“දැන් එතකොට උඹ මේ චිරත් ළමයි හදන ඒව ගැන කතාකරේ උඹ ළමේක් හදන්න කෙනෙක්ව හොයාගෙන නේද?” කියා ආලෝකා තමන්ව නෝණ්ඩි කරන්නට මෙන් ඇහුවත් මේධාට තිබුන එකම ප්රශ්නය ආලෝකා තමන් ගෙන් එහෙම ඇසූ එක නොවේ. චිරත් වලාකුලුත් තමන් ගැනත් දැනගත්තේ කොහොමද කියන එකය.
“වලාකුලු ගැන චිරත් එහෙම ඇහුවෙ වලාකුලුයි මමයි අතරෙ මොකක් හරි දෙයක් තියෙනව කියල හොඳටම දන්න හන්දනෙ. නැත්තම් එයාට වලාකුලුව හමබ් උනෙත් එකම එක දවසක් වෙච්ච එකේ අද මේ ඉවෙන්ට් එකට වලාකුලු ආවෙ නැත්තෙ ඇයි කියල අහන්න උවමනාවක් නෑනෙ” කියා හිතද්දී හිත අස්සෙන් වරදක් කරා වගේ දැනෙන හැඟීමක්, තිගැස්මක් ඇතිවෙන්නෙ ඇයි කියන එක ගැන ඇත්තටම අදහසක් මේධාවිණීට තිබුනේ නැත.එහෙත් තමන් ඉන්නේ චිරත් ලඟට ගොස් “ඔයා කොහොමද වලාකුලුයි මමයි ගැන දන්නෙ?” කියා අහන්න පුලුවන් තැනක නොවේ. එහෙම අහන එකම ඒ කතාව ඇත්තක් බව චිරත්ට ඔප්පු කරන්නට හේතුවෙන බව මේධාවිණී නොදන්නවා නොවේ.
“අනික ඉතින් මම දැන් එයාගෙ වයිෆ් නෙවෙයිනෙ. එයා උනත් තේරුම්ගන්න ඕන මට මේ හැමදාම තනියෙන් ඉන්න විදියක් නෑ කියන එක. එයා එහෙම ඉන්න එකකුත් නෑනෙ. අනික මම එයාට කිසිම දේකට උත්තර දෙන්න බැඳිලා නෑනෙ” කියා හිත නිස්කලංක කරගන්නට උත්සහ කරත් තමන් අතින් මොකක් හෝ වරදක් වී ඇති බව තේරුන හින්දාම හිත තිබුනේ එහෙම පහසුවෙන් නිස්කලංක වෙන තැනක නොවේ.
මේධාවිණී දුන් සල්ලිත් අරගෙන වලාකුලු මනුර සුමතිපාල හමුවන්නට ආවේ තමන්ට බිස්නස් එක අරඹන්නට තමන්ගේ පැත්තෙන් මෙහෙම වගවීමක් වෙන්නට හැකි බව පෙන්වන්නට වගේය. මනුර සුමතිපාල වලාකුලුව තමන්ගේ මහා මන්දිරයට පිළිගත්තේ චිරත්ව කිසි දවසක පිලිගත්තේ නැති තරම් ආදරයකින්, හිතවත්කමකින් ය. තාත්තාටවත් අම්මාටවත් වෙන කිසිම කෙනෙක්ටවත් කියන්නේ නැතුව වලාකුලුට මේ වැඩේ පටන් ගන්න උවමනාකරන මුදල් දීම කොච්චර හොඳද කියා මේධාවිණී හිතුවේ තාත්තාගේ මුහුණේ වලාකුලුව දැක්කයින් පස්සේ ඇඳිච්ච හිනාව දුටුවිටය.
“දැන් ඒ කියන්නෙ අපිට වැඩේ පටන් ගන්න පුලුවන් නේ. අපේ හෙඩ් ඔෆිස් එක ඇතුලෙ එක පැත්තක් අපිට ක්ලියර් කරගන්න පුලුවන් වෙයි නේද මේ වැඩේට?” කියා තාත්තා අහද්දි මේධා සිනාසෙන ගමන් හිස වනා ඔව් කියද්දීත් වලාකුලු උන්නේ මේධා දිහාවම බලාගෙනය.
