියා සිතෙන විට ය. ඔහු නොයෙකුත් පින්තූර හා වීඩියෝ කොටස් මගේ දුරකතනය ට එවන්නට ගත්තේ ය. මා උදේට ගෙදරින් පිට වෙන වෙලාව බලා මග රැඳී හිඳින්නට වූයේ ය. ඉවසා ගන්නට බැරි ම තැන මම කෙලින් ම ඔහු ගේ මූණට ම කීවෙමි.

“අනේ ඇයි දිලුම් අයියෙ ඔයා මෙහෙම කරන්නෙ…රවීන් එක්ක මගෙ අෆෙයා එකක් තියෙනව තමයි. ඒක දැන ගත්තයි කියල ඔයා මේ විදිහට මාව බ්ලැක්මේල් කරන්න හදන එක වැරදියි නේද…අනික ඔයා ඔය හිතං ඉන්න විදිහෙ ජරා කෙල්ලෙක් නෙවෙයි මම”

ඔහු ගේ කට කොනක ඇඳුණ සිනහව පවා සල්ලාල පාට ය. මම ඉවත බලා ගතිමි.

“කෙල්ලො ගැන මට කියන්න ඕන නෑ ඉතිං”

“ඒ ඔයා ආශ්‍රය කරන කෙල්ලොනෙ”

“බැඳපු පිරිමි ආශ්‍රය කරන කෙල්ලො ගැනත් අපි නොදන්නව නෙවෙයිනෙ”

“අනේ දෙයියනේ ඔයා මගෙ සහෝදරයෙක්ද දිලුම් අයියෙ..”

“නෑනෙ. මස්සිනා නෙ”

සිත්හි ඉපිද තිබුණේ කලකිරීමකි. මම රවීන් ට වුව දිලුම් ගේ කරදරය ගැන කියන්නට නො ගියෙමි. ලොකු අයියාට කීවා නම් ඔහු ළඟ මේ වාගේ අසනීප වලට බෙහෙත් ඇති බව ද දනිමි. නමුත් එසේ කරත්දී රවීන් හා මා අතරේ වන ඇසුර ගැන ද කියන්නට වන නිසාවෙන් මම ඊට එඩිතර නොවුණෙමි.

ප්‍රේමය කියන්නේ ජීවිතයක් කණපිට හරවනා සිදුවීමක් බව මට අවබෝධ වෙමින් තිබිණි. රවීන් මුණගැහෙන්නට පෙර සිටි සැහැල්ලු කෙල්ල කොහේ කොතැනක සැඟවිණිද කියා හෝ හොයා ගත හැකි නොවිණි. මම ගෙදරදී මූණිච්චාවට සිනහ වී සිටියෙමි. නැත්නම් දුරකතනය ට මූණ ඔබා ගෙන පවුලේ අයගෙන් සැඟ වී සිටියෙමි.

ඉරණම ට කරන්නට ඕනෑ කොට තිබෙන දේවල් අපට එපා කියා නතර කරන්නට නුපුළුවන. මේ දෛවෝපගත සිදු වීම වෙන්නට ඇත්තේ ත් එසේ ය කියා සිතමි. එසේ වන්නට හේතු වූ මගේ කෝපය ගැන මට තරහ නො යන්නේ පවා, සියල්ල ඒ විදිහට හෝ පුපුරා ගිය එක හොඳ යයි සිතෙන නිසා ය.

එදා මා ශෙහාරා සමග කතා කරන්නට නයනා නැන්දලා ගේ ගෙදරට යත්දී කිසිවෙකු පේන්නට හිටියේ නැත. මම ශෙහාරා කියා කතා කළෙමි. ඇය ප්‍රතිචාර දැක්වූයේ නැති වූයෙන් මම නැන්දේ කියා කතා කරමින් ගෙතුළට ගියෙමි. ඇය මුළුකැන්ගෙයි ද නොවූයෙන් මා ආපසු හැරෙන්නට යත්දී, මගේ ඇඟේ ගෑවෙන නොගෑවෙන තරම් ළඟින් උන් දිලුම් ගේ ඇඟෙහි මා හැපිණි. ඔහු එහෙම ම දෑත විදා මා ව සිය සිරුරට තෙරපා ගත්තේ ය. මට හුස්මක් ගන්නට හෝ ඉඩක් ලැබුණේ නැත. සිහි එලවා ගත් ගමන් මා කළේ වැර යොදා ඔහු ගේ කම්මුල හරහා පහරක් එල්ල කරන එකයි.

දිලුම් ගේ අතින් මා අතෑරිණි. ඔහු කම්මුල අල්ලා ගෙන ම ගිනි පිටවෙන දෑසින් මදෙස බැලුවේ ය. කිසිත් එතෙකින් නිමා වනවා නොව ඇරඹෙනවා පමණක් බව පසක් වූයේ, දිලුම් ගේ ඇස් යොමු වූ දෙසට මා ද ඇස් යොමු කොට බලත්දී ය. චූටි මාමා ගේ බිරිඳ රසිකා නැන්දා අප දෙස ලොකු කර ගත් දෑසින් බලා සිටියා ය.

“මොකද්ද මෙතන සිද්ද වෙන්නෙ…ආ දිලුම්…”

ඇගේ ස්වරය අනුව, ඇය මා සැක නොකරන බවත්, මා දිලුම් ට පහර එල්ල කරනු දුටු බවත් වටහා ගත හැකි විය.

“ඇයි ළමයො සහෝදරයො නේද ඕගොල්ලො…මේ නංගිල නේද..ඇයි ඔහොම හැසිරෙන්නෙ…”

“සහෝදරයො…සහෝදර කමට තමයි අවවාදයක් දෙන්න ගියේ. අර රවීන් කියන කසාද බැඳපු එකා එක්ක තියෙන සම්බන්දෙ නවත්තන්න කියල..දැක්කද ඒකට මට සලකපු හැටි…කම්මුල් පාරකින්…”

මගේ මුළු ලෝකය ම මගේ පාද පාමුල කඩා වැටුණා සේ මට දැනිණ..මා වට කර ගෙන විශ්වය භ්‍රමණය වන්නා සේ මට දැනිණ..දෙපා පණ නැති ව ගොස් මා වැටෙන්නට යන්නා සේ ද මට දැනිණ. නමුත් හිතට හයිය ගෙන වැර යොදා මම දිලුම් ගේ අනිත් කම්මුලට ද පහරක් එල්ල කරමින් ඒ ගෙදරින් එළියට බැස්සෙමි.

‘සනූ’ කියා රසිකා නැන්දා කෑ ගැසු හඬින් සවන් පිරී තිබුණේ ය. මගේ අත්ල පුපුරු ගසනවා දැනිණ. මම මළ මිණියක් වාගේ අසංවේදී ව ඇවිද ගොස් ඇඳට වැටුණෙමි. කඳුළු සොරොව් බිඳී ගියේ ඉනික්බිති ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss





Latest Articles

හසරැලි වැස්සේ -36

"මෝඩ විදියට හැසිරුණු කාලේ නම් හැදෙයිද කියලා අපි ඉවසගන බලාගෙන හිටිය.ඒ උනාට දැන් වැඩ කරන්නේ මහම මහ ගොබ්බ විදියට.."

(අ)හිමි සිහින -19

සංසාරගත බැඳීමක් බව සිතූ ප්‍රේමය හැරදා පැමිණි පසු මම අසංකට ආදරය කළාද කියලා ඔයාලාට හිතෙනවා ඇති.අම්මට තාත්තට අසංක සැලකීම ගැන ඇතිවෙන්න තරම්...

සඳ කත් මිණි ඇස් 15

සූර්යා දැන් භුක්ති විඳිනා නිදහස ඇගේ යෞවනයේ දී නො ලැබුණ එකකි. ඇය දෙමව්පියන් ගේ දැඩි නීති රීති හා පාලනය යටතේ හැදුණ වැඩුණ...

හසරැලි වැස්සේ – 35

"මම්මේ…."රෝහල් කාමරයේ ඇත්තේ පාළු ස්වභාවයකි.මට මම්මා සමග එක්වී අතීතය දිග ඇවිද යාමට සිත් විය.මා වෙනුවෙන් තේ සාදමින් සිටි...

(අ)හිමි සිහින -18

යුද්ධය නිසා ජීවිතය අහිමි විය හැකි, ආබාධිතයකු බවට පත් විය හැකි, තමන්ගෙ මහන්සියෙන් උපයා ගත් දෙයක් මිසක ඒ තරමට දේපල නැති සුදාරක...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content