එකම එක හාදුවක් – 22

0
4765

නෙවින් එදා ක්ලබ් එකට ගියේ ජෙහාන් කතා කර එන්නම කිව්ව හන්දාය. ඒ ඇරෙන්න නෙවින්ට ඕන උනේ ගෙදරට වෙලා ටිකක් නිස්කාංසුවේ ඉන්නය. හවස් වරුවේ රෙස්ටුරන්ට් එක පැත්තේ ගොස් ශාර්වරී ඉන්නවද කියා බලන්නය.

“අද දවල් අම්මට මහන වැඩ ටිකකට උදව් වෙන්න වෙන හන්දා වැඩිය කතා කරන්න වෙන්නෙ නෑ” කියා ශාර්වරී මැසේජ් එකක් දා තිබ්බ හන්දා නෙවින් ශාර්වරීට කරදර කරන්න හිතුවෙ නැත. අනෙක් අතට තමන් ඇත්තටම ශාර්වරීගේ ගෙදර විස්තර එහෙම දන්නෙත් නැත. එහෙම එකේ ඒ කතන්දර අනාගතයට අහන්න තබා නෙවින් උන්නේ ගෙදරටම වීය. ජෙහාන් කතා කලේ එහෙම වෙලාවකය.

“අඩෝ එන්න බෑ කියන්න එපා බං. මං නෙක්ස්ට් වීක් ඔසී යන්න කලින් කට්ටිය සෙට් වෙන්නම ඕන. ඒ නිසා උඹ අද කොහොම හරි එන්නම ඕන. අද ක්ලබ් එකේ ප්ලේ කරන්නෙත් එයිටීස් නයින්ටීස් සෙට් එකක් කිව්වා. උඹ ආසයිත් එක්කනෙ. වරෙන්කො” කියා ජෙහාන් පෙරැත්ත කරාට පස්සෙ නෙවින් යන්න සිතුවේ නැත්තම් ඔය යකා අපාට්මන්ට් එකටම ඇවිත් තමන්ව කුදලගෙන යන්න උනත් ඉඩක් තියෙන හන්දය.

ක්ලබ් එකට යන බව ශාර්වරීට කියන්න තිබ්බනම් හොඳ බව ඇත්තකි. ඒත් තමන් වගේ ක්ලබ් යන, අපාට්මන්ට් එකට කෙල්ලො ගෙන්න ගන්න ජාතියේ පොරක් කියා ඇගේ සිතේ කා වැදීම හිත් අතර මේ මොහොතේ සංසරණය වෙමින් පවතින ආදර රසායනය කඩාකප්පල් වීමට හේතුවක් විය හැකි බව සිතුන හන්දා නෙවින් ඒ විත්තිය ශාර්වරී එක්ක කියන්න ගියේ නැත.

“මං අද යාලුවො එක්ක එලියට යනවා. ඔයාට ෆ්‍රී උනාම මැසේජ් එකක් දානවද?” කියා කෙටි පණිවිඩයක් පමණක් තබා නෙවින් ක්ලබ් එක වෙත පිටත්වුණේය. වෙනදාට කන්කලු නාදයක් සේ දෙසවනට වැටෙන ඉහල ශබ්ධයකින් ඇසෙන ගී නාදය අද කන්කරච්චලයක් වගේ දැනෙන්නේ ඇයි කියන එක නෙවින්ට තේරුණේ නැත. 

නෙවින් ඒ කන්කරච්චල් සද්දෙ මැද්දෙන් ඇවිද ගියේ බාර් කවුන්ටර් එක හරියේ හිටගෙන ඉන්න ජෙහාන් ඇතුලු යාලුවන් පිරිස නෙත ගැටුණ නිසාවෙන්‍ ය

“අඩෝ නෙවියා උඹෙත් දැන් ලොකු සීන් නේද?” කියා කියනගමන් ජෙහාන් කරට අත දාද්දී ඕව ඉතින් කියන්නේ ආතල් එකට බව දන්න නෙවින් ජෙහාන්ගේ පිටට තට්ටුවක් දැම්මේය.

“මොන ලොකු සීන් ද යකෝ?”

“ආහ් ලොකු සීන් නෙවෙයිනම් උඹ ඇයි අද ක්ලබ් එන්න බෑ කිව්වෙ? වෙනදා මේ අපි එන්න බෑ කිව්වම සද්දෙ දාන එකා අද මට සද්දෙ දානව එන්න බෑ එන්න බෑ කියල”

“නෑ බං මේ වීක් එකේ ශුට්ස් එහෙම ගොඩක් තිබ්බනෙ. මහන්සියි වගේ පොඩි රෙස්ට් එකක් දාන්න කියලා හිතාගෙන හිටියෙ. ඒකයි. නැතුව මේ ලොකු සීන් එකක් නෙවෙයි”

“හරි හරි ඒකෙන් වැඩක් නෑ. මොනවද අද බොන්නෙ?”

“යූශුවල්” එක කියා නෙවින් වටපිට බලද්දී තමන් දිහාම බලාගෙන ඉන්න ආලියා ඇහැ ගැටිච්ච තැන හිතට ආවේ පොඩි පහේ නොරිස්සුමක් නොවේ. ආලියා හීන් සැරේ තමන්ගේ දිහාවට ඇවිදගෙන එද්දී නෙවින් ආලියාගේ දෙනෙත් මග හැර වෙන අතක් බලන්න කටයුතු කරත් ආලියා උන්නෙ එක මොහොතකටවත් නෙවින්ගේ වතින් දෙනෙත් ඉවත් කරගන්න සිතාගෙන නොවේ.

“හායි නෙවින්” කියා තමන් වාඩිවෙලා උන්නු බාර් ස්ටූල් එක ලඟටම ආව ආලියා මූණට ලං වී එහෙම කියද්දී නෙවින් කලේ හීන් සැරේ පස්සට වී බාර් කවුන්ටර් එකට හේත්තු වෙච්ච එකය.

“හායි ආලියා” කියා කිව්වෙ මෙතන ඉතින් බැනගෙන කරගෙන ඉන්න තැනක් නොවෙන හන්දාය.

“ඔයා අද ක්ලබ් එකට ඒවි කියල මම හිතුවෙ” කියා ආලියා අහිංසක තාලෙට කතාකරගෙන එද්දි මේ එන්නෙ මොකාටද කියන එක නෙවින්ට තේරුම්ගන්න අපහසුවක් තිබුනේ නැත. 

“ආහ් එහෙමද?”

“ඔව්, මං අද ආවෙත් ඔයා එක්ක කතා කරන්න හිතාගෙනමයි නෙවින්”

“ඔයා මාත් එක්ක කතා කරන්න ආවෙ මොනවද කියන්න මම දන්නෙ නෑ ආලියා. හැබැයි ඒක අර ඔයා මෙච්චර දවසක් මට මැසේජ් කරලා එවපු ඒව නම් මට කියන්න තියෙන්නෙ ආයෙම ඒක කොයිතරම් වතාවක් කිව්වත් මට දෙන්න තියෙන උත්තරේ කිසිම වෙනසක් නෑ කියන එක තමයි” කියා නෙවින් කිසිම තෙතමනයක් හිතේ නැති මනුස්සයෙක් ගාණට කියාගෙන යද්දී හිත ඇතුලෙන් කොච්චර තරහක් ගියත් ආලියා මූණෙන් පෙන්නුවේ තමන් අනේ හරි අහිංසක මලක් වගේ හිතක් තියෙන, ඒ හිත නෙවින් හින්දා රිද්දගත්ත කෙල්ලෙක් ගාණටය.

“ඔයා මට ඔහොම කතාකරන්න එපා නෙවින්. අපි දෙන්න අඳුරගත්තෙ ක්ලබ් එකේදි තමයි. මම ක්ලබ් එනවා, ඩ්‍රින්ක්ස් ගන්නවා ඇත්ත. මම ඔයා එක්ක එදා එහෙම ආව තමයි. මට ඔයාට බොරුවක් කරන්න උවමනාවක් නෑ මම ඊට කලින් එහෙම වෙන අය එක්ක ඉඳලා නෑ කියල. එහෙම බොරු ප්‍රතිරූප මවලා මට ඔයාගෙ හිත දිනාගන්න උවමනාවක් නෑ. ඒත් මම එදා ඔයා එක්ක ඉඳියයින් පස්සෙ වෙන කෙනෙක් එක්ක කතාවත් කරේ නෑ නෙවින්. මම දන්නෙ නැ ඇයිද කියල. ඒත් මට වෙන කිසිම කෙනෙක්ව මතක් වෙන්නෙවත් නැති තරම්. මට පිස්සු හැදිලා වගේ මම හිටියෙ පහුගිය දවස් ටිකේ.

ඔයා ඒ නිසාවත් මට ඔහොම කතාකරන්න එපා නෙවින්. ඔයා දන්නෙ නෑ මම කොච්චර හිත් වේදනාවෙන්ද මේ කතා කරන්නෙ කියලා. ඔයා කියන විදියට මට වෙනස් වෙන්න පුලුවන් නෙවින්. ප්ලීස් අඩුම ගාණෙ එක පාරකට හරි අපි දෙන්න මීට් වෙලා කතාකරමු. මට ඔයාට කියන්න ගොඩක් දේවල් තියෙනවා” කියා ආලියා ඇස් දෙක අඩවන් කරගෙන, බැගෑපත්ව කියද්දී උනත් නෙවින් කරේ කිණ්ඩියට වගේ හිනාවක් දාපු එකය.

