නිල් පාට ගෑණි

“හිමි ගමනක් ගොසින් – ගෙට ආ කලට සතොසින්
නොඇණවා දාසින් – නුඹම පය සෝදවන් වෙසෙසින්
හිමි උවද උරණා – නොකිය‍ා තෙපුල් දරුණා
වඩව සිත කරුණා- වැළිත් නොසිතව දෙතැන සරණා”

කාව්‍යශේඛරයේ ඔය කවිය ඇහෙද්දී ඉස්කෝලේ උන්නු හැම කෙල්ලකටම කොල්ලෙක්ටම පාහේ මතක් වුණේ එකම එක ගෑණියෙකි.

ඒ නිල් පාට ගෑණිය.

නිල් පාට ගෑණිගේ නම සුචරිතා බවත් ඇය තමන් ජීවත්වෙන ගම්මානයට ආවේ මීට අවුරුදු ගාණකට කලින් කසාද බැඳගෙන බවත්, එද්දි ඇය උන්නේ අනිත් උන් වගේම තලෙලු පාට හමකින් බවත් ඇය නිල් පාට ගෑණියෙක් වුණේ කසාදෙන් පස්සෙ බවත් ගමේ උන්නු කෙල්ලන් කොල්ලන් දැනගත්තේ නිල් පාට ගෑණිගේ වයසෙ උන්න තමන්ගෙ අම්මලාගේ කටෙන් පිටවෙච්ච වචන ඔස්සේය.

“ගෑණියෙක් වුණානම් නිල් පාට ගෑණි වගේ වෙන්න ඕන”

“නිල් පාට ගෑණි වගේ ගෑණියෙක් ලැබෙන්න පුදුම පිං කාරයෙක් වෙන්න ඕන. මනුස්සය කියන වචනෙට පිටින් යන්නෙ නෑනෙ”

“මම නම් කවදහරි කසාද බඳින්නෙ නිල් පාට ගෑණි වගේ එක්කෙනෙක්. බලපංකො ගෙදර එක කුණු බිංදුවක් නෑ. උයන පිහන ඒව වුණත් නිල් පාට ගෑණි කඩෙන් අරගන්නෙ තුනපහ මස් මාලු ටික විතරනෙ. කරපිංචා කොලේ ඉඳල කැරට් අලේ වෙනකම් නිල් පාට ගෑණි ගෙදරම වවනවා. අන්න ගෑණු”

නිල් පාට ගෑණි ගැන කතා කරන හැම වෙලාවකම පිරිමින්ගේ කටෙන් ඒ වදන් පේළිය අවසන් වුනේ “අන්න ගෑණු” කියන කතාවත් එක්කය. නිල් පාට ගෑණි එක්ක වැඩි බජනෙකට යන්න බැරිවෙච්ච ගමේ උන්නු අනිත් කාන්තාවන් නිල් පාට ගෑණි දිහා බැලුවේ වෙනම විදියකටය.

“ඒකි මේ ඔලුව උස්සල බලලා, හිනාවෙලා කතා කරන්නෙ නෑ. පුදුම ලොකු කමකින් ඉන්නෙ”

“ලස්සන හන්දා වෙන්නැති. උප්පලවණ්නා තෙරණිය වගේනෙ ඉතින් නිල් පාට ගෑණු හැම තැනම නෑනෙ. පෙර ආත්මවල පිං කරාම තමයි ඔය වගේ රූප සම්පත්තිය හම්බුවෙන්නෙ”

“උත්පලවණ්ණා තෙරණියට නම දාලා තියෙන්නෙත් ඒ හමේ තිබ්බ නිල් පාට හන්දලුනෙ. අපරාදෙ මේ ගෑණිටත් අර සුචරිතා කියල නම දාන්නෙ නැතුව උත්පලවන්නා කියල නම දාන්න ඒකිගෙ මව් දෙමව්පියන්ට අමතක වුණේ ඇයි කියලා”

ගමේ ගෑණු නිල් පාට ගෑණි ගැන කඩපිලේදිත්, දරුවන්ව පාසලෙන් පෙර පාසලෙන් ගන්න ආ වෙලාවටත් කතා කරන්න අමතක කරේ නැත.තමන් ගැන ගමේ මිනිස්සු මේ වගේ කතන්දර කියන බව නිල් පාට ගෑණි දැනගෙන හිටියෙ නැත්තේ නිල් පාට ගෑණි හෙවත් සුචරිතා කවදාවත් කඩපිලටවත්, දරුවන්ව ගන්න පාසලටවත් ගියේ නැති හන්දාය.

ඒ සියලුම තැන්වලට ගියේ සුචරිතා හෙවත් නිල් පාට ගෑණිගේ ආදරබර ස්වාමි පුරුශයා වෙච්ච, ටවුමේ කන්තෝරුවක රස්සාව කල මාකලන්දය.මාකලන්ද කොච්චර සුචරිතා හෙවත් නිල් පාට ගෑණිට ආදරේ කරාද කිව්වොතින් මාකලන්ද තමන්ගේ බිරිඳ එක්ක ගෙයින් එළියට පහළියට ගිය ඉතාම දුර්ලභ අවස්තාවන් වලදී පවා පාරේ ගියේත්, බස් එකක, කෝච්චියක, ත්‍රී රෝද රියක ගියා වුණත් ගියේත් නිල් පාට ගෑණිගේ එක් අතකින් අල්ලාගෙනය. ඒ හදිසියේවත් මේ සුන්දර උත්පලවණ්ණාව තමන්ට අහිමි වී යතැයි හෝ ඇය මේ දුර්ජන ජන සමාජයේ නොමිනිසුන් අස්සේ අතරමං වී කෙලෙසී යතැයි යන බයකින් වගේය. ඒ දසුන දුටු හැමෝටම මාකලන්දගේ හිත අස්සේ වූ ඒ බිය දකින්නේ නැතුව ඉන්න පුලුවන්කමක් තිබුණේ නැත.

“පුදුම ආදරයක් අප්පා ඒ මිනිහගෙ හිතේ නිල් පාට ගෑණි ගැන තියෙන්නෙ. මං කවදාකවත් දැකලා නෑ මාකලන්ද නිල් පාට ගෑණිගෙ අත අතෑරල තියෙනවා”

“ඒ ආදරේ හින්දා වෙන්නැති ගෑණි ඔක්කොම දේවල් කරලා දෙන්නෙ. මාකලන්ද කරයා ඔෆිස් එකට දවල්ට කන්න ගේන බත් එක දානෙ බත් එකක් වගේ කියලා මට කිව්වේ මිනිහගෙ ඔෆිස් එකෙ පියන් වෙච්ච සුමනෙ. දවසක් මාකලන්ද කාරයට මොකද්ද හදිසි වැඩකට ඔෆිස් එකෙන් එලියට යන්න වෙච්ච වෙලාවක බත් එක දීලා ගිහින් තියෙන්නෙ සුමනෙට. කාලා පස්සෙන්දත් අත සුවඳයි කියල කියන ගමනුත් සුමනයා අත ඉම්බා”

“එච්චර ආදරයක් දෙන රත්තරං වටින මිනිහෙක් හම්බෙලත් මේ ගෑණිගෙ මූණෙ අම්මපා හිනා කලඳක් නෑනෙ. මහ මුස්පේන්තු පාටයි. මොන රෙද්දකටද මන්දා ඒ මිනිහා මේ වගෙ මූසල පාට ගෑණියෙක්ව බැඳගත්තෙ. බාගදා නිල් පාටට ලස්සනට උත්පලවණ්ණා වගෙ ඉන්නවනෙ” කියා මිනිස්සු මාකලන්ද ඒ විදියට නිල් පාට ගෑණිගේ අතෙන් අල්ලාගෙන යන අයුරු දැක්කවිට තැන තැන කතාවුණ එක ඇත්තකි.

නිල් පාට ගෑණිව ගොඩක්ම හිතට ගත්තේ ඒ ගමේ උන්න ගෑණුන් නොව පිරිමින්‍ ය. රස්සාවල් කර ගෙදර අවුත් ගෙදර උන්නු හෝ වැඩ ඇරී ගෙදර ඇවිත් කොච්චර මහන්සි වුණත් තමන්ගේ ගෙදර ගෑණි විසින් මහන්සි වෙලා හදා තිබ්බ එලවලුවක් දෙකක් එක්ක බත් එක කා ඇඟ පත සෝදාගෙන ඇඳට වැටෙන්න යන පිරිමින්ට උවමනා වුනේ හිතේත් ගතේත් හිරි ඇරගන්නට ගෑණු එක්ක ඔට්ටුවෙන එකය.

“අද බෑ අනේ, මට මහන්සි, මට අද සනීප නෑ” කියා ගෑණුන් කියද්දී හිතේ තිබ්බ ආසාවල් ද, ප්‍රතික්ශේප වීම නිසා හිතේ ඇතිවෙච්ච වේදනාවද සුසුමක් හරහා පිට කල පිරිමින් ද, මොන මොනවා හෝ චාටු බස් කියා කොහොමහරි තමන්ගේ කසාද ගෑණි එක්ක ඔට්ටු වෙච්ච පිරිමි නින්දට යද්දිත් කල්පනා කල එකම එක දෙයකි.

ඒ “මේ වෙලාවේ මාකලන්ද කාරයා මොනවද දන්නෙ නෑ කරන්නෙ. ඇඟ වැහෙන්න ඇන්දට, බිම බලන් ගියාට, ඇස් උස්සල නිකමට වැරදිලාවත් වෙන මිනිහෙක් දිහා නොබැලුවට නිල් පාට ගෑණි ගෙදර අනෙක් දේවල් ඔක්කොම ලස්සනට කරනවා වගේ මිනිහවත් සන්තෝස කරනවා ඇති” කියා ය.

යටි හිත විසින් බොහෝ අවස්තාවල කොඳුරා කියන්නට යෙදුන ඒ කතාව අවසන් වුනේ “ඕන් ඒකට අපට හම්බෙච්ච ගෑණු” කියන එකය.

සාමාන්‍ය විදියට උදේ රස්සාවට යන, එහෙම නැත්තම් ගෙදර වැඩ පල කරන, හවස තමන් ආපහු ගෙදර එද්දී උදේ ඇඳගෙන උන්නු පරණ කිමෝනාවම ඇඳගෙන ගෙදර වැඩ පල කරන, පොඩි දේටත් තරහා ගන්න යක්ෂණියන් බඳු ගැහැණුන් ඉදිරියේ, මාකලන්ද වැඩට යන්න කලියෙන් ගේ ඉස්සරහට ඇවිත් බත් පාර්සලය අතට දෙන, අනතුරුව හොඳින් නා කියා ගෙන ගෙදර හෝ ගෙවත්තෙ අස් පස් කිරිලිවල නිරත වෙන දිනෙන් දින සුන්දර නිල් පාට වැඩිවෙන ශරීරයක් තිබ්බ සුචරිතා හෙවත් නිල් පාට ගෑණිව දකින වාරයක් පාසා “මෙහෙම ගෑණියෙක්ව බැඳගන්න අනේ මට පිණ නැති උනානෙ” කියා පිරිමින්ද “අනේ අපේ පිරිමින්ට අපිට මෙහෙම සැප දෙන්න බැරිවුනානෙ” කියා ගැහැණුන්ද දුක් වෙච්ච වාරයන් ගණන් කරන්න බැරි තරම් ය.

පොඩ්ඩක් බීගෙන ආව දවසට පවා “අපෝ තමුසෙ අදත් කටේ ගාගෙන ආවද දහ ජරාව, මගෙ ලඟ නම් නිදියන්න එන්න එපා” කියන ගැහැණුන් ඉදිරියේ හොඳටම බීගෙන, වෙරිමරගාතෙ, පාර දිගේ කියව කියවා එන මාකලන්ද කාරයාව පවා ආදරයෙන් කරුණාවෙන්, එක වචනයක්වත් නොකියා දොර හැර වත්තම් කරගෙන ගෙට යන නිල් පාට ගෑණිව දකින වාරයක් පාසා “ආන් ඒකට අපිට හම්බෙච්ච ගෑණු” කියාත් “අච්චර හොඳ දේවතාවියෙක් වගේ ගෑණියෙක් ලැබිලත් මේ මූසල මිනිහට නොබී ඉන්න බෑනෙ අම්මපා” කියාත් පිරිමින්ද ගෑණුන්ද හිතා වාර ගණන ගණන් කරන්න බැරි තරම් ය.

ඒ හැමදේම අවසන් වුනේ ඒ වගේ ගණන් කරන්න බැරි තරම් නිල්පාට ගෑණි ගැන හිතේ ආදරයත්, ගෞරවයත්, ඉරිසියාවත් පිරිච්ච ගණන් කරන්න බැරි තරම් දවස් ගාණක් ගෙවී, කණමදයා වගේ බීගෙන ආව මාකලන්දව හන්දියෙදි වාහනයක හැප්පී එලොව ගිය වෙලාවේය.

“මාකලන්ද මහත්තය ඇක්සිඩන්ට් වෙලා ඉස්පිරිතාලෙ ගෙනිච්චා” කියා පණිවිඩේ අරගෙන ගිය හන්දියෙ ත්‍රීවිල් පාක් එකේ රත්නෙ පස්සෙ කට්ටියට කිව්ව විදියට, ඒ පණිවිඩය ඇහිච්ච වෙලාවේය රත්නෙ මුලින්ම මෙච්චර අවුරුදු ගාණක් බිම බලාගෙනම උන්නු නිල් පාට ගෑණිගේ මූණ දැක තිබෙන්නෙ.

“අනේ මන්ද මං හිතුවෙ අඬාගෙන වැස්සට පෙඟිච්ච කෙසෙල් ගහක් වගේ බිමට කඩන් වැටේවි කියලා. ඒ වුනාට මං ගිහින් කිව්වම මාකලන්ද මහත්තය ඇක්සිඩන්ට් වුනා කියලා ඒ ගෑණිගෙ ඇස් දිලිහුනා. අනේ මන්දා කටේ පැත්තක හිනාවකුත් තිබ්බද කියලා?

මේ ගෑණි මගෙන් ඇහුවෙ එකම එක දෙයයි.

ඒ මාකලන්ද මහත්තයට තාම පණ තියෙනවද කියලා විතරයි” කියා රත්නෙ කියද්දී ඒ කතාව ඇහුව ගමේ මිනිස්සුන්ට කරන්න පුලුවන් වෙච්ච එකම දේ මූණට මූණ බලාගන්න එක පමණකි.

“අච්චර සැප දීලා, නිල් මානෙල් මලක් වගේ පරිස්සමට බලාගත්ත මිනිහා මැරුණම හිතේ තෙතමනයක් තියෙන ගෑණියෙක් නම් අඬාගෙන නේද ඉස්පිරිතාලෙට එන්න ඕන?” කියා ගමේ ගෑණුන්ද පිරිමින්ද තැන් තැන්වල කතා වුනේ වෙනදාට බිම බලාගෙන, මාකලන්දට එහා පැත්තෙන් ඔහුගේ අතේ එල්ලී ගමන් බිමන් ගිය සුචරිතා හෙවත් නිල් පාට ගෑණි කවදාවත් ගමේ මිනිස්සු නොදැක්ක පෙනුමකින්, හිස කෙළින් තියාගෙන, දෙනෙත් එක එල්ලේ ඉදිරියටම යොමාගෙන, පුදුම තරම් ශක්තිමත් විදියට අඩි තබා ඉස්පිරිතාලේ කොරිඩෝව දිගේ මාකලන්ද ගේ පණ සුන් සිරුර හාන්සි කර තිබූ මෝචරි කාමරය වෙත ගිය ගමන දිහා බලාගෙනය.

මරණයේ කටයුතු වෙද්දී මෙච්චර දවසක් ගමේ කවුරුවත් දිහා එක එල්ලේ බැලුවේ නැති නිල් පාට ගෑණි හෙවත් සුචරිතාගේ දෙනෙත් තිබුණේ ඉහලටම එසවි දවසෙන් දවස ඒ ඇස්වල දීප්තිය වැඩිවෙමිනි. ඒ දෑස්වල දීප්තිය වැඩිවෙන තරමට මෙච්චර අවුරුදු ගාණක් පුරාවට සුචරිතාගේ ඇඟ පුරා පැතිරී තිබිච්ච නිල් පාට හෙමින් හෙමින් අඩු වී ගොස් “නිල් පාට ගෑණි” යැයි හැමෝගෙම ඇස් ඉස්සරහ පෙනී උන්න උත්පලවණ්ණාව, තවත් එක් සාමාන්‍ය ගැහැණියක් බවට පත්වුන එක ඇත්තකි.

“ඕන් පේනවනෙ. අච්චර සැප දීලා ලස්සනට තියාගෙන උන්නු මිනිහා ඉද්දි මූසල පාටට, කා දිහාවත් බලන්නෙ නැතුව උන්නු ගෑණි මිනිහගෙ මිණිය ගේ අස්සෙ තියාගෙන එන එන උන් එක්කල හිනාවෙලා කතාකරන්න ගත්ත. දැන්වත් අපේ මිනිස්සුන්ගෙ ඇස් ඇරිලා නැතෑ. මෙච්චර දවසක් මේ ලෝකෙ ඉන්න ලස්සනම ගෑණි කියලනෙ හිතන් හිටියෙ ඔය නිල් පාට ගෑණි. නිල් පාට නැති උනාම ඒකිගෙ පොත්තෙයි අපෙ පොත්තෙයි වෙනසක් නෑ කියල දැන්වත් තේරෙනවා ඇති.
අපේ මිනිහෙක්ට ඔහොම උනා නම් අපි මේ වෙලාවෙ ඉන්නෙ කඳුලු බිබීනෙ” කියා ගෑණුන් එකිනෙකා එක්ක මරණෙද, හත් දවසෙද වැඩ කටයුතු අතරවාරයේ අදහස් බෙදා ගත්ත එක ඇත්තකි.

නිල් පාට ගෑණි වෙච්ච සුචරිතා උන්නේ මේ කතන්දර සියල්ල අසාගෙනය.

ඉස්සර “නිල් පාට ගෑණි නම් පුදුම විදියට මිනිහට ආදරෙයි, ගරු කරනවා” කිව්ව මිනිස්සුත් “ඒකිගෙ නම් පුදුම වාසනාවක්, මාකලන්ද ඔය ගෑණිව බැඳගන්න ඇත්තෙ ලස්සන නිසාමයි. තනියම කොහෙවත් යන්නවත් නොදෙන්නෙ වෙන කවුරුහරි එක්ක පැටලෙයි කියන බයට වෙන්නැති. මාකලන්ද කාරය නිකන් මානෙල් මලට වහපු දෙබරා වගේ නෙ” කියා කිව්ව ගැහැණුත් අද තමන් දිහා බලන්නේ “මේ ගෑණි තමයි මිනිහවත් මරාගන්න ඇත්තෙ” කියා සිතුවිල්ලකින් බව නිල් පාට ගෑණි හෙවත් සුචරිතා දැනගෙන නොඋන්නා නොවේ.

ඒත් ඒ සියලුම සිතුවිලි අස්සේ හැංගිච්ච

“මම ඉපදෙද්දි නිල් පාට නෑ. මම ඔයාලා වගේම හරි සන්තෝසෙන්, ලස්සනට, හිනාවෙලා, මිනිස්සු එක්ක හොඳට හිනාවෙලා කතා කල කෙල්ලෙක්. මට වැරදුනේ මාකලන්ද එක්ක සම්බන්ධෙ පටන් ගත්තයින්. ඉගෙන ගන්න කාලෙම මාකලන්ද එක්ක යාලුවෙච්ච එකෙන් මට වුණේ ඉහලට ඉගෙන ගන්න තිබිච්ච චාන්ස් එක නැතිවෙච්ච එක. අන්තිමේ රස්සාවක් නොකර ඉද්දි මට මාකලන්ද එක්ක එන්න උනේ ඒ වෙද්දිත් මට වෙන මිනිහෙක් එක්කල යන්න බැරිකමක් තිබ්බ හන්දා.
අපේ අම්මල කැමති උනේම නෑ මාකලන්දට.

තාත්තල කිව්වෙම මාකලන්ද වචනයක් කිව්වොත් මම ඒකෙ හරි වැරැද්ද ගැන හිතන්නෙවත් නැතුව රොබෝ කෙනෙක් වගේ එයා කියන දේම කරන එක තමයි තාත්තල අපේ සම්බන්ධෙ දැක්ක නරකම දේ කියලා. අපේ අම්මා කිව්වෙ මාකලන්ද මොන විදියෙ නරක දෙයක් කිව්වත්, කොච්චර හිත රිදෙන දෙයක් කිව්වත් මම හිනාවෙලා, ඔලුව නවාගෙන ඒක අහගෙන ඉන්න එක තමයි එයාලා අපේ සම්බන්ධෙ දැක්ක නරකම දේ කියලා.

සම්බන්ධයක් අස්සෙ වුණත් තමන්ට තමන්ගෙ කමක් ඉතුරුවෙලා තියෙන්න ඕන කියල අම්මල තාත්තලා කියද්දි උනත් මම හිතුවෙ මාකලන්ද ඒ හැමදේම කරන්නෙ, එයා කියන හැමදේම මම අහන්න ඕන, එයා කියන දේවල්ම මම කරන්න ඕන කියල මම හිතුවෙ ඒක තමයි ආදරේ කියලා. මට වැරදුණේ ආන් එතන. මුල් කාලෙ බීගෙන ඇවිල්ලා මාකලන්ද මට ගහද්දි මම ඉවසන් හිටියා. කොහෙවත් යන්න නොදී ගේ අස්සෙම හිරකරලා තියෙද්දි මම හිතුවා එහෙම කරන්නෙ මට තියෙන ආදරේට කියලා. කාත් එක්කවත් කතා කරන්න නොදී, කවුරු දිහාවත් බලන්න නොදි මාව හිරකරන්න හදද්දි ඒ කරන්නෙ මාව පරිස්සම් කරගන්න කියල මම හිතුවා. මාකලන්ද ගහපු පාරවල් වලට දවසෙන් දවස අවුරුද්දෙන් අවුරුද්ද මගේ ඇඟේ තිබිච්ච තලෙලු පාට මැකිලා ගිහින් තනිකර නිල් පාට වෙද්දි, පාරෙ යද්දි මම මේ කරදරවලින් බේරෙන්න පැනලා යයි කියලා හිතලා මගේ අතෙන් ගැලවෙන්න බැරි විදියට හයියෙන් අල්ලගෙන ඉද්දි ඇත්තටම මම හිටියෙ මේක තමයි මගෙ ජීවිතේ කියල හිතාගෙන. පැනල ආව හන්ද අම්මලා තාත්තල එක්ක සම්බන්ධයක් තිබ්බෙ නැති හන්දා ඇත්තටම මට යන්න තැනක් තිබ්බෙ නෑ. කියන්න කෙනෙක් ඉඳියෙත් නෑ. නිකන් ඇඳුනුම්කමකට ඕක වෙන කාටහරි කිව්වනම් මගේ ඇඟේ නිල් පාට තව වැඩිවෙනවා මිසක්කා මට ගැලවීමක් ලැබෙන්නෙ නෑ කියල මම දැනගෙන හිටියා.මං සද්ද නැතුව හිටියෙ ඒ දවස වෙනකම්. මාකලන්ද මැරිච්ච දවසෙ රත්නෙ ඇවිත් ඒක කියද්දි තමයි මට අවුරුදු ගාණකට පස්සෙ ඇස් උස්සල බලන්න පුලුවන්කම තිබුනෙ පිට පිරිමියෙක් දිහා.

ඒ තමයි අවුරුදු ගානකට පස්සෙ මට හිතේ හැටියට හිනාවෙන්න ඉඩක් ලැබිච්ච දවස. මං ඒ වෙලාවෙ තමයි දැනගත්තෙ මේ හැමෝම මාර ලස්සනයි කිව්ව නිල් පාට දැන් ඉතින් හේදෙන්න පටන් ගන්න විත්තිය. මං ඇත්තටම මාරම සන්තෝස වුණා ඒ ගැන. මේ තමයි මගෙ ඇත්ත පාට. මාකලන්ද ඒක නොඉවසුවට, ගමේ මිනිස්සු ඒක ඉස්සරහට නොඉවසුවට මං හරි ආසයි මේ පාටට.

ගෑණුන්ට තියෙන්න ඕන ඉඩක් තමන් ආස පාටකට ජීවත් වෙන්න. මං හිතන්නෙ නෑ කිසිම ගෑණියෙක්ට ඕන කියලා එක දවසකටවත් නිල් පාට ගෑණියෙක් වෙන්න” කියන කතාව සුචරිතා ගේ කටෙන් කවදාවත් පිටවුනේ නැත.

ඉන්පසු ඒ ගමේ කවුරුවත් නිල් පාට ගෑණිව දැක්කේ නැත. එහෙත් ඒ සියලුම ඇස් ඉදිරියේ වඩා සුන්දර සුචරිතාවක හීන් සීරුවේ හුස්ම ගනිමින් ද හිනාවෙමින්ද මහනෙල් මලක් වගෙ පිපෙන්න පටන් අරගෙන තිබුණාය.

-උදතාරී_

ReplyForwardAdd reaction

More Stories

Don't Miss


Latest Articles