ආදියා මන්දරී බෙත්මගේ යළිත් කාර්යාලයේ ගිණුම් අංශය වෙත යන විට එහි සගයන් සිටියේ තම තමන්ගේ අසුන් වල සිට ම දෙව්රම් සන්දනායක ගැන උනුන් ගේ අදහස් දක්වමිනි. ඔවුන් දෙව්රම් ගේ විවාහය හා එහි බිඳ වැටීම ද ඔහු ගේ බිරිඳ සපූ ද ගැන දෙඩුවේ ළඟින් ඔවුන් ඇසුරු කොට සියලු තතු දන්නා අය පරිද්දෙනි. පිටත සිට කෙනෙකු ගේ ජීවිත දෙස බලත්දී පෙනෙනා දේවලට වඩා ඇතුළාන්තය සහමුලින් වෙනස් විය හැක. ඒ බව ආදියා දන්නේ අත්දැකීමෙනි. පසුගිය කාලය තුළ ඇගේ පවුලේ අයගේ ජීවිත ගංගා ගලා ගිය ආකාරය ගැන හිතත්දී විශ්වාස කරගත නො හැකි තරම ය. නමුත් පිටතින් බලනා කෙනෙකුට ඒ කිසිත් අදහාගත නො හැකි වන්නට පිළිවන.
“මෙයාට වැඩිය වයිෆ් ජනප්‍රිය වෙයි කියල මෙයා බය වෙලා. අභිමාන් ෆිල්ම් එකේ වගේ ඇති”
කෙනෙකු ගේ කතාවට අනිත් අය පොහොර එක් කළේ සමච්චල් සිනහවන්ගෙනි.
“ඕක විතරක් නෙවෙයි තව තව ප්‍රශ්න ඇති. මෙයාට ලෝකෙ වටේම ගෑනු ඇති. ලස්සන පිරිමිංව සත පහකට විශ්වාස කරන්න බෑ”
“එතකොට ලස්සන ගෑනුංව විශ්වාස කරන්න පුළුවන්ද මංගලා මිස්…”
වෙන මොනවා නැත ද මංගලා ගේ ඒ ගෑනු කතාව නම් ඉවසන්නට ආදියා සමත් වූවා නොවේ. ඇය අර විදිහේ ප්‍රශ්නයකින් මංගලා ගේ මූණට දමා ගැසුවේ එබැවිනි.
“මේගොල්ලො ඉතිං දෙව්රම්ගෙ පොත්තෙ රතට වහ වැටිලනෙ ඉන්නෙ”
“වහ වැටිල ඉන්නෙ අපිනෙ. මං විතරක් නෙවෙයි මේ රටේ ඉන්න ගෑනුංගෙං බාගෙකට වැඩිය මිස්ට දෙව්රම්ට හිත යටින් ආදරේ කරනව. හැබැයි ඒ ලබාගන්න අදහසකින් නෙවෙයි”
“කොහොමත් ලැබෙන්නෑ ඔයාට එයාව”
සමච්චල් සරකින් මංගලා එසේ කියත්දී කොල්ලෝ ද කෙල්ලෝ ද කිහිප දෙනෙක් ම හඬ නගා සිනහ වූහ. අපහසුතාවය මර්ධනය කරගනිමින් ආදියා තමන් වෙනුවෙන් කතා කළා ය.
