ඉක්මණින් හදාගන්න පුළුවන් රසම රස ඇපල් පෑන් කේක්

අද අපි ඔබට කියල දෙන්න යන්නෙ හරිම ඉක්මණින් පිළියෙල කරගන්න පුළුවන් රසම රස උදෑසන ආහාරයක් හදාගන්නෙ කොහොමද කියලයි.

කාර්‍යාලයට යන්න කඩිමුඩියෙ ලකලෑස්ති වෙන ඔබට වගේම ඔබේ පොඩිත්තාටත් රස කර කර කන්න පුළුවන් බඩ වගේම හිතත් පිරෙන මේ උදෑසන ආහාරය තමයි ඇපල් පෑන් කේක්. 

එහෙනම් අපි මුලින්ම බලමු අපිට මේ සඳහා අවශ්‍ය කරන කළමණා මොනවද කියල.

අවශ්‍ය ද්‍රව්‍ය 

ඇපල් ගෙඩියක් 

බිත්තර 01 ක් 

සීනි මේස හැඳි 02 ක් 

තෙල් මේස හැඳි 02 ක් 

යෝගට් කෝප්ප ½ ක් 

කිරි කෝප්ප ½ ක් 

බේකින් පවුඩර් තේ හැඳි 01 ක් 

පාන් පිටි කෝප්ප 01 ක් 

එහෙනම් අපි බලමු කොහොමද මේ දේවල් එකතු කරල ඇපල් පෑන් කේක් හදාගන්නෙ කොහොමද කියල? 

සාදාගන්නා ආකාරය

මුලින්ම, භාජනයක් ගෙන එයට බිත්තරය සහ සීනි එකතු කර සීනි හොඳින් දියවෙන තෙක් විස්ක් එකකින් හෝ හැන්දකින් හොඳින් කලවම් කරගන්න. 

ඊළඟට, ඒ බිත්තර මිශ්‍රණයට තෙල්, යෝගට් සහ කිරි එකතු කර මෘදු මිශ්‍රණයක් ලැබෙන සේ හොඳින් කලවම් කරගන්න.

ඊළඟට, පිටි දමා ඇති භාජනයටම බේකින් පවුඩර් ටික දමා දෙවරක් පමණ හලා ගන්න.

හලාගත් පිටි මිශ්‍රණය බිත්තර මිශ්‍රණයට එකතු කර හැන්ඳකින් මිශ්‍රකර ගන්න. 

ඕනෑවට වඩා කලවම් කරන්න එපා.

දැන් ඇපල් ගෙඩිය හොඳින් සෝදා පොතු ඉවත්කර ග්‍රේට් කරගන්න. 

ග්‍රේට් කරගත් ඇපල් ටික පිටි මිශ්‍රණයට එකතු කර නැවත යන්තමට කලවම් කරගන්න.

දැන් පෑන් එකක් ලිපතබා එයට තෙල් ස්වල්පයක් දමා තෙල් ටික රත්වන විට මිශ්‍රණයෙන් ස්වල්පයක් බැගින් දාගන්න.

විනාඩි 02 ක් පමණ එක් පැත්තක් පිසගෙන උඩ පැත්තේ බුබුළු මතුවන විට ප්‍රවේශමෙන් අනෙක් පස හරවා ඒ පැත්තත් නැවත විනාඩි 02 ක් පමණ පිසගන්න.

මෙසේ එක් පැත්තක් රන්වන් පාට වනතුරු පිසගන්න ඕන.

මේ විදිහටම ඉතිරි බැටර් එකෙනුත් පෑන් කේක් හදාගන්න ඔබට පුළුවන්. අවශ්‍ය වන විට පෑන් තැටියට තෙල් ටිකක් ආලේප කරගන්න අමතක කරන්නත් එපා.

ඔන්න දැන් ජෑම්, කුඩු කරගත් සීනි, ස්ට්‍රෝබෙරි හෝ චොකලට් ටොපින්, පැණි, බටර් වගේ ඔබ කැමති ඕනෑම දෙයක් එක්ක කන්න රසම රස ඇපල් පෑන් කේක් රසවිඳින්නයි තියන්නෙ.

සටහන – දුලානි නවෝද්‍යා

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles