අපේක්ෂා කළ අයුරින් නොවූවත් හසාරාගේ ජීවිතයට අලුත් ආරම්භයක් ලැබී තිබිණ. කුඩා කාලයේදී, අනාගතයේ කවුරුන් වන්නට අපේක්ෂාවෙන් සිටිනවාදැයි අසද්දී හසාරා බොහෝවිට පැවසූයේ ගුරුවරියක වන බවය. පසු කාලයේ වරින් වර ජීවිතයට එබුණු සිහින හඹා ගොස් ඒවා සැබෑ කරගත්තාට යටි සිතෙහි ගුරුවරියක වීමේ කැමැත්ත ආසාව එලෙසින්ම පැවතුණායැයි හසාරාට සිතුනේ සුදු පැහැ පසුබිමේ ලා නිල් පැහැ කුඩා මල් වැටුණු ගවුම ඇඟලා හෝටල් කාමරයේ වූ කණ්නාඩියට එබෙද්දීය. ඊයේ ඉන්දුමාගේ නිවසේ සිට එන ගමනේදී ඕ ත්‍රිකුණාමලය නගරයේ වූ පොත් සාප්පු පීරා ඒ සඳහා අවශ්‍ය පොත්පත් කිහිපයක්ම මිලදී ගත්තාය. රාත්‍රිය පුරා නිදි වරමින් අවශ්‍ය සටහන් සකසා ගත්තාය.
“ ප්‍රින්සිපල් මට රෑත් කතා කළා. සර්ගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මේ දවස් කිහිපයට හරි අපිට දරුවන්ට ඉංග්‍රීසි ටිකක් උගන්නගන්න පුළුවන් වුනොත් එස් පාස් එකකට හරි යන්න පුළුවන් වෙයි කියලා. ඇත්තමයි ඔයා ඔය කියපු අයිඩියා එක මට මීට කලින් ආවේ නෑ. එහෙම උනානම් අනිත් සබ්ජෙක්ට් වලට කාලය වෙන් කරන අතරේ ඉන්ග්‍රිලිෂ් වලටත් පැය භාගයක්වත් දෙන්න තිබුනා. දන්න තරමින් හරි යමක් කරන්න තිබුණා. අපි හැමදාම කලාපෙට ලියුම් ගගහා හිටිය විතරයි…”
ඉන්දුමා පැවසූයේ රාත්‍රියේ දුරකථනයෙන් කතා කරමින්ය. ඇය සේම ඇගේ නැද්දනියත් දරු දෙදෙනාත් බොහෝ කාරුණික අයවලුන් විය. හෝටල් කාමරය අතහැර ඇගේ නිවසෙහි වූ අමතර කාමරයට පැමිණෙන්නයැයි ඔවුන් කිහිප වරක්ම හසාරාට ඇවටිලිි කළෝය.
ඉංග්‍රීසි විෂය සඳහා දරුවන් තුළ වූ අකමැත්ත පහව යන්නට බොහෝ වේලා ගත වූයේ නැත. හසාරා තමාට ලබා දී තිබූ පැයෙහි කාලයේ බොහෝ වේලා ගතකළේ ඉංග්‍රීසි විෂය ඉගෙනීම අපහසු නොවන එකක් බව පහදා දෙන්නටය. අවසන ඕ සාමාන්‍ය පෙළ පන්තියෙන් සමුගත්තේ සවස පංතියක් සඳහා ඔවුන්ව එකඟ කරගෙනය.
“ ඔය දරුවන්ට නීරස වෙලා තිබුණු සබ්ජෙක්ට් එකක්. හසාරා හරි ලස්සනට ඒ වැඩේ කලා..”
තරුණ විදුහල්පතිවරයාට වූයේ සැබෑම උවමනාවකි.
“ මුන් ඉංග්‍රීසි ඉගෙන ගත්තා කියලා මොනවා කරන්නද…හසාරා මිස් ආසාවෙන් මේක බාරගතපු එකේ ඔන්න ඔහේ වචනයක් දෙකක් උගන්නලා දාන්න. හවස පන්ති දාගෙන නහින්න ඕනේ නෑ.. පන්ති කරලා දවසෙන් දෙකෙන් මේ ළමයි විභාගේ පාස් කරගන්න පුලුවන්නම් බැරිය.”
තේ පානය සඳහා ලැබුණු ඇරයුමට විවේක කාමරයට ගිය හසාරාට ප්‍රශංසා වෙනුවට කිහිප දෙනෙකුගේ මුවින් අසන්නට ලැබුණේ එවන් කර්කෂ වදන්ය.එහෙත් ඕ ඒවාට හිනැහුණා මිස කිසිත් නොකීවාය.
බ්‍රහස්පතින්දා සවස කොළඹට පැමිණුන හසාරා සිකුරාදා දිනයේ බැංකුවට ගොස් නිවස සම්බන්ධව වූ ගැටළුව විසඳා ගත්තාය. යම් මුදලක් තමා සන්තකයේ වුවත් එය එකවරම වියදම් කිරීම නුවණට හුරු නොවේයැයි ඈ විශ්වාස කළාය. තමාට තනිවම ජීවත් වීමට මේ සා විසල් තෙමහල් නිවසක් කුමකටදැයි අවසන ඈ සිතුවාය. නිවස සම්බන්ධව සියළු නීතිමය කටයුතුත් ධනංජය පැහැදිලිව අහවර කර තිබූ නිසා බැංකුවේ උකස බේරා ගත් පසු එය විකුණා දැමීමට ඇයට බාධාවක් නොවූවාය. එහෙත් ඉන්දුමා පැවසූයේ කෙටි කාලයක් ඉවසා සිටින ලෙසය. එකවර නොවුවත් ධනංජයගේ නික්ම යාම පිළිබඳව මවත් සොයුරියත් දැනුවත් කළ යුතුයැයි පැවසූයේත් ඈය. ඒ දැනුවත් කිරීම පමා කිරීම තුළින් ඔවුන් වැරදි වැටහීමක් ඇතිකර ගනීයැයි ඉන්දුමා පැවසුවාය.එක් රාත්‍රියක්වත් ඇයට තම නිවසෙහි කාලය ගත කරන්නට නොසිතුණුු තරම්ය. එනිසාම ඕ සිය වැඩ කටයුතු නිමාවූ හැටියේම යළිත් ත්‍රිකුණාමලය බලා පිටත් වූවාය.
දැන් හසාරා සාමාන්‍ය පෙළ පන්තියට පමණක් නොව ඉඩ ලැබෙන හැටියට පාසලේ වූ කුඩා පන්ති වලටද ඉංග්‍රීසි විෂය උගන්වමින් උන්නාය. මුලදී ඇගේ ඒ පැමිණීම පාසලේ අන් ගුරුවරුන්ට අමුත්තක් වුවත් දැන් ඒ සියල්ලෝම ඇය හා හිතවත්ය.
හිටිහැටියේම තමා සේවා ස්ථානයෙන් ඉවත්වීම සියල්ලන්ටම පැනයක් වී තිබිණ. හසාරා තම රාජකාරියට අයත් සියලු කටයුතු පිළිවෙලකට කර තිබූ නිසා වර්තමානයෙහි ඇගේ තනතුර බාරගත් පුද්ගලයාට කිසිදු අපහසුවක් වී තිබුණේ නැත. ඔහු පුද්ගලිකව හසාරාට ඒ පිළිබඳව ස්තූතිවන්ත වූවේය.
“ ඔෆිස් එකේ කතාවක් පැතිරෙනවා හසාර මැඩම්ගේ හස්බන්ඩ් නිර්මිතා එක්ක වෙන රටකට ගිහිල්ලා ජීවත් වෙනවා කියලා. ඒක කාලයක් තිස්සේ තිබුණු සම්බන්ධයක් කියලා. පහුගිය කාලේ මෙහේ වැඩ කරන දෙතුන් දෙනෙක්ම හසාරා මැඩම්ගේ හස්බන්ඩ් නිර්මිතා එක්ක එක එක තැන්වලදී දැකලත් තිබුණා…”
බොහෝ දිනකට පසුව ඇයට පැවසූයේ කාර්යාලයේ උන් මිතුරියකි. සැමදාමත් ලෝකයාට සත්‍ය සඟවාගෙන සිටීමට හැකි කමක් නොවේ. ධනංජයගේත්, නිර්මිතාගේ පමණක් නොව තමාගේත් ආත්ම ගරුත්වය දැන් ලෝකයා හමුවේ නැතිව ගොස් අවසන්ය. ඒ දෙදෙනාම වෙනුවෙන් දැන් හසාරාගේ සිතෙහි ඇත්තේ හිස් හැඟීමකි. එහෙත් ඕ නිහඬ වූවා මිස පිළිතුරු දෙන්නට නොගියාය. ඒ නිහඬබව තුළින් දුරකථනය එහා පස සිටින්නා යමක් වටහා ගන්නට ඇත..විනාශ වී ගිය තමාගේ ආත්ම ගරුත්වයත්, ජීවිතයත්, ගිනිබත් වූ සිහිනත් යළි හිමි කර ගැනීමට නොහැකි බව විශ්වාසය.
හසාරාට කසුන්ගෙන් දුරකථන ඇමතුමක් පැමිණියේ ඈ පාසලේ සිටියදීය. දරුවන් ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියමින් සිටි නිසා ඕ දුරකථන ඇමතුමට පිළිතුරු සැපයූවාය. තවදුරටත් ලෝකයාගෙන් සැඟවී සිටින්නට උවමනාවක් නොවේ. වරද කර ඇත්තේ ඔහුය.
“ මං පහුගිය දවස් ටිකෙත් කිහිප වතාවක්ම නංගිට කතා කළා.ෆෝන් එක ආන්සර් කළේ නෑ. මම හිතුවා ධනංජයගේ ප්‍රශ්නෙත් එක්ක නංගි අපි හැමෝවම අමතක කරලා කියලා.”
“ මං හිතා මතාම පහුගිය දවස්වල ආපු කෝල්ස් ගොඩක් මග ඇරියා අයියේ. එහෙම කතා කරන්න තරම් මට මානසිකත්වයක් තිබුණෙ නැහැ.”
“ අක්කයි මමයි ඔයාව බලල යන්න එන්න තීරණය කරලත් ඔයා ෆෝන් එක ආන්සර් කරපු නැති හින්දා ඒ ගමන නතර උනා. අක්කා ඒත් කිව්වා ධනංජයගේ මේ වෙනස්වීමට අපිත් වග කියන්න ඕනේ කියල ඔයා හිතනවද දන්නෙ නැහැ කියලා.”
“ අනේ නැහැ අයියේ කවුරුවත් කොහොමද කාගේවත් ජීවිත පාලනය කරන්නේ. මං දන්නවනේ මට කියලත් නොකියත් අයියා එයාගේ තීරණය වෙනස් කරන්න ගොඩක් වෙහෙස උනා කියලා”
“ ඊයේ ඔෆිස් එකේ එක්කෙනෙක් කිව්වා ඔයා ජොබ් එකෙන් අයින් වුනා කියලා. පිටරට ඉන්න ඔයාගේ අම්මයි තාත්තයි ගාවට යන්න හදනවා කියලා.ඒ කතාව ඇත්තක්ද..”
“ ජොබ් එකෙන්නම් අයින් වුනා. ඒත් අම්මයි තාත්තයි ගාවට යනවද කියලා මම තවම තීරණය කරලා නැහැ අයියේ. මේ වෙලාවේ මම ඉන්නේ ට්‍රින්කෝවල.”
“ ඒ ඇයි…”
“ මුලින්නම් ආවේ කැම්පස් එකේ ඉන්න මගේ යාළුවෙක්ගේ ගෙදර. මට වෙනසක් ඕන උනා. ඒත් අයියේ දැන්නම් මං මෙහේ ඉස්කෝලෙක දරුවන්ට ඉංග්‍රිලිෂ් උගන්වනවා.”
“ ඒක හොඳයි නංගි වෙනසකටත් එක්ක. ඒ උනාට ඔයා කොහොමද ඔය විදිහට නාඳුනන පළාතකට ගිහිල්ලා තනියම ජීවත් වෙන්නේ. ඔයා ජොබ් එකෙන් අයින් වෙන්න ගත්පු තීරණය නම් මම කීයටවත් අනුමත කරන්නේ නැහැ. ඒ තැනට යන්න ඔයා මොන තරම් වෙහෙස උනාද…”
“ ඇත්තටම මමත් මුලින් එහෙම තීරණයක් ගන්න හිතුවේ නැහැ අයියේ. ඒ උනාට මට වෙනසක් ඕන කළා. ඇත්තටම කිව්වොත් ඒ ඔෆිස් එකේ ඉන්නේ මාව, නිර්මිතාව, ධනංජයව හොඳටම දන්න අය. අපි මොනම හේතුවකට හරි අපේ හිත රිද්දන තැන්වල ඉන්න තාක්කල් හිත හදාගන්න බැහැ අයියේ. උදේ හවස මට එයාලව මතක් වෙයි. මිනිස්සු මගෙන් එයාල ගැන අහයි. මට උත්තර දෙන්න වෙයි. හැමදේටම වඩා මං බයවුණා මට අන්තිමට එයාලට වෛර කරන්න හිතෙයි කියලා..”
“ ඔව් එහෙම බැලුවහම නංගි හරි..ඒත් හැමදාම ඔය විදිහට ඔයාට ජීවත් වෙන්න පුළුවන්ද.”
“ මං දැන් ඉන්නේ ඇත්තටම දුර්වල ගැහැණියක් වෙලා. මම දන්නෙ නැහැ මම නැගිටින්න ඕනේ කොතනින්ද කරන්න ඕනේ මොනවද කියලා… හැබැයි මං විශ්වාස කරනවා මිනිස්සුන්ගේ හිත්වල තියෙන තුවාල වලට හොඳම ඖෂධය තමයි කාලය කියලා. අපි ටිකක් කාලයට ඉඩ දෙමු අයියේ..”
සංවාදය නිමා වූයේ තවත් විනාඩි කිහිපයකට පසුවය. දිගු සුසුමක් මුදා හල හසාරා පිළිතුරු ලියා අහවර කර තිබූ දරුවන්ගේ ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කරන්නට පටන් ගත්තාය. දරුවන් තුළ වූයේ දියුණුවකි. කෙටි කාලයක් තුළ තමා යමක් කළායැයි සතුටක් ආඩම්බරයක් ඒ සිතෙහි ඇතිවී තිබිණ. A, B, C සාමාර්ථයකට යාමට නොහැකි වුවත් දරුවන් කිහිප දෙනෙකුම ඉංග්‍රීසි විෂය සමත් වේ යැයි බලාපොරොත්තුවක් ඇගේ සිතෙහි විය.
*****====******=======*******=====****-
මේ ජීවිතය පුදුමාකාර එකක්යැයි ධනංජයට සිතුනේ ආපස්සට හැරී කල්පනා කර බලද්දීය. තමා සියල්ල ලං කර ගත්තේ ඉතා කෙටි කාලයකින් බව විශ්වාසය. දිනාගත් යමක් වේ නම් එයට තමා තරමටම හසාරාත් වෙහෙස වූ බව විශ්වාසය. විශ්ව විද්‍යාලයෙන් සමුගත් තමාගේ වයසේම බොහෝ දෙනා තවමත් පටන් ගත් තැන්වලය.
“ ගමේ ආපු වෙලාවක උඹල දෙන්නටම ඇස් වහ කටවහ ටිකක් මතුරන්න ඕනි පුතේ.දෙයියනේ කියලා ඔය දෙන්න සතුටින් ජීවත් වෙනවනේ..හිතුවට වඩා ඉක්මනට මේ ගෙවල් දොරවල් පවා හැදුනා. හසාරා දුවගේ අම්මල තාත්තලා උදව් කරපු නිසා තමයි මේ තරම් දෙයක් කරගන්න පුළුවන් උනේ. ඒ උනාට ඉතින් බලන මිනිස්සු දකින මිනිස්සු හූල්ලනවා ඇතිනේ දරුවෝ. ඒ දරුවත් අපිට ලැබනේ පෙර වාසනාවකට.”
අම්මා එසේ පැවසූයේ ගමට ගිය දිනකය. එවේලෙහි කිසිත් නොකීවත් තමාත් හසාරත් ඒ වදන් නොසලකා හැරි බව ධනංජයට මතකය. තම ජීවිතවලට ඇස් වහ කට වහ වැදුණේ තමන්ගෙන්මයැයි ඔහු සිතුවේ සිත පෙළෙන වරදකාරී හැඟීමට ඉඩ දෙමින්ය. සැබවින්ම හසාරා වෙනස් වූයේදැයි එසේත් නොමැතිනම් තමා ඇයගේ වෙනස්කම් දකින්නට පටන් ගත්තේදැයි ඔහු පසුගිය කාලය පුරාම සිතා බැලුවේය. ඈ කාර්යබහුල වූවා මිස වෙනස් වූයේ නැත.ඒ කාර්යබහුලකම නිසාම සමහර තීරණ ඈ හදිසියේ ගත් බව ඔහුට සිතුනේ එවේලෙහිය. ජීවිතය ඒ අයුරින් කාර්යබහුල වද්දිත් ඈ තමා වෙත යුතුකම් වගකීම් ඉටු කරන්නට වෙහෙස වූ වග සිහිවද්දී ඔහුගේ පපුවෙහි ඇතිවූයේ රිදුමකි.
වෙනස් වූයේ තමාගේ ඉවසීමයැයි ඔහුට සිතුනේ එවේලෙහිය.
( යළිත් හමු වෙමු ආදරයෙන්…..)
ReplyForwardAdd reaction |