“ඔයා මොකටද ආලියා මං හින්දා වෙනස් වෙන්නෙ? අනික ඔයා හිතාගෙන ඉන්නෙ මං කති විදියට වෙනස් උනා කියල මම මගේ ඩිසිශන් එකේ වෙනසක් කරාවි කියලද? සොරි ඔයාට වැරදිලා. මට එහෙම මං හින්දා කාවවත් වෙනස් කරගන්න උවමනාවක් නෑ. මං කලින්ම කිව්වනෙ මට එහෙම රිලේශන්ශිප් එකකට පැටලෙන්න උවමනාවක් නෑ. අනික ඔයා එදා මාත් එක්ක එද්දි උනත් ඔයා උනත් දැනගෙන හිටියනෙ ඉට්ස් ජස්ට් අ වන් නයිට් ස්ටෑන්ඩ් කියලා නේද? ඒ නිසා ප්ලීස් මේ වගේ විකාර ටොපික්ස් අරගෙන ආයෙ මාත් එක්ක කතා කරන්න, මට මැසේජස් එවන්න එපා. මට හරිම කරදරයක් ඒක. මාත් එක්ක ඉඳපු කිසිම කෙනෙක් එහෙම විකාර කරල නෑ.

අනික මම මෙච්චර ඔයාව රිජෙක්ට් කරනවා කියලා දැන දැන ඔයා එහෙම මගෙ පස්සෙන් එන එක ඔයාට හොඳ නෑ නේද? නිකන් මිනිස්සු ඉස්සරහ එහෙම විහිලුවක් වෙන්න එපා. අනික මේ ඔයා කරන වැඩෙන් අන්තිමේ මටත් ලැජ්ජයිනෙ” කියා නෙවින් කියද්දි උනත් ආලියා උන්නේ “උඹේ ලොකුකම මම බස්සවන්නම්කො” කියා හිතන ගමන් ය. 

“මනුස්සයෙක්ගෙ අතීතය බලලා ඉතින් ඉස්සරහටත් එහෙම වෙයි කියල හිතන්න එපා නෙවින්. ඔයා කවදහරි පසු තැවේවි මට ඔහොම කතා කල එක ගැන” කියා ආලියා අහිංසක තාලෙට කියද්දිත් නෙවින් කරේ හිනාවෙච්ච එකය. 

“මං කවදහරි පසුතැවෙන්නෙ නෑ. මං දැන් තමයි පසුතැවෙන්නෙ එදා ඔයා එක්ක අර වගේ දේකට ගිය එක ගැනත්. අයි ඩීප්ලි රිග්‍රෙට් දැට් ආලියා. සෝ ප්ලීස් මගෙ පස්සෙන් මෙහෙම ඇවිත් එක එක විකාර කියන්න එපා” කියා නෙවින් එතනින් ඉවත්ව යද්දී ආලියා ජෙනීට මැසේජ් එකක් දැම්මේ “මම අද කොහොමහරි මේක කතා කරල තමයි එන්නෙ, සෝ අයි විල් බී ලේඩ් ඕර් විල් බී දෙයා බයි ටුමාරෝ” කියාය.

නෙවින් උන්නේ කෝපයකින්‍ ය. ක්ලබ් එක අස්සේ නැගෙන කන්කරච්චලය ඒ කෝපය වඩා උද්දීපනය කරන්නක් හන්දා මදකට එලියට ගිය නෙවින් සිගරට්ටුවක් දල්වාගෙන එලියේ සිමෙන්ති පොලව උඩ ඇවිද ඇවිද කල්පනා කරේ වෙච්ච දේවල් ගැනය. ආලියා හා එක දවසක, එක රාත්‍රියක සම්බන්ධයක් හදාගත්ත එක ගැන පවා නෙවින් ඒ වෙලාවේ තමන්ටම හිතෙන් බැන ගත්තේය. ශාර්වරීගේ මැසේජ් එක ආවේ ආන් ඒ වෙලේවේය.

“පරිස්සමට ගිහින් පරිස්සමෙන් එන්න” කියා ශාර්වරී තමන් යැවූ මැසේජ් එකට එවා තිබූ රිප්ලයි එක දැක්ක හැටියේම නෙවින් කලේ ඒකට උත්තරයක් ටයිප් කරන්න ගිය එකය. 

“නිදාගන්නෙ නැද්ද? දැන් රෑ වෙලානෙ”

“නින්ද යන්නෙ නෑ”

“ඇයි?”

“දන්නෙ නෑ”

“නිදාගන්න. දැන් නිදාගන්න එකක් තමයි හැබැයි අන්තිමේ ඉතිරිවෙන්නෙ”

“ඇයි එහෙම කිව්වේ?”

“මං ඔයාව මගෙ ළඟට ගත්තට පස්සෙ ඔයාට රෑට නිදාගන්න දෙන්නෙ නෑ මං”

ශාර්වරීට ඒ මහ රෑත් හිනා ගියේ ඕන ඔය පැණි වෑහෙන වචන වලටය. ඔලුවෙ හිටන් රෙද්ද පොරවගෙන උන්නු අයෙශ්වරී ඔලුව හරවා බැලුවෙ “අක්කා මේ තනියෙන් හිනාවෙන්නෙ පිස්සුද?” කියා හිතන ගමන් ය.

“මොකෝ?”

“මොකෝ?”

“මොකෝ තනියෙන් හිනාවෙන්නෙ?”

“හිනා ගිය හන්දා”

“ඔව් මං දැක්කා ඒක. පිස්සු ගෑණි. හොල්මන් කරනවා රෑට”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here