“මමත් ඉතින් වැඩිය දන්නෙ නැති පැත්තක් හන්ද ඔයාලා දෙන්නට තමා ඕක ඉස්සරහට කරගෙන යන්න වෙන්නෙ. අපිට ඔය අලුත් ට්‍රෙන්ඩ්ස් ඒව මේවා තේරෙන්නෙ නෑනෙ” කියා මනුර සුමතිපාල හිනාවෙද්දි ඒ හිනාවට එක්කහු වෙන්නට වලකෞලුට එච්චර අමාරු උනේ නැත.
“මේධා මගේ චෙක් පොත ගේන්න” කියා මනුර සුමතිපාල කියද්දි ඉතින් මේ තැනෙන්නට යන්නේ තමන් සහ සුමතිපාල පවුල අතර බැඳීමක පාලමක් බව වලාකුලුට නොහිතුනා නොවේ. ලබාගන්නට තිබෙන හැමදේම ලබාගන්නට හැක්කේ ඒ පාලම මතින් එගොඩ මෙගොඩ යා උනොත් පමණකි.
මේධා සහ වලාකුලු ආදරයත් අලුත් ව්‍යාපාරයේ රාජකාරිත් සමග කාර්යබහුල වෙද්දි චිරත් උන්නේ අලුතෙන් ඇරඹුන රෙස්ටුරන්ට් එකේ වැඩ රාජකාරි අස්සේ කාර්යබහුල වෙමින් ය. එහෙත් තමන්ට උසාවියෙන් නියම කර ඇති ආකාරයට සති අන්තයේ පෙත්මලීව බලන්නට යන්න ලැබෙන ඉඩ චිරත් කිසිසේත්ම මගහැර ගත්තේ නැත.
ඒ සියල්ල ඇත්තක් නමුත් පෙත්මලි උන්නේ දරුවෙකු වශයෙන් සන්තෝසදායක තැනක නොවේ. ඉස්සර මෙන් ගෙදර ඇවිත් සෙල්ලම් කරන්නට ඉස්කෝලෙ වෙච්ච දේවල් ගැන කියන්නට අම්මාවත්, රෑට නිදාගනිද්දි තුරුල් කරගන්නට තාත්තාවත් නැති තැනක පෙත්මලී උන්නේ ඇත්තටම විසල් මානසික පීඩනයක් හිත අස්සේ දරාගෙනය. සමහර අවස්තාවල අඬමින් “කන්නට බෑ, ඉස්කෝලේ යන්නට බෑ” කියා කියද්දී ඒ වචන පිටිපස්සේ හැංගී තිබෙන දරුවෙකුගේ බිඳෙමින් පවතින මානසික තත්ත්වය තේරුම්ගන්නට පුලුවන් කිසිවෙක් ඒ නිවසේ සිටියේ නැත.
“මොකද්ද ළමයො මේ බොරු කරන්නෙ, ඉස්කෝලෙ යන්නෙ නැතුව ඉන්න පුලුවන්ද?” කියා විටෙක අම්මාත් තවත් විටෙක ආච්චි අම්මාවත් බැණ වදිද්දී පොඩ්ඩක් හෝ ආදරයෙන් “අනේ හොඳ බේබිනෙ අඬන්න එපා. මේ බලන්න ලස්සන මූණ කැතවෙනවනෙ” කියා තුරුලට ගෙන සනසවන්නට උන්නේ සෝමා ආච්චි පමණකි. පෙත්මලී උදේ වැඩට යද්දී වාහනයට නැග්ගේ සෝමා ආච්චිගෙ අතේ එල්ලීය. හවස දුවගෙන ආවේ සෝම ආච්චිගේ තුරුලටය. රෑට නින්ද යන්නෙ නැති, අම්මා ලැප්ටොප් එකෙන් වැඩ කර කර ඉන්න අවස්තාවල නින්දට ගියේ සෝමා ආච්චි ලඟය.
එහෙත් ඒ බැඳීම පෙත්මලීව කෙතරම සනසන්න හේතු උනද පෙත්මලී හිතෙන් අම්මාගේත් තාත්තාගෙත් ආදරය සහ අවධානය බලාපොරොත්තු උනාය.
“අම්මි යන්න එපා, මෙතන ඉන්නකෝ”
“අම්මිත් එන්න නාන්න”
“අම්මි තාත්තිට එන්න කියන්නකො. මට පාලුයි. අපි තව මල්ලි කෙනෙක් ගේමුද සෙල්ලම් කරන්න” කියා පෙත්මලි විටෙන් විට අහන ප්‍රශ්නවලට උත්තර දෙන්නට බැරිතරම් අම්මා වැඩ එක්ක කාර්යබහුල වෙද්දි ඒ ප්‍රශ්න ඇසුවට උත්තර නැති තැන පෙත්මලී වඩ වඩා නිහඬ කෙලවරක තනිවෙන්නට පටන් ගත්තාය. ඒ වෙනස කවුරුන් නොදැක්කද නදීකා ටීච වටහාගත්තාය. එහෙත් ගෙදර මව් දෙමව්පියන්ගෙන් උදව්වක් නැති තැන තමන්ට දරුවෙකු ගැන තනියම තීරණයක් ගන්න අයිතියක් නැති හන්දාම නදීකා උන්නේ නිහඬ වෙමිනි. පෙත්මලී බිඳෙන් බිඳ උස් මහත් උනේ ඒ සියල්ල මැද්දේය.
වලාකුලුට බිස්නස් එක අරඹන්න ලොකුවටම ප්‍රශ්න තිබ්බෙ නැත්තෙ මොන දේටත් දකුණු අත වගේ මේධාවිණී උන්නු හන්දාය. වලාකුලුට යම් කිසි තැනක ගැටලුවක් එද්දි ඒ වෙනුවෙන් මැදිහත් වී කටයුතු කරන්නට මේධාවිණි අමතක කලේ නෑ වගේම වලාකුලු උන්නේ ඒ සියල්ල වඩා පැහැදුණු සිතකින් බලාගෙනය.
“ඔයා චිරත්ව මුලින් කසාද බැන්ද එක හොඳයි” කියා වලාකුලු කියද්දිත් මේධා උන්නේ දුරකතනයේ බැංකු ඇප් එක හරහා වලාකුලුගේ ගිණුමට ඔහුට අලුත් ප්‍රඩක්ශන් හවුස් එකේ වැඩ සඳහා අවශ්‍ය කරන කැමරා උපාංග කිහිපයක් ගැනීම සඳහා මුදල් ට්‍රාස්න්ෆර් කරමිනි.
“ඇයි එහෙම කිව්වේ?” කියා අහද්දි පමණක් මේධා එක තප්පරේකට ඔලුව උස්සා වලාකුලු දිහා බැලුවේ දෙනෙත්වල ප්‍රශ්නාර්ත ලකුණකුත් දෙතොලේ මන්දස්මිතයකුත් ඇඳගෙනය.
“එයා ඔයාව බැඳල ඩිවෝස් කල හන්දනෙ මට ඔයාව ලැබුනෙ”
“ඉතින් මම එයාව කසාද නොබැඳ ඉඳියනම් ඒත් අපිට හම්බුවෙන්න තිබුනනෙ”
“නෑ එහෙම උනානම් ඔයා වෙන කෙනෙක්ව බඳින්න තිබ්බනෙ. මේ වෙච්ච විදිය තමයි හොඳම විදිය. මං කැමති මේ හැමදෙයක්ම ප්ලෑන් වෙච්ච විදියට” කියා වලාකුලු සිනාසෙද්දී ඒ දෙනෙත්වලින් ගලන ආදරය මේධා නොදැක්කා නොවේ.
“දැන් ඔයා ඉතුරු කැමරා බඩු ටික අරගන්න ලෝන් එකක් ගන්නව කිව්ව නේද?”
“ඔව් එහෙම තමයි හිතන් ඉන්නෙ. හැමදේටම ඔයාගෙන් සල්ලි ගන්න බෑනෙ”
“පිස්සු එහෙම හිතන්න උවමනාවක් නෑ. ඔයාට ඕල්රෙඩි ලෝන් එකක් තියෙනව කියල කිව්වනෙ. ඔයා තව ඔයාගෙ නමට ලෝන් එකක් ගන්න එක ප්‍රශ්නයක් නේද?”
“ඔව් එහෙම එකක් තියෙනවා. ඒත් ඉතින් වෙන කරන්න දෙයක් නෑනේ මේධා. මේ වැඩේ දැන් කොහොමත් අපිට පස්සට දාන්න විදියක් නෑ. ඔයාගෙ තාත්තත් දැන් ඕල්රෙඩි හිතන් ඉන්නෙ අපිට ටක්ගාලා මේක ඉවර කරන්න පුලුවන් වෙයි කියල. මම ඇත්තටම හිතුවෙ නෑ අර සවුන්ඩ් පෘෆ් රූම් එක හදන එකට ඔච්චර ලොකු ගාණක් යාවි කියල. එතනින් නෙ කේස් එක උනේ”
“මම ඕනනම් ලෝන් එක අරගෙන දෙන්නම්. ඔයාට පුලුවන් ද ගෙවාගෙන යන්න?”