රන් මල් දම් – 65

රාජිකා අලහකෝන් අත් අඩංගුවට ගැනීම  නවතා ගන්නට තරම් මඟක් ඩයස් අලහකෝන් ට එක්වරම ලැබුනේ නැත.   තමා බිරිඳ ව් කැටුව එන්නම් යැයි පවසන සිහියක්ද ඔහුට වූයේ නැත . හිතටත්, හිසටත් එක්වරම අකුණක් කඩා වැටුණු බව ඔහුට දැනෙන්නේය. රාජිකා තමා කැටුව යන්නට ඉඩ නොදෙන ලෙස පවසමින් හඬද්දී වුවද, ඩයස් උන්නේ ගල් ගැසී මෙන් ය. කිසිඳු ප්‍රතිචාරයක් නොපෙන්වාමය.

නිම්නාවී කාමරයෙන් පිටතට ආවේ අම්මා රැගෙන යෑම වලකාගන්නට  කුමක් කරන්නටදැයි සිතා ගත නොහැකිවය.  ජීවිතයේ මතක ඇති කාලයේ පළමු වතාවට අම්මා අහිමිවීමේ බිය ද, අම්මාගේ ක්‍රියාකලාපය නිසා වන වේදනාත්මක පිළිකුලද ඇයට සම සමව දැණුනි.  ඕ තාත්තා වැලඳ ගත්තාය. දෙදෙනාම උන්නේ කුමක් වූයේදැයි සිතාගන්නට නොහැකිවය. ඩයස් නිම්නාවීටද වඩා වැඩියෙන් වික්ෂිප්තව උන්නේය.

පොලිස් නිළධාරින් එලෙස පැවසුවාට අම්මා එවැන්නක් සිදු කරා විය හැක්කේ නැහැ නොවේදැයි නිම්නාවී හඬමින් විමසුවාය. අම්මාට තමා පසන්ට විවාහ කර දීමට මිසක්, විකුණා දැමීමට අවශ්‍ය වූයේ නැහැ නේදැයි ඕ හඬමින් ඇසුවේ, නිවසේ සේවයට උන් කාන්තාවන් නිම්නාවී ව වත්තන් කරගෙන හිඳුවද්දීය.

” ඒ මිනිස්සු බොරු කියනවා ඇත්තේ තාත්තේ …. අම්මා කොහොමද එහෙම කරන්නේ ? ඔයා අනේ ගිහින් බලන්නකෝ තාත්තේ …  අම්මවත් මම වගේම ඇතුලේ තියාවි නේ… “

ඩයස් සිහියට එළඹි මොහොතේම මිතුරු නිළධාරියා  අමතා සිදුව ඇත්තේ කුමක්දැයි කීවේය. ඉන් අනතුරුව හැඳ පැළඳගෙන නිවසින් පිටත් වූයේ නිම්නාවී එක්කමය.

අප ඉතා අසරණ වූ විට, වඩා බලාපොරොත්තු වන්නේ අපට වඩාම ප්‍රේමණීය අයවලුන්‍ ය. නිම්නාවී මන්දාරම්ට ඇමතුමක් ගත්තාය. එයට පිළිතුරු නොලැබුණ නිසා, නිම්නාවී ඔහුට කෙටි පණිවිඩයක් තැබුවේය.

” මාව කිඩ්නැප් කරලා පසන් ළඟට ගෙනියන්න කියලා ඕර්ඩර් එක දුන්නේ අපේ අම්මා කියලා අර මිනිස්සු කියනවාලූ සෙත් … හිතාගන්න බෑ.. මමයි, තාත්තයි පොලිසියට යන ගමන් …. ඔයා එන්නෙපා  ඒ නිසා අද ..”

උදෑසනින් ම අම්මා දැකීමට ජිනේන්ද්‍ර නිවසට පැමිණි නිසා මන්දාරම් සහ චානක උන්නේ ඔහු සමඟ කතාවකය. ජිනේන්ද්‍ර නිම්නාවී සමඟ ඔහුට ඇති කෝන්තරයත්, දිලුම් හා සමඟ ඇති හිතවත්කමත් පිළිබඳව සියලු විස්තර පවසමින් උන්නේය. නිම්නාවී ගේ අතීතය ඇයවම පීඩාවට පත් කල කාලයක් බව දන්නා නිසා, මන්දාරම් ජිනේන්ද්‍ර පවසන කතාව නිසා පීඩාවක් ගොඩ්ස් නඟා ගත්තේ නැත. එහෙත්, නිම්නාවී සමඟ ඒ පිළිබඳව අනිවාර්යයෙන් කතා බහ කර,  ජිනේන්ද්‍ර වෙනුවෙන් කල හැකි දෙයක් වෙතොත් එය සිදු කරන්නට මන්දාරම් එවෙලෙහිම තීරණය කලේය.

