සර්කස්

නවීන් තමන් ගැන හිතාගෙන උන්නෙ මහ ඉහළින්. නවීන් කියන්නෙ මැදි වයසෙ උන්න, කසාද බැඳපු, සාමාන්‍ය බිස්නස් කාරයෙක් කිව්වොත් හරියටම හරි. එහෙමකට කියල මහ ලොකු දෙයක් නොතිබ්බට මොකෝ නවීන් තමන් ගැන හිතාගෙන හිටියෙ “මං කියන්නෙ ඕන ගෑණියෙක් ළඟ දණ ගස්සගන්න පුලුවන්” මිනිහෙක් හැටියට. හැබැයි ඇත්තටම කතාව ඉතින් තමන් කැමති දෙයක් කරගන්නවත් නවින්ට තමන්ගෙ ගෑණිවත් තමන් ළඟ දණ ගස්සවගන්න බැරිවෙච්ච එක.

හැබැයි නවින් ඒක භාරගත්තෙ තමන්ට වෙච්ච පාඩුවක් විදියට නෙවෙයි. මේ වගේ දේවල්වලදි තාම තමන් පොරක් තමයි කියල හිතන්න නවින් දේව වාක්‍යය වගේ ඇදහුව වාක්‍යයක් තිබ්බා. ඒ තමයි “ගෙදර ගෑණි තමන්ව තේරුම් නොගත්තට, වෙන කාගෙ හරි ගෑණියෙක් තමන්ව තේරුම් ගනීවි” කියන එක.

ඔය වගේම තව තැනක ජීවත්වෙච්ච මැදි වයසෙ, කසාද බැන්ද ගෑණියෙක් තමයි දිල්මි කියන්නෙ. දිල්මිට ගෙදර උන්නු මනුස්සය විතරක් නෙවෙයි වට්සැප් එකේ, මැසෙන්ජර් එකේ එහෙම තව ඕන තරම් “තමන්ගෙ නොවන තමන්ගෙම ආදර කතා” තිබුණා. දිල්මි තමන්ගෙ මැසෙන්ජර්, වට්සැප් ආදර කතා සාධාරණීකරණය කලේ “පිරිමින්ට කරන්න හොඳ නම් අපි කරාම මොකද?” කියලා. 

මේ දෙන්නා හම්බුනෙත් මම අමුතු විදියට. අමුතු විදියට කිව්වට ඉතින් ඕන තරම් ගෑණු පිරිමි මේ දෙන්න හම්බුවෙච්ච විදියට හම්බෙලා කසාද බැඳලා, ලමයි හදලා, සන්තෝසෙන් ජීවත්වෙනවා දැක්ක හන්දා මිස් කෝල් එකකින් හම්බුවෙච්ච එක මේ දෙන්න සැලකුවෙ මේ දෙන්නගේ ආදරේට දෙයියො කරපු ආශිර්වාදයක් වගේ. මුලින් මුලින් ෆෝන් එකෙන් චැට් කරාට පස්සෙ පස්සෙ ෆෝන් එකෙන් කතා කරන එක, දුක ඇහුවම ළඟ ඉඳන් සනසන්න පුලුවන්කමක් නැති එක මේ දෙන්නට එක එක තැන්වලදි සෙට් වෙන්න, දුක අහන්න, හිත වගේම වෙන තැනුත් සනගන්න පාර කැපුවා. මේ දවස්වල මේ දෙන්නගෙ ෆේවරිට්ම සින්දුවෙ උනේ අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා. ඕකෙ ඇත්තටම තියෙන වචනෙ “අන්සතු” කියල වුණාට මේ දෙන්නගෙ මේ හොර මගුල් ගැන ලාවට වගේ දැනගෙන උන්න දෙන්නගෙ ඔෆිස් එකේ මිනිස්සු නම් දෙන්න දිහාවම බැලුවෙ “අං සතු” අය විදියට. 

“මං කවදාවත් ඔයාගෙ පවුලට ප්‍රශ්නයක් ඇතිකරන්නෙ නැ’

“මං කවදාවත් ඔයාට මාව භාරගන්න කියන්නෙ නෑ, මගෙ හිතේ තියෙන්නෙ ඔයා ගැන ආදරයක් විතරයි. ඔයා තරම් කවුරුවත් මාව තේරුම් ගත්තෙ නෑ” කියල දෙන්නට දෙන්න හොරෙන් හම්බෙන හෝටල් කාමරවලදි දෙන්නව සාධාරණීකරණය කරගත්තෙ “අද මේ හදිසි මීටින් එකක්, යාලුවෙක්ගෙ ගෙදර යන්න තියෙනවා, මේ ටිකේම වීකෙන්ඩ් වල වැඩ අනේ අපේ බොස් රටනෙ ඉන්නෙ ඒ නිසා ඔක්කොම වැඩ ටික මගෙ කරේ වැටිලා” කියල ගෙවල්වලට කියන බොරු බේගල් අස්සේ.

“ඇත්ත ආදරේ කසාදයෙන් පස්සෙ උනත් හම්බවෙන්න පුලුවන් කියලා මිනිස්සු කියන කතාව ඇත්ත වෙන්නැති නවින්. ඔයා හිතන්නෙ අපි දෙන්න කසාද බඳින්න කලින් හම්බුනානම් ඔයා මාව කසාද බඳීවිද?”

“මට හිතෙන්නෙ අපේ ආදරේ කසාදෙකින් ඉවර වෙන්න ඕන ජාතියෙ ආදරයක් නෙවෙයි දිල්. මට සන්තෝසයි ඒ නිසා අපි දෙන්නා මේ හම්බුවෙච්ච විදියට”

“ඔයාට හිතෙනවද අපි දෙන්නා මේ කරන්නෙ වරදක් කියලා?”

“අනියම් සම්බන්ධතාවයක් කියන්නෙ වැරැද්දක් කියලා මාත් හිතුව කාලයක් තිබ්බා දිල්. මං දන්නවා අදටත් මිනිස්සු ඔය වගේ දේවල් දිහා මහ ජරා විදියට බලද්දි, ජරා කතා කියද්දි මට අපි දෙන්නව මතක් වෙලා මාරෙට දුක හිතෙනවා. අනියම් සබඳතා ගැන ජරා විදියට දකින්න පුලුවන් එහෙම සම්බන්දෙකට යන්න හේතුවෙන කාරණා ඇත්ත ජීවිතේ හම්බුවෙච්ච නැති මාර පර්ෆෙක්ට් ෆැමිලි ලයිෆ් ගෙවන අයට. එහෙම මිනිස්සු කොහොමද දන්නෙ දිල් අපිට මේ වගේ සම්බන්ධෙකින් හරි හිත සනසගන්න තරම් ප්‍රශ්න කරදර හිත් රිදීම් අපේ ෆැමිලි ලයිෆ් අස්සෙ තියෙනව කියලා. ඒ වගෙ ෆැමිලි ලයිෆ් අස්සෙ ඉන්න මිනිස්සු දන්නව ඒ වගේ මනුස්සයෙක් අනියම් සම්බන්ධෙකට යන්නෙ තමන්ගෙ අසරණකම හන්දා කියන එක. අපිත් ආස නැද්ද දිල්මි එහෙම වැරදි කරන්නෙ නැතුව ලස්සනට ජීවත් වෙන්න තිබ්බනම්?”

“මේ ළඟඳි දවසක මට ඇහෙනව අපේ ඔෆිස් එකේ කෙල්ලො දෙන්නෙක් කතාකරනවා අනියම් සබඳතාවලට යන ගොඩක් අය පෙන්නන්නෙ තමන්ගෙ ෆැමිලි ලයිෆ් එකේ ප්‍රශ්න තියෙන නිසා තමයි එහෙම කරන්නෙ කියලා. ඒ උනාට ප්‍රශ්න තියෙනම් වෙන්වෙලා වෙන කෙනෙක්ව කසාද බඳින එක නේද කරන්න ඕන? We can never justify cheating කියලා”

“කියන්න ලේසියි ඉතින්, තුවාලෙ වේදනාව දන්නෙ තුවාලෙ තියෙන මනුස්සයනෙ. අනික ඔය ෆැමිලි ලයිෆ් එකේ ප්‍රශ්න තියෙනම් කරන්න ඕන වෙන්වෙන එක කිව්වට වෙන්වෙන එක ඔය කියන තරම් ලේසි නෑ කියල මිනිස්සු දන්නවද? එහෙම වෙන්වෙලා හැමෝම අසතුටෙන් ඉන්නවට වඩා හොඳ නැද්ද ගෙවල්වල මිනිස්සුන්ට නොදැනෙන්න පොඩි බොරුවක් කියල එයාලගෙ හිතත් සතුටු කරල අපිත් සතුටෙන් ඉන්න එක? අනික අපි දෙන්නම දන්නවනෙ අපි දෙන්නා කවදාවත් අපේ ෆැමිලි ලයිෆ්ස් අවුල් කරගන්නෙ නෑ කියන එක”

ඔය වගේ කතන්දර අස්සෙ ඇත්තටම නවින්ගෙ මාලිකායි, දිල්මිගෙ භානුකයි දෙන්නම තමන්ගෙ ෆැමිලි ලයිෆ් මාර පර්ෆෙක්ට් කියල හිතන ගමන් ඇත්තටම නවින්ටයි දිල්මිටයි හොඳම හොඳ බිරිඳකුයි සැමියෙකුයි වෙන ගමන්. “වීකෙන්ඩ් වල වැටෙන ඔෆිස් එකේ අතිරේක වැඩ, රෑ වෙනකම් තියෙන මීටින්” එහෙම තියෙන්නෙ එක එක හොටෙල් කාමරවල කියල දන්නෙ නැතිකම හන්දම මාලිකාටයි භානුකටයි හොඳ වයිෆ් කෙනෙකුයි, හස්බන්ඩ් කෙනෙකුයි විදියට රඟපාන්න පුලුවන්කම තිබ්බා.

ඔය වගේ දවසක තමයි රූම් එකක් අස්සෙ උණුහුම් වෙන්න ප්ලෑන් කරගෙන ගිය දවසක මේ දෙන්නට “හැමදාම එන හන්දා” හොටෙල් එකෙන් දෙන ට්‍රීට් එකක් විදියට Extra Special කියලා ගහපු You two deserve something… extra කියලා ටැග්ලයින් එකක් එක්ක තිබිච්ච පොඩි චොකලට් එකක් හම්බුනේ. මහන්සියටයි, ඇඟට දැනිච්ච රසෙ දිවටත් දනවගන්න හිතාගෙන දෙන්නම චොකලට් එක කෑවා. මහන්සියටයි, රිලැක්ස් වෙච්ච එකයි දෙකම හන්දා පැයක් විතර නින්ද ගියා. නින්දෙන් ඇහැරිලා වොශ් එකක් දාගන්නෙවත් නැතුව කලබලෙන් ඇඳුම් දාගෙන දෙන්නා දෙපැත්තකට විසිරිලා ගියේ ආයෙ හම්බෙන දවස ඉක්මනටම ඩිසයිඩ් කරගමු කියලා.

එදා රෑ නවින් ගෙදර යද්දිත් මාලිකා උන්නෙ නවින් එනකම් නැගිටගෙන. “මාර මහන්සියි අනේ, ඉයර් එන්ඩ් එක හන්දා ඔෆිස් එකෙ පුදුම වැඩ ගොඩක් තියෙන්නෙ, එපාවෙනවා” කියල නවින් ගෙට ගොඩවෙද්දි සුවච කීකරු භාර්‍යාව වගේ මාලිකා නවින් අතේ තිබිච්ච බෑග් එක අරගෙන “තේකක් හදන් එනකම් ඔයා වොශ් දාන්න” කියන් කුස්සිය දිහාවට ගියා.

“මේ රස්සාවට මම යන්නම ඕනද කියල හැමදාම මෙහෙම රෑ වෙද්දි මට හිතෙනව අනේ, කොන්ද රිදෙනව පුටුවෙ වාඩිවෙලාම ඉඳලා” කියලා දිල්මි කියද්දි භානුක ඇවිල්ලා මාලිකාගෙ කොන්ද මසාජ් කරන ගමන් “මහන්සි නම් ගෙදර ඉන්න බබා, ඔයා ජොබ් එකක් නොකරට අපිට මැනේජ් කරගන්න පුලුවන් මගෙ සැලරි එකෙන්” කියල කියන එක.

භානුකවයි මාලිකාවයි ගාණට ටැකල් කරගත්තා කියල හිතාගෙන එදා රෑ නවීනුයි දිල්මියි හරි සන්තෝසෙන් නිදාගන්න ගියාට පස්සෙන්දා ඇහැරෙන්න උනේ නම් එහෙම සන්තෝසෙකින් නෙවේ. සාමාන්‍යයෙන් උදේ පාන්දරම කලින්ම ඇහැරෙන්නෙ මාලිකා. ඒ ඇහැරෙද්දි නවින්ගෙ අතක් පයක් තමන්ගෙ ඇඟ උඩින් වැටිලා තියෙන එක සාමාන්‍ය දෙයක් උනාට මෙදා නම් මාලිකා උදේ පාන්දරම ඇහැරුනේ උල් දෙයක් ඇඟේ වදිනවා දැනිලා. නවින්ට කලින් නවින්ගෙ නෙළුම් කුලුණ අවදිවෙලා කියල හිතන් ඇහැරුණාට “එපා අනේ” කියාගෙන නවින්ව එහාට කරන්න ගිය මාලිකාට කෑගැස්සුනේ නවින් ගෙ මූණ මැද්දෙ තිබිච්ච එක නාහෙ මෙදා පර දෙකක් වෙලා තියෙනවා දැක්කම.

දිල්මිගෙ කතාව වෙනසක් නෑ. උදේ ඇහැරිලා වොශ් රූම් එකට යද්දිත් කට ඇතුලෙ මොකක් හරි වෙනසක් තියෙනව කියල දිල්මිට තේරුණත් ඒ වෙනස හරියටම තේරුණේ බාත් රූම් එකේ කණ්ණාඩියෙන් ඈණුම් යව යව මූණ බලද්දි. තමන්ගෙ කට ඇතුලෙ දිවවල් දෙකක්. බයට කෑගැහෙද්දි ඒ දිවවල් දෙකම උඩ පැන පැන නැටුවා. 

නවිනුයි දිල්මියි විතරක් නෙවෙයි මාලිකායි භානුකයි උන්නෙත් මොකද්ද මේ වෙලා තියෙන්නෙ කියලා හිතාගන්න බැරුව.

“ඔයා මොකක් හරි වෙනද කන්නෙ නැති දෙයක් කෑවද?” කියල භානුක අහද්දි දිල්මි එක දිවකින් “නෑ” කියල කිව්වට අනෙක් දිව දිල්මිගෙ කිසිම උදව්වකින් තොරව “කෑව කෑවා, ඊයෙ කෑවා” කියල කිව්වා. භානුකට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ ඇත්ත කියන්නෙ මොන දිවද කියලා හිතාගන්න බැරිවෙච්ච එක.

“ඔයා මොකක් හරි වෙනද කන්නෙ නැති දෙයක් කෑවද?” කියල මාලිකා අහද්දි නවින් “නෑ” කියල කිව්වට ඒක නිකන් බොරු කියල ඔප්පු කරන්න වගේ අනෙක් නාහෙ පොඩ්ඩක් විතර දික්වුණා. 

“මොකද්ද නේ ඔව් ද නැද්ද එකක් කියන්නකො, වෙනද නොකන දෙයක් ඊයෙ කෑවද?” කියල නවින් ආයෙ අහද්දි දිල්මි එක දිවකින් ආයෙ වතාවක් නෑ කියල කිව්වට අනෙක් දිව කිසිම ගාණක් නැතුව “කෑවා කෑවා, ඊයෙ කෑවා” කියල කිව්වා.

“මොකද්ද අනේ ඔයාගෙ නාහෙ පිනෝකියෝ වගෙ දෙයක් කිව්වම දික්වෙන්නෙ ඔයා මට බොරුවක් කියනවද?” කියලා මාලිකා ඇහුවම නවින් ආයෙ වතාවක් “නෑ” කියල කිව්වට නාහෙ ආයෙ වතාවක් පොඩ්ඩක් දික්වුණේ මේ කියන්නෙ බොරු කියල නොකිය කියන ගමන්. මේ වෙන දේවල් හිතාගන්න බැරි හන්දම මේ දෙන්නව ඉස්සර කරගෙන භානුකයි මාලිකයි දොස්තරලා ලඟට ගියාට දොස්තර උන්නෙත් මේ වෙලා තියෙන්නෙ මොන වගේ දෙයක්ද කියලා හිතාගන්න බැරුව. 

