නිම්නාවී උදෑසන ඇහැරුණේ ඩයස් ගේ හඬටය. ඕ යහනේ සිටම පියා දෙස බැලුවාය.
” අද දවසම මම පුතා එක්ක ඉන්නවා… වොශ් එකක් දාලා, උදේට කාලා, අපි දෙන්නා එක්ක රවුමක් යමු …”
ඔහු පවසද්දී නිම්නාවී යහනේ එරමිණියා ගොතා හිඳගත්තාය. පියා සමඟ මෙහෙම බැඳීමක් තිබූ කාලය ඇයට මතකය. ඒ පාසැල් සමයේය. ඔහු කෙතරම් වැඩ මධ්‍යයේ වුවද, ඔහු මල්ලී සහ තමා වෙනුවෙන් කල් වෙන් කලේය. අම්මා ද ඒ වෙනුවෙන් සහභාගී කරවා ගත්තේය. සියල්ල වෙනස් වූයේ තමා සෙත්ට ලියූ ලියුමට පසුවය. අම්මා උමතු වෙස් ගෙන හැසිරෙන්න ගත්තාය. තාත්තා සහ තමා අතර දුරස්ත බව තැනුවේ අම්මා බව නිම්නාවීට අමතක නැත. තාත්තාට සෙත් සහ තමා පිළිබඳව අම්මා කුමක් පවසා තිබුණිදැයි ඕ තවම දන්නේ නැත. එහෙත් ඒ පැවසූ කාරණාව නිසා තාත්තා තමා සමඟ මාස ගණනාවක්ම කතා නොකල බව පමණක් ඇයට මතකය.
” එතකොට වැඩ නෑ ..?”
ඕ හිසකේ එක මිටකට වන සේ ගෙන හිස් මුදුනට කරගනිමින් ඇසුවාය. ඩයස් සිනාසුනේය.
” අවුරුදු හැට දෙකක්ම වැඩ කලානේ … තව අවුරුදු කීයක් ඉන්න තියෙවිද දන්නේත් නෑනේ .. අඩුම ඒ ඉන්න තියෙන ටිකවත් පුතා එක්ක ඉන්න ඕනි ….”
නිම්නාවී ඩයස්ගේ තුරුලට පැන්නාය. සෙත් සිහිවිය. ඕ සැනින් අමතක කර දැම්මාය.
සෙත්ට ආදරේ කිරීම නවතින්නේ නැත. නවතින්නේ සෙත් ගැන බලාපොරොත්තු පුරවා ගැනීමය. සෙත්ට ආදරේ කිරීම කිසිවෙකුට වරදැකැයි කියා නවතාලන්නට හැකි නොවේ. එහෙත්, සෙත් පිළිබඳව බලාපොරොත්තු තබාගෙන ඔහුට බාධා වන සේ හැසිරීම වරදක් විය හැක. සිදුවූ සියල්ලටම පසු සෙත් යලි තමා වෙත දයාබර නොවන බව නිම්නාවී ටක්කේටම වටහාගෙන උන්නාය. එහෙත් දැන් ඇයට පසන් හා ව්‍යාජව බැඳී සිටින්නට අවශ්‍ය නැත. එසේම තාත්තා යළි හිමිවීම මහාර්ඝය. සෙත් අහිමිවීමේ වේදනාව ජීවිතයට ලැබුණු ඒ වස්තූන්ගෙන් මදක් හෝ අඩු වේ යැයි ඕ සිතුවාය.
දිලුම් හා සමඟ ගෙවුණු රැය තිස්සේම වූ කතාබහට පසුව ඩයස් අලහකෝන් උන්නේ තමා ගැනම කෝපයෙනි. රාජිකා කිසිදිනෙක දරුවන් දෙදෙනාට දයාබර මවක් නොවුන බව තමා ඒ දිනවල පටන් දැන උන් බව ඩයස් සිහි කලේය. ඇයට අවැසි වූයේ මුදල් ඉපයීමය. සමාජයේ කැපී පෙනීමය. දරුවන් ගේ කටයුතු කෙරුණේ තම මව අතිනි. ඇය මිය ගිය පසු ආයම්මා කෙනෙකු ඒ සියල්ල බලා ගත්තේය. තමාද රාජිකාගේ සෙවනැල්ලෙන් වැසී ගොස් දරුවන් මඟ හැර ගත් බව ඩයස්ට දැන් වැටහෙන්නේය. සිතුවේ ඔවුන් වෙනුවෙන් ඇති තරම් මුදල් උපයා තැබීම ප්‍රමාණවත් වගය. එහෙත්, එය එසේ නොවන බව දැන් පැහැදිලිව පෙනේ. දිලුම් ඔහු සතු සියලු ශක්තීන් ඉතා උපක්‍රමශීලිව යොදා රාජිකාගේ ග්රහණයෙන් මිදී ඇත. එහෙත් නිම්නාවී තටු සිඳගත්තාය.
ඩයස් තමා සමඟම නැඟෙන කෝපය සන්සිඳුවා ගත්තේ අවසාන මොහොතේ හෝ තම දෑස් පෑදුණා යැයි සිතමිනි.
” එහෙනම් අපි ඔහේ ඩ්‍රයිව් කරමූ …”
නිම්නාවී හිස ඔසවා බලා විමසද්දී ඩයස්ගේ නෙත් වල කඳුලු තෙත ඇය දුටුවාය.
” අනේ මං නිසා අඬලා මට පවු පුරවන්න නම් එපා ඩැඩා .. ප්ලීස් තාත්තා ….”
නිම්නාවී හඬන්නට ගත්තාය. ඩයස් ඇගේ හිස පිරිමැද්දේය.
” ලෑස්ති වෙලා එන්න .. අපි දිලුම්ගේ හොස්පිට්ල් එකට ගිහිල්ලාම ටුවර් එක පටන් ගනිමු ….”
ඔහු කාමරයෙන් පිටව ගියේය. නිම්නාවී එහෙමම යහනට වැටුණාය. දෑත් දෙපසට වන සේ දිඟ හැරුණාය. දෙපා පොළව මතට ස්පර්ෂ වන සේ තැබුවාය.
” ඔයා මගේ ජීවිතේට දුන්න මේ සැනසීමෙන්ම අපේ ආදරේ පිරෙව්වා සෙත් … දැන් මට තව අවුරුද්දක් දෙකක් ජීවත් වුනත් ඇති … තාත්තා එක්ක මම ආසාවෙන් උන්න හැම හීනයක්ම බලාගන්නම් මම … මෙච්චර අවුරුදු එකොළහක් ඈතින් ඉඳන් ආදරේ කලා වගේ, ඔයාට ආදරේ කරන්නම් මම ….. ඔයාට හරියන්නම ප්‍රාර්තනා කරන්නම් සෙත් …
ඔයා දන්නවාද, ජීවිතේ අපි ඕනෑ තරම් වතාවල් වල ආදරේ කරන්න පුලුවන් … ආදරේ දැනෙන්න පුලුවන් .. ඒත් ඒ හැම තැනකදීම අතෑරගන්න බැරි තව ආදර කතාවක් පපුවේ අස්සක මිහිදන් වෙනවා … සැරෙන් සැරේ ඒ සුසාන උඩ මල් පිපෙනවා, දළු දානවා …
මං ලෝකේ කොහේ හිටියත්, මං ලෝකේ කොහොම උන්නත් ඔයාට ආදරේ කරන එක නවත්තන්නේ නැති වේවි සෙත් … කවුරුන්ම එක්ක හරි, මම ආදරේ කරන්න ගත්තත්, ඔයා ඊට යටින් වැළලෙන ආදරේ වේවි …..”
නිම්නාවී එලෙස සිතුවාය. බලෙන්ම සිතුවාය.
” නෑ සෙත් .. නෑ .. මං කොහොමද වෙන කාටවත් ආදරේ කරන්නේ ? .. මං කොහොමද වෙන කාටවත් ආදරේ කරන්නේ… ඔයාව ඇස් දෙකට දකින්නේවත් නැතුව මෙච්චර කල් ඔයාට ආදරේ කල මම, කොහොමද සෙත්, ඔයා ඇස් මායිමේ ඉන්න බව දැන දැනම …. නෑ සෙත් නෑ,.. මැරෙනකල්ම, මෙහෙම ඉඳගෙන මම ඔයාටම ආදරේ කරනවා…
ජීවිතේ හැමදාකම, ආයේ ආයේ මගේ තේරීම ඔයාම විතරයි … මට ආයෙම විකල්ප ඕනි නැහැ … කවදාහරි දවසක මට ආයේ ඔයාව මුණ ගැහෙන්න නියමිත නැති වුනත්, ඔයා මේ වෙද්දීත් මට කොච්චරක් වෛර කරනවා වුනත්, මම ඔයාට මේ විශ්වය ඉක්මවන තරමින් ආදරෙයි සෙත් …. ආදරෙයි …..”
නිම්නාවී නාන කාමරය තුලට වී සිත් සේ නා ගත්තාය. කකුලේ තුවාලය විමසා බැලුවාය. එකල උන් මන්දාරම් තමා සමීපයේ ඇලෙන්නට හේතු සෙවූ හැටි කල්පනා කලාය.
” අපිට අපි ලැබෙන්න නියමිතම නැතුව ඇති සෙත් … එහෙම නොවෙන්න, මෙච්චර අත්වැරදීම් වෙන්නේ නැහැ….”
ජීවිතය තුළ බොහෝ දේ දරාගෙන ඉදිරියට විත් උන් නිම්නාවී , ඇගේ හදවත සිදුරුවී යන තරමේ වේදනාවන් විඳගනිමින් සෙත් ගේ ප්‍රේමයේ සදාකාලික අහිමිවීම දරාගන්නද උත්සාහ කලාය. එහෙත්, වෙනදා නොවුණ ශක්තියක් තමා පසුපස වැටී ඇති බවට වන විශ්වාසය නිසා නිම්නාවී උන්නේ යම් සැනසුම් සුසුමක් එක්කය.
” තාත්තා …. මට හයිය දෙන්න ඔලුව උස්සගන්න ….”
ඕ එහෙමද සිතුවාය. තාත්තලා ඇති දූවරුන්ට, ජීවිත මෙහෙම පහසු වන බව නිම්නාවීට දැන් දැනෙන්නේය.
නිම්නාවී සූදානම් වී සාලයට ආවාය. උදෑසනට සකසා තිබුනේ කිරිබත් ය. මන්දාරම්ගේ කිරිබත සිහිවිය. පපුව දවන සිනහවක් දෙතොල් අග්ගිස්සේ වැටුණි.
” කිරිබත දැක්කම සුදු බබාට මල් හිනාවක් ගියේ …”
උදව්වට උන් කාන්තාව පවසද්දී නිම්නාවී කලකට පසු ඇය හාද හුරුතල් වෙමින් කතා කලාය. ඩයස් නිම්නාවීගේ පිබිදුම දෙස බලා උන්නේ තමා පිළිබඳව නැගෙන කලකිරීම එක්කය.
” මගේ කෙල්ල ආයේ අතෑරෙන්නේ නැහැ මට .. රාජිකාව අතෑරිලා යන්න දුන්නත්, මම මේ දරුවෝ දෙන්නා අතාරින්නේ නැහැ… උන් දෙන්නා ඉස්සරහින් කොන්දේසි විරහිතවම හිටගන්නවා…”
ඩයස් තමාටම පොරොන්දු වූයේය.
රාජිකා උන්නේ පසන් රණවීරව එලෙසින් එලවා ගන්නට තරම් ඩයස් අලහකෝන්ට තිබූ උවමනාව ඇයට තවම වැටහෙන්නේ නැත. තවමත් පසන්ගේ නිවසෙන් ඇමතුමක් නොපැමිණි නිසා පසන් මේ ගැන නිවසට පවසා නැති බව රාජිකා සිතුවාය. අද වහාම පසන් මුණ ගැසී මේ පිළිබඳව කතා බස් කරගන්නට ඕ තීරණය කලාය.
අපේක්ෂා ගුණරත්න
ReplyForwardAdd reaction |