සම්මා ගායක

පරණගම ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානය එදා උදේ සිටම සෙනගින් පිරී ගොස් තිබුණේ පෝයක්, පින්කමක් පේන තෙක් මානෙක නොමැතිවය.

ඒකට හේතුව වුණේ ඝන්ඨාරය නාද කර ලොකු හාමුදුරුවන් ගමේ මිනිස්සුන්ව පන්සලට කැඳවා කියන්නට හේතුවුණ ආරංචියයි.

“අස්සජී මහාභිනිශ්ක්‍රමණය කරලනෙ” කියා අඩක් කෝපයෙනුත් අඩක් සමච්චලයෙනුත් කියා ලොකු හාමුදුරුවන් රැස්ව උන් ගම්වාසීන් සියලුම දෙනා දිහා බලද්දී ගම්වාසීන් උනුන් දිහා බැලුවේ කිව යුත්තේ කුමක්ද කියා හිතාගන්න බැරිවය. 

සිදුහත් කුමාරයා මහභිනිශ්ක්‍රමණය කල කතාව බණට කියද්දි මහ හඬින් දොහොත් මුදුන් දී සාදුකාර කරන ගම් වැසියන්ම මෙදා අස්සජී මහභිනිශ්ක්‍රමණය ඇති බව දැනගෙන එලෙස සාදුකාර නුදුන්නේ සිදුහත් කුමාරයා වගේ අස්සජී ගිහියෙක් නොවේ අස්සජී හාමුදුරුවන් වූ හන්දාය.

“ඔහෙලා ඔක්කොම බණට දානෙට පිරිතට ඔක්කොටම මටත් කලින් ආරාධනා කලේ උන්නාන්සේටනෙ.මං නැතත් අස්සජි ඉන්නවනම් කමක් නැති විත්තිය දානවලදි එහෙම දොඩවන බව නොදැන උන්නා නොවේ. මං ඒව දැනගෙනත් නිස්සද්දව උන්නෙ ඔය ඇත්ත කවදහරි ඔහෙලටම තේරුම් යනකම්. අවබෝධය අවබෝධ කරල දෙනවට වඩා හොඳ නෙව තමන්ම අවබෝධ කරගන්න එක.

අන්තිමේ මොකද උනේ? අස්සජී හාමුදුරුවො ආසයි ආසයි කිය කිය අරව මෙව්වා හද හද ගිල්ලපු උපාසක ඇත්තිලටත් ධර්මෙ අවබෝධ වෙලා ඇති නෙව දැන්” කියාගෙන ආවස ගෙයි ඉස්තෝප්පු කෑල්ලෙ එහෙටත් මෙහෙටත් වඩින ගමන් ලොකු හාමුදුරුවන් පවසද්දීත් ගම්මු උන්නේ නිශ්ශබ්දව කියන්න කරන්න දෙයක් නැති තාලෙට එකිනෙකා දිහා හොරැහින් බලමින් හෝ තවමත් අතුගා නැති පන්සල් මිදුලේ වැල්ල දිහා බලාගෙනය. වෙනදාට ඉදලෙන් පොල්ලත්තේ රටාවට මේ බිම අමදින්නේ අස්සජී හිමියන් බව එවෙලෙත් කීප දෙනෙක්ට මතක් වුණි

“අවසර, උන්නාස්සෙ පන්සලෙන් ගොහින් විත්තිය ඔබ වහන්සේ දැනගත්තෙ කොහොමද?” කියා අහන්න හයියක් හිතට තිබ්බේ ගමේ ලොකු ඉස්කෝලෙ මහත්තැන් වෙච්ච කුසුමරත්න මහත්තයාටය.කුසුමරත්න මහත්තයා ඔය ප්‍රශ්නෙ අහන්න කලින් හිත ඇතුළෙන් තමන්ගෙන්ම ඇහුවේ “පන්සලෙන් ගිය හාමුදුරු කෙනෙක්ට මොකක් කියලද කතාකරන්නෙ?” කියාය. එයට උත්තරේ හිතාගන්න බැරිවෙච්ච හන්දාම අස්සජී හාමුදුරුවන්ට පෙර ආමන්ත්‍රණය කල අයුරින්ම අමතද්දී ඒක ලොක්ජ් හාමුදුරුවන්ගේ හිතට එච්චර ඇල්ලුවෙ නැති විත්තිය කුසුමරත්න මහත්තයට තේරුනේ ලොකු හාමුදුරුවන් “පන්සලෙන් මක බෑවිල ගිය උන්ටත් ඔහෙලා තමා උන්නාන්සෙ කියනවනෙ” කියා පෑව බැල්ම හන්දාය.

