මැටි බෝනික්කො

ඒ ගම මහ අමුතු ගමක්. මං එහෙම කිව්වේ මේ අපි ජීවත්වෙන රටවල් වල වගේ ගෑණුන්ට කිසිම දෙයක් කියන්නෙ නැති රටවලවලට, ගම්වලට වඩා මේ කියන ගම වෙනස් හන්දා. දන්නවනෙ ඉතින් අපේ ගම්වල ඉන්න ඔය අම්මල, නැන්දම්මල, ආච්චිලා, සීයලා, අක්කල නංගිල කවුරුවත් “ඇයි කසාද බැන්දෙ නැත්තෙ, තිහ පැන්නට පස්සෙ ගෑණියෙක්ට බඳින්න බෑ, තිහ පැන්නට පස්සෙ කවුරුත් ඔයාට කැමතිවෙන්නෙ නෑ” කියලා කිසිම කසාද බැන්දෙ නැති, බඳින්න අදහසකුත් නැති කෙල්ලෙක්ට, ගෑණියෙක්ට කියන්නෙ නෑනෙ. හැබැයි ඔන්න මේ ගමේ නම් කතන්දරේ ඒකට සම්පූර්ණයෙන්ම වෙනස්.  

මේ ගමේ මිනිස්සු බලාගෙන හිටියෙ මේ ගමේ ඉන්න කෙල්ලො කවද්ද කසාද බඳින්නෙ කියල. අපේ ගම්වල වගේ ඉහළට ඉගෙන ගන්න, රස්සාවකට යන්න, ස්වාධීන වෙන්න කියලා ගෑණු ළමයින්ට කිව්වට, “ඔයා කැමති නම් කසාද බඳින්න, අකමැතිනම් හොඳට තනියම ජීවත්වෙන්න පුලුවන් විදියට ඉන්න” කියල වැඩිහිටියො කිව්වට මේ ගමේ මිනිස්සු හිතුවෙ සම්පූර්ණ වෙනස්ම විදියකට. මේ ගමේ ඉන්න වැඩිහිටියො කිසිම වෙලාවක තමන්ගෙ ගෑණු දරුවන්ව ඉහළට ඉගෙන ගන්න, හොඳ රස්සාවක් කරන්න කියල කියන්නෙ නෑ. මේ ගමේ වැඩිහිටියො බලාගෙන ඉද්දි තමන්ගෙ ගමේ ඉන්න කෙල්ලන්ව නිසි වයස පහුවෙන්න කලින් කසාද බන්දලා දෙන්නෙ කවද්ද කියලා බලාගෙන. 

මේ ගමේ ඉන්න ගෑණූ ළමයි අඩු වයස්වලින් කසාද බඳින එක හරිම ලොකු දෙයක් විදියට තමයි සැලකුවෙ. ඒ කිව්වේ කවුරුහරි ගෑණු ළමයෙක් නිකන් අවුරුදු දහ අටෙන් වගේ කසාද බඳිනවනම් ඒක මාරම දෙයක් විදියට, ඒ ගෑණු ළමයගෙ සහ ගෑණූ ළමයගෙ පවුලෙ අයගෙ වාසනාව විදියට තමයි හැමෝම දැක්කෙ. ඒකට ලොකු හේතුවක් තිබ්බා. මේ ගමේ මිනිස්සු හිතුවා අවුරුදු තිහ පැන්නට පස්සෙ ගෑණු ළමයෙක් ගෙන් වැඩක් නෑ සහ ඒ ගෑණූ ළමයින්ට කසාද බඳින්න බෑ කියලා. අවුරුදු තිහ පැන්න කසාද බැන්දෙ නැති ගෑණුන්ව මේ ගමේ මිනිස්සු දැක්කෙ “ඉතිරි වෙච්ච ගෑණු” විදියට. අවුරුදු තිහේ උපන්දිනේ ලබන කසාද බැන්දෙ නැති කෙල්ලො ඉඳියෙ තමන්ගෙ ජිවීතේනැති කරගන්න තරම් බයකින්. ඒකට හේතුව වුනේ හිතාගන්න බැරි විදියට කවුරුහරි ගෑණු ළමයෙක් අවුරුදු තිහ වෙද්දිත් විවාහ වෙලා හිටියෙ නැත්තම් එයාගෙ තිස් වෙනි උපන්දිනේ දවසෙදි ඒ ගෑණු ළමයි හිතාගන්න බැරි විදියට මේ ගම්මානෙ අතුරුදහන් වෙලා යනවා. ඉන්පස්සෙ එකපාරම දවසක පෝසිලේන් මැට්ටෙන් හදපු බෝනික්කෙක් වෙලා කොහෙන් හරි තැනකින් මතුවෙනවා. ඒ ලස්සනට පාට කරලා. ඇහි බැම, කොණ්ඩෙ හදලා, මනාමලියෙක්ගෙ ඇඳුම අන්දලා, හරිම ලස්සනට, හරිම marriage type කෙල්ලෙක් විදියට.

මේ විදියට මැටි බෝනික්කෙක් උනාට පස්සෙ මේ ගෑණු ළමයින්ගෙන් සම්පූර්ණයෙන්ම ලැබිලා තිබ්බේ “කසාද බඳින්න ඕන මෙන්න මේ වගේ කෙල්ලෙක්” කියල මේ ගමේ මිනිස්සු විශ්වාස කරන විදියෙ පෙනුමක්. බෝනික්කෙක් වෙන්න කලින් “මගේ බලාපොරොත්තුව ඉගෙන ගන්න එක, මගේ බලාපොරොත්තුව හොඳ රස්සාවක් කරන එක, මට ඕන මගේම බිස්නස් එකක් පටන් ගන්න, මට ඕන මගේම ගෙයක් අරගෙන ජීවත්වෙන්න” කියලා කිව්ව, කවදාවත් මනමාලියෙක් වෙන එක ජිවිතේ priority එකක් කරගෙන උන්නෙ නැති ගෑණු ළමයි ඔක්කොම වගේ මැටි ගෑණු වෙලා, මනමාලියො විදියට සැරසිලා උන්නා. තමන්ගෙ උවමනාවට නෙවෙයි වෙන කාගෙහරි පේන්නෙ නැති කෙනෙක්ගෙ උවමනාවට.

මේක දැන් අවුරුදු ගාණක් තිස්සෙ කෙරීගෙන යන හන්දා, මේ විදියට එකතුවෙච්ච මැටි ගෑණු මහ ගොඩක් උන්නු හන්දා මේ මැටි ගෑණුන්ව බිඳෙන්නෙ නැතිවෙන්න තැන්පත් කරලා තියෙන්න මේ ගමේ වෙනම තැනක් හදලා තිබ්බා. එතනට හැමෝම කිව්වෙ කෞතුකාගාරය කියලා. මොකද කෞතුකාගාර වල කොච්චර වටින කියන දේවල් තිබ්බත් ගොඩක් මිනිස්සු ඒව දැක්කෙ “පරණ බඩු විදියට” හන්දා. 

ගමේ මිනිස්සු තමන්ගෙ ගෑණු ළමයින්ව ඉක්මනින් කසාද බඳින්නෙ පෙළඹෙව්වෙ මෙන්න මේ මැටි බෝනික්කන්ව පෙන්නලා.

“මේ තමයි ඉතිරිවෙච්ච ගෑණු අය, ඔන්න ඔයත් ඉක්මනට බත් කාලා ලොකු උනේ නැත්තම් කවදහරි මේ විදියට තමයි ඉන්න වෙන්නෙ”

“ඔන්න මතක තියාගන්න හරි වෙලාව එද්දි කසාද බැන්දෙ නැත්තම් ඔයාටත් කවදහරි වෙන්නෙ මෙන්න මේක”

ඒ නිසාම මේ ගමේ ගෑණු ලමයි පුලුවන් ඉක්මනින් කසාද බැන්දා. අඩුම වයසෙන් කරගන්න කසාද හරිම ලොකු උත්සවාකාරයෙන් සැමරුවා. ඒ වගේ උත්සව වලට සහභාගි වෙන ගෑණූ ළමයින්ට වැඩිහිටියො “එහෙනම් ඔන්න ඊලඟට ඔයා තමයි” කියලා අවවාද උපදෙස් දුන්නා.  කාලෙ ඒ විදියට ගෙවිලා යද්දි කෞතුකාගාරෙට තව තව “පරණ බඩු” එක්කහු වුණා. පරණ බඩු බලන්න යන්න කාටවත් එහෙම ලොකු උවමනාවක් තිබ්බෙ නෑ. ඊටත් වඩා වෙලාවක් තිබ්බෙ නෑ. මොකද මේ ගමේ හැම දවසකම වගේ මගුලක් තිබිච්ච හන්දා. ඒත් එක දවසක්, එකම එක පුංචි ගෑණු ළමයෙක් කාටවත් කියන්නෙ නැතුව මේ කෞතුකාගාරෙට ඇතුලු වුණා.

ඒ එයා හරිම ආදරේ කලේ, හොඳට ඉගෙන ගත්ත, ලස්සන, හොඳ රස්සාවක් කරපු එයාගේ ආදරණීය නැන්දා එදා උදේ, එයාගෙ තිස්වෙනි උපන්දිනේ දවසෙදි අතුරුදහන් වෙච්ච හන්දා.

“නැන්දට බය නැද්ද ඔයා හෙට උදේ වෙද්දි බෝනික්කෙක් වෙනවා කියන එක ගැන?” කියලා ඒ උපන්දිනේට කලින් දවසෙ නැන්දා එක්ක ගෙවන අන්තිම රාත්‍රියේ නිදාගන්නෙ නැතුව නැන්දා එක්ක කතා කර කර ඉන්න වෙලාවෙ ඒ පුංචි කෙල්ල නැන්දගෙන් එහෙම ඇහුවා.

“මට කවදාවත් කසාදයක් කරගන්න උවමනාවක් තිබ්බෙ නෑ. කසාද බඳින්න උවමනා උනත් මට කවදාවත් මගේ රස්සාව, මගෙ ඉගෙනීම නැතිකරගෙන මේ ගමේ අනිත් ගෑණු ළමයි කරනව වගේ කසාද බඳලා, ගෙදර දොරේ වැඩකරගෙන, මගෙ හීන අමතක කරලා, දරුවො හදාගෙන ඉන්න කසාද බඳින්න උවමනාවක් තිබ්බෙම නෑ. සමහරු කියනවනෙ කසාද බඳින්නෙ ආසම්පූර්ණ භාග දෙකක් එකට එකතුවෙලා සම්පූර්ණ කෙනෙක් වෙන්න කියලා. අසම්පූර්ණ දෙන්නෙක් එක්කහු වෙන එකෙන් සම්පූර්ණ වෙන එක නෙවෙයි වෙන්නෙ අසම්පූර්ණ බව වැඩිවෙන එක.අනික කසාදෙකින් එක්කහු වෙන්නෙ අසම්පූර්ණ දෙන්නෙක් නම් මං හිතනව මම ඉපදුණේ වගේම පහුගිය කාලෙ පුරාවටම මහන්සි වෙලා මම මාව සම්පූර්ණ කෙනෙක් කරගත්තා කියලා.  ඒ නිසා ඒ වගේ ජීවිතයක් ලබනවට වඩා මැටි බෝනික්කෙක් වෙලා කෞතුකාගාරෙට යන එකට මං කැමතියි” කියලා නැන්ද කියද්දි ඒ කතාව තේරුම් ගන්න පුංචි කෙල්ල උත්සහ කරා.

“මම නැන්දා යනකම්ම නිදියන්නෙ නෑ” කියලා කිව්වට හිතුවෙ නැති මොහොතක පුංචි කෙල්ලට නින්ද ගියා. ආයෙ ඇහැරෙද්දි නැන්ද ගිහින් තිබ්බා. උදේ කෑම කන්නෙත් නැතුව කෙල්ල අඬ අඬ උන්නට ඒක ඒ ගෙදර වෙන කිසිම කෙනෙක්ට ගාණක්, අමුත්තක් වෙච්ච දෙයක් උනේ නෑ. “ඕව ඔයාලටත් හොඳ පාඩම්” කියල කිව්ව මිසක් නැන්ද නැතිවෙච්ච එක ගැන කවුරුවත් කඳුලක් හෙලුවෙ නෑ.  ඒ නිසාම තමයි ඒ පුංචි කෙල්ල තමන්ගෙ නැන්දා මැටි බෝනිකි මනමාලියෙක් වෙලා ඉන්නවද කියල බලන්න කෞතුකාගාරෙ ඇතුළට ගියේ.

කවදාවත් ඒ පුංචි කෙල්ල දකින්න හිතුවෙ නැති තරම් මැටි බෝනික්කො ලස්සනට මනමාලියො විදියට සැරසිලා ඒ කෞතුකාගාරෙ අස්සෙ උන්නා. එක එක විදියෙ මූණවල්, ඇඟවල්, කොණ්ඩවල් එක්ක එකම විදියෙ බලෙන් ඔබ්බපු හිනාවක් එක්ක ඒ මැටි බෝනික්කියො මනමාලියො වෙලා හිටියා. මැටි බෝනික්කියො පුරවල තිබ්බ කබඩ් එකක අන්තිම කෙලවරෙන් තමන්ගෙ නැන්දව හොයාගන්න එක පුංචි කෙල්ලට අමාරු උනේ නෑ. හැමදාම කොට ඔෆිස් සායවල්, ඇඟට හිරවෙච්ච ඔෆිස් ගවුම්, පෑන්ට්ස්, වේස්ට් කෝට්ස් වලින් සැරසිල උන්න නැන්දෙක් වෙනුවට, කොණ්ඩෙ කලර් කරල නිදහසේ දාගෙන උන්න නැන්දෙක් වෙනුවට මල් ගහපු කොණ්ඩෙකුත් සුදු මනමාලි ඇඳුමකුත් ඇඳන් උන්නු නැන්දව කෙල්ල අඳුරගත්තෙ ඇස් දෙකෙන්. ඒත් ඒ  ඇස් දෙකේ පිරිලා තිබ්බෙ මෙච්චර දවසක් තමන් නැන්දගෙන් දැක්ක බය නැති, තමන්ට ඕන විදියෙ ජිවීතයක්, නිදහස් ජීවිතයක් හොයපු බැල්ම නෙවෙයි. හරිම හිරවෙච්ච, නිදහස නැතිවෙච්ච බැල්මක්.

කෙල්ල උත්සහ කලේ අත උස්සල තමන්ගෙ මැටි බෝනිකි නැන්දව අල්ලල අතට ගන්න. ඒත් සමාජෙ බලාපොරොත්තු වෙච්ච විදියට හදපු, සුමුදු සුකොමල, ඇල්ලුවම බිඳෙන මට්ටමේ ගෑණු චරිත ආරූඩ කරලා මවලා තිබ්බ එ මැටි බෝනිකි මනමාලි නැන්දට ජීවිතේ පළවෙනි වතාවට ඒ පුංචි කෙල්ලගෙ අත්වලින් ගලං ආව රස්නෙ දරාගන්න පුලුවන් වුනේ නෑ. වම් අතේ මුදුගිල්ල දිගේ ගලාගෙන ගිය ඒ ඉරිතැලීම නතරවුනේ පපුව හරියෙන්. පපුව හරියෙන් ඒ බිඳීම නතරවෙනවා එක්කම මැටි බෝනික්කි ඇස් පිය ගැහුවා. පණ නෑ කියලා හිතන් උන්න ඇස් කරකෝලා තමන්ගෙ පුංචි මිතුරිය දිහාව බැලුවා.

“නැන්දේ, මං දන්නවා නැන්දා මේ මැටි පිළිමෙ අස්සෙ හිරවෙලා ඉන්න විත්තිය. මං ඔයාව කොහොමහරි එළියට ගන්නවා” පුංචි පොරොන්දුවක් ඒ විදියට බිඳිච්ච පපුව අස්සෙන් නැන්දගෙ ආත්මෙ හොයාගෙන ගියා. තප්පර ගාණකට පස්සෙ හැම මැටි බෝනික්කියක්ම ඇස් ගහන්න පටන් ගත්තා. ඒ එක්කම එක එක විදියෙ ගෑණු කටහඬවල් ඒ බෝනිකි රූප අස්සෙන් පුංචි කෙල්ලට ඇහෙන්න ගත්තා.

