රන් මල් දම් – 61

නිම්නාවී ඇහැරුණාට පසු පැය දෙකක්ම නොසන්සුන්ව ගෙවා දැම්මාය. තාත්ත එදින උදෑසන වරුව නිවසේ සිටින බව පවසා තිබූ නිසා ඕ උදෑසන නිවසේ රැඳී සිටින්නට සූදානමින්ද උන්නාය. තාත්තාගේ වදයෙන් ගැලවීමට නොහැකිවූ නිසා  උදෑසන ආහාරයද ගත්තාය. මන්දාරම්ට රැකියාව අහිමි වී ඇතිදැයි ඔහුටම අමතා දැනගැනීමට සිත නොසෑහෙන්න ඉල්ලා සිටියදීත්, නිම්නාවී යළි යලිත් ඉවසීමම ප්‍රගුණ කලාය. 

” පසන් උන්ගේ ප්‍රොජෙක්ට් පාර්ට්නර් කෙනෙක්ලු නේ…. ඌ මන්දාරම්ගේ බොසාට කියලා, ප්‍රොජෙක්ට් එක කෙරෙන්න ඕනි නම් මන්දාරම්ට ජොබ් එක නැති කරන්න කියලා…. ආරංචි විදියට මන්දාරම්ම රෙසිග්නේශන් දීලා ….”

දිලුම්ගේ හඬ යළි යළි ඇසෙද්දී  නිම්නාවී ජංගම දුරකතනය අතට ගත්තාය.

” මාව මරන්නේ නෑනේ… මේ කෝල් එක ගන්නම ඕනි එකක් … මෙවෙලේ මඟ ඇරෙන්න දෙන්නම ඕනි නැති කෝල් එකක් …”

නිම්නාවී තීරණය කලාය. ඉන්පසුව ඇය ජංගම දුරකතන තිරය මතට සෙත් ගේ නම වැටෙන සේ අංකනය  කලාය.  ජංගම දුරකතන තිරය දෙස බලා උන්නාය.

මන්දාරම් අම්මා ව්‍යායාම කරවා කාමරය තුළට පිවිසියේ නාගන්නටත් අවැසි වග සිතමිනි. අද දිනය ගෙවා දැමීම පිළිබඳව මන්දාරම්ට පැහැදිළි අදහසක් තිබුණේ නැත. එහෙත්, අලුතින් මිලදී ගත් පොත් රැසක් කියවීමට ඇති වග ඔහු අම්මා සමඟ කතා බහ කරමින් සිටියදී සිහි විය. එනිසා දහවල් වරුවම නිවෙසට වී සිටිනවායැයි යන තීරණය මන්දාරම්ගේ සිතෙහි දිය. 

නාන කාමරය තුළට පිවිසෙද්දී ඇසුණ ජංගම දුරකතනය නාද වන හඬ නිසා මන්දාරම් ආපසු හැරුණේය. සයනය මත තිබූ ජංගම දුරකතනය වෙත විමසුම් බැල්මක් හෙලුවේය. 

ඇමතුම කාගෙන්දැයි දුටු වහාම මන්දාරම්ගේ එක් අතක වූ තුවාය අතෑරුණේය. ඔහු ජංගම දුරකතනය අතට ගත්තේ තමා විසින් රක්නා මැණික අත් හැරී තිබී යලි එය ලබා ගත් නාගයෙකු සේ වේගවත්වය.

” නිම්නාවී ….”

මන්දාරම්ගේ හඬින් නිම්නාවී දිනය සඳහා අවැසි වන සම්පූර්ණ ශක්තියම ලබා ගත්තාය. එහෙත් ඇගේ සිත තුල වූයේ නොපහන් බවකි.

” ඊයේ … ඔයා මට කතා කලේ මොකක් හරි දෙයක් කියන්නද ?…”

නිම්නාවී ඒ නොසන්සුන්කම සමඟම ඇසුවේ, මන්දාරම් නොසන්සුන් කරමිනි,. තමා ඊයේ දිනයේ නිම්නාවීට ගත් ඇමතුමෙහි එහෙමටයැයි කියා කියන්නට තරමේ දෙයක් සිතාගෙන නොවුන් බව මන්දාරම් සිහි කලේය. අවැසි වූයේ ඇය සිත් මානයට ලං කරගන්නටය.

” එහෙම දෙයක් නෑ නිම්නාවී …”

” නිකම්ම ගත්තා ?…”

නිම්නාවී උන්නේ මන්දාරම් හා  ගැටෙන්නට තරම් ශක්තිය වඩාගෙනය. තිබූ එකම හිතේ සැකය වූයේ මන්දාරම් තමාට වෛර කරනවාය යන්නය. එහෙත් එය එලෙස නොවන බව දැන් ඉන්තේරුවෙන්ම දනී.

” නෑ නිම්නාවී … මං කතා කරපු එකෙන් ඔයාට ඩිස්ටර්බ් වුනානම් අයිම් සොරි .. මං නිකන් ගත්තේ .. විශේෂ දේකට නෙවෙයි .. පසන් ගැන අහන්නත් එක්කම ..”

” පසන් ගැන අහන්න විතරයිද ??.. පසන් ගැන කියන්න මුකුත් තිබුනේ නැද්ද ඔයාට ?..”

නිම්නාවී උස් හඬින් ඇසුවාය. එහෙත් විමසා අවසන් කලේ පහත් ස්වරයකිනි. මන්දාරම් ආපසු හැරී කාමරයේ වූ කණ්ණාඩියෙන් තමා දෙසම බැලුවේය. ඇය ඊයේ දිනයේ තමා හා දොඬමලු වූයේද අකමැත්තෙන් මෙන් ය. එහෙත් අද ඇය මෙලෙසින් තමා අතික්‍රමණය කරන්නේය.

” එහෙම මුකුත් කියන්න තිබ්බේ නෑ නිම්නාවී …”

” හනේ .. ඇත්තටම ?… පසන් නිසා ඔයාගේ ජොබ් එකෙන් ඔයාව ෆයර් කලා කියලා කියන්න මතක් වුනේ නැද්ද ඔයාට ?…”

නිම්නාවී සරදම මොනවට තවරා විමසුවාය. තම දෙනෙත් එතරම් සිනාසෙන්නේ මන්දැයි මන්දාරම් කණ්ණාඩියටම එබී බැලුවේය. ඒවායේ ඇති දිස්නය සහ රස්නය තමාට දරාගන්නට නොහැකි තරමින් වග පෙනී මෙන් මන්දාරම් වහා කණ්ණාඩියෙන් ඉවතටද වූයේය.

” ෆයර් කරා ??”

ඔහු විමතියෙන් විමසුවේය. නිම්නාවී එයට පිළිතුරු මුවින් දුන්නේ නැත. ඇගේ හදවත එවර මේ මිනිසාගේ රඟපෑම ගැන කෝපයෙන් ඉපිලෙන්නට ගෙන තිබුණි.

” මම ලීව් ඉන්නේ නිම්නාවී… එහෙම ප්‍රශ්නයක් නෑ …”

මන්දාරම් ජනේලයෙන් පිටත වූ කොල පැහැයේ ඇස් අලවාගෙන කීවේය. නිම්නාවීද කාමරයේ ජනේලයෙන් පිටත බලාගෙන උන්නාය.ඇගේ නෙත් වූයේද කොල පැහැ මතය.

” එහෙනම් අපේ මල්ලී කිව්වේ ජිනේන්ද්‍ර කීවා කියලා …?..”

නිම්නාවී කෝපයෙන් මෙන් ඇසුවේ, මල්ලීට තමාට මුසාවක් කියන්නට අවැසි නොවන බව මන්දාරම්ට වැටහෙන්නෙත් එක්කය. මන්දාරම්ද එය වටහා ගත්තේය.

” පසන් මාව අයින් කරන්න කියලා බොස්ට කියලා… බොස් මොකක් හරි සැලැස්මක් හදාගන්නකල් මම ලීව් .. සතියක් …”

නිම්නාවී ඉතා සැනසුම්  හුස්මක් ගැඹුරටම හෙළුවාය. ඒ සැනසුම තුල මන්දාරම්ද ගිලී ගොඩ ආවේය. දෙදෙනාම උන්නේ කිසිත් නොපවසා නිහඬවමය.

” හරි … මල්ලි එහෙම කිව්වම මම කලබල වුනා .. මං නිසා එහෙම වුනාද හිතලා … ඒකයි …”

” මට කතා කරලා, ඒකට නිදහසට කරුණු කියන්න ඕනි නෑ නිම්නාවී … ඉට්ස් ඕකේ … මං ආසයි ඔයා කතා කලාට ….”

මන්දාරම් පසුගිය දින  කිහිපයක කිසිවක් මතක නැතිවා මෙන් කීවේය. ආදරය හදිසි අනතුරක් බව සන්නස්ගලයන් පවසා තිබූ කතාවක්ද සිහි විය. කුඩුපට්ටම් වි යන්නට හෝ ඒ අනතුර මේ මොහොතේ පටන් ක්‍රියාත්මක වන්නට දෙන්නට මන්දාරම්ට අවැසිව තිබුණි.

මන්දාරම්ගේ රෝමාන්තික ස්වරය නිම්නාවීට දරාගන්නට හැකි තරමේ වූයේ නැත. ඕ පපුව එක් අතකින් අල්ලාගෙනම, ජංගම දුරකතනය විසන්ධි කර පසෙකින් තිබුවාය.

” දෙයියනේ සෙත් .. මම මැරිලා යාවි .. මොකද්ද ඒ ඔයා කිව්වේ ?.. කොහොමද ඔයා එහෙම කිව්වේ ?…. ඔයා … ඔයා … හැමදෙයක්ම අමතක කරනවාද සෙත් ? .. මේ දේවල් දැනගන්න කලින් උන්න ආදරෙන්ම මාව වැළැඳගන්න ඔයා ලෑස්තියි කියලාද ඔය කියන්නේ දෙයියනේ …… අනේ ..”

නිම්නාවී සයනයේ පෙරලුනාය.

මන්දාරම් අම්මාගේ කාමරයට් එබුණේය. අම්මා ඉන්නේ ඇමතුමක බව පෙනෙද්දී ඔහු ආපසු හැරෙන්නට සූදානම් වූයේය. එහෙත් අම්මා වහා ඇමතුම පසෙක තමා තමා අමතනු ඇසුණු නිසාත් දුටු නිසාත් ඔහු ආපසු හැරී කාමරයට ඇතුලු වූයේය.

” ඔයාට මෙහෙම නිවාඩු දාලා ඉන්න පුලුවන්ද සුදු පුතේ ?…”

” අවුලක් නෑ අම්මේ.. සතියක් නිවාඩු දාන්න කියලා බොස් ඇපෲව් කලානේ …”

” හ්ම්ම් …”

මන්දාරම් අම්මා අසලින් හිඳගත්තේය. අම්මා කියවමින් උන් නව කතා පොත ගෙන පසෙකින් තැබුවේය. ඒ ප්‍රියලාල්  අංකල් අම්මා වෙනුවෙන් එවන ලද ඒවා බව සිහිවී යලි ඒ පොත අතට ගෙන බැලුවේය

” අම්මා ප්‍රියලාල් අංකල් එක්ක මං කියපු දේ කතා කලාද ?…”

මන්දාරම් පොතෙන් දෑස් ඉවතට නොගෙනම ඇසුවේය. ස්වර්ණා පුතු දෙස බලා යළි ඉවතක් බලාගෙන හිස සැලුවේය,

” ඇයි කතා නොකලේ ?…”

” ඒක කතා කරන්න ඕනි දෙයක් නෙවෙයි කියලා හිතෙන නිසා …”

ස්වර්ණා ඍ ජුවම කීවාය. මන්දාරම් මොහොතකට ගොලු වූවේය. එහෙත්, ඔහු අම්මා වෙනුවෙන් යමක් කරන්නට තීරණය කල උන්නේය.

” අම්මේ ..ලෝකේ මිනිස්සු ගැන හිතන එක නවත්තන්න ..ඔය දෙන්නාට තව අවුරුදු  සීයක් දෙසීයක් ජීවත් වෙන්න ණෑ.. තව අවුරුදු උපරිම තිහක් හතලිහක් වේවි ..ඔය දෙන්නාම ඔය දෙන්නාගේ ජීවිත වලට අවසරයෙන් , අනවසරයෙන් ආව අය නිසා ඔය දෙන්නාට දෙන්නා ගැන තිබුණ ආදරේ මරලා දාලා ජීවත් වුනා .. දැන් ඒ ආදරේ ආයේ හුස්ම ගන්න දෙන්න අම්මේ.. ඒකට කමක් නෑ…”

ස්වර්ණා පුතු දෙස දැඩි බැල්මක් පා කලාය. 

ReplyForwardAdd reaction

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles