“ඔන්න අදත් මම ආවේ මගේ Mouth Breaking News Episode වල අලුත්ම එක අරගෙන.
මේ දවස්වල ඔය ෆේස් බුක් එකේ හොඳ අම්මා කෙනෙක් වෙන්නෙ කොහොමද කියලා පුංචි, සුන්දර කාන්තා ගෘප් වල ආටිකල් ලිය ලිය ලෝකෙට අවවාද අනුශාසනා දීගෙන යන මලක නමක් තියෙන එක්තරා කාන්තාවක් කසාදෙ දික්කරගන්නලු යන්නෙ.
“අනේ මගේ හස්බන්ඩ් නම් හරි ශෝක්. අපේ පුංචි පවුල රත්තරන්. අපේ පුතාගෙ පුංචි කාලෙ පරිස්සම් කරන්න ඕන නිසා අපි දෙන්න මොන ප්‍රශ්නෙ උනත් ගෙදරදි රණ්ඩුවත් වෙන්නෙ නෑ” කියල නේද ඔයාලා දෙන්නා ලේඩිස් ගෘප් වල ලිව්වේ? දැන් මොකද ඒ රත්තරන් පුංචි පවුලට උනේ? අනේ හරි පව්. අපි බලන් හිටියෙ රත්තරන් පුංචි පවුලෙ, රණ්ඩු වෙන්නෙ නැති අම්මියි තාත්තියි මැද්දෙ පුංචි කුරුලු පැටියා ලොකු වෙලා තටු ගහල ඉගිලිලා යනකම්. දැන් කසාදෙ දික්කරගත්තයින් පස්සෙ පුංචි කුරුලු පැටියා ඉන්නෙ කොහෙද? රත්තරන් අම්මියි තාත්තියි දෙන්නා රණ්ඩු වෙන එකක්වත් අහලා නැති පුංචි කුරුලු පැටියා දැන් අම්මියි තාත්තියි ඩිවෝස් වෙන එක කොහොම දරාගනීවිද කාන්තාවනි?
මෙලෝ පදනමක් නැතුව, ඇත්තද නැද්ද කියල හොයල බලන්නෙ නැතුව ගෑණු මාර ලස්සනයි කියල ලියන පවුල් ජීවිත ආටිකල් දිහා බලල තමන්ගෙ රණ්ඩු වෙන, මරාගන්න කසාදෙ හරි නෑ කියල හිතල මිනිහා එක්ක උඹලත් රණ්ඩු උනා නම් ඔන්න මේවා ඔහෙලට හොඳ පාඩම්. රණ්ඩු වෙන්නෙ නැති කසාද තියෙනවද බොලව්? අනික අම්මයි තාත්තයි දෙන්න පොඩ්ඩක් රණ්ඩු වෙනව දකින එක ළමේක්ට ඔච්චර නරක ට්‍රෝමා එකක් වෙනවනම් ලොකු වෙද්දි අම්මයි තාත්තයි දික්කසාද වෙන එක කොච්චර ලොකු ට්‍රෝමා එකක් වෙන්න ඕනද?
ලේඩීස් ගෘප්ස් මයි ෆුට්. අහුවෙයල්ලා උඹලත් ඔය බොරුවලට.
මෙතනින් මගේ Mouth Breaking News Episode 145 ඉවර වෙනවා. ඒ උනාට 146 එකෙන් මම තව Mouth Breaking News Episode එකක් අරගෙන ඉක්මනට එන්නම්.
එතකන් පුලුවන් නම් ගෙස් කරන්නකො කවුද මේ දික්කසාද වෙන්න යන රත්තරන් අම්මියි තාත්තියි කියලා”
ඕන් ඔය කතාව ටයිප් කරල ඉවරවෙලා අනුරාධා ගුණවීර ෆේස්බුක් එකට කතාව අප්ලෝඩ් කරල පොඩ්ඩක් වෙලා පෝස්ට් එක දිහා බලාගෙන හිටියෙ දැන් දැන් ලයික් කමෙන්ට් වලින් මේ පෝස්ට් එක පිරිලා යයි කියන එක දැනගෙන වගේ. කොහොමත් අනුරාධාට දැන් අවුරුදු ගාණක් තිස්සෙ අනුන්ගෙ ඕප දූප මේන්ටේන් කරල හදාගත්ත ලොකුම ලොකු දායක සභාවක් ඉන්න නිසා පෝස්ට් එකක් දාපු ඉක්මනින් ඒකට කමෙන්ට් ලයික් වැටෙන්න මහ වෙලාවක් ගියේ නෑ. කොහොමත් ෆේස්බුක් එකේ බාගෙට බාගයක් අයිඩියල් කියල පෙන්නගෙන ඉන්න ගෑණු බලන් ඉන්නෙ අහවල් ගෑණිට කෙලවෙලා තියෙන්නෙ හරි කෙලවෙන්නෙ හරි කොයිවෙලාවෙද කියන හන්දා අනුරාධාගේ Mouth Breaking News Episodes වලට ෆේස්බුක් එක ඇතුලෙ තිබුණෙ ලොකුම ලොකු ඉල්ලුමක්.
“මාරයි අනූ ඔයා නම් කොහෙන්ද මේ නිව්ස් හොයාගන්නෙ අප්පා”
“ඔයා නම් අනේ ඇවිදින සීසීටීවි එකක් වගේ. අපිට හීනෙන්වත් හොයාගන්නෙ නැති ඒව ඔයා හොයාගන්නවනෙ”
“මල්_____ නේද නම්? මං දන්නවා. ආයෙ දාන්නෙ නැතෑ ඔය ගෑණි පුංචි කාලෙ ඉඳල අම්මලගෙ තාත්තලගෙ ප්‍රශ්න වලින් දරුවන්ව ඈත් කරල තියෙන එක ගැන ලියවිච්ච ආටිකල්. මං කන් දෙකේ ඇඟිලි ගහගන්න ඕකිට කියන්නෙ”
“මට මතකනෙ මම අර අපේ හස්බන්ඩ් ගෙ ප්‍රශ්නයක් දාපු වෙලේ ඕකි මට කිව්වා රන් රන් රන් කියල. මං හොඳ වෙලාවට ඕකි කියන ඒව ඇහුවෙ නෑ. ආයෙ දාවිනෙ පෝස්ට්. මම තමයි මේ පාර රන් රන් රන් කියලා දාන්නෙ” කියල කමෙන්ට්, හාට්, ලයික් එමොජි වැටීගෙන යද්දි අනුරාධා කලේ ඔෆිස් එකේ පීසී එක ඕෆ් කරලා හෑන්ඩ් බෑග් එකට තමන්ගෙ බඩු ටික පැක් කරගෙන ඔෆිස් එකෙන් එලියට යන්න කලින් ඔෆිස් වොශෲම් එකට ගිය එක. එලියට යන්න කලින් මේක් අප් ටික ආයෙ ටචප් කරගන්න අනුරාධා ආස කොහොමත් එලියට ගියාම තමන්ගෙ වයස නොපෙනෙන හන්දා කොල්ලො එහෙම බලද්දි තියෙන ආසාවට. වොශෲම් එකට ගිහින් මේක් අප් ටච් කරගත්තට මොකෝ යූස් කරපු ටිශූ එක එහෙම ඩස්ට්බින් එකට දාන්නවත් අනුරාධා මහන්සි උනේ නෑ.
ටොයිලට් එකට ඇතුලට ගිහිල්ලා උදේ ඉඳන් ඇඳන් උන්න සැනිටරි නැප්කින් එක රිමූව් කරපු අනුරාධා තමන් යූස් කරපු පෑඩ් එක තමන්ටම අල්ලන්න හිරිකිත හන්දා ඩස්ට්බින් එකට දාන්න ඒක නැප්කින් එකත් එක්ක එන කොලේ ඔතනවා වෙනුවට ඒක නිකන්ම ඩස්ට්බින් එකට දැම්මේ ඔෆිස් එකේ රුල්ස් එහෙම, “මේවා අස්කරන්නෙත් ගෑණු ඒක නිසා නැප්කින් එකක් වුනත් අයින් කරද්දි කොලේ ඔතල ඒ මිනිස්සුන්ට කැත නැතුව අල්ලන්න පුලුවන් විදියට රිමුව් කරන්න” කියල තමන්ම අනුන්ට බැනලා ලියපු කතන්දර එහෙම පොඩ්ඩක් විතර අමතක කරලා.
“මං කරාට කවුරුවත් ඕව දකිනවද?” කියල හිතපු හන්දා එහෙම කරන්න අනුරාධා බය උනේ නෑ. බස් එකේ යන ගමන් අනුරාධාට තිබුන ලොකුම වැඩේ කලේ එයා ෆේස්බුක් එකේ ලියන එයාගෙ “මිනිසා”ට හොරෙන් රන් කරන අනිත් “මිනිස්සු” කීප දෙනාට චැට් කරන එක. ගෙදර ගියයින් පස්සේ හැන්දෑ වෙනකම් වැඩ කරල ගෙදර එන, වෙන රටක වැඩ කරන අනුරාධාගෙ “මිනිසා” එක්ක වීඩියෝ කෝල් වල ඉන්න එයාට සිද්ද වෙන නිසා අනිත් “මිනිස්සු” එක්ක චැට් කරන එක කරන්නෙ වෙන්නෙ නිදහසේ කාගෙවත් බලපෑමක් නැතුව මෙහෙම බස් එකේ යන එන වෙලාවක විතරයි.
“තමන්ගෙ මිනිහා මාර පර්ෆෙක්ට් කියල ෆේස්බුක් එකේ පත හෑලි ලියන ගමන් වෙන මිනිස්සු රන් කරන්න ලැජ්ජ නැද්ද හලෝ” කියලා තමන්ගෙ Mouth Breaking News Episodes වලින් වෙන කාන්තාවන්ට බනින ගමන් තමන් ඔහොම කරන එක ගැන අනුරාධා හිතුවෙ “මං කරාට කවුරුවත් ඕව දකිනවද?” කියලා. අනික ඉතින් ඇත්තටම අනුරාධා වගේ තව අය හිටියේ නෑ තමයි.
බස් එකේ එන ගමනුත් අනුරාධා තමන් දාපු Mouth Breaking News Episode 145ට ආව කමෙන්ට් කියවන ගමන් ඒවට රිප්ලයි කරන ගමන් තමයි හිටියෙ. කවදාවත් දැකපු නැති විදියෙ, කවදාවත් තමන්ගෙ පෝස්ට් එකකට කමෙන්ට් කරේ නැති විදියෙ ඇනොනිමස් ප්‍රොෆයිල් එකකින් දාපු අමුතුම විදියෙ කමෙන්ට් එකක් අනුරාධාගෙ හිත තප්පරේකට දෙකකට හෙල්ලුවා. හැබැයි ආයෙමත් පරණ පුරුදු අනුරාධා වෙලා ඒ කමෙන්ට් එකට රිප්ලයි කරන්න අනුරාධාට ගියේ තප්පර ගාණයි. ෆෝන් ස්ක්‍රීන් එක උඩ ඇඟිලි දිව්වෙ නිකන් මැරතන් එකක් වගේ.
“ඔයා ඔය Mouth Breaking News කියල දාන ඒවයින් කවදහරි ඔයා අනුන්ගෙ ජීවිත විනාස කරනවා වගේම ඔයාගෙ ජිවිතෙත් විනාස වෙච්ච දවසක ඔයා පාඩමක් ඉගෙන ගනිවී. ඔයා කියනෙ ඇවිදින සීසීටීවි එකක් කියලා ඔයාට හුරේ දාන මේ දායක සභාව ඔයාගෙ ඔය වගේ කැත නිව්ස් එකක් වයිරල් වෙන්න ගත්තයින් පස්සෙත් ඔයාට මේ විදියටම සලකාවි කියලද හිතන් ඉන්නෙ?”
“ඉස්සෙල්ලා තමන්ගෙ ප්‍රොෆයිල් එකෙන් ඇවිල්ලා කමෙන්ට් කරනවා ඔච්චර බය නැති එකෙක් නම්. තමුන් හිතන් ඉන්නෙ මොන ඇනොනිමස් ප්‍රොෆයිල් වලින් ආවත් මට තමුන් කවුද කිය අඳුරගන්න බෑ කියලද? මම දන්නවා ඕයි තමුන් කවුද කියල? අහවලා නේද? පොඩ්ඩක් පරිස්සම් වෙල ඉන්නව මම මගේ ඊලඟ Mouth Breaking News Episode එකෙන් දාන්නෙ තමුන්ගෙ අනන්‍යතාව ගැන විස්තරේ වෙන්න පුලුවන්” කියල චට චට ගාලා ඒකට කමෙන්ට් කරපු අනුරාධා ආයෙම වතාවක් මැසෙන්ජර් එක පැත්තෙයි ඉන්ස්ටග්‍රෑම් ඉන්බොක්ස් එක පැත්තෙයි ගිහින් “මිනිස්සු” එක්ක හුරතල් වෙන්න පටන් ගත්තා.
ගෙදර ගිහින් වොශ් එකක් දාලා, කප් නූඩ්ල්ස් එකට උණු වතුර දාලා ඒක රත්වෙනකම් ටීවි එක දාපු අනුරාධා ටීවි රිමෝට් එක ටීවි එක ඉස්සරහා තියෙන සෙටිය උඩට වට්ටලා කකුල ඉස්සුවෙ ආයෙ නූඩ්ල්ස් එක අරගෙන එන්න හිතාගෙන උනාට මොකෝ ඒ ගමන යන්න අනුරාධාට ඉඩක් හම්බුනේ නෑ.
“මෙන්න අපි අලුතෙන්ම අරගෙන එන Mouth Breaking News Episode එක. ඔයාලා මේක අහගෙන නේද ඉන්නෙ කාන්තාවනි?” කියල තමන් ෆේස්බුක් එකේ Mouth Breaking News Episode ලියන ආකාරයෙන්ම අලුත්ම විදියෙ නිව්ස් එකක් ටීවි එකේ යනවා දැක්කම අනුරාධා ආයෙම වතාවක් ඇස් දෙක ටීවි එක පැත්තට හැරෙව්වේ “මේ මොන මගුලක්ද?” කියල හිතන ගමන්.
කවදාවත් දැකපු නැති විදියෙ චැනල් එකක්, කවදාවත් ඇස් දෙකට දැකපු නැති විදියෙ කාන්තාවක් ඇවිත් තමන් ෆේස් බුක් එකේ ලියන ස්ටයිල් එකෙන්ම නිව්ස් එකක් දෙන්න යන එක පොඩ්ඩක් විතර අනුරාධාගෙ හිත බය කරා. ඒ නිව්ස් කියන ගෑණි පිටිපස්සෙ තිබ්බ නිව්ස් ලෝගෝ එකේ තිබ්බෙත් Mouth Breaking News කියල තමන් ෆේස්බුක් එකට ආටිකල් දාද්දි දාන ලෝගෝ එකමයි.
“කොහොමද එහෙම උනේ?” කියල හිතන ගමන් තමයි නූඩ්ල්ස් එකත් අමතක කරපු අනුරාධා සෙටියට වැටුණා.
“මෙන්න අපි අලුතෙන්ම අරගෙන එන Mouth Breaking News Episode එක. ඔයාලා මේක අහගෙන නේද ඉන්නෙ කාන්තාවනි?
ඔන්න ෆේස්බුක් එකේ අනුන්ගෙ පවුල් ජීවිත වල තියෙන අඩුපාඩු ප්‍රශ්න තමන් ඇහෙන් දුටුවා වගේ ලියන, තමන් ඇවිදින සීසීටීවි එකක් කියල දායක සභාවෙන් වන්දනාමාන කරගන්න එක්තරා කාන්තාවක් ගැන අද අපේ Mouth Breaking News වලින් ඔයාලා ඉස්සරහට අරගෙන එන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ.
මෙයා වැඩ කරන්නෙ _____ තියෙන ලොකු ඔෆිස් එකක. ඒ ඔෆිස් එකේ ලස්සන ලොකු බාතෘම් තියෙනවා. ඒ ලේඩීස් බාතෘම් වල ගහලා තියෙනවා “යූස් කරපු සැනිටරි නැප්කින්ස් රිමූව් කරන්න ඕන විදියක්” ගැන. හැබැයි “මේවා අස්කරන්නෙත් ගෑණු ඒක නිසා නැප්කින් එකක් වුනත් අයින් කරද්දි කොලේ ඔතල ඒ මිනිස්සුන්ට කැත නැතුව අල්ලන්න පුලුවන් විදියට රිමුව් කරන්න” කියලා ෆේස්බුක් එකේ මහ ලොකුවට ලියන “ගුණ වන්ත කමයි වීරවන්ත කමයි වාසගමේම තියෙන” මේ ඇවිදින සීසීටිවි එක නම් යූස් කරපු සැනිටරි නැප්කින් අයින් කරන්නෙ ඒ විදියට නෙවෙයිලු කියන අතරවාරෙ තමන් හවස ඔෆිස් එකෙන් එන්න කලින් බාතෘ එකට ගිහින් කරපු කියපු ඔක්කොම දේවල්වල ෆුටේජ් එකක් ටීවි එකේ ප්ලේ වෙන්න ගත්තම අනුරාධාට ඇත්තට වාඩිවෙලා ඉන්න තැනින් නැගිටුනා.
“කොහොමද එහෙම උනේ? අනික ඒ වෙලාවෙ බාතෘම් එකේ තව කී දෙනෙක් හිටියද? ඒ එක්කෙනෙක්වත් මේ ෆුටේජ් එකේ නැතුව මං විතරක් ඉන්නෙ කොහොමද?” කියල හිතට දාහක් ප්‍රශ්න ආවත් ඒ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න විදියක් අනුරාධා දැනගෙන හිටියෙ නෑ. බාතෘම් එකේ සිද්දිය, ඉන්පස්සෙ බස් එකේ එද්දි “මිනිස්සුන්ට” මැසේජ් දාන සිද්දි ඔක්කොම පෙන්නුවයින් පස්සෙ ටීවි එක එකපාර ග්ලිච් වෙලා අනුරාධා ගෙදර ඇවිත් දාපු චැනල් එකට ඔටෝම ගියා.
රිමෝට් එක අතට අරගෙන ආයෙ රිවයින්ඩ් කර කර බැලුවත් ඒ තමන්ගෙ සීසීටීවි ෆුටේජ් එක්ක තමන් ගැන Mouth Breaking News එකක් ගිය චැනල් එක හොයාගන්න විදියක් අනුරාධාට තිබ්බෙ නෑ. තව විනාඩියක් විතර සෙටියෙ වැටිල උන්න අනුරාධා අයෙ පියවි සිහියට ආවෙ ෆෝන් එක ටින් ටින් ගාල සද්ද කරද්දි.
ඉස්සෙල්ලාම ඇවිත් තිබ්බ මැසේජ් එක රට ඉන්න “මිනිසා” ගෙන්.
“මොනවද ඕයි තමුසෙට ලැජ්ජ නැද්ද? මටත් යාලුවෙක් වීඩියෝ එක එවල තිබ්බේ? තමුසෙ ගැන දැන් නිව්ස් වල කියන්න තරම් වනචර වැඩ කරනවද තමුසෙ?අනුන්ගෙ මගුල් හොය හොය ඉන්න අතරෙ තමුසෙ මටත් හොරෙන් නටලා තියෙන්නෙ මේව නේද?” කියල නිව්ස් වීඩියෝ එකෙ තමන් වෙන පිරිමින්ට යවපු මැසේජස්, නියුඩ්ස්වල ක්‍රොප් කරපු ඉමේජ් එකක් එක්ක බැනල එව්ව මැසේජ් එක දැක්කම අනුරාධා තිගැස්සුණා. මොකද්ද ඒකට දෙන්න ඕන උත්තරේ කියල හිතාගන්න බැරුව ෆෝන් එක පිරෙන්න ආව නොටිෆිකේශන් මොනවද කියල බලන්න ෆේස්බුක් එකට ගිය අනුරාධාට ඇඩුනා.
මීට තප්පර ගාණකට කලින් තමන් ටීවි එකේ දැක්ක නිව්ස් එපිසෝඩ් එක ෆේස්බුක් එකේ ඒ විනාඩි ගානට වයිරල් ගිහිල්ලා.
“මේ අර අයිඩියල් ලයිෆ් එකක් ගෙවන අනුරාධා නේද?”
“අනුන්ගෙ පෑඩ් ගැන ලියන ගෑනි තමන්ගෙ පෑඩ් එක අයින් කරන විදිය බලන්නකො”
“අනික අර ෆේස්බුක් එකේ දාන ෆොටෝවල ඉන්න ගෑණියි ඇත්තට ඉන්න ගෑණියි මාර වෙනස්නෙ. පුදුම එඩිට් කිරිල්ලක්නෙ කරල තියෙන්නෙ ෆොටෝ දාන්න කලින්. අම්මේ එහෙම ගෑණි තමයි නේද අර එක එක නිළියන්ට බැන බැන ගියේ වයිට්නින් ක්‍රීම් ගානවා, ෆොටෝ එඩිට් කරනවා, නිලියක් නම් නැචුරලි ලස්සන වෙන්න ඕන කියල”
“තමන්ට වෙන කම් තමයි ඔක්කොම” කියල ෆේස්බුක් මීම් පේජ් වල පවා තමන්ගෙ වීඩියෝ එක වයිරල් ගිහින් තියෙනව දකිද්දි, තමන් මෙච්චර කල් අප්ලෝඩ් කරපු හැම Mouth Breaking News එකකටම මිනිස්සු හිනා වෙවී තමන්ගෙ වීඩියෝ එක ටැග් කර කර යද්දි අනුරාධා උන්නෙ කරකියාගන්න දෙයක් නැතුව.
ආන් ඒ වෙලාවෙ තමයි තව අලුත් නොටිෆිකේශන් එකක් ආවෙ. ඒ අර ඉස්සෙල්ල තමන් දාපු පෝස්ට් එකට ඇනොනිමස් ඇවිත් කමෙන්ට් කරපු කෙනා. හිනාවෙන එමොජි එකක් එක්ක මිනිහ කියල තිබ්බෙ මහ අමුතු කතාවක්.
“මං කිව්වා නේද ඔයා දාන ඒවයින් අනුන්ගෙ ජීවිත විනාස වෙනවා වගේම කවදහරි ඔයත් පාඩමක් ඉගෙන ගන්නෙ ඔයාගෙ ජීවිතේ විනාස වෙච්ච දවසට කියල. මේ විනාස වෙන්න පටන් ගත්ත විතරයි. මේක තමයි ආරම්භය. හැමදාම හවස හතට ඔය අද කරා වගේම සෙටිය ඉස්සරහ වාඩිවෙලා ටීවි එක දාන්න විතරයි ඔයාට තියෙන්නෙ. ඔයා එදා දවසෙ කරපු කියපු දේවල් ඔක්කොම ඔයාටම ටීවි එකෙන් බලාගන්න පුලුවන්.
ඒකට ඔයා කැමති ඇති කියල මම හිතනවා. හරියට ඔයා අනිත් අයගෙ විස්තර ඔයාගෙ Mouth Breaking News Episodes වලින් ෆේස්බුක් එකෙන් රටටම දෙන්න ප්ලෑන් කරා වගේම ඔයා ගැනත් Mouth Breaking News රටටම දෙන්න ඕන කියල මම හිතුවා. එකයි මේක ප්ලෑන් කරේ. ඉතින් මම ඔයා ගැන දාන නිව්ස් මොනවද කියල ඔයාට හිතෙන ඒව ඇවිත් මෙතන කමෙන්ට් කරලා යන්න. මට පුලුවන් ඒව ගැන ඔයාගෙ ෆීඩ්බැක් එක එතකොට දැනගන්න. අමතක කරන්න එපා හැබැයි ඒවත් මුලු රටම දකිනවා එතකොට.
ඔයාට මේව නතර කරගන්න ඕන නම් ඔයා කරන්න ඕන අනුන් ගැන ඕපදූප හොයල ඒව ඔයාට රීච් හදාගන්න යූස් නොකර ඉන්න එක විතරයි.
එහෙනම් අලුත්ම Mouth Breaking News එකක් එක්ක හෙට හතට හම්බෙමු.
දැන් ඔය සෙටියෙන් බිමට වැටිල අඬ අඬ ඉන්නෙ නැතුව කුස්සියට ගිහින් තැම්බෙන්න තියපු නූඩ්ල්ස් එක කන්න. නැත්තම් ඒක තැම්බිලා වැඩිවෙයි”