“එයා අපිව එලීයට ගනීවි”

“අපිව පිළිගන්න, විශ්වාස කරන එක්කෙනෙක් හරි තවම ඉන්නවා”

“අපිට ඕන නෑ අපිට වෙච්ච දේම ඔයාටත් වෙන්න, ඒකයි අපි එක්කහු වෙන්න ඕන” 

“අපිට කවදාවත් බඳින්න උවමනා උනේ නෑ”

“මට ඕන නෑ ප්ලේන් එකක් එළවන්න”

“මට ඕන උනේ පී එච් ඩී එකක් කරන්න”

“මට ඕන වුණා අම්මල තාත්තල නැතුව අසරණ වෙච්ච දරුවෙක් අරන් හදාගන්න”

“මට ආදරේ කරේ මං වගේම තව කෙල්ලෙක්ට”

“මට ඕන වුණේ ලෝකෙ වටේ රවුම් ගහන්න” වගේ කතා දාහක් ඒ බෝනිකි පිළිම අස්සෙන් එළියට මතුවෙලා කෞතුකාගාරෙ අස්සෙ රැව් පිළිරැව් දුන්නා.

“මේ හැම දෙයක්ම මෙතනින් නතර වෙන්න ඕන” හැමෝම එකම හඬින් ඒ කතාව කියද්දි පුංචි කෙල්ල කෞතුකාගාරෙන් එළියට ආවේ ඒ හැම කතාවක්ම පපුව අස්සෙ හොඳට තදට ලියාගෙන. කෞතුකාගාරෙ දොර මහ සද්දෙට වැහිලා යද්දි පුංචි කෙල්ල ආපහු දුවගෙන දුවගෙන ආවා. අවුරුදු ගණනාවකට පස්සෙ කතුකාගාරෙ පරණ වෙච්ච වීදුරු අස්සෙන් ඉර එළිය ඇතුළට ගලං ආවා, හරියට අලුත් ජිවීතයකට පණ දෙන්න වගේ. තට්ටු තට්ටු අසුරල තිබිච්ච මැටි බෝනිකි හිනාවන්ගෙන් කෞතුකාගාරෙ බිත්ති හිමින් සැරේ දෙදරන්න ගත්තා. ගමේ මිනිස්සු උන්නෙ මේ වෙන්නෙ මොනවද කියල හිතාගන්න බැරුව. කවුද හිනාවෙන්නෙ, කාගෙ හිනා සද්දෙද ගම පුරා ඒ පැතිරෙන්නෙ කියන එක ගමේ මිනිස්සුන්ට හිතාගන්න පුලුවන් වුනේ නෑ.

එදා රැයින් පස්සෙ ඒ හැම කතාවක්ම ඉවර වුණා. මිනිස්සුන්ට හිතාගන්න බැරි විදියට. ආයෙමත් කවදාවත් අවුරුදු තිහ පැන්න කිසිම කෙල්ලෙක් මැටි බෝනික්කියක් උනේ නෑ. ඒ වගේම මෙච්චර දවසක් කෞතුකාගාරෙ අස්සෙ හිරකරලා උන්න මැටි බෝනිකි පිළිම එකක්වත් ගමේ කිසිම තැනකින් හොයාගන්න කිසිම කෙනෙක්ට පුළුවන් වුණේ නෑ.

ඒ වෙනුවට “ඇයි කසාද බැන්දෙ නැත්තෙ, තිහ පැන්නට පස්සෙ ගෑණියෙක්ට බඳින්න බෑ, තිහ පැන්නට පස්සෙ කවුරුත් ඔයාට කැමතිවෙන්නෙ නෑ” කියන කතාව කියන එක මිනිස්සු නතර කරා.

මොකද එහෙම කිව්ව කීපදෙනෙක්ටම කටවල් සීල් කරපු මැටි බෝනික්කො වෙලා හිස්වෙච්ච කෞතුකාගාරෙ තනි මකන්න යන්න සිද්ද වෙච්ච නිසා!

More Stories

Don't Miss


Latest Articles