“උදේ මං නැගිටලා එද්දි ආවාස ගෙයි පිටිපස්සෙ දෙහි ගහේ සිවුර පටලවලා ගිහින් තිබ්බෙ. නිකමට මං කාමරේට ගිහින් බලද්දි තමයි ලියුම් කෑල්ල දැක්කෙ. යනවය කියල තිබ්බෙ හිත එකතැනක තියාගන්න බැරි හන්දය කිව්වෙ. හිත එකතැනක තියාගන්න බැරිනම් අහවල් එහෙකටද මහණ වුණේ? මහ ලොකුවට දාන පිරිත් බණට හෙම වැඩියම කිව්ව බණ ඔහෙලට බුදු හාමුදුරුවො දේශනා කල එව්වටත් වඩා ඉහළ වුණා නේ? අන්තිමේ පන්සලටයි ගමටයි විතරක් නෙවෙයි මටයි සාසනේටයිත් ලැජ්ජ කරලා තමයි වැඩලා තියෙන්නෙ” කියලා කියද්දී අනිත් ඔක්කොම වචනවලට වඩා “වැඩලා” කියන වචනෙට ලොකු හාමුදුරුවො ඕනවටත් වඩා බරකුත්, හඬකුත් එක්කල බව ගමේ මිනිස්සුන්ට තේරුනත් ඒ හඬේත් බරේත් එක්කහු වී තිබුණේ කෝපයද සමච්චලයද එහෙම නැත්තම් ඒ දෙකමද කියන එක කාටවත් හරියට තේරුනේ නැත. හතර පෝයට සිල්ගන්න උපාසක ඇත්තා ඇත්තියන්ට පවා බුදු බණ පදයකටත් වඩා ඒ ගැටපදෙ ලෙහාගන්න ඩිංගක් විතර අමාරු වුණ එක ඇත්තකි.

“කවුරු නැතත් අස්සජී ඔහොම නවනිංගිරා වැඩක් කරන විත්තිය දැනගෙන උන්න නම් පන්සලේ විතරක් නෙවෙයි මං අහල ගම් හතක පැඟිරි ගස් කප්පවලා දානවා” කියා ලොකු හාමුදුරුවන් හිත ඇතුලේ තියෙන තරහා දෙහි ගහෙන් පිටකරගන්නට වගේ පවසද්දීත් ගම්මු උන්නේ නිශ්ශබ්දව කියන්න කරන්න දෙයක් නැති තාලෙට එකිනෙකා දිහා හොරැහින් බලමින් හෝ තවමත් අතුගා නැති පන්සල් මිදුලේ වැල්ල දිහා බලාගෙනය.

චීවරයක් වතට දාගන්නක්‍රියාවලිය කරන්නෙත් කෙරෙන්නෙත් ලෝක පාලක සියලු දෙවිවරුන්ගෙන් අවසරය සහ ආශිර්වාදය අරගෙන නිසාවෙන් චීවරේ අතාරින එක වස් වැදෙන වැඩක් බව කුසුමරත්න ලොකු මහත්තයා දැනගෙන උන්නේය. හාමුදුරු නමක් පන්සලෙන් සදහටම පිටවෙද්දි සිවුර පැඟිරි ගහක පටලවා යන්නේ ඒ වස් වැදීමෙන් බේරෙන්න බවත් කුසුමරත්න ලොකු මහත්තයා දැනගෙන උන්නේය. 

අස්සජී දෙවනි හාමුදුරුවන් පන්සලෙන් මහභිනිශ්ක්‍රමණය කල කතාව ඉන් සතියක් දෙකක් යනතුරු තැන් තැන්වක දොඩවන්න කරන්න ගම්මුන්ට හේතු කාරණා සැපයුවත් කාලයත් සමග බණ ගෙවල් දාන ගෙවල් වලදී විතරක් අලු දූවිලි ගසා දමා එළියට ගත් ඒ කතාව එක්කම අස්සජී හාමුදුරුවන්ව ගම්මුන්ට අමතක වී ගියහ.

ඒ අවුරුදු දෙක තුනකට පසු වතාවක් කාලයකට පෙර අස්සජී හාමුදුරුවන් ලෙස පන්සලේ පැවිදි වී උන්නා වූද සිවුර දෙහි ගහේ පටලවා උදෑසනක කාටවත් නොකියා පන්සලෙන් මහභිනිශ්ක්‍රමණය කර තිබූ “අසෝක මෙවන්සිරි” හීරළු මහතාව කුසුමරත්න ලොකු මහත්තයාට රූපවාහිනියෙන් දැකගන්න ලැබිච්ච වෙලාවෙය.. ඇත්තටම කුසුමරත්න ලොකු මහත්තයාට කොණ්ඩෙ වඩා, අලුත් ඉස්ටැයිල් එකට තැනින් තැනින් ගොතා උන් අසෝක මෙවන්සිරිව හඳුනාගන්න පුළුවන් වුණේ නැත. තට්ට හිසෙන්ද, ක්ලීන් ශේව් කල රූපයෙන් උන් අස්සජී දෙවනි හාමුදුරුවන්ගේ සේයාවක්වත් ඒ ගෙතූ හිස කේද, ඉරුණ ඩෙනිම් කලිසමද, උඩ සිට බොත්තම් දෙක තුනක් හැර දමා පපුවේ රෝම කූප පෙන්නගෙන උන් අසෝක මෙවන්සිරිගේ රූපයේ තිබුණේ නැත. කුසුමරත්න මහත්තයා “ඉස්සර අස්සජීව” අද ඉන්න අසෝකගෙන් වෙන්කර හඳුනාගන්න හේතුවෙච්ච එකම කාරණාව එදා මෙදා තුර නොවෙනස්ව තිබිච්ච ඒ ගැඹුරු, නිසසල කටහඬය.

“ඔබ ඒ කාලෙ ඉඳලම ගීත ගායනයට දක්ශද?” නිවේදිකාව ඉතාම මියුරු හඬකින් අහන ඒ ප්‍රශ්නයට “ඉස්සර අස්සජී” නැත්තම් දැන් අසෝක මෙවන්සිරි හීරළු මහතා උත්තර දුන්නේ එදවස ධර්ම දේශනාවකින් පස්සේ රැස්ව ඉන්න පිරිස යම් ධර්ම ගැටලුවක් පිළිබඳව අහද්දී එයට පිළිතුරු දුන් උපශාන්ත විලාසයෙන්මය. ඒ ස්වරයෙන්මය. ඇස් වසාගෙන මේ කටහඬ ඇහුවනම් තමන් ඔහු පිළිතුරු දුන්නයින් පස්සේ සාධුකාර දෙන්නත් ඉඩ තිබුණා නොවේද කියා කුසුමරත්න මහතාට හිතුණේ ඒ නිසාමය.

“මම ඇත්තටම ගීත ගායනය කියන දේ ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි. මගේ ජීවිතේ මීට අවුරුදු කිහිපයකට පෙර මම ඉඳියෙ වෙනම තැනක. එතනදි මට කවි වගේ දේවල් තාලෙට කියන්න අවස්තාවක් ලැබුනා. ඒකත් එක්ක කාලය ගත කරනකොට තමයි මට තේරුණේ මට යම් දක්ශතාවයක් තියෙනව කියලා ගීත ගායනයට. ඉතින් ඉස්සර ඉඳලම කිව්වොත් මම ඇත්තටම දැන් අවුරුදු හතරකට පහකට කළින් වගේ තමයි හොයාගත්තෙ මට මෙහෙම හැකියාවක් තියෙනවා කියලා” අසෝක මෙවන්සිරි මද සිනාවක් එක්ක නිවේදිකාවට පිළිතුරු දෙද්දී කුසුමරත්න මහත්තයාට මතක් වුණේ පෝය දවස්වලට පන්සලේ බණ මඩුව ගමේ මිනිස්සුන්ගෙන් වගේම පිට ගම්වල මිනිස්සුන්ගෙන් පවා පිරී ඉතිරී යන්න හේතුවෙච්ච “ඉස්සර අස්සජී”ගේ කවි බණ මඩුවය.

“ඔබ ක්ශේත්‍රයට එන්නෙ හරි වෙනස් අපූරු ගීතයකින්. ගීතයට ඔබ දමා තිබුණ නම දෙහි අත්ත. සාමාන්‍යයෙන් ගොඩක් ගායකයන් ගීත ලියද්දි මල් වගේ දේවල් තමයි උපමා කරගන්නෙ. එහෙම එකේ ඔබ මේ දෙහි මලක් වෙනුවට දෙහි අත්තක් ගැන කතාකරන්න හිතුවෙ ඇයි?”

“ඇත්තටම ඒක මගේ ජීවිතේ සම්බන්ධ සිදුවීමක්. මම ඒක උපයෝගී කරගෙන මමම ලිව්ව එකක්. ඇත්තටම ඒකෙ තියෙන්නෙ දෙහි ගහක් වුණත් හරි ලස්සනයිනෙ. මල් හරි ලස්සනයි. ඒ දෙහි ගෙඩිවලින් එන පැඟිරි රසය එක්කහු කරපු පොල් සම්බෝලෙකට වගෙ වුණත් පුළුවන් ජීවිතේට අමුතු රහක් එක්කරන්න. පැඟිරි රහ කියන්නෙ අපේ කැමැත්තයි අකමැත්තයි දෙකම අතර මැද දෝලනය වෙන රසක් නෙ. දෙහි රසය දිවට දැනෙන මුල් තප්පරේ දෙකේ මූණ ඇඹුල් වුණාට ඉන්පස්සෙ දිව ඒ රසයට මත්වුනාම, අඩපණ වුණාම අපි ඒක සෑහෙන විඳිනවා.

ජීවිතෙත් ඒ වගේනේ. අපි කරන්නෙ අපිට හොඳයි කියලා හිතෙන දේවල්. සමහර අපි ගන්න තීරණ අපිට හොඳ වුණාට ලෝකෙට, අපිව ආශ්‍රය කරන මිනිස්සුන්ට ඒ තීරණ හොඳ නැති, නරක, ලැජ්ජාවට පත්වෙන තීරණ වෙන්න පුලුවන්. ඒ සමාජෙ මිනිස්සු හිතන දේ, එයාලගෙ සිතුවිලි අපිට අර තීරණය ගන්න පටන් ගන්න මුල් කාලෙ හිතට ලොකු වදයක්, කරදරයක් වෙන්න පුලුවන්. හරියට අර දෙහි වගේ. මුල් ටිකේ ඇඹුල් රස දරාගන්න අමාරුයි. හැබැයි පස්සෙ පුරුදුවුනාට පස්සෙ අපිට ඒක ගාණක් නැතිවෙනවා. අපේ ජීවිතේ ඉන්න මිනිස්සුන් කියන්නෙ ඔය දෙහි අතුවල තියෙන කටු වගේ. හැබැයි ඒ කටුවලට කවදාවත් බෑ අර දෙහි ගෙඩිවල තියෙන රසය අඩු කරන්න” 

“ඇත්තටම ඉතාම ලස්සන පිළිතුරක් ඒක අසෝක මහත්මයා. ඉතින් අපි කැමතියි අද වැඩසටහන ඉවර කරන්න කළින් ඔබේ හඬින් ඒ සුන්දර දෙහි අත්ත ගීතය සජීවිව අහන්න සහ අහගෙන ඉන්න අපේ ප්‍රේක්ශකයන්ට අවස්තාව ලබාදෙන්න” 

අසෝක මෙවන්සිරි දෙහි අත්ත ගීතය ගායනා කර අවසන් වෙනතුරුම රූපවාහිනිය දිහා බලාගෙන උන්නු කුසුමරත්න මහත්තයට ලොකුවටම උවමනාව තිබුණේ අසෝක මෙවන්සිරි වගේත් “ඉස්සර අස්සජී” වගේම ලෝකය දිහා වෙනස් විදියට, උපශාන්තව බැලූ මිනිසෙකු තමන්ගේ නමටත්, ආත්මයටත්, පන්සලටත් කැළලක් කරගනිමින් අර වගේ තීරණයක් අරගත්තේ ඇයි කියා අහන්නය. 

ඒ සඳහා අසෝක මෙවන්සිරිගේ දුරකතන අංකය හොයාගන්න ටිකක් මහන්සිවෙන්න වෙච්ච එක ඇත්ත වගේම අසෝක මෙවන්සිරි තමන් එක්ක කතාකරන්න කැමති වේද කියන ගැටලුවත් කුසුමරත්න මහත්තයාගේ හිතේ තිබුණේය. කොටින්ම දුරකතනය නාද වෙන අතරේ එහා පැත්තෙන් වාදනය වූ අසෝක මෙවන්සිරිගේ “දෙහි අත්ත” ගීතයේ තාලටට පපුව ලබ් ඩබ් ගෑවුණේ ඒ ප්‍රශ්නය හන්දාය.  එහෙත් බිය සැක දුරු කරමින් අසෝක මෙවන්සිරිගේ උපශාන්ත ස්වරය එහා පැත්තෙන් නැගෙද්දී ඒ ලබ් ඩබ් ගෑවිල්ල සාමාන්‍ය තාලයට ආයෙම හැරුණි.

“අස්සජ්… සමාවෙන්න අසෝක මහත්තයා නේද මේ?”

“ඔව් කවුද මේ කතාකරන්නෙ?” කියා අහද්දිත් කුසුමරත්න මහත්තයට මතක් වුනේ “ඉස්සර අස්සජී” හාමුදුරුවන් දුරකතනය ඇමතූ ආකාරයයි.

හඳුනාදීම්, හඳුනාගැනීම් වලින් පස්සෙ කුසුමරත්න මහත්තයා අහන්න තිබ්බ එකම ප්‍රශ්නෙ සුද්ධ සිංහලෙන් ඇහුවේය.

“ඔබතුමා ඇත්තටම ඇයි අර වගේ දෙයක් කරලා තමන්ගෙ නමට නවනිංගිරාවක් කරගත්තෙ?”

“මං කළ දේ නවනිංගිරාවක් කියල මහත්තයල කියන්නෙ මහත්තයලට පෙනිච්ච දේ ඒක හන්දනෙ. මං පන්සලේ ඉද්දි බණ කිව්වා, ධර්ම කරුණු කතා කරා. හැබැයි බණ කිව්වයින් පස්සෙ මං ආවාස ගේ අස්සෙ මගෙ කාමරේ ඇතුළට ඇවිල්ල හාමුදුරු කෙනෙක්ගෙ තියෙන්න ඕන සංවර කමෙන් මිදිල කොල්ලෙක් වගේ හෙස් ෆෝන් ගහන් සින්දු අහනවනම්, නටනවනම්, ගිටාර් ගහන ආසාවක් හිත අස්සෙ හංගගෙන ඉන්නවනම් ඒක මම මටයි, මගෙන් බණ අහන්න එන මිනිස්සුන්ටයි, මං අදහන ආගම දහමටයි  කරන නවනිංගිරාවක් නේද ඒක?

අන්න ඒක හන්දමයි මං ඔය මහත්තයල නව නිංගිරාවක් කියල කිව්ව තීරණේ ගත්තෙ. මං එළියෙන් බොරු චරිතයක් මවා පෙන්න ගෙන වෙනම චරිතයක් ඇතුළෙන් මේන්ටේන් කරගෙන ඉන්නෙ මොකටද මහත්තය? මට ඒක දරාගන්න බැරි හන්දමයි මම ඔය තීරනේ ගත්තෙ. අපේ ආගමේම කියනවනෙ මහත්තයා සචිත්ත මනුරක්ඛත කියලා. මොකද්ද ඒ කියන්නෙ තමන්ගෙ හිත රැකගන්න කියන එක. මට තිබ්බ ප්‍රශ්නෙ මම රැකගන්න ඕන අස්සජී කියන කෙනාගෙ හිතද එහෙම නැත්තම් අසෝක මෙවන්සිරිගෙ හිත ද කියන එක.

අන්න එහෙම හිතලයි මං ඔය තීරණේ ගත්තෙ. මිනිස්සු මට මොනව කිව්වත් මම දැන් ඉන්නෙ ඉස්සරට වඩා සන්තෝසෙන්. මිනිස්සු මොක කිව්වත් මගෙ හිත දැන් සුද්දයි. මට තියෙන්නෙ දෙබිඩි ජීවිතයක් නෙවෙයි කියන මානසික නිදහස මට නිවන් දකින්න උදව් නොකරට, ජීවිතේ සන්තෝසෙන් එතෙර කරගන්න උදව් වෙයි මහත්තයා”

ReplyForwardAdd reaction

More Stories

Don't Miss


Latest Articles