Red Velvet Cheesecake Brownies

හවස තේ වෙලාවට, පොඩි බඩගින්නක් ආවම, කාර්‍යාලයේ යාළුවො එක්ක බෙදාගන්න වගේම අමුත්තන්‍ට වුනත් පිළිගන්වන්න පුළුවන් තවත් රසම රස කෙටි කෑමක් ගැන ඔබට කියන්නයි smart lady අපි අද මේ සූදානම් වෙන්නෙ.

අද අපි බලමු සාමාන්‍යය බ්‍රවුනීස් වලට වඩා පෙනුමින් වගේම රසෙනුත් ටිකක් වෙනස් බ්‍රවුනීස් වර්ගයක් වෙන රෙඩ් වෙල්වට් චීස් කේක් බ්‍රවුනීස් (red velvet ccheesecake brownies) හදාගන්නෙ කොහොමද කියල.

බිත්තර නැතුව හදන්න පුළුවන් හරිම ඉක්මන් පහසු රෙසිපියක් නිසා නිර්මාංශ ඔබට වුනත් ඔන්න බය නැතුව මේ බ්‍රවුනීස් රස විඳින්න පුළුවන්.

එහෙනම්, මුලින්ම අවශ්‍ය ද්‍රව්‍ය සූදානම් කරගමු.

අවශ්‍ය ද්‍රව්‍ය

කාමර උෂ්ණත්වයේ ඇති බටර් කෝප්ප ½ ක්

සීනි කෝප්ප ½ ක් සහ ¼ ක්

මුදවපු කිරි කෝප්ප 01 ක් 

වැනිලා තේ හැඳි 01 ක් 

ලෙමන් යුෂ තේ හැඳි 01 ක්

පාන් පිටි කෝප්ප 01 ක්

කොකෝ පවුඩර් මේස හැඳි 02 ක් 

රතුපාට වර්ණක තේ හැඳි 02 ක් 

තෙල් කඩදාසියක් අතුරා සූදානම් කරගත් කේක් තැටියක්

ක්‍රීම් චීස් මිශ්‍රණය සඳහා

ක්‍රීම් චීස් කෝප්ප ¼ ක්

ටින්කල උකු කිරි මේස හැඳි 02 ක් 03 ක්

වැනිලා තේ හැඳි 01 ක් 

හොඳයි. දැන් අපි බලමු මේ කළමණා භාවිතා කරල බ්‍රවුනීස් හදාගන්නෙ කොහොමද කියල.

සාදාගන්නා ආකාරය

මුලින්ම, තරමක් විශාල භාජනයක් අරන් බටර් සහ සීනි භාජනයට එකතු කරගන්න ඕන.

මේ විදිහට එකතු කරගත්ත බටර් සහ සීනි ස්පැචූලා එකක්, විස්ක් එකක් ඒමත් නැත්නම් පැතලි හැන්ඳක් ආධාරයෙන් සීනි වල කැට සම්පූර්ණයෙන්ම නැතිවෙලා යනකන් හොඳින් කලවම් කරගන්න ඕන.

මේ විදිහට කලවම් කරන්න බීටර් පාවිච්චි කරන්න එපා.

ඊළඟට, කලවම් කරගත්ත බටර් මිශ්‍රණයට මුදවපු කිරි, ලෙමන් යුෂ, පාන් පිටි, වැනිලා, කොකෝ පවුඩර් සහ රතු පාට ආහාර වර්ණකත් එකතු කරල ආයෙමත් කලින් වගේම පිටි කැට නොසිටින විදිහට හොඳින් කලවම් කරගන්න ඔක් ඕන.

දැන් මේ බ්‍රවුනීස් මිශ්‍රණය සූදානම් කරගත්ත තැටියට දාගෙන එක සමාන මට්ටමට තැටිය පුරාම අතුරාගන්න ඕන.

ඊළඟට, තවත් භාජනයක් අරන් ක්‍රීම් චීස්, උකු කිරි සහ වැනිලා එකතු කරල කැට නොසිටින විදිහට හොඳින් කලවම් කරගෙන ක්‍රීම් චීස් මිශ්‍රණය හදාගන්න.

මේ ක්‍රීම් චීස් මිශ්‍රණයෙන් ටික ටික අපි අතුරගත්ත බ්‍රවුනීස් මිශ්‍රණයේ තැනින් තැනට දාගෙන ඉරට්ටක් ආධාරයෙන් ඉරි අඳිමින් බ්‍රවුනීස් මිශ්‍රණය පුරාම ක්‍රීම් චීස් මිශ්‍රණය අතුර ගන්න ඕන.

කලින් රත්වෙන්න (preheat) තිබ්බ අවන් එකේ සෙන්ටිග්‍රේට් අංශක 170 ක උෂ්ණත්වයේ විනාඩි 25 ක් 30 ක් අතර කාලයක් බේක් කරගෙන ඉවතට අරන් කෑලි කපාගෙන උණුවෙන්ම රස බලන්නයි දැන් තියෙන්නෙ.

කිරි තේ එකක් කිරි කෝපි එකක් එක්ක වුනත් ගැළපෙනව නේද?

එහෙනම්, හදල බලල අපි එක්කත් රස බෙදාගන්න අමතක කරන්න එපා.

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles