හද සාගරේ – 44

0
4961

පුංචි චාම් විවාහ උත්සවයනින් දෙව්රම් හා ආදියා විවාපත් වූහ. මේ විවාහය දෙව්රම් නිරත වූ රංගන ක්ෂේත්‍රයට මුළුමනින් පිටස්තරව සිදු වූවකි. ක්ෂේත්‍රයෙහි කිසි ම කිසිවෙකු විවාහ උත්සවයේ ආරාධිතයෙකු හෝ සාක්ෂිකාරයෙකු වූයේ නැත. සමීප ම ඥාතීන් කිහිප දෙනෙකු හැරුණු විට පුද්ගලික මට්ටමෙන් ඇසුරු කළ හිතමිතුරන් කිහිප දෙනා ද පවුල් දෙකේ අය ද පමණක් විවාහයට සහභාගී කරවා ගැනීම මනාල යුවලගේ කැමැත්ත මත සිදු විය.

මේ වන විට සාරධා ඖෂධ හා උපදේශන සේවා නිසා සැලකිය යුතු නිරෝගී මනසක් ඇති කරගෙන සිටියා ය. දරුවාට මව් කිරි දීමත්, ඇය බලාකියා ගැනීම ඇතුළු කටයුතුත් වැඩිපුර සිදු වූයේ සාරධා අතිනි. නමුත් ජිනාදරී ඈ ගැන විශේෂ අවධානයකින් පසු වූවා ය.

“ආදරේ කියන්නෙ කල් අරං පරිස්සමට තෝරගන්න ඕන දෙයක් කියල ඉස්සර ඉඳන්ම තාත්ත අපිට එක එක විදිහට කිව්ව. නංගි ඒක හරියට තේරුං ගත්ත නිසා ජීවිතේ සතුටෙන් ගෙවන්න පුළුවන් වෙයි. මං ඒක කනකට ගත්තෙ නැති නිසා මගෙ ජීවිතේම අවුලක් වුණා”

විවාහයට පෙර දින රාත්‍රියේ ආදියා සාරධා ගේ යහනේ වැතිරී අලුත් බිළිඳිය හුරතල් කරත්දී සාරධා මිමිණුවා ය.

“ජීවිතේ කියන්නෙයි ජීවිතේ සතුට කියන්නෙයි තනිකරම අපේ තෝරගැනීමක් කියන එක ඇත්ත අක්කෙ. ඒත් වැරදුණා කියල තේරුං ගත්තනං ඒ වැරැද්ද හදාගන්න අපිට බැරිවෙන්නෙ නෑ. අපි බලමු ඔයාගෙ ජීවිතේට වෙච්ච වරද හදාගන්නෙ කොහොමද කියලත්. කිසි දෙයක් සිද්ධ වෙලා ඉවර නෑ අක්කෙ. හැම මොහොතකම හැම දෙයක්ම සිද්ධ වෙමින් තියනව. ඒක නිසා… ඔයාගෙයි පැටව් දෙන්නගෙයි ජීවිත වලට හොඳම දෙයක් වෙයි. අපි කිසි දෙයක් ගැන බලාපොරොත්තු අත්ඇරගන්න ඕන නෑ”

“මං ඔය කිසි දෙයක් ගැන මුකුත් කියන්න දන්නෑ නංගි. හැබැයි අම්මවයි තාත්තවයි සතුටෙන් තියන්න ඔයාටහරි පුළුවං වෙච්ච එක ගැන මට සතුටුයි”

සාරධා එසේ කීවේ අවංකව ය. දැන් දැන් ඇය මානසික වශයෙන් සන්සුන් වෙමින් හිඳී. කැමැත්තෙන් උපදේශන සැසි වලට සහභාගී වී හිතිවිලි නිදහස් කරගනිමින් ද හිත නිරවුල් කරගනිමින් ද හිඳී. ලෝකයෙහි මෙවන් ඉරණමක් අත්වූ එක ම ගැහැනිය ඈ නොවන බව ද ඉරණම වෙනස් කර ගැනීමට නම් උමතු වෙනවා වෙනුවට වඩාත් සිහි බුද්ධියෙන් ක්‍රියා කළ යුතු බව ද දැන් ඇය දනී.

ආදියා ගේ මංගල ගමන කඳුළින් තොර සතුටෙන් බර එකකි.

“ඔන්න අඬල මේක් අප් කැත කරගන්නෙපා. ඔයා යන්නෙ දෙව්රම් පුතා ළඟට නිසා අපිට කිසිම දුකක් නෑ. අපේ පවුලට පුතෙක් එනව මිසක් අපිට ඔයාව නැති වෙන්නෑ කියල අපි දන්නව. ඒක නිසා හිනා වෙලා ලන්සනට යන්න ඕනෙ”

මංගල ගමනට පෙර ජිනාදරී ආදියා ව දැනුවත් කළා ය.

“ඔව්. අම්මල තනියම කියල ඔයා හිතන්න ඕනම නෑ. අම්මල එක්ක අපි ඉන්නව. දෙන්නත් එක්ක පටං ගන්න මේ ජීවිතේ තප්පරයක්වත් අපතේ අරින්නැතුව හිනා වෙලා සතුටෙන් ඉන්න”

නාලිනී ද ජිනාදරී ව අනුමත කළා ය. පවුල් දෙකක් ආදරයේත් විශ්වාසයේත් බැම්මෙන් එකට බැඳී තිබෙනා මොහොතක සැබවින් කණගාටු වෙන්නට කාරණා වූයේ ම නැත.

ඇරඹුවා වූ අලුත් ජීවිතය මල් අතුල මාවතක් නොවන බව දෙව්රම් ඉඳුරා දැන සිටියේ ය. එක් විවාහයක අත්දැකීම් ඔහු ට වන බැවිනි. මේ වූ කලී පරිස්සමෙන් යා යුතු ගමනකි. බාධක ගල් පරොලු ඕනෑ ම මොහොතක හමු විය හැක. ඒ සියල් අවස්ථාවන්ට උනුන් අවබෝධයෙන් මුහුණ දීම වඩා වැදගත් වේ. අන්‍යෝන්‍ය විශ්වාසය බිඳී ගිය තැන සියල් බැඳීම් දෙදරා යා හැකි බව ඔහු අත්දැකීමෙන් ම දනී.

“මං බැලුව ඔයා කෝ කියල”

ආදියා නින්දෙන් පිබිද යහනෙහි ඔහු සොයා, පසුව විසල් වීදුරු කවුළුව ළඟ ඉන්නවා දැක කීවා ය. ඒ සමගින් ම යහනෙන් බට ඕ නින්දෙන් මුළුමනින් අවදි නොවී ම ගොස් දෙව්රම් ව දෑතින් ම බදාගෙන ඔහු ගේ පපුවට තුරුලු වූවා ය.

“ඇහැරුණා. ඊට පස්සෙ නින්ද ගියෙ නෑ”

ඈ හිස් මුදුන සිපගනිමින් ඔහු මෘදු තානයකින් මිමිණුවේ ය.

“ඉතිං මට කතා කරන්නෙැයි…”

“පව්නෙ. ඔයා දවස් ගාණක මහන්සියත් එක්කනෙ ඉන්නෙ”

“ඉතිං තනියම මොනාද කල්පනා කරන්නෙ මෙතනට වෙලා…”

දෙව්රම් සුසුමක් අත්හැරියේ ය. ආදියා හිසෝසවා ඔහු දෙස බැලුවා ය.

“කල්පනා කරන්න කොච්චර දේවල් තියනවද සුදූ… අතරමග අත්ඇරෙන්නැතුව… ඇදං වැටෙන්නැතුව මේ ගමන පරිස්සමට යන එක තමයි ලොකුම චැලේන්ජ් එක”

“හිතන්නෙපා”

ආදියා මුදු ලෙස කොඳුළා ය.

“මට ඔයාව ඕනෙ. ඒක මගෙ ලේ මස් වලටම කාවැදිච්ච ආදරයක්. මොන ප්‍රශ්න ආවත් මට ඒ ආදරේ ඕනෙ. රංඩු කරගෙන හරි ඒ ආදරේ නිසා ඔයා ළඟම ඔයා එක්කම ඉන්න ඕනෙ. ඒක නිසා මං දන්නව මට කිසි ප්‍රශ්නයක් නෑ. හිතන්න දේකුත් නෑ. මොන හේතුවක් නිසාවත් මට ඔයාව දාල යන්න බෑ. ඔයා මාව දාල යන්න හැදුවත් මං ඉඩ දෙන එකක් නෑ. වද දිදී හරි ඔයාගෙ පස්සෙං එයි. ඒ ආදරේ විතරක් මට පරිස්සං කරල දෙන්න. වෙන මොනාත් ඉල්ලන්නෑ”

දෙව්රම් වඩාත් තදින් ඈ සිය ළයෙහි හොවා සිප ගත්තේ ය.

“ඒ ආදරේ තමයි මටත් පරිස්සං කරගන්න ඕනෙ. අපි බලමු පුඵවං උපරිම දුර යන්න. අපි දෙන්නගෙන් එක්කෙනෙක්ට ආයෙ එන්න බැරි ගමනක් යන්න සිද්ධ වෙනකල්ම”

“මො… නාද කියන්නෙ…”

ආදියා නෝක්කාඩු වූවා ය. දෙව්රම් සිහවක් පෑවේ ය.

එයින් පසු උදා වූයේ ජීවිතය වඩාත් පිරිපුන් හා අර්ථවත් සේ දැනුණා වූ කාලයකි. පතිනියක ලෙස සැමියා වෙනුවෙන් ඉටු විය යුතු යුතුකම් ගැන ආදියා ජිනාදරී තුළින් දැක තිබිණ. ඊටත් වැඩිය ඈ සිය ස්වාමියාව වින්දනය කළා ය. ඔහු කෙරෙහි තව තවත්  බැඳෙමින් සිටියා ය. ආදරය කියනා හැඟීමෙහි දීප්තිය අඩු වී ගිය ද බැඳීම් වල ශක්තිය වැඩි නම් සම්බන්ධතා ලිහිල් වන්නේ නැත. මුලින් ඒක පාර්ශ්වික ප්‍රේමයක් දරාගෙන ද පසුව පෙම්වතෙකු සේ ද දෙව්රම් දෙස බැලූ දෑස් වලින් ආදියා දැන් ඔහු දෙස බලමින් සිටියේ ස්වාමි භක්තියකිනි. ආදරය වූ කලී ඒකාකාරී හැඩයක් ඇති දෙයක් නොවේ. තරලයක් එය අඩංගු වන්නා වූ බඳුනෙහි හැඩය දරන්නේ යම් සේ ද ප්‍රේමය ද එසේ ය. එය පවතින්නා වූ කාලයට අනුව හැඩය වෙනස් වේ. නැතිව එය පලා යනවා නොවේ. ඒ ඒ කාලයේ දී ඒ ඒ ස්වරූපයන්ගෙන් ආදරය පැවතෙන්නට හැරි විට පහසු ය. බලයෙන් හසුරුවන්නට වූ විට එය අතුරුදන් විය හැකි බැවිනි. ආදියා මේ සත්‍යය ගැන අවබෝධයෙන් පසු වූවා ය. එබැවින් ප්‍රේමය පැරණි වී අවපැහැ ගැන්වී ගියේ නැත. සූර්යාලෝකය නිසා විශ්වයෙහි ජීවය පවත්නා සේ ප්‍රේමය ද ශෘංගාරය ද අවැසි අනුපාත වලින් මුහු වීම නිසා ඔවුන් ගේ ජීවිත වල රස මුසු සජීවී බවක් කැළතිණ. හැම දවසක්, හැම මොහොතක් ජීවිතය සේ පිළිගන්නට ඔවුහු ඉත සිතින් කැමති වූහ.

මාස හයක සිර දඬුවම නිමා වී නිදහස් ලෝකයට පැමිණි දිනේශ් දිනක් සාරධා ට දුරකතන ඇමතුමක් දුන්නේ ය.

“අතේ සත පහක් නෑ. මට ළමයි බලන්නත් ඕනෙ”

සාරධා ගේ තොල් කොනක ඇඳුණු සිනහව ජීවිතාවබෝධය නිසා ම උපන්නකි.

“මිනිස්සු හිරේ විලංගුවෙ වැටිල හිටියහම සල්ලි හම්බකරන්න බෑනෙ. එතකොට අතේ සතයක් නැති වෙනව තමයි. අතේ සල්ලි රැඳෙන්නනං සල්ලි ඕන කියල හිතං හම්බකරන්න ඕනෙ”

“හම්බකරන්න රස්සා තියනවනෙ. අනේ මේ… දෙතුන් දාහක් දෙනව මට. මං එන්නං”

වෙනදා සේ සාරධා ඒ තර්ජනයට බිය වූයේ හෝ කලබල වූයේ හෝ නැත.

“මගෙ ළඟ දෙතුන් දාහෙ ඒව තියෙන්න මං හම්බ කරන්නෑනෙ. මටයි ළමයි දෙන්නටයි කන්න අඳින්න දෙන්නෙත් අපේ තාත්ත. ඔයා එන්න. හැබැයි ගෙදරට එන්න එපා ප්‍රශ්න ඇතිකරන්න. පාර ළඟට එන්න මං ළමයි දෙන්නව ගෙනත් පෙන්නන්නං. ඒ  වගේම මගෙන් සල්ලි ඉල්ලන්නැතුව අපේ වියදමට මටත් සල්ලි හම්බකරල ගෙනත් දෙන්න බලන්න. පිරිමියෙක් වගේ මොනා හරි කරල ජීවත් වෙන්න සල්ලි හම්බකරන්න”

දිනේශ් සාරධා සමගින් පාරේ කතා කරමින් සිටියදී ආදියා රැගත් දෙව්රම් ගේ රිය ගේට්ටුව ඉදිරියේ නතර විය. ආදියා රියෙන් බැස දිවැවිත් සාරධා අතින් බිළිඳිය ගත්තා ය.

“මගෙ තෝත මල බලන්න පුංචි ආව ඔන්න”

කියමින් ඇගේ සිනිඳු කොපුල් සිපගත්තා ය.

“පුංචි මාව බලන්න නෙවෙයිද එන්නෙ…”

ඒ අවිහිංසක ඇස් සිත්මි ගේ ය. ආදියා වහා ඇය ළඟ පහත් වී දැරිය සිපගත්තා ය.

“අනේ මැණික් කැටේ… ඔය දෙන්නවම බලන්න තමයි පැටියො. අර බාප්පි ඔයාට චොක්ලට් එකකුත් ගෙනාව”

දෙව්රම් අතින් චොක්ලට් එක ගත් දැරිය තාත්තා ද අමතක කොට ගෙට දිව ගියා ය.

“මොකද මේ පාරෙ… ගෙට ගිහිං කතා කළානං හරිනෙ”

දෙව්රම් ඒ යෝජනාව කළේ සාරධා හා දිනේශ් දෙස මාරුවෙන් මාරුවට බලමිනි. සාරධා අවිහිංසක සිනහවක් නගාගත්තා ය.

“යං යං දිනේශ් ඇතුළට. මං ඔයත් එක්ක කතා කරන්නමයි හිටියෙත්”

දෙව්රම් ගේ යෝජනාව ප්‍රතික්ශේප කළ නො හැකි තරම් පෞරුෂයෙන් අනූන වූවකි.

“තාත්ත කැමති වෙන එකක් නෑ දෙව්රම්”

සාරධා පැකිළෙමින් කීවා ය.

“අංකල් මුකුත් කියන්නෑ. මන්නෙ කියන්නෙ. යමුකො ගෙට”

දෙව්රම් ඉස්සර වී ගෙට ගොඩ වූයේ ය. සාරධා ද දිනේශ් ද ඇතුළට පැමිණියේ දෙගිඩියාවකින් යුතුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here