හද සාගරේ – 28

0
5387

අරුණාලෝකය උදා වන විට ම ආදියා අවදි වූවා ය. ප්‍රභාතයත්        සමග ම හිතට නිස්කාංසු හැඟීමක් දැනෙමින් තිබිණ. දෙව්රම් හිතට ආවේ ඇයි කියා ඈ ඇගෙන් විමසන්නට ගියේ නැත. පෙර දා රැයේ ඔහු දුරකතන ඇමතුම නිමා කළේ හරි හදිස්සියෙනි.

“ඔයා නිදියන්න දැන් නිදිමතත් ඇතිනෙ” කියමින් ඇගෙන් ප්‍රතිචාරයක් ලැබෙන්නටත් පෙරයි. ආදියා නිසොල්මනේ නෙතු පියා ගත්තා ය. සිදු වෙමින් පවත්නා ඇතැම් දේවල් ගැන කිසිවක් ම නො සිතා සිටින එක පහසු ය.

මුළුතැන්ගෙයි හඬවල් ඇසේ. වෙනදාට අන්තිම තත්පරය තෙක් නිදනා ඇයට අවදි වන්නට ඕනා විය. ආදියා මුළුතැන්ගෙට ගොස් අම්මා ට පොඩි පොඩි අත් උදව් දුන්නා ය.

“අම්මට බඩ්ඩක් කියන්න තියනව”

ඈ ඒ කියාගත්තේ අසීරුවෙනි. ජිනාදරී වහා දියණිය දෙස බැලුවා ය. ඇගේ ඇස් මත වූයේ නො තේරුම් බවකි. මේ දේ කියන එක අසීරු බව ආදියා දනී. නමුත් නො කියා හිඳින එක පෙරදීට වැඩිය දැන් අසීරු ය.

“මොකද්ද බඩ්ඩ…”

ජිනාදරී විමසූයේ ව්‍යාංජනයකට කිරි දමනා ගමන් ය. හිතේ ගැස්මක් ඇති නොවූවා ම නොවේ. තරුණ දියණියක ඒ විදිහේ අමුතු යමක්  පවසන විට අම්මා කෙනෙකු ගේ හදවත ගැස්මක් ඇති නොවුණොත් පුදුම විය යුතු ය.

“ලොකු දෙයක් නෙවෙයි ඉතිං”

“ලොකුද පොඩිද බලන්න කියමුකො”

කවදාවත් නැතිව, අවදි කරවන්නේ නැතිව ම ආදියා මේ අවදි වී පැමිණ ඇත්තේ කුමට ද යන සැකය ජිනාදරී තුළ ඒ මොහොතේ ම පිළිසිඳිණ.

“මිස්ට දෙව්රම්ව මං දන්නෙ කලින් ඉඳන්‍”

හොද්ද හැඳිගෑම නතර විය. ජිනාදරී ගේ මුහුණේ නැගුණේ මහා විශ්මයකි. ආදියා මේ පවසන්නේ කුමක් ද?

“මොකාක්…”

“මිස්ට දෙව්රම් අර මුලින්ම මෙහෙ ආපු දවස්වල… අම්මල කිව්වට මං ඉස්සරහටවත් නොගියෙ ඒකයි. මිස්ට දෙව්රම් මාව දැකල අඳුරගනී කියන බයට. අපේ ගෙදර වගේ පිස්සං කොටුවකයි මං ඉන්නෙ කියල දැනගන්නෙක ඇත්තටම ලැජ්ජාවක්නෙ ඉතිං”

ආදියා විගස තමන් ගේ ම අදහස ස්ථිර කරන්නට උත්සුක වූවා ය.

“හරි හරි කොහොමද දන්නෙ කියල කියනව”

“මේ මොකද අනේ කේන්ති අරං… දන්නෙ ඉතිං…මිස්ට දෙව්රම් අපේ කම්පනි එකේම නිසයි”

“මො… නව…”

“ඉතිං බලන්න… අම්ම ඒක අහල ඔච්චර පුදුම වෙනකොට… එදා අපේ ගෙදර තණකොළ කපන්න මිස්ට දෙව්රම් ඇවිත් ඉන්නව දැක්කහම මං කොහොම පුදුම වෙන්න ඇද්ද අනේ… අනිත් එක… ඊට පස්සෙ මං කොහොමද එයා එක්ක කතා කරන්න යන්නෙ… මාව අඳුරගත්තොත් එහෙම…”

“ඉතිං ඇයි එදා ඕක කිව්වෙ නැත්තෙ…”

“කොහොම කියන්නද… කිව්වනං එයාගෙ මහ ලොකු නළුකම ලොකුවට අරගෙන මාව පාවා දෙයි. පුතාගෙ ඔෆිස් එකේ වැඩ කරන කෙනෙක් මෙහෙ ඉන්නවයි කියල. මං ඉතිං බැලුවෙ ශේප් එකේ හැංගිල ඉන්න. කොහෙද… තාත්ත නිසා අන්තිමට ගෙදරටම යන්න වුණානෙ”

ආදියා දෙතොල් උල් කොට මූණ බෙරි කොටගත්තා ය. එවර නම් ජිනාදරී ගේ සැක දුරු වී සිනහවක් නැගෙන්නට ආවේ ය.

“මිස්ට දෙව්රම් මුකුත් නොකියා මාව නොදන්න ගාණට හිටියට ඉතිං… ලැජ්ජාවෙ පොළව පළාගෙන යන්න බැරුවයි මං හිටියෙ. තාත්තත් මාර නඩු තමයි දාන්නෙ. මගෙ ආත්ම ගෞරවේ         බිමටම චප්ප කළා. වයසට ගැලපෙන යාළුවො හොයාගන්න එපැයි අප්ප”

ආදියා යටැසින් අම්මා දෙස බැලුවා ය.

“දැං මං කියපු වචන සෙට් එක එහෙම්මම මිස්ට දෙව්රම්ගෙ කනේ  තියනව නෙවෙයි හරිද… ගෝල්ඩන් ටී බ්‍රෑන්ඩ් එම්බසඩර් එයා…”

“අනේ ඉතිං කොච්චර ලොකුවට ඉන්න පුඵවන් කොල්ලෙක්ද එච්චර නිහතමානී විදිහට ඉන්නෙ… ඒකටත් එක්ක අපේ අර පොල් බූරුව. හරි ඉතිං දැං මොකද හදිස්සියෙ මේ මහ පාන්දර නැගිටල ඕක කියන්න හිතුවෙ…”

ජිනාදරී අහන්නේ ම කඩඉම් ප්‍රශ්න ය. අම්මා ගෙන් බේරෙන්ට බැරි බව ආදියා දනී.

“දැං ඉතින් උන්නත් දාහයි මළත් දාහයිනෙ. මිස්ට දෙව්රම් මං ගැන දැනගත්තනෙ. ආයෙ ඉතිං හංගන්න දෙයක් නෑනෙ”

“හංගන්න තරං දෙයක් නෑනෙ චූටි දුව. දිනේශ් බීගෙන රංඩු කරනවයි කියන එක අපේ වරදක් නෙවෙයිනෙ. ඒ මිනිහගෙ වරද. දෙව්රම් පුතා කම්පනි එකේ ලොක්කෙක් වුණා කියල… ඔයත් ආතක් පාතක් නැති තැනකිං එතනට ගියා නෙවෙයිනෙ. අපිත් වැදගත් විදිහට ජීවත් වෙන මිනිස්සු තමයි. අර බේබද්ද මේ ගෙදරට එනකල් අපේ ගෙදර සද්දයක් එහා ගෙදරටවත් ඇහිල තියනව කියලයැ. තාත්තා මාස් පඩිකාරය වුණත් ගේ දොර හදාගෙන ඔය දෙන්නටත් උගන්නගෙන ලස්සනට පිළිවෙලට වැදගත් විදිහට ජීවත් වුණානෙ”

“ඒකනං එහෙම තමයි ඉතිං”

අම්මා සමගින් ඒ රහස හෙළිදරව් කිරීමෙන් පසු හිත සැහැල්ලු වූවා සේ ආදියා ට දැනිණ. රහසක බර දරා හිඳිනවාට වැඩිය රහස් නොමැති විට ජීවිතය සැහැල්ලු ය. සරල ය. පහසු ය.

ජිනාදරී තේ පිළියෙල කොට ආදියාට බොන්නට කියා සාරධා ගේ තේ එකත් ක්‍රීම් ක්‍රැකර් බිස්කට් කිහිපයකුත් ගෙන ගියා ය. වෙනදා වාගේ දොර වසා නො තිබීමෙන් කියවෙනුයේ තේ එක ලැබෙනා තෙක් නො සිට ඇය අවදි වී ඇති බවයි. ජිනාදරී කාමරයට ඇතුළු වූවා ය. නමුත් සාරධා එහි පේන්නට සිටියේ නැත. සිත්මි නම් තවමත් නිදා සිටියා ය. සාරධා නාන කාමරයට යන්නට ඇතැයි සිතා ජිනාදරී තේ එක ද බිස්කට් ද මේසය මත තබා පැමිණියේ, එන ගමන් නාන කාමරය ළඟ දී “අන්න තේ එක තිබ්බ. නිවෙයි” කියාගෙනයි. නමුත් ඊටත් පස්සේ ය ඈ දුටුවේ එහි දොර විවර කොට තිබි බව. ජිනාදරී දොර අල්වාගෙන නාන කාමරයේ ඇතුළට ද එබුණා ය. සාරධා එහි නැත. ක්ෂණික ගින්දරක් ජිනාදරී තුළ නැඟිණ.

“ලොකු දුව…”

ඕ තොමෝ තරමක් හඬ නැගෙන සේ කතා කළා ය. ඒ අනියත ගින්දර කුමක් නිසා දැයි ඇය ම දන්නේ නැත.

“කෝ මේ ළමය… ලොකු දුව…”

ආදියා හා නිශ්ශංක ද සිය අවධානය ජිනාදරී වෙත යොමු කළේ ඉනික්බිති ය.

“මේ ළමය ගෙයි නෑනෙ. කොහෙ ගියාද කියන්නෙවත් නැතුව…”

“තියන හිතුවක්කාරකමට දරුවව අපිට දාල එයා ගියාද දන්නෑ මිනිහ ඉන්න තැනකට”

තමන්ගේ ජීවිත ඇතුළේ එක දිගට පැය දහයක කාලයක් ගින්දරක් නැතිව හිඳින්නට සාරධා ඉඩ දෙන්නේ නැත්තේ ඇයි කියන හැඟීම හදවත් තුනක් මොහොතකින් අළු කොට දමන්නට ඇත.

“දරුවෙක් බඩේ තියාගෙන… අනේ මන්දන්නෑ මේ ළමයට මක් වෙලාද කියල”

“අපි ඕනවට වැඩිය එයා ගැන සැලකිලිමත් වෙනකොටත් එයා අපිට සෙල්ලං දානව ජිනා”

“ඇත්තට අපිනං පූරුවෙ ලොකු කරුමයක් කරපු දෙමව්පියො”

ආදියා තේ එක බීවේ බර වූ හදවතක් දරාගෙනයි. අක්කා මේ විදිහට ඔවුන්ගෙන් පළි දරන්නේ කොහොමද කියා තබා ඒ ඇයි කියාවත් ඇයට සිතාගත නො හැකි ය. ඇය හිතා මතා ම ඔවුන්ගේ සැනසිල්ලට ගිනි තබනවාවත් ද?

ආදියා කුස්සිය මිදුලට බැස්සේ නිකමට ය. දිනේශ් ට ගෙදර තහනම් කලාපයක් කළ නිසා අක්කාත් යන්නට ගියා විය නො හැකි ද යන කල්පනාවේ ඇය අඩි කිහිපයක් ඇවිද ගියා ය. ප්‍රශ්න එන්න එන්න ම බරපතල වෙන්නට හදනවා ද?

පිළිකන්නේ බිත්තියක් අයිනේ වූ කුඩා කබල් බංකුවක පොදියක් වාගේ ගුලි වී හිඳ සිටින සාරධා ව දැක ආදියා ගැස්සී ගියා ය. එතැන ඒ පොදිය දැක ඇය ගැස්සුණේත් ඒ අක්කා බව හැඳින්නේත් එකට ම වාගේ ය.

“අක්… කෙ…”

හිස් දෑසකින් බැලුවා මිස සාරධා හෙලවුණේ හෝ නැත.

“අනේ අක්කෙ අපි ඔයාව හෙව්වනෙ. අම්ම තේ හදාගෙන බිස්කටුත් අරං ගිහිං කතා කරනකොට ඔයා නෑ. අපි කොච්චර බය වුණාද අනේ…”

ඒත් සාරධා කතා කළේ නැත. ඇය ඇස් පිය සලනවා ද කියා පවා සැක සහිත ය. ආදියා කෙතරම බිය වූයේ ද යත් “අම්මෙ… අක්ක මෙහේ” කියා කෑගෑවා ය. ජිනාදරී හා නිශ්ශංක එහි දිව එන විටත් සාරධා ඒ පොදිය ම ය.

“අපි ගෙට යං අක්කෙ. අනේ ඔයා මොනාද දෙයියනේ අපිට කරන්න කියන්නෙ… ඔයා මගෙ අක්ක. ඔයා වෙනුවෙන් කරන්න බැරි දෙයක් මට නෑනෙ… මෙහෙම කරන්න එපා. අපි ඔයාට ආදරෙයිනෙ අක්කෙ”

සාරධා ගේ හිස් ඇස් වලින් ප්‍රකාශ වූයේ උමතුවකි. ඇයට මේ මුළු ජීවිතය ම වදයක් සේ දැනෙමින් තිබිණ. ඇයට ඕනෑ වී තිබුණේ කොහේ හෝ ගොස් හැංගී ගන්නටයි. නංගී කියන්නේ මුළු ජීවිතේ පුරා ම ඇයට වද දිදී පස්සෙන් එන්නියකි. මේ වෙලාවේත් සාරධා ට පාඩුවේ ඉන්නට නොදුන්නේ නංගී ය.

“අපි ගෙට යං ලොකු දුව. තේ එකත් නිවෙනවනෙ”

ජිනාදරී බලයෙන් ම වාගේ සාරධා නැගිටුවා ගෙට ගෙන ගියා ය. සිහිනයෙන් වාගේ ඇවිද ගියා මිස සාරධා වචනයක් හෝ කීවේ නැත. දිනේශ් ගෙදර නො පැමිණීම ගැන ඇය හිත කලබල කරගෙන යයි අනිත් තිදෙනා ට ම දැනිණ.

“ඔය යකාව පොඩ්ඩක් මට්ටු කරන්නෝනෙ. නැත්තං අම්මේ මුත්තේ කිව්වත් හැදෙන එකෙක් නෙවේ. ඔහොම ටික දවසක් හිටපුවාවෙ”

නිශ්ශංක පවා මඳ දෙගිඩියාවකට පත්ව සිටියේ ය. දිනේශ් ට මේ ගෙදර තහනම් කලාපයක් කිරීම සාරධා ට මේ තරම් බලපානු ඇතැයි ඔවුන් සිතුවේ නැති වීම වරදක් ද? ඇය කුසයෙහි දරුවෙකු දරනා අම්මා කෙනෙකි.

“අනේ අක්කෙ මට මේ ගෙවල් දොරවල් මොනාත් ඕන නෑ. දවසක මේ හැමදේම ඔයා ගන්න. ඒත් අම්මටයි තාත්තටයි නිදහසේ ඉන්න තියෙන්නෙ මෙතන විතරනෙ. මං සල්ලි ටිකක් එකතු කරගෙන අම්මයි තාත්තයි එක්කං යනකල් අපි වෙන විසඳුමකට එමු. හරි   මෙහෙම කරමුකො. බබා හම්බුවෙනකල් ඔයා මෙහෙ ඉන්න ඕනනෙ. ඊට පස්සෙ අපි ඔයාලට පොඩි ගෙයක් කුළියට ගමු. හරි මං රෙන්ට් එක ගෙවන්නංකො මගෙ පඩියෙන්. ලෝන් එකටත් අඩු වෙන නිසා මට ලොකූ ගණංනං ගෙවන්න බෑ. අපි දැනට පොඩි ගෙයක් අරගමු. ඔයා එහෙම කැමතිද අක්කෙ… අනේ අපිත් එක්ක තරහ නොවී ඉස්සර වගේ හිනාවෙලා ඉන්නකො අක්කෙ”

නමුත් සිනහ වෙනු තබා සාරධා වචනයක්වත් කතා කළේ හෝ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here