“ඇත්තටම මේක මට වෛද්‍ය විද්‍යාවෙන් එක්ස්ප්ලේන් කරන්න අමාරු දෙයක්. අපි බලමු මේක ආව විදියටම මොකක් හරි විදියකට නැතිවෙලා අඩුවෙලා යාවිද කියල” දොස්තර කියද්දි දිග්වෙච්ච නාහෙ පහත් කරගෙන නවිනුයි, දිවවල් දෙක කට ඇතුලෙ හිරකරගෙන දිල්මියි ආපහු ගෙදර ආවා. ඔෆිස් යන්නෙ නැතුව, මිනිස්සුන්ට මූණ දෙන්නෙ නැතුව දවසක් දෙකක් ඉන්න පුලුවන්කම තිබ්බට හැමදාම ඒක කරන්න බැරි හන්ද මේ දෙන්නට ආයෙ නෝමල් විදියට “මිනිස්සු තමන් දිහා බලන්නෙ නෑ” කියල හිතාගෙන ඔෆිස් යන්න උනා. ගෙදරදි විතරයි මේ නාහෙ දික්වෙන එකයි, දිව බොරු කියන එකයි තියෙන්නෙ කියල හිතුවට ඒක එහෙමම නෑ කියන එක නවින්ටයි දිල්මිටයි තේරුණේ “මං හිතන්නෙ අපිට මෙහෙම උනේ එදා අර හොටෙල් එකේ තිබිල කෑව චොකලට් එක හන්දා. ඒක දකිද්දිම මට හිතුනා ඒකෙ මොකක් හරි හොරයක් තියෙනවා කියල. අපි හොටෙල් එකට ගිහිල්ල ඒක ගැන අහල බලමු” කියල දෙන්නට දෙන්න කතාකරගෙන ඔෆිස් එකට “ගෙදර හදිසි වැඩකට යනවා” කියල බොරු කියලා යන්න හදද්දි. බොස්ලා දෙන්න නිකන් අමුතු විදියට බැලුවට රස්සාව වගේද මේ දෙවනි නාහෙයි, දිවයි කියන එක හිතපු හන්ද බොස්ගෙ මූණ අමුතු වෙච්ච එක ගැන නවිනුයි දිල්මියි දෙන්නම එච්චර ලොකුවට හිතුවෙ නෑ. 

එකම දවසෙ දෙපාරක් නාහෙ දික්වුනෙයි, කට බොරු කරත් දිව බොරු නොකරන බව දිල්මිට තේරුණෙයි “ඔෆිස් එකේ අද ටිකක් වැඩ” කියල ගෙදරට කෝල් කරල බොරු කියද්දි. මේ වෙද්දි නවින්ගෙ නාහෙ තිබුනෙ ඉපදෙද්දි තිබිච්ච නාහෙට වඩා අඟලක් දෙකක් වැඩිපුර දික්වෙලා. ඒ විතරක් නෙවෙයි දිල්මිගෙ දෙවනි දිව සර්පයෙක් දිව එලියට දානවා වගේ විටෙන් විටේ එලියට ඇවිල්ලා තොලකට ලෙව කද්දි මිනිස්සු මේ දෙන්න දිහා බැලුවෙ නිකන් සර්කස් එකක් දිහා බලනවා වගෙ.

වැඩේ දෙල් වුණේ හොටෙල් එකට ගිහිල්ලා චොකලට් කෑල්ල ගැන අහද්දි හොටෙල් එකේ මිනිස්සු මේ අමුතු ජෝඩුව දිහා අමුතුවට බලන ගමන් “සර් කියන විදියෙ චොකලට් එකක් අපි රූම් වල තියලා නෑ සර්. අපි මේ ඩේ රූම්ස් නෙ කරන්නෙ එහෙම කන්න බොන්න දෙන සීන් නෑ” කියලා කියද්දි.  ඒ උත්තරෙන් පස්සෙ මේ වෙන්නෙ මොකද්ද කියන එක වගේම එහෙනම් තමන් කාපු කවදාවත් දැකල නැති විදියෙ චොකලට් කෑල්ලක් තමන් උන්න කාමරේට ආවෙ කොහොමද කියන එක  හිතාගන්න බැරි හන්දම නවින්ටයි දිල්මිටයි කරන්න පුලුවන් වෙච්ච එකම දේ ආයෙ ගෙදර එන එක විතරයි. ඒ එන ගමනුත් මේකට විසඳුම මොකද්ද කියන එක කල්පනා කරන එක විතරයි. 

“අපිට මෙහෙම වෙන්න ඇත්තෙ අපි මාලිකාටයි භානුකටයි බොරු කියන හන්දද?” කියල දෙන්නටම තේරුණත් බොරු කියනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ කියන එකත්, මොන වගේ ප්‍රශ්නවලට මූණ දුන්නත් මේ හොරෙන් ගන්න ආතල් එක ගන්නෙ නැතුව ඉන්න බෑ කියන එකත්, අනික මේක උනේ අර චොකලට් කෑල්ල හන්දනම් තමන්ගෙ ප්‍රශ්නෙ තමන් එක්ක ඒ කාමර ගාණ රිංගන්න ආව අනික් එකත් විඳවන්න ඕන කියල හිතපු හන්දම නවින්වත් දිල්මිවත් මාලිකාටයි භානුකටයි කිසිම විදියකින් ඇත්ත කියන්න ගියේ නෑ. හැබැයි ඒ දෙන්නටම මේ විදියට දිගටම තමන්ගෙ පාර්ටනර්ස්ලටවත් ඔෆිස් වලටවත් බොරු කියන්න උනේ නෑ. මොකද දිගටම බොරු කියන්න යද්දි නවින් ටිකෙන් ටික පිනෝකියෝ ලයිව් ඇක්ශන් එකක් වෙන්න ගත්ත හන්දා වගේම දිල්මි “දිව දෙකේ ගෑණියෙක්” කියල හංවඩු ගැහිච්ච හන්දා.

තමන්ට නිරත්තර බොරු කියන පිනෝකියෝ කෙනෙකුයි දිව දෙකේ ගෑණියෙකුයි එක්ක ඉන්න බැරි හන්ද භානුකයි මාලිකයි ඒ දෙන්නගෙන් වෙන්වෙලා වෙනම පාරක ඇවිදගෙන ගියා. 

දැන් මේ දෙන්නා ඉන්නෙ එකම තැනක. සර්කස් එකක. මේ සර්කස් එක තැනින් තැනට යන සර්කස් එකක්. ඒ හින්දා මේ දෙන්නත් එක එක තැන්වලට සර්කස් එක එක්ක යනවා.

රුපියල් සීයක ටිකට් දෙකක් ගත්තම දිව දෙකේ ගෑණිවයි, පිනෝකියෝ මිනිහවයි බලන්න පුලුවන් නිසා වැඩිහිටි මිනිස්සු වගේම පොඩි ලමයිනුත් එනවා. අම්මල පොඩි බබාලව වඩාගෙන “ඔන්න බොරු කිව්වොත් ඔයාටත් මෙහෙම වෙයි” කියලා කියන ගමන් හස්බන්ඩ්ලා දිහා බලලා “තමුසෙටත් එච්චර තමයි” කියලා නොකිය කිව්වා.

දිව දෙකේ ගෑණි කිසි ගාණක් නැතුව එක දිවකින් බොරු කියද්දි අනික් දිව ඇත්ත කියන එක අහල මනුස්සයට හොරෙන් වෙන වෙන සර්කස් නටන ගෑණු බයවුණා. වෙසක් පොසොන් කාලෙට මේ දෙන්නව පන්සල් වලින් අරගෙන ගියා “බොරු කීමේ ආනිසංස” ගැන මිනිස්සුන්ට තේරුම් කරලා දෙන්න!

ReplyForwardAdd reaction

More Stories

Don't Miss


Latest Articles