දින 30කින් ඔයාටම ආදරේ කරන විදිය

දවස් තිහකින් ඔයාගේ ජීවිතේට අලුත් ඇරඹුමක් ගන්න පුලුවන් කියලා මම කිව්වොත් ඔයා ඒක විශ්වාස කරනවාද ? එහෙනම් මුල ඉඳන් කියවලා බලන්න. සුදුසු විදියට ආදේශ කරගන්න. ඔයා ඔයාටම ආදරේ කරන්න පටන් ගන්න. හැමදේම නැවුම් සෙයියාවකින් වෙනස් වේවි…,

දිනය 1 

ඔබ ඔබ ගැනම හිතන්න. ඔබට ඔබ ගැන ආදරේ හිතෙන කරුණු පහක් වෙන වෙනම ලියන්න.

උදා – මම අනෙක් අයට කරුණාවන්ත වීම ගැන මට සතුටුයි.

මම මගේ කොණ්ඩයට ආසයි.

දිනය 2 

ඔබව ආපස්සට අදින කාරණා, ඔබේ සිත තුළ ඇති පීඩාකාරී බාධාවන් ගැන සිතන්න

උදා – මම තනියම පාර පනින්න බයයි

මම තනියම ගෑස් කුකර් එක දල්වන්න බයයි

දිනය 3 

ඉදිරි දින 28 වෙනුවෙන් දෛනික කාලසටහනක් සකස් කරන්න.

උදා – උදෑසන හයට නැගිටිම

උදෑසන හයයි තිහට ව්‍යායාම

දිනය 4

ඔයා ඔයා එක්කම ධනාත්මකව කතා කරන්න උත්සාහ කරන්න. ඔයා විසින් ඔයාට ප‍නවා ගන්න සීමා ‍‍‍‍ගැන හිතලා බලන්න

උදා  අද දවස මට ඊයේට වඩා හොඳ දවසක් කරගන්න පුලුවන්

මම මගේ හීන හැබෑ කරගන්න තරම් ශක්තිමත්

ධනාත්මක සිතුවිලි ඔයාගේ මනස සතුටට පත් කරනවා. එතකොට ඔයාට තව තවත් වැඩ කරන්න ශක්තිමත් බවක් දැනෙනවා.

දිනය 5

සෞඛ්‍යාරක්ශිත ආහාර වේලක් ගන්න. අද ඉඳන් ඔයාගේ ආහාර වේල් ගැන සැලසුමක් හදාගන්න. කෙටි කෑම අවමව, නැවුම් පළතුරු එළවළු උපරිමව සැලසුම් කරන්න. එක දවසක් ඒ වගේ ආහාර වේලක් ගත්තාම ඔයාට දැනේවි ඒක ඔයාගේ ජීවිතේට කොයි තරම් වටිනවාද කියලා

දිනය 6

ස්වාධීන ජීවිතයක් වෙනුවෙන් කුඩා පියවරක් තියන්න. ස්වාධීන වීම ඔයාගේ මනසේ අමුතුම නිදහසක් හදනවා. ඒ නිදහස එක්ක ඔයාගේ ජීවිතේට අමුතු සැහැල්ලුවක් දැනෙන්න ගන්නවා.

උදා ඔයා වෙනදාට තනියෙන් සුපර් මාර්කට් එකට නොයන කෙනෙක් නම්, තනියම ගිහිල්ලා අවශ්‍ය දේවල් තෝරලා අරගෙන එන්න

දිනය 7

කෙටි ධනාත්මක ස්තූතිවන්ත වීම් කිහිපයක් සකසා ගන්න. මේ වාක්‍ය කණ්ණාඩියක් ඉස්සරහට වෙලා ඔයාටම ඇහෙන්න කියන්න උත්සාහ කරන්න. ස්තුතිවන්ත වීම කියන්නේ ඉතාම වටිනා පුරුද්දක්. ඒ තු‍ලින් ඔයාට ඔයාගේ අභ්‍යන්තර සිතුවිලි අවදි කරගන්න පුලුවන්.

උදා ඊයේ දවස සාර්තක වීම ගැන ස්තූතියි. අද උදෑසන මෙතරම් පහසුවෙන් ඇරඹීමට ලැබීම ගැන ස්තූතිවන්ත වෙමි

දිනය 8

ඔයාගේ කුඩා ජයග්‍රහ‍‍ණ පවා අභිමානයෙන් සමරන්න. ඔයා ඔයාටම ප්‍රශංසා කර ගන්න එක තරම් තවත් සතුටක් නැති බව ඔයාටම වැටහේවි. එහෙම සතුටු වීම තු‍ල ඔයාගේ ශක්තීන් තව තවත් අවදි වෙනවා.

උදා අද මම එක්සෙල් ශීට් එකේ ෆෝමියුලා ඔක්කොම මතකෙන් එකතු කරා. ඒක නියමයි.අද මම හදපු තේ එක නියම රසයි, ඒ වගේම සුවඳයි.

දිනය 9

ඔයා ආස කරන කෑමක් සකස් කරන්න. ඔයා උයන්න ආස කරන කෙනෙක් නොවුනත්, අන්තර්ජාලයෙන් හරි බලාගෙන කෑමක් හදන්න උත්සාහ කරන්න. ඒ කෑම හදලා ඉවර වෙලා කට්ටියත් එක්ක කනකොට දැනෙන හැඟීමට ඔබ අනිවාර්‍යෙන්ම කැමති වේවි. ඔයා ආසම කරන කෑමක් ඔයාම හදාගෙන කනවෙලාවට දැනෙන හැඟීම ඔයාට නැවුම් බවක් ගේනවා.

දිනය 10

ප්‍රමාණවත් තරම් වතුර බොන්න. වෙනදාට ඔයා වතුර බොන්නේ නැති කෙනෙක් නම්. දවස පුරා ශරීරයට අවශ්‍ය තරම් වතුර බීලා බලන්න ඒ වෙනස ඔයාට දැනෙන හැටි.  එතකොට ඔයාට දැනේවි මේ පුරුද්ද දිගින් දිගටම කරගෙන යන්න ඕනි බව.

දිනය 11

ඔයා වෙනුවෙන් සෙල්ෆ් කෙයාර් රූටින් එකක් සැලසුම් කරගන්න. මුහුණට, අත් වලට, දෙපා වලට, ශරීරයට ප්‍රමාණවත් සත්කාරයක් ලබා දෙන්න දින වෙන් කරගන්න. නිවසේදී කරන්න පුලුවන් සත්කාර වෙනම වෙන් කරගන්න. සැලෝන් එකකට ගිහින් කරගන්න ඕනි සත්කාර වෙනුවෙන් දින හදාගන්න. ඒ වගේම පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න, සින්දුවක් අහන්න වෙලාව වෙන් කරගන්න.

දිනය 12

ඔයාට සතුටක් දැනෙන මොනයම්ම හෝ දෙයක් කරන්න. ඔයාගේ  විනෝදාංශයක් වෙනුවෙන් වෙලාව වෙන් කරගන්න විදියක් සැලසුම් කරන්න. ඔයා ඒ කාලය ඇතුලත ඔයාවම සතුටු කරගන්න බව වැටහේවි.

උදා ගිටාර් එක ප්ලේ කරන්න, සුරතලා එක්ක කාලය ගෙවන්න,නිදහසේ ඇවිදින්න යන්න

දිනය 13

ඔයාගේ මනස සුවපත්ව තියා ගන්න උත්සාහ කරන්න. විෂ සහිත පුද්ගලයන්, විෂසහිත පරිසර වලින් ඈත් වෙන්න. සමාජ මාධ්‍ය වල විෂ සහ ඍණාත්මක බව තියෙන තැන් මඟාරින්න. අද පටන් ඒ පුරුද්ද දිගටම කරන්න සූදානම් වෙන්න.

උදා සමාජ මාධ්‍ය වල කුණු වපුරන, කුණු ගොඩවල්ම අවුස්සන පිටු වලින් ඉවත් වෙන්න

දිනය 14

ඔබට දැන් තියෙන දේවල් වෙනුවෙන් ස්තූතිවන්ත වෙන්න. ලැබුණු දේවල් ගැන සෑහීමකට පත් නොවී කවදාවත් ඔයාට ඉදිරියට යන්න බැහැ. ලැබුණු දේවල් වෙනුවෙන් සහ ඔයා මේ වෙද්දී උපයාගෙන තියෙන දේවල් වෙනුවෙන් ස්තුතිවන්ත වෙන්න.

උදා මේ රැකියාව මට ලැබීම වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා

දිනය 15

සම්පූර්ණ දිනයක් හරි සති අන්තයක් හරි ඔයගේ සාමාන්‍ය දින චර්‍යාවෙන් මිදිලා විවේකයක් වෙනුවෙන් වෙන් කරන්න. එහෙම විවේකයකට පස්සේ ඔයාගේ ජීවිතේ අලුත් වෙන බව ඔයාටම දැනෙනවා. ඒ විවේක දවස ඔයා වෙනුවෙන් වැය කරන ගමන්, සතුටු හිතෙන දේවල් වලින් පුරවගන්න.

දිනය 16

අතීතයේ ඔයාට වැරදු‍නු, පැටලුණු, ලැජ්ජ හිතෙන දේවල් ගැන පසුතැවෙන එක අවම කරගන්න උත්සාහ කරන්න. ගෙවිලා ඉවර වුන දවසක් කියන්නේ ආයෙම ඔයාට වෙනස් කරන්න පුලුවන් දවසක් නෙවෙයි කියලා තේරුම් ගන්න. ඒ වගේම අතීතයෙන් ඉගෙන ගත්ත පාඩම් වර්තමානය ඇතුලේ ජීවත් කරවන්න

උදා විෂ සහිත ප්‍රේම සම්බන්ධතාවයක් අවසන් කිරීම

දිනය 17

ඔයා ඔයාවම විශ්වාස කරන්න. ඔයාගේ හීන වල ප්‍රමාණය ගැන ඔයාම ඔයාට වග වෙන්න. ඒ හීන ලොකු වුනත්, පොඩි වුනත්, ඒ හීන ඉටු කරගන්න හැකියාව තියෙන්නේ ඔයාටම බව වටහා ගන්න.

උදා මම හවස් වරුවට ගෙදර ඉස්සරහ පොඩිවට කොෆී ශොප් එකක් දානවා

දිනය 18

අලුත් දෙයක් ඉගෙනගන්න

ඔයාගේ ස්කිල් එක හදාගන්න එක කවමදාවත් කල් ඉකුත් වෙන දෙයක් නෙවෙයි. අදින් අලුත් දෙයක් ඉගෙනගන්න පටන් ගන්න. එහෙම අලුත් දේවල් ඉගෙන ගන්නකොට ඔයාගේ ජීවිතේ අලුත් පාරවල් විවෘත වෙනවා. ඔයාටම ඔයා ගැන ආඩම්බරකාර බවක් දැනෙනවා.

උදා  ගෙතීම් ක්‍රමයක් ඉගෙනගන්න, කේක් අයිසින් කරන්න ඉගෙනගන්න, පරිගණක මෘදුකාංගයක වැඩ කරන්න ඉගෙන ගන්න

දිනය 19

ව්‍යායාම සහ ශරීර සුවතා වෙනුවෙන් වෙලාවක් වෙන් කරන්න. අද ඉඳන් හැම දවසකම විනාඩි විස්සක්වත් ව්‍යායාම වෙනුවෙන් වෙන් කරන්න. ඒ වෙනුවෙන් ඔයාගේ ගෙදරම තැනක් වෙන් කරගන්න. ශරීරය සැහැල්ලු වෙනකොට ඔයාගේ දවස ඉබේම සැහැල්ලු වෙන්වා

දිනය 20

ඍණාත්මක සිතුවිලි එක්ක ඔයාම ගැටෙන්න. හැමදාකම අපේ හිතට  ඍ ණාත්මක සිතුවිලි එන එක සාමාන්‍ය දෙයක්. ඒත් ඒ සිතුවිලි වෙනස් කරගන්න එක ඔයාටම කරන්න පුලුවන්. ඒ සිතුවිලි වලට ඔයාව වට්ටන්න දෙන්න එපා.

උදා ඔයාට ඒක නම් කරන්න බැරි වෙයි කියලා හිත කියනවා නම්, ඔයා එක් වතාවක් ඒ දේ කරන්න උත්සාහ කරලා බලන්න.

දිනය 21

ඔයාගේ සමීප කවය ඔයාව ශක්තිමත් කරන සහ ඔයාට සුව පහසුව සදන අයගෙන් හදාගන්න.  අපි ආශ්‍රය කරන මිනිස්සු  කියන්නේ අපේ ජීවිත වලට ඉතාම තද බලපෑමක් කරන අය. එහෙම අය ඔයාගේ ජීවිතේ ඉන්න එක හරිම වැදගත්. ඒ වගේම, එහෙම අය ඔයාව ශක්තිමත් කරන, ඔයාට ධනාත්මක බලපෑමක් ගේන අය වෙන එකත් ඒ තරමටම වැදගත්

දිනය 22

තනියම ඇවිදින්න යන්න. මේ තනි ගමනට කියන්නේ සෝලෝ ඩේට් එකක් කියලා. ඔයා ලෑස්ති වෙලා නිදහසේ පාරට බැහැලා ඔය වෙනුවෙන් ඇවිදින්න. ඔයා ආස දේවල් කන්න, බොන්න. ඔයාට අවශ්‍ය දේවල් මිලදී ගන්න. ඔයා ගැන කල්පනා කරන්න. ඔයා ගැණ ආඩම්බර බවක් දවස අවසානේදී ඔයාට දැනේවි.

දිනය 23

භාවනාවකට හුරු වෙන්න. මේක දිනපතා කරන්න අපහසු නම්, ඉස්සේල්ලාම දිනයක් ඇර දිනයක් හුරු වෙන්න. හිත සැහැල්ලුව හැදෙනකොට ඔයා ඉබේම ඇබ්බැහි වේවි

දිනය 24

ඔයා ආස කරන වැකේශන් එකක් සැලසුම් කරන්න.

උදා ඩිස්නිලන්තයේ සති දෙකක්

දිනය 25

ජර්නල් එකක් ලියන්න පටන් ගන්න. ඔයාටම ඔයාව කියවගන්න ජර්නල් එකක් කියන්නේ හොඳ අවස්තාවක්. අන්තර්ජාලයෙන් පරික්ෂ කරලා ඔයාට වඩාත්ම ගැලපෙන ජර්නල් ලිවීමක් ඔයාම සකස් කරගන්න.

දිනය 26

සොබාදහමට එකතු වෙන්න. සොබාදහම කියන්නේ විඩාබර හිතකට ලැබෙන හොඳම ඔසුවක් බව ඔයාට වැටහේවි. නිරුවත් දෙපයින් තණ බිස්සක ඇවිදින එක පවා දිනයක් නැවුම්ව පටන් ගන්න කදිම ඔසුවක්.

දිනය 27

ඔයා ආසම විදියේ ඇඳුමක් උත්සාහ කරන්න. මේ තරම් කල් ඔයා ආසාවෙන් උන්න ඇඳුමක් අඳින්න. ඇඳුම් කියන්නේ ඔයාගේ ආත්ම විශ්වාසය ඔප් නංවන කාරණාවක් බව ඔයාට වැටහේවි.

දිනය 28

ඔයා ඉන්න ප්‍රදේශයේ ඇවිදින්න යන්න කැමති තැන් ගැන හොයලා බලන්න.  විදෙස් ජාතියකයෙක් ඒ තැන් වලට යන්න ආස කරනවා වගේ ඔයාත් උත්සාහ කරන්න. ඒ සොබාදහමට මුහු වෙන්න.

දිනය 29

ඔබේ හීන ගැන රූප මවන්න

දිනය 30

ඔබේ ජීවිතය වෙනස් කරන්න පුලුවන් තරමේ පුරුද්දකට ඇබ්බැහි වෙන්න. එතකොට ඔයාටම දැනේවි, ඔයාට ඔයාව කොයි තරම් පාලනය කරගන්න පුලුවන්ද කියලා.

උදා පැණි රස කෑම මාසයකට නැවැත්වීම 

මේ දවස් තිහ දිගින් දිගටම කරගෙන යන්න උත්සාහ කලොත්, අනිවාර්‍යෙන්ම ඔයාට ඔයාව දිනවන්න පුලුවන් වේවි..!

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles