අවසානයේ මන්දාරම් චානකට එකඟව නිම්නාවී මුණ ගැසෙන්නට ඉඩක් සකසා ගන්නේ නැතිවම වෝටර්ස් ඒජ් පරිශ්‍රයෙන් පිටවූයේය. එදින බලාපොරොත්තු වූ ව්‍යාපාරික කටයුත්ත ද යම් ආකාරයකින් සාර්ථක කරගන්නට ඉඩ ලැබුණු නිසා මන්දාරම්ගේ සිතෙහි ඒ හා අදාළව කිසිදු පීඩනයක් තිබුණේ නැත.
එහෙත් කිසි දිනක ආගන්තුක අහම්බකාරයෙකු නිසා නොදැනුණ තරමේ මහා පීඩනයක් ඔහුගේ හිස මත විය. නිම්නාවී ඉතා සැලසුම් සහගත ලෙස තමා තුළට පිවිසියේ තමාගෙන් කුමක් ලබාගන්නටදැයි තවමත් මන්දාරම්ට වැටහෙන්නේ නැත. ඇයට එවැන්නක් වෙනුවෙන් තමා අල්වා ගන්නට අවැසි වූයේ ඇයිදැයි ඔහුට වැටහෙන්නේ නැත. චානක මෝටර් රිය ධාවනය කරන අතරේ, මන්දාරම් දෑස් පියාගෙන අසුනේ පිටිපස්සට නැඹුරු වී කල්පනා කලේම නිම්නාවී ට තමා මෙතරම් රවටා ලබාගන්නට අවශ්‍ය වූවේ කුමක්දැයි යන්නය.
නිම්නාවී යනු කවුරුන්දැයි මන්දාරම් දැන් හරියටම දන්නේය. ඇය රාජිකා අලහකෝන් සහ ඩයස් අලහකෝන් යන ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් දෙදෙනාගේ වැඩිමහල් දියණියය. පසන් පිළිබඳව මන්දාරම්ට අමුතුවෙන් පැහැදිලි කර ගැනීම් අවශ්‍ය නැත. ඔහු තමාට ලංවන්නටවත් නොහැකි තරමේ ව්‍යාපාරික පවුලක පළමු පුරුක බව මන්දාරම් දනී. ඔහු ගැන දන්නේ පවා ව්‍යාපාරික මට්ටමේ සම්බන්ධතාවයක් සමඟ පමණි.
එහෙත්, චානක පවසන ආකාරයට නිම්නාවී ඉතාමත් උපක්රමශීලි ලෙස තම නිවසට පැමිණියේ පසන්ගේ ව්‍යාපාරික අරමුණක් වෙනුවෙන් යැයි සිතන්නට තවමත් මන්දාරම්ට සිත දෙන්නේ නැත. චානක පවසන්නේ මන්දාරම්ගේ මව අනතුරට පත් කිරීමේ පටන් සියලුම කාර්යයන් සිදුවන්නට ඇත්තේ පසන් ගේ යම් සැලැස්මක් මුදුන් පමුණුවා ගැනීම පිණිස කියාය.
” හරි නේ .. මෙන්න බලපන් ඩොකා කියන්නේ නිම්නාවිගෙ මල්ලි…… නිම්නාවී ගේම මල්ලි…. මේ තියෙන්නේ උන් පහුගිය දවසක වෙඩින් එකකට ගිහිල්ලා ගහපු ෆොටෝ එකක්. මට නිකමට මතක් වුනා. මගේ යාලුවෙක්ගේ වෙඩි එකකට අලහකෝන් ලොක්කා අත්සන් කරන්න එනවා කියලා තිබ්බා කතාව….. ඌට නිකං කෝල් එකක් දීලා අලහකෝන් පවුලේ ඔක්කොමලා එදා ආවද කියලා ඇහුවේ මම … පස්සේ ඌට විස්තරේ යන්තම් එහෙන් මෙහෙන් කියලා තමයි ෆොටෝ එක ගෙන්න ගත්තේ…… දැන්වත් හොඳට ඇස් දෙක ඇරල බලපන්… උන් එකතු වෙලා ෆැමිලි ගේමක් ගැහුවේ…. යකෝ…. මේක නිකන් අතාරින්න හොඳ නෑ යකෝ… මේක ලේසියෙන් අත අරින්න හොඳ නෑ…”
එක්වරම චානකගේ හඬ ඇසෙද්දී මන්දාරම් චානක දෙස හැරී බැලුවේය. චානක අතේ වූ ජංගම දුරකථනයේ වූ සේයාරුව දෙස බැලුවේය.
එහි සිටින්නේ නිම්නාවී වගට සැකයක් නැත. එලෙසින්ම නිම්නාවී ගේ එක් පසෙකින් සිටින තරුණයා වෛද්‍ය දිලුම් බවටද සැකයක් නැත.
” මෙව්වා අපිට හොඳ පාඩම් යකෝ….. නන්නාඳුනන කෙල්ලක් ගෙදරක වැඩට ගද්දි මෙලෝ වාර්තාවක්…. පොලිස් වාර්තාවක් ග්‍රාම නිලධාරී වාර්තාවක් මොකක්වත් බලන්නේ නැතුව අඩුම තරමේ අයිඩින්ටි එක ගන්නේ නැතුව ගෙට ගත්තට…”
චානක උස් හඬින් තමාටද එක්කම බැණ වදිමින් සිටියේය. සැබැවින්ම ඇයව එතරම් විශ්වාස කරන්නට තමන් දෙදෙනාට තිබූ අවශ්‍යතාව කුමක්ද ?
” අපි හිතුවෙ නෑනේ ඉතින් ඩොකා ඔහොම ගේමක් ගහයි කියලා කියලා….. අනිත් එක හොස්පිට්ල් එකේ හැමෝම ඩොකාට සලකපු විදිහට මමත් හිතුවේ ඩොකා සෑහෙන්න හොඳ පොරක් කියලා…… ඒකයි එවෙලේ උදව් කරන්න ඉදිරිපත් වුණා කියලා කිව්වහම මාත් ඒක එච්චරට හිතුවේ නැත්තේ….. මූ බලාගෙන යද්දී මාස්ටර් ප්ලෑන් එක් ගහලානේ…”
චානක පසුව තමන් කළ දෙය සාධාරණීකරණය කරගන්නටද උත්සාහ කලේය. ගිය නුවණ ඇතුන් ලවාවත් ඇදවිය නොහැකි බව චානක දනී. සිදු වූයේ කුමක් වුවද එය සොයා ගැනීම පසුවට කල් දැමිය යුතුය. පළමුව ස්වර්ණාට මේ සිදුවී ඇති සියල්ල යන්තමින් පවසා නිම්නාවී යළි පැමිණෙන්නේ නැති බව පැවසිය යුතුය. තවදුරටත් කිසිවක් , කිසිවෙකුට සැඟවිය යුතු නැත. මෙතරම් ප්‍රශ්න ඇති වූයේ එකිනෙකා තමන් දන්නා කාරණා සඟවාගෙන සිටීම නිසා බව චානක දනී.
ඉන් පසුව මන්දාරම්ට නිම්නාවී යළි පැමිණෙන්නේ නැති බව තරයේම වටහා ගන්නට උදව් කළ යුතුය. සැබෑ ජීවිතය පිළිගැනීමට ඔහු ට සවියක් විය යුතුය. සත්‍ය දරාගැනීමට ඔහු ශක්තිමත් කල යුතුය. ජීවිතය තුළ මෙතරම් දේවල් දරා ගත් ඔහුට, මෙම කෙටි කාලය තුළ නිම්නාවී හා ඇතිවුණු බැඳීම කඩා දමන්නටත්, ජීවිතේ ඉදිරියට යන්නටත් නොහැකි බව සිතන්නට ඉඩ නොදෙමියි චානක සිතුවේය. මන්දාරම් තමා වෙනුවෙන් කොන්දේසි නැතිවම ලබාදුන් සහෝදරකම වෙනුවෙන් තමා මෙය කෙලෙසකින්ම හෝ විසඳන බව චානක තමාටම සපථ කරගත්තේය.
” මට තේරෙන්නේ නෑ බං….. මොකක්ද මේ මගුල කියල ? එතකොට උඹ කියන්නේ අලහකෝන් ගෲප්ස් වල අයිතිකාරයෙක් කියලද නිම්නාවී..? එහෙම කෙල්ලෙක් ඇයි බං අරහෙම ගෙදරක ඉඳුල් අදින්න එන්නේ ??”
චානක හා එකඟ වන්නට කිසිඳු අවශ්‍යතාවයක් නැති බව පෙන්වමින් මන්දාරම් ඇසුවේය. ජීවිතේ ඇතැම් තැන් වල අපය අවැසි වන්නේ එවන් විජ්ජාවන් සිදුවීමය.
” අයිතිකාරයෙක්ද කියල කියන්න දන්නෙ නැහැ බං…… ඒත් ෆොටෝ එක බැලුවහම උඹට දේවල් තේරෙන්න ඕන….. අලහකෝන් ජෝඩුව ළඟින් හිටගෙන ඉන්නේ අලාකෝන් ජෝඩුවක ගෙදර වැඩ කරන වැඩකාරි වෙන්න බැහැනේ… ඇරත් ඔය වෙඩින් එකක්, ශ්‍රැංගිලා එකේ තිබ්බ …….”
” මට තේරෙන්නේ නැහැ චානා මට තේරෙන්නේ නැහැ මොකද්ද කරන්න ඕනේ කියලා… මොනවද බං මේ මගේ ජීවිතේ වෙන්නේ ? මොන සුළි කුණාටුද මේ සැරෙන් සැරේ එන්නේ ??”
“උඹ ඉඳපන් ……හෙට දැන් දිලුම් අපිව මුණගැහෙන්න එනවනේ…… එතකොට උගේ කටින් ඔක්කොම විස්තර අහගන්න පුළුවන්…වැඩිය ඕන්නෑ ඌ නිකන් නුහුරට එනවා වගේ තේරුණොතින් කෙලින්ම පොලිසියට කියමු…”
මන්දාරම් එයට එකඟ වීම හෝ නොවීම නොපෙන්වාම නිහඬව උන්නේය.. තවමත් සිත තුළ ඇති කලබලයෙහි අඩුවක් නැත. නිම්නාවී තමා එලෙසින් රැවටුවා යැයි සිතන්නට සිතන්නට මන්දාරම්ට තවමත් වුවමනා නැත.
අපට වැඩියෙන්ම රිදෙන්නේ වඩා අප විශ්වාස කරන, අප වඩා ආදරය කරන මිනිසුන්ගේ ද්‍රෝහි වීම් ය. ඒවා අපට දරාගන්නට නොහැකිම තරමට මරණීයය.
දෙදෙනා නිවසට පැමිණ කාමර තුළට වැදුනෝය. චානක මන්දාරම් අමතා අවධාරණය තම ජීවිතය වඩා වටිනා බවය.
” පිස්සෙක් වෙන්න හදන්න එපා බං….. හිතට දුකක් වේදනාවක් දැනෙනවා කියලා කියලා මට තේරෙනවා… හැබැයි මේ උබව වට්ටන්න ගේමක් ගහන්න ආපු උන්ට දිනුම දීලා උඹ පරදින්න ඕන වෙලාව නෙමෙයි. අන්න ඒක හොඳට මතක තියාගෙන වැඩ කරහං.. හිත තියෙන ප්‍රශ්න, කරදර, කලබල ඔක්කොම අද රැයෙන් ඉවර කරලා හෙට උදේට අලුත් මිනිහෙක් වගේ නැගිටහං….. මෙච්චරකල් ජීවත් වෙන්න උඹට ඒ හයිය තිබ්බා.. දැන් උඹ උඹව බිඳෙන්න්න දෙන්න එපා…”
මන්දාරම් මිතුරා වැළඳගත්තේය. කිසිවක් නොපවසාම කාමරය තුළට ගොස් දොර වසා ගත්තේය.
මන්දාරම්ට සයනය මත හිඳගනිද්දීම නිම්නාවී සිතෙහි සිටගත්තාය. ඕ මේ කාමරය තුළට පවා බිය නොවී ආ වග පවා සිහිපත් විය. එසේනම් ඒ සියල්ල සැලසුම්ද ?
වහාම චානක කියූ පරිද්දෙන්ම ඉහළ කළමණකාරීත්වය මේ පිළිබඳව දැනුවත් කල යුතු බව මන්දාරම් ඒ අතරේ සිතුවේය. ඒ සැනින් නිම්නාවී එවන් සැලසුමක් සමඟ නිවසට ඇතුලු වූ වග තමාට පිළිගන්නට නොහැකි බව කල්පනා කලේය. ඇය හා වූ යම් යම් සංස්පර්ෂ ව්‍යාජයැයි කියන්නෙ කෙලෙසද ?
මන්දාරම් කමිසය ගලවා දැමුවේය. යලි නිම්නාවී ට ඇමතුමත් ගත්තේය. එහෙත් ජංගම දුරකථන අංකය වූයේ විසන්ධිවය.සැණින් ඔහුට යමක් සිහිවිය. ඕ දැන් නිකම්ම නිකන් නිම්නාවී නොවේය. නිම්නාවී අලහකෝන්ය. ඉතින්, ඇගේ ජංගම දුරකතනය අංකය සොයා ගැනීම අපහසු නැත. මන්දාරම් ව්‍යාපාරික මිතුරන් කිහිප දෙනෙකුටම කෙටි පණිවිඩ යැව්වේය.
” නිම්නාවී අලහකෝන්ගේ නම්බර් ඒක හොයලා දාපං මැසේජ් එකක් …”
” ඇයි තමුසේ මට මෙහෙම කළේ කියලා මං හොයාගන්නම් නිම්නාවී …. අන්න එදාට මට උත්තර දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා….”
වේදනාශක පෙති කිහිපයක් පානය කිරීමෙන් අනතුරුව මන්දාරම් සයනයට වැටුණේ එසේ සිතා ගනිමින් ය. එය සිත රවටා ගැනීමක් පමණක් බව ඔහු දැන උන්නද, සිතට දැනෙන හැඟීම් සඟවාගෙන ජීවත් වීම වෙනුවෙන් මන්දාරම් සූදානම් වූයේය.
ඇයට එපමණ හැකි නම් තමාට කෙතරම් හැකි විය යුතුද ? මන්දාරම් සිහිනයෙන් පවා එලෙස සිතුවේය. එහෙත් ඇයට එතරම් හැකි වුවද තමාට එතරම් කළ නොහැකි බව මන්දාරම් සැබවින්ම දැන උන්නේය.