නපුරු ගුරුතුමී

සකුනි ඉස්කෝලේ ගේට්ටුවෙන් එලියට ආවේ මැලවිලා ගිය මුහුණෙන් යුතුව. මලක් වගේ පුංචි මිනිබිරියගේ වෙනස ඈත තියාම අදුරගන්න මානෙල්ට අපහසු වුණේ නැහැ

” මොකද පොඩ්ඩි ? කලින්ම බඩගිනි වෙලාවත්ද ? “

” මට ආපහු ඉස්කෝලේ එන්න බැහැ ආච්චි අම්මෙ “

හිත රිදෙන යමක් සිද්ද වෙලා තියෙනවා කියලා මානෙල්ට තේරුණ නිසා මානෙල් පහත් වෙලා සකුනිව වඩා ගත්තා

” අද මට හෝම් වර්ක් එකක් මග ඇරිලා . අම්මා හොයල බලන්නේ නැද්ද කියලා ටීචර් මට බැන්නා “

” ඉතින් පොඩ්ඩි ඔයා කිව්වේ නැද්ද ඔයාගේ අම්මා ඉන්නේ රට කියලා ?”

” කී පාරක් කිව්වද අනේ . එයාට මතක නැද්ද කොහෙද “

සකුනි මානෙල්ගේ ගෙල වටා අත් දෙක දාගෙන නිහඬ වුණේ අම්මා වෙනුවට අම්මාගේ ආදරය දැනෙන්නේ ආච්චි අම්මා ලඟ නිසා

අවුරුදු දෙකකට කලින් මානෙල් ගේ දියණිය වෙච්ච කාංචනා මැදපෙරදිග බලා ගියේ ඇගේ ආදරයේ ප්‍රතිඵලය වෙච්ච සකුනිගේ අනාගතය වෙනුවෙන් . විවාහ වෙන්නත් කලින්ම කුසට ආව දරුවත් එක්ක දෙමවුපියන්ගේ දෝෂාරෝපණ මධ්‍යයේ සූදානම් කර ගත්ත විවාහය සිද්ධ වෙන්න මාස තුනක් තියලා කාංචනා ගේ පෙම්වතා වෙච්ච අකිල රිය අනතුරකින් මෙලොව හැර ගියේ හරිම අවාසනාවන්ත විදිහට

ජීවිතය ගැන තිබුනු දහසක් බලාපොරොත්තු දෙපා මුලට කඩාගෙන වැටෙද්දී කුසට ආව දරුවා වෙනුවෙන් ඉතාම ආයාසයෙන් හිත හදාගත්ත කාංචනා , සකුනි ඉපදුන දවසේ ඉඳලා ඇය වෙනුවෙන්ම කැප වුණා . තමන්ගේ දියණියගේ වගකීම මානෙල්ට පවරලා මැදපෙරදිග ගිය කාංචනා හැම මොහොතකම උත්සාහ කළේ සකුනිගේ ජීවිතය සැපවත් කරන්න

” ඔයා ඊයෙ homework කලා නෙ පුතේ “

කාංචනා ගෙ මල්ලි ,ඒ කියන්නේ සකුනිගේ මාමා තාරක, සකුනිව ඔඩොක්කුවට ගත්තේ හිස අත ගාන ගමන්

” ඒ කලේ සිංහල homework මාමේ. පරිසරය එක මම කරල නැහැ “

” ඊළඟ දවසෙ මං ඔයාගේ පොත් ඔක්කොම බලන්නම්කෝ . එතකොට ඔය homework මග ඇරෙන එකක් නෑ “

” උත්පලා ටීචර් හරි නපුරුයි මාමේ “

සකුනි තවමත් ඉන්නේ රිදුනු හිතෙන් කියලා තාරකට හිතුනා.

” මේ පුංචි එකී මොනව දන්නවාද “

මානෙල් හිටියේ නොදැකපු ගුරුතුමිය ගැන තරහින්

” ටීචර් එච්චර හිතන්නේ නැතුව ඇති අම්මේ . අනික පන්තියක ළමයි කොච්චර ඉන්නවද? එක එක්කෙනා ගැන වෙන වෙනම මතක තියාගන්න එයාලට බැරුව ඇති “

” ඒ උනාට මේ පොඩි එවුන්ගේ හිත් තලන්න හොඳ නැහැ කියලා උන්ට තේරෙන්නෙ නැද්ද මන්දා.ඔය උත්පලා කියන නම තියන ගෑනු සේරම එකයි “

මානෙල් දවල් දවස පුරාම හිතේ පුපුරු ගහමින් තිබුණු කෝපය පිට කලේ සකුනි නින්දට ගියාට පස්සෙ. ඒ අස්සෙම පරණ මතකයකුත් මානෙල්ගේ කටින් එලියට පැන්නා. ඒ නිසාම තාරක තවත් කිසිවක් ම නොකියා නිහඬ වුණා

” සකුනි , කෝ ඊයේ මග ඇරිච්ච home work එක කරගෙන ආවා ද ?”

තරුණ ගුරුවරිය ඊළඟ දවසේ එහෙම අහද්දී සකුනිගේ හිත තිගැස්සුණා

” ඒක ආපහු කරගෙන කරගෙන එන්න කියලා ටීචර් කීවේ නැහැනේ “

” ඇඟිල්ලෙන් ඇන ඇන හැම එකම කියන්න ඕනෙද ? මේ ළමයි ගෙවල් වල ගිහිල්ලා මොනවා කරනවද මන්දා . මේවා ගෙවල්වල අයගෙත් වැරදි “

උත්පලා ටීචර් උස් හඬින් එහෙම කියාගෙන යද්දී සකුනිගේ ඇස් තෙත් වුනා.ඉස්කෝලෙ ආවෙ අපරාදේ කියලා ඇයට හිතුනා .

” ඔයාගේ අම්මා ඔයාගේ පොත් බලන්නෙ නැද්ද ? “

විවේක වේලාවේදී පන්තියේ තවත් ළමයෙක් වුණ මිනුලි සකුනිට ලංවුනේ එහෙම අහන ගමන්

” මගේ අම්මා ඉන්නේ රට “

” එතකොට ඔයා කාත් එක්කද ඉන්නේ “

” ආච්චි අම්මයි, සීයයි, මාමායි එක්ක “

” එතකොට ඔයාගේ තාත්තා ? “

පුංචි සකුණි ඒ ප්‍රශ්නෙට දෙන්න උත්තරයක් දැනගෙන හිටියේ නැහැ

” ටීචර්, සකුණි ට තාත්ත කෙනෙක් නැද්ද කොහෙද “

කටකාර මිනුලි උත්පලා ටීචර් ගාවට දුවගෙන ගිහින් එහෙම කියනවා සකුනිට හොදටම ඇහුණා .

” කෝ ආච්චි අම්මේ මගේ තාත්තා ? “

ගෙදර ආව ගමන් සකුනි මානෙල්ගෙන් අහපු පළවෙනි ප්‍රශ්නේ ඒක

” තාත්තා ඈත පලාතකට ගමනක් ගිහින් “

මානෙල් හැමදාම පුරුදු උත්තරයම දුන්නා

” ඇයි එයා මාව බලන්නෙ එන්නෙ නැත්තෙ ? “

“පුළුවන් වුන දවසක තාත්තා එයි පොඩ්ඩි “

සකුනි ඊළඟ දවසෙත් ඉස්කෝලේ ගියේ ඒ තරම් කැමැත්තකින් නෙමෙයි . උත්පලා ටීචර් දිහා වගේම අනෙක් ළමයි දිහාත් බලන්න බැරිකමක් සකුනි ට දැනුනා

” මොන සිහියෙන්ද ඉන්නේ සකුනි මම දැන් කී පාරක් කතා කරාද ? “

උත්පලා ටීචර්ගේ කෑගැහිල්ල සකුනිට ඇහුනේ ඈත ලෝකෙකින් වගේ . කවදාවත් නොදැකපු තාත්තා ගැන කල්පනා කරමිනුයි සකුනි හිටියේ

” ඉස්කෝලේ ඇවිල්ල වැඩ කරන්න බැරිනම් ගෙදර නතර වෙනවා “

පන්තියේ ළමයි බාගෙකටත් වඩා තමන් දිහා බලන් ඉන්නවා කියලා සකුණි දැක්කෙ ඒ වෙලාවෙ . ඇයට දැනුනේ ලොකු ලැජ්ජාවක් .

” ඔයාගේ වැඩ කිසිම පිළිවෙලක් නැහැ සකුනි. පොත් වල හිස්තැන් . ඒ මදිවට පිටුත් නැවිලා . ගෙදර මිනිස්සු මේවා බලන්න නැද්ද? “

සකුනි කියාගන්න දෙයක් නැතිව උත්පලා ටීචර් දිහාම බලාගෙන හිටියා

” කන ඇහෙන්නේ නැද්ද ළමයො ? පුදුම කරදරයක් නේ තියෙන්නෙ ඔයාගෙන් “

ඉස්කෝලෙදි සිද්ධ වෙච්ච හැමදේම සකුනි අකුරක් නෑරම මානෙල්ට කිව්වේ අඬමින්. සකුනිගේ ඇඬිල්ල නතර කරන්න මානෙල්ට ලොකු වෙහෙසක් දරන්න සිද්ධ වුණා

” අම්මා තාත්තා ළඟ නැතුව හැදෙන දරුවෙක් කියලා දන්න නිසාම වෙන්නැති ඔය ගෑණු මනුස්සයා මේ ළමයට එහෙම කතා කරන්නේ. මම හෙට හොඳවයින් දෙකක් කතා කරන්නම්කො ඉස්කෝලෙට ගිහින් “

” අම්මා යන්න ඕනෙ නැහැ .මම ගිහින් කතා කරන්නම් .පොඩි දරුවන්ගේ හිත් රිද්දන්නේ නැතුව ඉන්න ටීචර්ස්ලා වුණත් දැනගන්න ඕනේ “

හැම ප්‍රශ්නයක් දිහාම වෙනස් විදිහකට බලන්න පුරුදුවෙලා හිටපු තාරක සකුනි වෙනුවෙන් කතා කරන්න ඉස්කෝලෙට යන්න පහුවදා උදෙන්ම ලෑස්ති වුණා

” ඔයා මොනවද මාමේ උත්පලා ටීචර්ට කියන්න යන්නේ?”

සකුනි ඇහුවෙ කුතුහලයෙන් . උත්පලා ටීචර් මාමාටත් බනී ද කියලා සකුනිට හිතුනා.

” ටීචර්ව හම්බවෙන්න අපේ ගෙදරින් ආවා “

සකුනි පන්තියට ගිහින් මූණ පාත් කරගෙන උත්පලා ටීචර්ට එහෙම කිව්වා. සකුනි ගැන කියන්න අඩුපාඩු ගොඩාක් හිතේ තියාගෙන උත්පලා පන්තියෙන් එළියට ආවා. පන්තියෙන් එළියේ හිටපු අමුත්තව දැකලා උත්පලා තිගැස්සුණා

” සකුනි කියපු විස්තර වල හැටියට මට ඒත් සැක හිතුණා මේ ඔයාමද කියලා “

” මේ.. මේ ඔයාගෙ දුවද තාරක ? “

උත්පලා ඇහුවේ පහත් හඬින්

” මගේ ලේ වලින් ඉපදුනේ නැති වුණාට සකුනි කියන්නේ මට මගේම දුව උත්පලා. මගේ අක්කා සකුනිගේ වගකීම අපිට බාර දීලා ගියේ ඒ අහිංසකීගෙ තාත්තා අකාලේ මැරිල ගිය නිසා “

තාරකගේ දැඩි හඬ උත්පලාට ගෙනාවෙ පසුතැවීමක්

” සමහර මිනිස්සු තමන් ආදරය කරන දේවල් වෙනුවෙන් ඕනම කැපකිරීමක් කරනවා . මගේ අක්කත් එහෙම කෙනෙක් . වෙන මනුස්සයෙක් කසාද නොබැඳ එයා රට ගියේ එයාගේ දුවගේ අනාගතය වෙනුවෙන් . කිසිම දෙයක් නොදන්න මේ පුංචි කෙල්ල හැමදාම ගෙදර ඇවිත් අඬනවා හිතක් පපුවක් නැති ටීචර් කෙනෙක් නිසා “

තමන් අතින් වුන වැරැද්ද සුළුපටු එකක් නෙමෙයි කියලා උත්පලාට දැනෙන්න ගත්තේ ඒ වෙලාවේ

” තමන්ට ආදරේ කරපු මිනිස්සුන්ටත් ගින්දර දීපු ඔයා , කාගෙ කවුද කියලා නොදන්න පොඩි දරුවෙක්ගේ හිත රිද්දන එක මට පුදුමයක් නෙමෙයි “

” මම.. මම ආයේ එහෙම කරන්නේ නැහැ තාරක. මම දැනගෙන හිටියෙ නැහැ සකුනි කාගේ කවුද කියලා “

” කාගේ කවුරු වුනත් පොඩි දරුවෙකුගේ හිත රිද්දන්න කාටවත් අයිතියක් නැහැ උත්පලා. විශේෂයෙන්ම උගත් ගුරුවරයෙකුට “

” ඔයා පොඩි දරුවන්ටත් සලකන්නේ ඇති නැති දේවල් බලලා නම් ඔයා හොඳ ගුරුවරයෙක් නෙමෙයි උත්පලා “

අතීතයේ දවසක මුදල් අඩුපාඩුකම් නිසා තාරකගේ ආදරය අමතක කරපු උත්පලා ට දැනුනේ ලැජ්ජාවක්. ගුරුවරියක් වුණ තමන්ට මගහැරුනු පැතිකඩක් තාරක මතක් කරලා දෙන කොට උත්පලා පන්ති කාමරයට ආවේ මහා ලොකු දුකක් හිතේ තියාගෙන

” උත්පලා ටීචර් වෙනදට වඩා හරිම හොඳයි ආච්චි අම්මේ. එයා අද මට එයාගේ බත් එකෙන් බතුත් කැව්වා “

හවස ගෙදර ආව සකුනි මානෙල්ගේ උකුලේ වාඩිවෙලා එහෙම කියනවා තාරක අහගෙන හිටියේ හිස් හැඟීමකින්

More Stories

Don't Miss


Latest Articles