“ඒකම තමයි මං ඔයාට කලින් කිව්වෙ. මිස්ටර් දෙව්රම්ට ඕන තරං ගෑනු ආදරෙයි. හැබැයි මිස්ට දෙව්රම් එහෙම නරක කෙනෙක් නෙවෙයි. අපි දිහා වුණත් බලන්නෙ කතා කරන්නෙ කොච්චර ඩීසන්ට් විදිහටද… එයා මේ රටේ මෙච්චර ජනප්‍රිය චරිතයක් වුණත් හරිම නිහතමානී විදිහට හැසිරෙන්නෙ. අතුගාන මනුස්සයට පවා කරුණාවන්තයි. මාර පොලයිට්”
“ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ කියනවනෙ”
“ඔය ඔක්කොම රඟපෑම් බං. උඹල අපි මොනාද දන්නෙ ඕව ගැන…”
තවත් වචනයක්වත් කතා නොකර සිටින්නට ආදියා සිතාගත්තා ය. නමුත් මුළු ලෝකය ම එරෙහි වූව ද දෙව්රම් ගේ පැත්තේ හිටගන්නට ඇය ට පිළිවන. එතෙක් මුණිවත රැකි මිතුරියන් ගේ විහිළු තහළු කවටකම් පටන් ගත්තේ දිවා ආහාර විවේකයේ දී ය.
“කොහොමිං කොහොමහරි ඔන්න දැන් ආදිට චාන්ස් එකක් ඇවිත් තියනව දෙව්රම් ට ට්‍රයි කරන්න. අතාරින්න එපා කෙල්ල”
“ආයෙත් අහල. එයා කසාද දහයක් කඩං ආවත් මං ඉන්නව එයාව බාරගන්න”
කෙල්ලෝ හඩ නගා සිනහ වූහ.
“ඇත්තටම දෙව්රමුයි සපූයි ඩිවෝස් වෙන්න යනව කියල ආරංචි ආවට මං හිතුවෙ නෑ අප්ප එහෙම වෙයි කියල… ඊයෙ සපූගෙ කටින්ම ඔහොම කියනකං…”
“මොනා වුණත් සපූට ඒ වගේ කතාවක් ඔය වගේ තැනක කියන්නැතුව ඉන්න තිබුණ. මොනා වුණත් අවුරුදු ගාණක් එයාගෙ හස්බන්නෙ…”
“මටනං ඔය සපූව අල්ලන්නෙම නෑ”
“එයා ලස්සනයි හැබැයි”
“දෙව්රම්ට ඊට වැඩිය ලස්සන කෙල්ලෙක්ව වුණත් බඳින්න තිබුණ ඕන්නං”
“ඩිවෝස් එකේ උණුහුම යන්නත් කලින් අපේ දෙව්ගෙ ඊළඟ වෙඩින් එකේ ෆොටෝස් ශෙයා වෙයිද දන්නෑ හෙට අනිද්දම”
“ඒව කියන්න බෑ. ඊට කලින් මොකක් හරි කරාං ආදියා”
නැවත ද සිනහවකි.
ගෝල්ඩන් ලීෆ් වෙතින් නික්මී දෙව්රම් කෙළින් ම ගියේ ගෙදර ය. ඒ වූ කලී නවීන මාදිළියේ දැවැන්ත මන්දීරයකි. විසල් කළු කැටයම් ගේට්ටුවෙන් රිය ඇතුළට ගන්නා ගමන් දෙව්රම්ගෙන් සුසුමක් ගිළිහිණ. පසුගිය වසර පහ හයක කාලය තුළ සිය ජීවිතය මත්තෙහි සිදු වූ වෙනස්කම්, එක් නිමේශයක් තුළ ඔහු ගේ මනස ඉදිරියෙහි ඇඳිණි. ඔහු මේ මන්දිරය ගොඩනැංවූයේ කෙතරම් බලාපොරොත්තු සහගතව ද? ඔහු වෙත මුදල් ගලා එන මං පෑදුණේ අදහා ගත නො හැකි පරිද්දෙනි. රජරට සාමාන්‍ය පවුලක පිරිමි දරුවෙකු ලෙස ඉපිද තරුණයෙකු ලෙස වැඩුණ ඔහු කොළඹට පැමිණියේ මෝටර් රථ අලෙවි අංගනයක රැකියාව ලබමිනි. නමුත් යොවුන් වියේ පටන් ඔහු ගේ හිත ඇදී ගිය අංශය වූයේ නිරූපණ ක්ශේත්‍රයයි. කොළඹදී ඇති කරගත් දැන හැඳිනුම්කම් කිහිපයක් මත ඔහු නිරූපණයට යන්තම් හිස පොවා ගත්තේ ය. ඒ සඳහා උපන් හැකියාවක් ද පෙනුමක් ද තිබූ දෙව්රම් ඉතා ඉක්මනින් ක්ශේත්‍රය තුළ ජනප්‍රිය වන්නට විය. ‘මිස්ටර් ශ්‍රී ලංකා’ ලෙස තේරී පත් වූ ඔහු වෙතට ලක්වැසි ජනතාවගේ අවධානය යොමු වූයේ ‘මිස්ටර් යුනිවර්ස්’ ඇතුළු ජාත්‍යන්තර මට්ටමේ නිරූපණ තරඟ වලින් ලෝකය දිනා පුංචි ලංකාවට කීර්තිය ගෙන එත්දී ය. සැබවින් කදිම පිරිමි පෞරුෂයක් ද මන බන්ධනීය සිනහවක් හා ආකර්ෂණීය නිහතමානිත්වයක් ද දරාගත් දෙව්රම් සන්දනායකට රට තුළින් සේ ම ලෝකයෙන් ද ඇති වූ ඉල්ලුම ඉතා විශ්මිත වූවකි. ප්‍රධාන පෙළේ සමාගම් ඔහු ට සිය ආයතන වල ඉහළ පුටුවක් පිරිනැමීමට පොරකෑවේ ය. අලුතෙන් නිර්මාණය වීමට නියමිත චිත්‍රපට හා ටෙලිනාට්‍ය වල ප්‍රධාන චරිත ඔහු වෙනුවෙන් පෝළිම් ගැසිණි. දෙව්රම් ගේ දවසේ පැය විසි හතර අධ්යක්ෂවරුන් වෙනුවෙන් කෑලි වලට කඩා වෙන් කොට දුන්න ද වැඩ නිම කරගත නො හැකි තරම් විණි. ඔහු ගේ බැංකු ගිණුම් වල ශේෂයන් බලා සිටියදී ඉහළ ගියේ ය. තත්පරයක් පවා මිල කළ හැකි බැව් ඔහු ප්රත්යක්ෂ ලෙස තහවුරු කරගනිමින් සිටියේ ය.
බැංකු ගිණුම් වල පිරෙනා මුදල් වලින් ඔහු විශේෂ සැලැස්මක් මත නිවසක් ඉදි කරන්නට පටන් ගත්තේ ය. මිලාධිකම මෝටර් රථයක් ඔහු ගේ නමින් වෙන් විය. ඔහු තමන්ගේ සමාගමට ගන්නට තරඟ කළ අය අතුරින් අවසන දෙව්රම් ‘ගෝල්ඩන් ලිව්ස්’ තෝරාගත්තේ ය. ඔවුන් ගේ තේ නාමය ලෝකයෙහි ප්‍රචලිත කරනා සන්නාම තානාපති තනතුර දෙව්රම් වෙනුවෙන් වෙන් විය. ඒ වෙනුවෙන් ඔහු සියල් වරප්‍රසාද ලැබුවේ ය.
ඔහු ගේ ම දහදිය මහන්සිය මත ඉපයූ මුදලින් ගොඩනැගූ මන්දිරය ඇතුළේ දී දෙව්රම් ට දැනුණේ දරාගත නො හැකි හුදෙකලාවකි. සපූ ඔහු ගෙන් වෙන් වී මේ ගෙදරින් නික්ම ගොස් දැන් ටික කාලයක් ගත වී තිබේ. නමුත් ඒ මුළු කාලය පුරා නො දැනුණ ආකාරයේ නො සන්සුන් බවක් අද වේ. ඒ අර වීඩියෝ කොටස නැරඹීම නිසා හිතේ ඇති වූ දෙදරීමක් කියා සිතිය නො හැකි ද?
මිලාධික ම මී විත බෝතලයක් ද වීදුරුවක් ද ගෙන කෑම මේසය අසලින් වාඩි වූ දෙව්රම්, ලැප්ටොප් පරිගණකය විවර කර ගත්තේ ය. බලන බලනා අත සපූ ගේ සම්මාන රාත්‍රියෙහි වීඩියෝව සංසරණය වේ. ඔහු ඒ හැම තැනෙක නතර වී ඇදෙස බලාගෙන ම සිටියේ ය. සම්මාන උළෙල පැවැත්වුණේ ඊයේ ය. නමුත් සපූ ගේ දික්කසාදය ගැන පුවත මාධ්‍ය වෙත නිදහස් වීමත් සමග ඇගේ සම්මුඛ සාකච්ඡා කිහිපයක් යූ ටියුබ් නාලිකා විසින් ආප්ප බානවා සේ නිකුත් කොට තිබේ. යූ ටියුබ් කරුවන්ට තලු මරන්නට ඕනෑ වී තිබෙන්නේ දෙව්රම් සපූ ට ඊර්ෂ්‍යා කළා කියන කාරණය ගැන යි. සපූ ද ඊට ලුණු ඇඹුල් ඇතිව අඩු වැඩිය එකතු කොට තිබේ.
“මං හිතන්නෙ විවාහයක් කියන්නෙ කිසිම ගෑනු ළමයෙක්ට හිර ගෙයක් වෙන්න නරකයි. ගෑනුන්ටත් ජීවිතයක් තියනව. අපි කසාද බැන්ද කියල අපේ අත්තටු කපන්න දෙන්න ඕන නෑ. අත්තටු අකුලගෙන කූඩුවෙ වැටිල ඉන්න ඕනත් නෑ. මගෙ විවාහය මගෙ සීමාවල් අඩු කරපු නිසා තමයි මං ඒකෙන් එළියට ආවෙ. ඇත්තටම මං ඒ කසාදෙ ඇතුළෙ හිර වුණේ නැත්තං අද වෙනකොට මීට වැඩිය ගොඩක් ඉස්සරහට ගිහිං තියෙන්න තිබුණ. කමක් නෑ. දැන් පටන් ගත්තත් ඇති කියල හිතමු”
ඇය සිනහ වූයේ හුරතලේට ය. ඒ සිනහවට, ඒ කතාව නරඹන ඕනෑ ම කෙනෙකු ඈ නිදොස් කොට නිදහස් කරනු ඇත. දෙව්රම් සන්දනායක වරදකරුවා ලෙස නඩු නො විමසා ම සදහට දඟ ගෙයට නියම කරනු ඇත. නමුත් සපූ ඒ සිනහව පිටුපස කෙතරම් ලොකු කතාවක් සඟවා ගත්තා ද? ඇත්ත හංගාගෙන ව්‍යාජය පෙන්වා සිටින්නට තරම් ඇය කපටි කෛරාටික ගැහැනියක වූයේ කෙසේ ද?
දෙව්රම් සන්දනායක මීවිත වීදුරුව එක හුස්මට හිස් කළේ ය. ඔහු ගේ හිත් පත්ලෙහි රොන්මඩ වාගේ තැන්පත් වී තිබි මතක තට්ටුව කැළතී ආත්මය බොර පැහැ ගැන්වෙමින් තිබේ. බරපතල ආත්මානුකම්පාවක් ඔහු පාරයි. දෙව්රම් සන්දනායක යනු සමාජයට සැලකිය යුතු තරම් ලොකු මිනිහෙකි. නමුත් ඔහු ජීවිතය පටන් ගත්තේ පොඩි තැනකිනි. ඔහු උපන්නේ සාමාන්‍ය මව් පිය යුවළකට දාව අනුරාධපුරයේ ය. ඔහු ගේ පියා ග්‍රාම නිලධාරීවරයෙකි. අම්මා ගුරුවරියකි. අඩුපාඩු නොමැති සරල ජීවිතයක් කුඩා කල පටන් ඔහු ට හිමිව තිබිණ. සාලිය සන්දනායක ග්‍රාම නිලධාරීවරයාව හෝ නාලිනී එගොඩගේ සිංහල ගුරුවරියව නමින් දන්නේ ගමේ සීමිත පිරිසක් පමණකි. නමුත් දෙව්රම් සන්දනායක යන නම නො දන්නා කෙනෙකු ලංකාව තුළ සිටිතැයි සිතිය නො හැකි තරම් ය. ඔහු ට තිබෙන්නේ මේ දූපතෙන් පිටතට ද විහිද ගියා වූ නමකි. රුවකි. පරිස්සමෙන් ඔහු විසින් ගොඩනංවා ගන්නා ලද ඒ නම මත, එක ම එක ගැහැනියක විසින් පැල්ලම් ගල්වා තිබේ. ඒ ගැහැනිය වූ කලී වෙන කිසිවෙකු නොවේ. ඔහු විසින් අතින් අල්වාගෙන ඔහු පසෙකින් ඔහු ගේ පාරෙහි ගෙන ආ සපුමලී කන්නංගරයි.
මේසය මත වූ ජංගම දුරකතනය හැඬවෙන්නට ගති. දෙව්රම් වහා ඊට පිළිතුරු දුන්නේ ය.
“මචං සංකේත්”
“ගේට් එක ඇරහං මං ගේ ළඟ”
මී විත වීදුරුව අතින් ගෙන ම දෙව්රම් නැගී සිටියේ ය. ආලින්දය මැද තෙක් ඇවිද විත් දුරස්ථ පාලකයෙන් විසල් කැටයම් ගේට්ටුව විවර කළේ ය. සංකේත් ගේ ජීප් රිය වත්තට ඇතුළු විය.
“මේකිව උල තියන්න වටිනව බං”
සංකේත් ගෙට ගොඩ වූයේ එසේ කියමිනි. ඒ වචන පෙළ අවසානයේ සුසුමක දුර ද විය. ඒ කියන්නේ යූ ටියුබ් නාලිකාවට සපූ විසින් දී තිබෙන සම්මුඛ සාකච්ඡාව ද සංකේත් විසින් නරඹා ඇති බව යයි දෙව්රම් ට අනුමාන කළ හැකි විය.
“ඒ ගමන උඹ ඉස්සල්ලම කරන්න ගත්තෙ බොන එකද… පිස්සෙක් වෙන්නනං හදන්නෙපා දෙව්…”
“මං හිතුවට වඩා මට රිදෙනව සංකේත්”
දෙව්රම් ගේ ඇස් වලට කඳුළක් පුරා විත් තෙතට දිළිසිණි.
“ඔය වගේ මගුලියෙක් නිසා රිද්දගන්නනං ඕන්නෑ මචං. මට බය මේකිගෙ හැකර කට උඹේ ඉමේජ් එකට ඩැමේජ් කරයි කියලයි”
දෙව්රම් සිය අතිජාත මිතුරාව ගෙතුළට කැඳවාගෙන ගියේ ය. වීදුරුවක් ඇතිරූ ‘ඇන්ටික්’ කාණ්ඩයට අයත් කැටයම් වලින් ගහන තේක්ක මේසයේ, සිංහ කැටයම් සහිත පුටුවක් ඇද සංකේත් දෙව්රම් ඉදිරියේ අසුන්ගත වූයේ ය. ඔහු ඉදිරියෙහි වීදුරුවක් තැබුණු අතර, අලංකාර හැඩයකින් නිමැවුණු, රන්වන් මී විත පිරි බෝතලය ඔහු ඉදිරියට තල්ලු විය.