හසරැලි වැස්සේ 29

“මට ඔයාලගෙ අම්මා කතා කරා..”

දෙනෙත් මට එසේ වට්ස් ඇප් පණිවිඩයක් එවා තිබුණි.මම කිසිවක් නොකියා සිටියෙමි.ගින්න ඇවිලී තියේ.මට ඒ ගැන සිහින් සතුටක් දැනෙන්නට පටන් ගත්තේ ය.

“මං ඔයා එක්ක යාළු කවදා ඉඳන්ද?”

ඔහු අසා එවී ය.මම එයට ද පිළිවදන් නොදීමි.දෙනෙත්ට කැළඹෙන්නට සිදු වීම ගැන සිහින් ශෝකයක් මට නොදැනුණා ද නොවේ.නමුත් ඔහුට මා රිදවිය හැකි නම් මට ද එය නොහැකි නොවේ.

“තමුන්ගෙ කටේ පිට්ටුද?”

ඔහු තනිව සංවාදයක ය.සිනා උපදවන බලු පැටවෙකුගේ මුහුණ යවන්නට මට සිතුණේ හදිසියේ ය.මම ඒ අදහස ක්‍රියාත්මක කළෙමි.ආදරය හදවත් උමතු කරවන බව මට හොඳින්ම වැටහෙන්නේ දැන් ය.

ඒ බලු පැටවාගේ ස්ටිකරය දෙනෙත්ව ප්‍රකෝප කර තිබිණ.ඔහු මට ඇමතුමක් ගත්තේ ය.මම එය නාද වන්නට ඉඩ දී ඔහේ බලා හුන්නෙමි.ඔහුගේ මුහුණ කෝපයෙන් රතුව යන අන්දම මට මැවී පෙනෙයි.මගේ දෙතොල් මත උමතු සිනා නැඟෙන්නේ ඔහුට සිදුව ඇති අබග්ගය ගැන ලා අනුකම්පාවක් ද උපදිද්දී ය.

“ආන්සර් කරන්න බැරිද හලෝ!”

ඊළඟ පණිවිඩය එසේ පැමිණියේ ය.

“මම රින්ගින් ටෝන් එකට නැටුවා.”

පෙම්වතාට දැඩි කෝපයක් පැමිණි විට ඔහු සන්සුන් කර ගන්නට මෝඩ විහිළු කරන මගේ මිතුරියන් ගැන මතකයෙන් මම එසේ පැවසීමි.

“කොල්ලන්ට යකා නැග්ගම උන් එක්ක රණ්ඩු කරන්න නරකයි.මොට්ට ජෝක් එකක් කරාම එයාලට හිනා යනවා..”

ඔවුන් එසේ පවසා හිනැහෙන අන්දම ද මට සිහි විණ.නමුත් දෙනෙත්ට එසේ කෝපය නිවී නොගියේ ය.එසේ කෝපය නිමා දමන්නට මා ඔහුගේ පෙම්වතිය නොවන බව මට අමතකව ගොස් තිබිණ.

“හසරැලි,මට තමුසෙගෙ පිස්සු විකාර ඇත්තටම එපා වෙලා.තමුන් ආන්ටිට කිව්වද මාත් එක්ක සම්බන්ධයක් තියනව කියලා..”

ඒ අම්මාගේ අනියත සැකයක් බවත් අම්මා ඒ ගැන දරුණු ලෙස සැක කරන බවත් පවසා කතාව අවසන් කරන්නට මට ඕනෑතරමට ඉඩ තිබිණ.නමුත් දෙනෙත් මේ වතාවේ දැඩි කෝපයෙන් ගත් ඇමතුමට මට උපන්නේ වියරු සතුටකි. ඔහු දණ්ඩකින් පහර කෑ නාගයෙකු තරමට කිපී ඇත. මා සිටියේ ඉතා නසරානි ක්‍රියාවක නිරත වූ මොන්ටිසෝරි කොල්ලෙකුගේ ප්‍රීතියෙනි.

“ඔව්!”

මා පවසන වචන යළිත් ඇද ගත නොහැකි බව මම දනිමි. මට දෙනෙත් සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති බවට මම අම්මාට දරුණු මුසාවක් ඇද බෑවේ ද හදිසි ආවේගයෙනි.මේ මොහොතේ මා දෙනෙත්ට සත්‍ය පැවසුවේ සත්‍යවාදී වන්නට නොවේ.ඒ වචනය පිට වූයේ ද ආවේගයක ප්‍රතිඵලයක් ලෙසිනි.

“තමුන්ගෙ ඔලුව නරක් වීගෙන එනවද බොරු කියන්න..”

ඔහු අසන්නේ සැර හඬිනි.මට ඒ හඬට දුකක් නොඉපදේ

“මං කිව්වේ බොරු නෙවෙයි.”

මා එසේ පවසන්නේ ඔහු පඹගාලක පටලා දමන්නට බව දෙනෙත් සිතන්නට ඇත.ඔහු මොනවාදෝ කියන්නට වචන සෙවී ය.මම ඊට පෙර ක්‍රියාත්මක වූයෙමි.

“මම ඔයාට ආදරෙයි..ඔයා ආදරේද නැද්ද කියන එක මට අදාළම දෙයක් නෙවේ..”

මම නිවී ගිය හඬකින් එසේ කියද්දී පවා දෙනෙත් නාසයෙන් පිඹින හඬ ඇසිණ.නමුත් මේ වචන පැහැදිලි සත්‍යයකි.මා ආදරය කරන්නේ දෙනෙත්දැයි අසන ප්‍රශ්නයට ඔව් මිස වෙන දිය හැකි පිළිතුරක් කොහොමටත් මට සිතා ගත නොහැකි බව ඔහු දැන ගත යුතු ය.එබැවින් මගේ ප්‍රේමවන්තයා ඔහු මිස අන් කවරෙකුත් නොවේ.

“දෙනෙත් අයියේ,මේක මතක තියා ගන්න..”

මම හුස්මක් රැගෙන කතා කරන්නට ජවය සොයා ගතිමි.බිය ගැනීම ප්‍රශ්න නොවිසඳන බව බාලදක්ෂිකාවක සන්දියේ උගත් අන්දම ද මට සිහි වූයේ අහම්බයකිනි.

“මම ඔයාට ආදරෙයි..ඒක මගේ හිතට ආවේ හුඟක් පුංචි කාලේ ඉඳන්.මගේ යාලුවෝ හිතන් හිටියේ මං සචිර අයියට ආදරේ කරයි කියලා.ලස්සනත් එයා.සල්ලි තියෙන්නෙත් එයාට.ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක හොඳ එයාගේ.ඔයාලා තුන්දෙනාගෙන්ම හොඳම ඒලෙවල් රිසල්ට්ස් ගත්තේ එයා.කොහොමත් ඔයාට වඩා මට ඇත්තටම ආදරේ කරෙත් එයා.මගේ අයියා වගේම හරි එයා මට ආදරේ කරා..”

මම එසේ කියා කාමරයේ ඔබ මොබ ඇවිදිමින් කියන්නට අවැසි වැදගත්ම කාරණාව කියන්නට වෙර ගතිමි.

“ඒ වුණාට මං ඔයාට ආදරේ කරා.ඔයා මාව රිජෙක්ට් කරානෙ..ඔහොම යං..ඔයාට දවසක මගේ වෙන්න වෙනවා. ඒක එහෙමමයි කියලා මං ඔයාට චැලේන්ජ් කරනවා..”

ඔහුට කිසිත් කියන්නට ඉඩ නොතබාම මම දුරකථනය විසන්ධි කර දැමීමි.ආදරය අයදින යෞවනයාව ප්‍රතික්ෂේප කිරීම නිසා ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවන තරුණියන් ගැන කතාන්දර මම අන්තර්ජාලයේ කොතෙකුත් කියවා ඇත්තෙමි.නමුත් එය විය හැක්කේ තරුණියකට පමණක් නොවේ.

දෙනෙත්,මට ඔබ මරා දමන්නට ශක්තියක් නොවේ.නමුත් ඔබේ ආත්ම ගරුත්වය බිංදුවටම නැති කර දමන උමතුවකින් මම වෙළී හිඳින්නෙමි.

දෙනෙත්,පිටිය සූදානම් ය!
මේ අපේ ක්‍රීඩාවට කාලය ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles