වියෝ ගී ගැයෙනා හදේ – 2

0
1727

“හැමදේම මම තනියෙන් කරගන්න නම් මම මොකටද චිරත් ඔයාව කසාද බැඳගත්තෙ? අපරාදෙනෙ? මම තනියෙන් ඉඳියනම් කොහොමත් හැමදේම තනියෙමනෙ කරගන්න වෙන්නෙ” කියා කියන ගමන්ම මේධාවිණී ෆ්‍රයිඩ් රයිස් එකට දාන්න කැරට් ගෙඩිය කපාගෙන කපාගෙන ගියේ චිරත් එක්ක තියෙන තරහා කැරට් ගෙඩියෙන් පිටකරන්න මෙනි. චිරත් උන්නේ කුස්සියේ මේසය අද්දරට වී පෙත්මලීගේ කෑම පෙට්ටිය සෝදා පිසදා, වතුර බෝතලයට වතුර පුරවා රැගෙන යන්න සකස් කරමිනි.

වෙනදා මේ වෙලාව වෙද්දිත් තමන් පෙත්මලීව තුරුලු කරගෙන ඇඳේ නිදාගෙන ඉන්න බව දන්නවා වුණත්, ඊයේ කොච්චර රෑ වෙලා ආවත් අද උදේම ඇහැරී මේධාවිණීට උදව් කරන බව චිරත් හිතුවේ තමන් ගෙදර එද්දිත් නින්ද ගිහින් උන්නු මේධාවිණීගේ කම්මුල් වල තිබිච්ච වේලුණු කඳුලු පාරවල් ටික දැකය.

“මං කියන්නෙ නෑ බබා මං හරි කියලා. මං දන්නවා මම මෙහෙම ඔයාට ගෙදර හැමදේම තනියම කරගන්න කියලා මම ඔෆිස් එකේ වැඩයි බිස්නස් එකේ වැඩයි බැලන්ස් කරන එක වැරදියි කියලා. ඒත් ඔයත් පොඩ්ඩක් තේරුම් ගන්නකො.මම මේ හැමදේම කරන්නෙ ඔයා වෙනුවෙන් නෙ. මම කැම්පස් කාලෙම ඔයාට කිව්වනෙ මම කවදහරි ඔයාලගෙ තාත්තා වගේම මගේම දෙයක් පටන් අරගෙන අම්මල ඔයාව තිබ්බටත් වඩා සැපෙනුයි සතුටෙනුයි තියනව කියල. මම දැන් මහන්සි වෙන්නෙ ඒ පොරොන්දුව ඉස්ට කරන්න. මේ දවස් ටික විතරයි සුදූ ඔයාට ඔහොම හැමදේම තනියෙන් කරගන්න වෙන්නෙ. ඔක්කොම හරි ගියාට පස්සෙ අපිට යාලුවෙච්ච මුල් කාලෙ වගේ ආදරේන් ඉන්න පුලුවන්”

කියා චිරත් ඇවිත් තමන්ගේ පිටිපස්සෙන් හිටගෙන ඉණ වටේ අත් දෙක යවා බෙල්ල මුලින් මූණ තියාගෙන හීන් සැරේ බෙල්ල සිප ගත්තත් මේධාවිණී උන්නේ සම්පූර්ණයෙන්ම හිතේ වූ තරහ හිතෙන් පිටමං කරන්න පුලුවන් තැනක නොවේ.

“අනේ ‍චිරත් මේ ඔයා දැන් කොච්චර කාලෙක ඉඳලද ඔය තව ටික කාලයයි තව ටික කාලයයි කියන්නෙ. දැන් කොච්චර නම් කල් ගියාද? අඩුම ගානෙ ඔයාටවත් මතකද ඔයා අන්තිමට මාත් එක්ක මේ ගෙදර කෑම මේසෙට වාඩිවෙලා රෑට කෑම කටක් කාපු දවසක්.

තව ටික දවසයි…. තව ටික දවසකින් ඔයාට එන්න වෙන්නෙ මමවත් දරුවවත් නැති පාලු ගෙදරකට කියලා ඔයා හොඳට මතක තියාගන්න.

 තව ටික දවසක් ගිහින් මේ මල කරුමෙ එපාවෙච්ච දවසක ඇත්තමයි චිරත් මම ආපහු ගෙදර යනවා නොඑන්නම. අපේ අම්මිලා කියන කතාව ඇත්ත. මම පුදුම ගොං කමක් තමයි මේ කසාදයක් කරගෙන කරගත්තෙ” කියමින් රත් වෙමින් තිබූ තෙල් තාච්චියට චාස් ගාන සද්දෙට කැපූ ලූණු කැබලි ටික දැම්ම මේධාවිණී කුස්සියෙන් එලියට ඇවිදගෙන ගියේ කඳුලු පිසදමමින් ය.

 මේධාවිණී ඔය යන්නේ බාතෘම් එකට ගොස් කඳුලු පිසදා ගන්න බව දන්න හන්දාත් ඇයට ආපහු එන්නට විනාඩි කිහිපයක් යන බව දන්න හන්දාත් ලූණු ටිකට කරවෙන්නට නොදී චිරත් ඒකට කැපූ කැරට් සහ බොංචි තීරු ටික එක්කහු කර හැන්දෙන් එහාට මෙහාට කරේය. අනතුරුව ගම්මිරිස් ටිකක් ඒකට එක්කර එලවලු මැද්දෙන් පොඩි හිඩසක් හදා ඒකට මේධාවිණී විසින් ඒ වනවිටත්වෙන භාජනයකට කඩා දමා හැන්දෙන් බීට් කර තිබූ බිත්තර සාරුව එක්කහු කලේය. මේධාවිණී ආයෙ කුස්සියට ඇවිත් තමන් අත තිබූ හැන්ද උදුරා ගනිද්දි වුණත් හිත රිදෙන මුකුත් කිව්වේත් ඇඟෙව්වෙත් චිරත් නොවේ.

එදා පෙත්මලීව සූදානම් කරගෙන ස්කූල් වෑන් එක එනතුරු බලා හිඳ, පෙත්මලී එක්කම වෑන් රියේ නැගී කාර්‍යාලය බලා යද්දි වුණත් මේධාවිණී වෙනදා වගේ සුපුරුදු හිනාව චිරත් වෙත හෙලුවේ නැත. මේධාවිණීට එදා ඔෆිස් එකට ගිහිල්ලත් කල්පනා කරන්න බොහෝ දේ තිබුණාය. 

“මොකෝ අද මූඩ් ගහලා?” කියාගෙන ඔෆිස් එකේ යාලුවා වෙච්ච ආලෝකා ආවේ හීනි හිනාවක් එක්කය. 

“මොනවට මූඩ් ගහන්නද අනේ මේ උදේ පාන්දර?” කියා කිව්වට ඊළඟ වචන ටික එක්ක තමන්ගෙ හිතේ තියෙන කරදර ඔක්කොම තමන්ගෙ කටෙන් ආලෝකාගෙ කණට යන විත්තිය මේධාවිණී නොදන්නවා නොවේ.

ගෙදරටම වී ගත කල ජීවිතයේ ඇත්තටම යාලුවන් කියා එහෙමකට කෙනෙක් ලඟින් ඇසුරු කලේ නැති තමන්ට හිතේ තියන දුකක් කරදරයක් බය නැතුව කියන්න වගේම හිතේ කහටක් නැතුව පරිස්සම් කරතබන්න පුලුවන් මිතුරුදමේ හැඟීමක් දැනුනේ ආලෝකා ළඟදී පමණකි. කවදාවත් තමන්ට ජීවිතයේදි හම්බ වුනේ නැති සහෝදරකමේ අඩුපාඩුව පිරුණේ ආලෝකා ළඟදී පමණකි. 

“කටෙන් එලියට මොන වචනෙ පැන්නත් ඉතින් මූණ දැක්කම හිතේ තියන අවුල නොතේරෙන්න නම් මම උඹව අඳුරන්නෙ නැතිවෙන්න ඕන මේධා. මොකෝ චිරත් එක්ක රණ්ඩුවක් ද එහෙම නැත්තම් අම්ම ආයෙ මොකක් හරි විශ බීජයක් ඔලුවට දැම්මද?” කියා ආලෝකා අහන්නේ තමන් ගැනත් චිරත් ගැනත් අම්මා ගැනත් හොඳටම දන්න නිසා බව මේධාවිණී නොදන්නවා නොවේ. හිතේ ඇති එකම සහනය හිතටත් ඔලුවටත් කරදර අරගෙන එන ඕනම දෙයක් අඬා දොඩා හෝ ආලෝකා ළඟ දී එළියට අරගෙන හිතේ බරෙන් නිදහස් වෙන්න පුලුවන්කම පමණකි. 

“අනේ මන්දා බං මට ඇත්තටම තේරෙන්නෙ නෑ මෙතනදි හරි මම ද චිරත් ද අපේ අම්මද කියලා. උඹ දන්නවනෙ අපේ අම්මි කැම්පස් කාලෙ මම චිරත් එක්ක යාලුයි කියල දැනගත්ත මුල් කාලෙ ඉඳලම අපේ අෆෙයාර් එකට කැමති උනේ නෑනෙ චිරත්ලට අපිට වගේ සල්ලි නෑනෙ කියලා. මැරේජ් එක කරන්නම දෙන්න බෑ කියල මම රණ්ඩු වෙලා අඬලා දොඩලනෙ ඕක කරගත්තෙ.

ඒ කාලෙ මං හිතුවෙ අපේ අම්මිලට පිස්සු, එයාලට අපිවවත් අඔඒ ජෙනරේශන් එකේ දේවල්වත් තේරෙන්නෙ නෑ කියල. ඒත් මට දැන් සමහරවෙලාවට හිතෙනවා ආලෝකා ඇත්තටම අපේ අම්මි ඒ කාලෙ කිව්ව දේවල් ඇත්ත කියල. අම්මි කියන දේ ඇහුවනම් මට සමහරවිට අද මෙහෙම දුක් විඳින්න වෙන්නෙ නෑ කියල” කියා ආලෝකා දිහා බලද්දී මේධාවිණී දුටුවේ ආලෝකාගේ දෙතොල කෙලවරක රැඳී තිබුණ සමච්චල් සහගත හිනාවය.

“මොකද්ද කියපංකො ඉස්සෙල්ලා උඹ ඔය කියන දුක? චිරත් වගේ ඇත්තටම හොඳයි කියන්න පුලුවන්, වෙන ගෑණු එක්ක මුකුලු කරන්න යන්නෙ නැති මිනිහෙක්ව කසාද බැඳගන්න ලැබිච්ච එකද? ඒකා උදේ හවා මහන්සිවෙලා උඹටයි දරුවටයි දෙන්න පුලුවන් හොඳම දේ දෙන්න මහන්සිවෙන එකද? මට ඉස්සෙල්ලා ඒක කියපංකො”

“මොකද්ද උඹ කියන්නෙ හදන්නෙ කියන එක මට තේරෙන්නෙ නෑ”

“උඹට තේරේවි උඹේ ඔය අම්මා ඔලුවට දාන්න හදන විශබීජ හන්දා මොකක් හරි විනාසයක් කරගෙන චිරත්ව නැතිකරගත්ත දවසට. මං ආයෙ නම් මේක කියන්නෙ නෑ මේධා. හැබැයි මෙන්න මේක හොඳට මතක තියාගන්න. ඒ උඹේ අම්මා බව ඇත්ත.

හැබැයි තමන්ගෙ අම්මා තාත්තා වුණත් තමන්ගෙ කසාදෙ ඇතුලෙ ප්‍රශ්න වලට ඉන්වෝල්ව්කරගන්න ඕන ප්‍රමාණයක් තියන බව අමතක කරන්න එපා. ඕනවට වඩා තමන්ගෙ පවුල් ජීවිතේ ඇතුලට අම්මල තාත්තලව රිංග ගන්න එකෙන් අන්තිමේ හැමදේම නැතිකරගෙන කවදහරි දුක් විඳින්න වෙන්නෙ තමන්ට බව අමතක කරන්න එපා. අම්මා ඔයාට ආදරේ බව ඇත්ත මේධා.

 හැබැයි ඔය චිරත් එක්ක වෙන පොඩි පොඩි ප්‍රශ්න වලට චිරත්ටයි ඔයාලා දෙන්නගෙ මැරේජ් එකටයි කොහොමත් අකමැති ඔයාලගෙ අම්මගෙන් උපදෙස් ගන්න ගිහින් මුලු ජීවිත කාලෙම විඳවවිඳව ඉන්න වෙන කරදරේක වැටෙන්න ලොකු ඉඩක් තියෙනවා කියන එක අමතක කරන්න එපා” කියා ආලෝකා කියද්දී පවා මේධාවිණී උන්නේ හිත ඇතුලේ එක පැත්තකින් අම්මාවත් අනෙක් පැත්තෙන් චිරත්වත් තබා කිරා බලමිනි. වෙච්ච දේවල් එකින් එක මතක් වෙද්දි විටෙක චිරත් ගේ පැත්තත් තවත් වෙලාවක අම්මා ඉන්න පැත්තත් බර වැඩිවෙද්දී මේධාවිණීට දැනුනේ ඔලුව රිදෙනවා කියන එක පමණකි.

“ඇත්තටම මම ඉන්නෙ කරන්න ඕන මොකද්ද කියල හිතාගන්න බැරුව ආලෝක.. මට චිරත්ව නැතිකරගන්න උවමනාවක් නෑ. ඒත් මට අනික් පැත්තට අම්මා කියන දේ බොරුවක් කියල හිතන්නත් බෑ. ඉස්සර මම අම්මා චිරත්ට මොනව හරි කියද්දි රණ්ඩු කරගෙන ගියාට දැන් මට එහෙම කරන්න හිතෙන්නෙ නෑ. ඔය කිසි කතාවක් අපිට අහගන්න වෙන්නෙ නෑනෙ බං චිරත් අපේ අම්මිල කියනවා වගේ තාත්තිගෙ බිස්නස් වලට ජොයින් උනා නම්. එහෙනම් අපිට මීට වඩා ඇත්තටම සන්තෝසෙන් එන්ජෝයි කරන්න තිබ්බා ලයිෆ් එක”

“ඒක ඔයාලගෙ පවුලෙ බිස්නස් එක නිසා චිරත් එක්ක භාරගත්තා නම් ඔයාට ජීවිතේ එන්ජෝයි කරන්න පුලුවන් කියලා හිතුවට චිරත් කියන්නෙ පිරිමියෙක්. නිකන් ඉඳලා කාලා බීලා පුරුදු වෙච්ච පිරිමියෙක් නෙවෙයි පොඩි කාලෙ ඉඳල දුක් විඳලා මහන්සිවෙලා ඒලෙවල් ඉවරවෙලා කැම්පස් සිලෙක්ට් වෙලා එනකනුයි ආවයින් පස්සෙයිත් ටියුශන් පංති කරලා සල්ලි හම්බ කරලා දුක් මහන්සියෙන් ගොඩයන්න ප්ලෑනක් ගහපු පිරිමියෙක්.

එහෙම පිරිමියෙක් කිසිම දවසක තමන්ගෙ ගෑණිගෙ පැත්තෙන් උනත් නිකන්ම අතට ගෙනත් දෙන දෙයක් කටේ දාගනෙ ආතල් එකේ ඉන්න හිතන්නෙ නෑ මේධා.මං මේක කලිනුත් කියලා තියෙනවා. මං හිතුවෙ අදටත් හිතන්නෙ උඹ චිරත්ව කසාද බැන්දෙ ඒක දැනගෙන කියල. එහෙම නැතුව අම්මල කියන දේ අහගෙන තාත්තලගෙ බිස්නස් බලාගෙන ඉන්න පියරු බබෙක්ව බැඳගන්න උඹට ඉඩ ඕන තරම් තිබ්බනෙනේද?

එහෙම එකේ දැන් ආයෙ ආපස්සට හිතන්න ගිහින් හැමදේම නැතිකරගන්න යන්න එපා. මොක උනත් දරුවා ගැනත් හිතපං. අනික ඔය නිකන් ෆේස්බුක් එකේ උඩ පහල යන වෙලාවක ලේඩීස් ගෘප් වල පවුලෙ උන්ගෙ මැදිහත් වීම් හින්දා ජීවත්වෙන්න හොඳම මිනිස්සුන්ව නැති කරගෙන දුක් විඳ විඳ ඉන්න ගෑණු ඇනොනිමස් ඇවිල්ලා දාපු පෝස්ට් අහු උනොත් කියවපං. අඩුම මං කියන හන්දා නෙවෙයි ඔය වැටෙන්න යන වලේ වැටිච්ච ගෑණු කියන ඒව ඇහුවමවත් මොලේ පෑදෙන්නෙ නැතෑ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here