ඒ අතරේ, ප්‍රියලාල් , ජිනේන්ද්‍ර , තමා, අම්මා සහ චානක එක් පවුලක්ව ජීවත් වීම පිළිබඳව වන අදහස මන්දාරම් ඍජුවම ජිනේන්ද්‍ර ට කීවේය. ජිනේන්ද්‍ර ගේ දෑස් දිළිසෙන්නට ගත්තේය.

” මං තාත්තාගෙන් ඇහුවම  එයා කිව්වේ අම්මා  ඒකට කැමති නැහැ කියලා…”

ජිනේන්ද්‍ර එක්වරම කිවේය. කීවා නොව ඉබේම කියවුණි.

” මං  කිව්වේ උඹලෑ අම්මා…ස්වර්ණා ආන්ට්…”

ජිනේන්ද්‍ර යලි යමක් සිහි වී මෙන් එය නිවැරදි කලේය. මන්දාරම්ට එහි එතරම් වගක් වූයේ නැත. ඔහු උන්නේ ප්‍රධාන මාතෘකාව වෙත අවධානයෙනි.

” අපි දැන් පොඩි උන් නෙවෙයි නේ අයියේ … අපිට පැහැදිලිවම පේනවා, අපේ අම්මයි , උඹේ තාත්තයි  ඒ අයගේ වැරදි අඩු පාඩුත් එක්කම මේ කතාව ඇතුලේ වින්දිතයෝ වෙලා කියලා.. ඒක ලේසි නෑ ඒ දෙන්නාටම .. ඒ දෙන්නම සෑහෙන්න විඳවන්නත් ඇති ඇත්තටම …. අපි දන්නේ නෑනේ …. ඒ කොහොම වුනත්, දැන් අපිට ඉඩක් තියෙනවා මේ ඔක්කොම හදන්න … ඒක ලේසි නෑ… මොකද අම්මලා පට්ටම සංස්කෘතික කා එක දෙකක හිර වෙලානේ ඉන්නේ…. ඒ වුනාට  මේක කරන්න බැරි නෑ… අපි කොහොමටත් මේ පවුළ අස්සෙම තව කොච්චරක් කල් ඉඳීවිද දන්නේ නෑනේ… එහෙම දවසක අම්මට, ප්‍රියලාල් අංකල්,ප්‍රියලාල් අංකල්ට අම්මා ඉන්න එක මට අනුව නම් මාරම දෙයක් ….”

මන්දාරම් තමා පැහැදිලි කලේය. සිත මේ ආකාරයෙන් වෙනස් වන්නට උපදේශන සේවාවද හේතු වූ වග ඒ අතරේම් කීවේය.ජිනේන්ද්‍ර උන්නේ මන්දාරම්ගේ යෝජනාවෙන් අතිශය ප්‍රීතියකට පත් වෙමිනි.

“මට තේරෙනවා බං .. මං ඉන්නේත් ඔය මතේමයි…මං ඉන්නකල් මට තාත්තාව බලාගන්න එක මහ දෙයක් නෙවෙයි බං ..ඒත්,තාත්තගේ හිතේ තියෙන හිඩැස මට ලේසියෙන් පුරවන්න බෑ..”

“ඔව්.. අයියා මේක තේරුම් ගත්තා වගේ අපේ අම්මට තේරුම් කරන වගකීම ප්‍රියලාල් අංකට බාරදෙන්න .. පුලුවන් නම් දවල්ට දවල්ට ප්‍රියලාල් අංකල්ව මෙහෙ එක්කගෙන එන්න …. එතකොට අම්මා තේරුම් ගනීවි, හිතට අවංකව වැඩ කරන එක තමයි ජීවත් වෙනකොට තියෙන ලේසිම දේ කියලා…….”

ජිනේන්ද්‍ර ස්වර්ණා සමඟ කතා බහ කරන්නට කාමරය තුළට පිවිසියේය.

” මාත් පොඩ්ඩක් වටහලා දෙන්න උත්සාහ කරලාම යන්නම් බලන්න …”

ඔහු මන්දාරම්ට එලෙසින් කීවේ, මන්දාරම් ඔහුට  එලෙස කල නොහැකි බවට    සිනාසෙමින්  ඔට්ටු දමද්දිය.

“පුලුවන් නම් ගුටි නොකා  අම්මව කැමති කරගනින් අයියේ.. ඉල්ලන දෙයක් දෙනවා..ඔට්ටුයි ..”

නිම්නාවී ගේ ඇමතුම සහ කෙටි පණිවිඩය දුටු මන්දාරම්ට කිසිවක් සිතා ගත නොහැකි වූයේය. අම්මා යනු එවන් ක්‍රියාවකට ගැලපෙන වචනයක්ද ?  නිම්නාවී ට එරෙහිව ඒ අම්මා එතරම්ම නපුරු වන්නේ කිමද  ?

මන්දාරම් වහා නිම්නාවී ඇමතුවේය. සැනින් ඕ ඇමතුමට සම්බන්ධ වූවාය.

” නිම්නාවී …”

” අනේ සෙත් …”

” කලබල නොවී කියන්නකෝ.. ඔයා කොහේද ඉන්නේ ?..”

“පානදුර පොලිසියේ ..”

“තාත්තත් ඉන්නවා… අපි පැමිණිල්ල ඉල්ලා අස් කරගන්න යන්නේ..”

” ගුඩ්.. හරි … ඔයා කලබල නොවී ඉන්න ..තාත්තා ලඟින්ම ඉන්න .. මං එන්නම්…”

“හා…”

නිම්නාවී දෙවරක් නොසිතාම එකඟ වූවාය.

“පරෙස්සමින් සෙත් ..”

ඕ එහි අගට එහෙමද ඇමිනුවාය. එය දැනුනේ මන්දාරම්ගේ හදවතටමය.

” මං පරෙස්සමින් එනකල්, නිම්නාවී පරෙස්සමින් ඉන්න … හරිද …??”

“හරි …”

මන්දාරම් ජිනේන්ද්‍ර සහ චානකද අමතා සිදුව ඇත්තේ කුමක්දැයි පවසා වහා නිවසින් පිටවූයේ අම්මාට හරි හේතුවක් නොපවසාමය.

රාජිකා වැනි අම්මලා සිටින ලෝකයක තම මව කිනම් පාරමිතාවක් පිරූ ගැහැණියකදැයි මන්දාරම් යන මඟදී සිතුවේය. අම්මාගේ සිත රිදවම්න් තමා හැසිරුණු කිහිප වතාව පිළිබඳව කෝපයක් නැඟුණේය. එලෙසම, අම්මා වෙනුවෙන් ඉටු වියයුතු  සියලු සතුටු කාරණා ඉටු කිරීමට සිත හදාගත්තේය.

මන්දාරම් පොලිසියට යන විටත් එහි කටයුතු සිදු වෙමින් තිබුණි.

” ආහ් පුතා.. මෙන්න මෙයාව එලියට එක්කගෙන ගිහින් කන්න මොනවා හරි අරගෙන දෙන්න පුලුවන් ද පුතා ?”

ඩයස් විමසුවේ, නිම්නාවී එලෙස අවශ්‍ය නොවන බව පවසද්දීය. එහෙත් අවසානයේ නිම්නාවී මන්දාරම් හා පොලිසි භූමියෙන් පිටතට ආවේය.

”  හරි කරදරේ නේද මම නිසා..”

නිම්නාවී මන්දාරම්ට සමාන්තරව ඇවිද යමින් විමසුවාය.

මන්දාරම් ඇය දෙස හැරී බලා දෙතොල් නොපිට පෙරලා ඇය වෙත යම් තරවටු බැල්මක් හෙලුවේය.

” මං කරේ තියාගෙනනේ ඉන්නේ…”

ඔහු ඉන් පසුව සිනාසෙමින් කීවේය.

අපේක්ෂා ගුණරත්න 

ReplyForwardAdd reaction

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles